ඉතාලි පුනරුද යුගය වර්ණවත් කළ කලාකරුවන් තිදෙනෙක්

“පුනරුදය” යන වචනයේ අර්ථය නැවත ඉපදීම යන්න යි. 14 වන සියවසේ සිට 16 වන සියවස දක්වා කාලය තුළ යුරෝපයේ සියලුම ක්ෂේත්‍රවල සිදුවුණු පුළුල් පරිවර්තනය හැඳින්වීම සඳහා පුනරුදය නම් වචනය භාවිතා කරනවා. 

යුරෝපය තුළ පුනරුදයක් ඇතිවීම සඳහා බල පෑ ප්‍රධානතම හේතුව වුණේ 1453 වසරේ දී කොන්ස්තන්තිනෝපලය තුර්කීන් අතට පත්වීම යි. තුර්කි ජාතිකයන් ඉස්ලාම් ආගම ඇදහූ පිරිසක් නිසා ග්‍රීක සහ රෝම උගතුන්ට ඔවුන් සමග වාසය කිරීමට හැකිවුණේ නැහැ. එම නිසා ග්‍රීක සහ රෝම උගතුන් යළි ඔවුන්ගේ රටවලට ගියා. එලෙස ග්‍රීසියට සහ ඉතාලියට ගිය උගතුන් යුරෝපය තුළ පුනරුදයක් ආරම්භ කිරීමට මූලිකත්වය ගත්තා. එදා ඉතාලියෙන් ආරම්භ වුණු පුනරුදය පසුව යුරෝපයේ සෙසු රටවලට ද ව්‍යාප්ත වුණා. 

පුනරුද යුගයේ දී ඉතාලිය තුළ විශිෂ්ට කලා නිර්මාණයන් බිහිවුණා. එම කාල වකවානුව තුළ සිටි ලියනාඩෝ ඩාවින්චි, මයිකල් ආන්ජලෝ, සහ රෆායල් සැන්ටි යන දක්ෂ කලාකරුවන් තිදෙනා අතින් බිහිවුණු නිර්මාණයන් පිළිබඳව අදටත් බොහෝ දෙනෙකු කතා කරනවා. 

ලියනාඩෝ ඩාවින්චි 

1452 වසරේ ඉතාලියේ වින්සි නුවර දී උපත ලැබූ ලියනාඩෝ ඩාවින්චි චිත්‍ර ශිල්පයට සේම ඉංජිනේරු ශිල්පය, ගණිතය, විද්‍යාව, සංගීතය, ගෘහ නිර්මාණ ශිල්පය වැනි ක්ෂේත්‍ර‍යන්හි ද අතිදක්ෂයෙකු වුණා. එම ක්ෂේත්‍රයන් අතුරින් ඔහු චිත්‍ර ශිල්පය සම්බන්ධව විශේෂ නිපුණතාවයක් දක්වනු ලැබුවා. එම නිසා ඩාවින්චිගේ තෙලි තුඩින් ලෝ ප්‍රකට නිර්මාණ කිහිපයක් බිහිවුණා. 

වෙරකියෝ නම් චිත්‍ර ශිල්පියාගෙන් ගුරුහරුකම් ලබාගත් මොහු සිය නිර්මාණ සඳහා යොදාගත්තේ ග්‍රීක සහ රෝම කලා නිර්මාණවල මූලික ලක්ෂණ යි. ඩාවින්චි විසින් අඳින ලද සිතුවම් අතුරින් වඩාත් ප්‍රසිද්ධ වුණු සිතුවම් 2ක් පහත දක්වා තිබෙනවා. 

මොනාලිසා 

ලියනාඩෝ ඩාවින්චි විසින් නිර්මාණය කරන ලද විශිෂ්ටතම සිතුවමක් වන මොනාලිසා 1503-1506 කාල සමය තුළ නිර්මාණය කර තිබෙනවා. එකල ඉතාලියේ විසූ ෆ්රැන්සිස්කෝ ඩෙල් ජියකොන්ඩා නම් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ බිරිඳ වුණු ලීසාගේ උඩුකය මෙලෙස සිතුවමට නැගූ බවට මතයක් පවතිනවා. පොප්ලර් නැමැති ලීයක තෙල් සායම් මාධ්‍යයෙන් නිර්මාණය කර ඇති මෙම සිතුවමෙහි පසුබිම සඳහා පර්යාවලෝක ලක්ෂණ සහිත භූමි දර්ශනයක් යොදාගෙන තිබෙනවා. මෙම සිතුවමෙහි සිටින කාන්තාව වේදනාවක් තුළින් සිනාසීමට උත්සාහ කරන ආකාරය දක්නට ලැබෙනවා. මෙම සිතුවම වර්ණ ගැන්වීම සඳහා දුඹුරු, රඹ කහ වැනි වර්ණයන් යොදාගෙන තිබෙනවා. එහි දී ලා පැහැයේ සිට වඩාත්ම අඳුරු පැහැයක් දක්වා වර්ණ පරාසයක් යොදාගෙන තිබෙන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. එදා මෙන්ම අදත් බොහෝ දෙනෙකුගේ ආකර්ෂණයට ලක්ව තිබෙන මෙම සිතුවම ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරය තුළ තැන්පත් කර තිබෙනවා.

මොනාලිසා සිතුවම (gettyimages)

අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය 

ලියනාඩෝ ඩාවින්චි එක් කාල සමයක ඉල්මෝරෝ නම් ආදිපාදවරයා යටතේ සේවය කළා. එම කාලයේ ඔහු ශාන්ත මරියා ඩෙලාග්‍රේසි නම් තාපසාරාමයේ බිත්තියක් මත මෙම සිතුවම අඳිනු ලැබුවා. ප්‍රෙස්කෝ සිකෝ නම් ශිල්පීය ක්‍රමය යොදාගෙන නිර්මාණය කර ඇති මෙම සිතුවම තුළ පර්යාවලෝක ලක්ෂණ දක්නට ලැබෙනවා. 

මෙම සිතුවම මධ්‍යයේ සිටින ජේසුස්වහන්සේ දෙපස අනුගාමිකයන් 12ක් දක්නට ලැබෙනවා. එම අනුගාමිකයන් අතර සිටි ජුදාස් නම් පාවාදෙන්නාගේ මුහුණෙන් කුතුහලය මුසු හැඟීමක් නිරූපණය කිරීමට උත්සාහ ගෙන තිබෙනවා. එසේම චිත්‍රය වර්ණ ගැන්වීමේ දී දුඹුරු වර්ණයේ විවිධ ප්‍රභේද සහිත වර්ණමාලාවක් ත්‍රිමාණ සහ පර්යාවලෝක ලක්ෂණ සහිතව යොදාගෙන තිබෙන ආකාරය දක්නට ලැබෙනවා. මෙහි දී භාවිතා කර තිබෙන කියරොස්කූරෝ නම් වර්ණ ගැන්වීමේ ක්‍රමයට අනුව තලය මධ්‍යයේ සිටින ජේසුස් වහන්සේගේ  රූපය ආලෝකමත්ව මතු කර තිබීම මෙහි තිබෙන සුවිශේෂ ලක්ෂණයක් ලෙස දැක්විය හැකියි. 

අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (gettyimages)

ඉහත සඳහන් කළ සිතුවම් දෙකට අමතරව ඩාවින්චි විසින් ඇඳි අනිකුත් ප්‍රසිද්ධ සිතුවම් කිහිපයක නම් පහතින් දක්වා තිබෙනවා. 

1) පර්වත මස්තකයේ දේව මෑණියෝ 

2) මරියතුමිය සහ මල 

3) කන්ති මවට දේව දූතයා කළ ප්‍රකාශය 

4) යුද්ධ දර්ශනය 

5) කාන්තාවකගේ උඩුකය රුව 

මයිකල් ආන්ජලෝ  

1475 වසරේ ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ දී උපත ලැබූ මෙම දක්ෂ කලාකරුවා චිත්‍ර ශිල්පයට සහ මූර්ති කලාවට එක සේ දස්කම් දක්වනු ලැබුවා. වතිකානුවේ සිස්ටීන් දෙව් මැඳුර තුළ මොහු ඇඳි සිතුවම් වඩාත් ජනප්‍රියත්වයට පත්වුණා. පහත දක්වා තිබෙන්නේ ආන්ජලෝ විසින් සිතුවම් කරන ලද වඩාත් ප්‍රසිද්ධ චිත්‍ර 2ක්.

ආදම් මැවීම 

ප්‍රෙස්කෝ සිකෝ නම් ශිල්පීය ක්‍රමය යොදාගෙන අඳින ලද මෙම සිතුවම වතිකානුවේ සිස්ටයින් දෙව් මැඳුර තුළ පිහිටා තිබෙනවා. මෙම සිතුවමින් නිරූපණය වන්නේ දෙවියන් වහන්සේ ආදම්ව මවන ආකාරය යි. එහිදී දෙවියන් වහන්සේව සාමාන්‍ය මිනිස් රුවක ස්වරූපයෙන් සිතුවමට නගා තිබීම සුවිශේෂී ලක්ෂණයක් ලෙසින් දැක්විය හැකියි. එසේම ආදම්ගේ තරුණ බවත් දෙවියන් වහන්සේගේ මහළු බවත් මෙහිදී මතුකර තිබෙනවා. 

ආදම් මැවීම (gettyimages)

අවසන් විනිශ්චය

ප්‍රෙස්කෝ සිකෝ නම් ශිල්පීය ක්‍රමය භාවිතා කරමින් ඇඳි විශාලතම සිතුවම ලෙසින් සලකන මෙය සිස්ටීන් දෙව් මැඳුරේ අල්තාරය පිටුපස බිත්තියේ ඇඳ තිබෙනවා. අඩි 48×44 විශාලත්වයෙන් යුත් මෙම සිතුවමෙහි මැද කහ පාට තලයක ජේසුස්වහන්සේ සහ දෙව්මව නිරූපණය කර තිබෙන ආකාරය දැකිය හැකියි. අහස, ජලය, සහ පොළව වශයෙන් පෙනෙන චිත්‍රයේ පසුබිම නිල් පැහැයෙන් යුත් ජලධාරාවකින් යුක්ත යි. මෙහි දක්වා ඇති අනිත් මිනිස් රූපවලින් ස්වර්ගයට ගෙන යන යහපත් ජනයා සහ නිරයට ගෙන යන අයහපත් ජනයා නිරූපණය කර තිබෙනවා. මෙහි දක්නට ලැබෙන මිනිස් රූපවල ක්‍රියාකාරී ඉරියව් සහ මාංශ පේශීන් මනාව ඔප්නංවා ඇති ආකාරය ද නිරීක්ෂණය කළ හැකියි. මෙම සිතුවම නිර්මාණය කරමින් සිටිය දී ශිල්පියා ඇද වැටී තුවාල ලැබීම හේතුවෙන් චිත්‍රය අවසන් කිරීම සඳහා වසර 10ක් පමණ ගත වුණා. 

අවසන් විනිශ්චය (gettyimages)

මයිකල් ආන්ජලෝගේ තෙලි තුඩෙන් නිර්මාණය වුණු වෙනත් සිතුවම් කිහිපයක් පහත දක්වා තිබෙනවා. මින් සිතුවම් රැසක් දක්නට ලැබෙන්නේ සිස්ටීන් දෙව් මැඳුර තුළ යි. 

1) ඒව මැවීම 

2) දෙවියන් වහන්සේ ඉර මැවීම 

3) නෝවාගේ කථාව 

4) ශුද්ධ වූ පවුලේ චිත්‍රය 

5) කුරුසියේ ඇණ ගැසීම 

මයිකල් ආන්ජලෝ විසින් මූර්ති කලාව පිළිබඳව හදාරනු ලැබුවේ ජිර්ලන්ඩායෝ, බර්ටල්ඩෝ, සහ ජියෝවවා වැනි ගුරුවරුන් යටතේ යි. ග්‍රීක සහ රෝම මූර්ති කලාව පිළිබඳව හැදෑරීමෙන් පසුව ආන්ජලෝ විසින් නිර්මාණය කර මූර්තිවලට විශාල ජනප්‍රියත්වයක් ලැබුණා. පහත දක්වා තිබෙන්නේ මොහු නිර්මාණය කළ සුවිශේෂී මූර්ති 2ක් පිළිබඳව යි. 

ඩේවිඩ් ප්‍රතිමාව 

1501-1504 කාල සමය තුළ නිර්මාණය කළ මෙම මූර්තිය කිරිගරුඬ භාවිතයෙන් නිමවා තිබෙනවා. නිරුවත් මූර්තියක් ලෙසින් නිර්මාණය කර තිබෙන මෙය අඩි 14 අඟල් 3ක උසකින් යුක්ත යි. නිර්භීතභාවය, ශක්තිය, තරුණ ජවය සහ මානව දයාව යන ගුණාංග මෙම ප්‍රතිමාවෙන් නිරූපණය වනවා. එසේම ඩේවිඩ් සිය වම් අතින් වම් උරහිස මත රැඳී ගල් ආයුධය අල්ලාගෙන සිටින ආකාරය දක්නට ලැබෙනවා. ග්‍රීක-රෝම මූර්ති සම්ප්‍රදායේ ලක්ෂණ දක්නට ලැබෙන මෙම ප්‍රතිමාව ෆ්ලෝරන්ස් නුවර ගැලරියාඩෙල් ඇකඩමිය තුළ තැන්පත් කර තිබෙන්නේ මහජන ප්‍රදර්ශනය සඳහා යි. 

ඩේවිඩ් ප්‍රතිමාව (gettyimages)

පියෙටා ප්‍රතිමාව 

කිරිගරුඬ යොදාගෙන නිර්මාණය කර තිබෙන මෙම ප්‍රතිමාවෙන් නිරූපණය වන්නේ ජේසුස්වහන්සේගේ අප්‍රාණික සිරුර මරිය මව්තුමිය විසින් සිය උකුලෙහි හොවාගෙන සිටින ආකාරය යි. පූර්ණ උන්නත ශිල්පීය ක්‍රමය අනුව නෙලා තිබෙන මෙම මූර්තිය තැන්පත් කර ඇත්තේ රෝමයේ ශාන්ත පීතර දෙව්මැඳුර තුළ යි. ජේසුස් වහන්සේ අප්‍රාණිකව වැතිර සිටින ආකාරය සහ මරිය මව්තුමියගේ ශෝකී ස්වරූපය මනාව නිරූපණය කර තිබෙන්නේ ශිල්පියා සතුව තිබුණු විශිෂ්ට හැකියාව නිසා යි.

පියෙටා ප්‍රතිමාව (gettyimages)

ඉහත සඳහන් කළ සිතුවම් දෙකට අමතරව ආන්ජලෝ  විසින් නිර්මාණය කළ  ප්‍රසිද්ධ මූර්ති කිහිපයක නම් පහත දක්වා තිබෙනවා.

1) මෝසෙස් 

2) මිය යන වහලා 

3) කැරලිකාර වහලා 

4) බෘගස්හි මරිය මව්තුමිය 

5) අරුණෝදය 

6) බැඳ දමා ඇති වහලා 

7) ඌර්බිනෝහී ආදිපාදවරයා 

රෆායෙල් සැන්ටි 

1483 වසරේ දී උපත ලැබූ රෆායෙල් සැන්ටි නම් චිත්‍ර ශිල්පියා කන්‍යා මරියතුමිය සහ ජේසු බිළිඳුන් දැක්වෙන මැඩෝනා චිත්‍ර ඔහුටම ආවේණික වුණු ශෛලයකින් සිතුවමට නැගුවා. තෙල් සායම් මාධ්‍යයෙන් කැන්වසය මත ඇඳි මෙම සිතුවම්වල ත්‍රිමාණ ලක්ෂණ, මානව දේහයේ කායික සුන්දරත්වය සහ  වස්ත්‍රවල සුන්දරත්වය හොඳින් මතුකර තිබෙනවා. එසේම මරිය තුමියගේ කරුණාවන්ත බව, සෙනෙහස වැනි ගුණාංගත් ජේසු බිළිඳුගේ මොළකැටි බවත් මැඩෝනා චිත්‍රවල දී අපූරුවට සිතුවමට නගා තිබෙන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. මැඩෝනා චිත්‍රවලට අමතරව රෆායෙල් කළ උසස්ම නිර්මාණය වුණේ ඇතන්ස් ගුරුකුලය නම් සිතුවම යි.

ඇතන්ස් ගුරුකුලය 

මෙම සිතුවම ස්ටැන්සා ඩෙලා සිගන්චුරා නම් ගොඩනැගිල්ලේ බිත්තියක් මත ප්‍රෙස්කෝ සිකෝ නම් ශිල්පිය ක්‍රමය භාවිතා කරමින් ඇඳ තිබෙනවා. පැරණි ඇතන්ස් ගුරුකුලය නිරූපනය වන මෙම සිතුවමෙහි ප්ලේටෝ, ඇරිස්ටෝටල් වැනි දාර්ශනිකයන් දක්නට ලැබෙනවා. ඔවුන් වාද විවාදවල පැටලී සිටින ආකාරය සිතුවම දෙස බැලීමේ දී නිරීක්ෂණය කළ හැකියි. වාස්තු විද්‍යාත්මක අවකාශය මත රූප සම්පිණ්ඩනය කිරීම නම් අපූරු හැකියාව පෙන්වන මෙම සිතුවම පුනරුද යුගය තුළ නිර්මාණය වුණු විශිෂ්ටතම සිතුවම් කිහිපය අතරට අයත් වනවා.

ඇතන්ස් ගුරුකුලය (gettyimages)

කවරයේ ඡායාරූපය- ඩාවින්චි විසින් මොනලිසා අඳින ආකාරය දැක්වෙන සිතුවමක් (gettyimages)

මූලාශ්‍රයයන්- යුරෝපා ඉතිහාසය- අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

Related Articles