බටහිර වැසියන්ට අලි ඇතුන් ගැන දැන ගැනීමට ලැබුණේ ක්‍රිස්තු පූර්ව 331 දී පමණ වුව ද ආසියානු සහ අප්‍රිකානු ජාතිකයන් අලි ඇතුන් හීලෑ කිරීමේ කලාව ප්‍රගුණ කර තිබුණේ සහස්‍ර කිහිපයක සිට යි. වත්මන් පකිස්ථානය ආශ්‍රිත ප්‍රදේශයේ දී පෞරාවස් රාජධානියේ (ඉන්දියාවේ වයඹ දිග ප්‍රදේශය) පාලකයා ව සිටි පුරුෂෝත්තම් හෙවත් පෝරුස්, මහා ඇලෙක්සාන්ඩර් අධිරාජ්‍යයාට එරෙහි ව සටන් බිමට පිවිසුණු අවස්ථාව දී ඔහු සතු ව 100,000 ක හස්ති සේනාවක් සිටි බව යි ඉතිහාසයේ සඳහන් වන්නේ. මේ ලිපිය එසේ අපරදිග පුරාවෘත්තයන්ට එක් වූ අලි ඇතුන් පිළිබඳ ව පමණක් නොව ජගත් ඉතිහාසය ලේඛන ගත කිරීම ඇරඹුණු දිනයේ පටන් ලෝක වාසීන්ගේ මතකයේ සිය නාමයන් සනිටුහන් කළ ඇත් රජුන් කිහිප දෙනෙකු පිළිබඳ ව යි.

පිරස් රජුගේ ඇත් සේනාව

© The Print Collector /Print Collector / Getty Images

මහා ඇලෙක්සාන්ඩර් අධිරාජ්‍යයා විසින් අලි ඇතුන් පිළිබඳ ව බටහිර ලෝකයට හෙළිදරව් කිරීමෙන් පසු ව බොහෝ රජවරුන් තමන්ගේ හමුදාව සඳහා අලි ඇතුන් එක් කර ගැනීමට උනන්දුවක් දක්වා තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ 279 දී පමණ ග්‍රීක සේනාධිපතියෙක් සහ මොලොසියන්වරුන්ගේ රජු වූ පිරස්, ගණනින් 20 ක් වූ ඇත් සේනාවක් ද සමග දකුණු දිග ඉතාලිය අක්‍රමණය කිරීමට උත්සාහ කර තිබෙනවා. දළ ඇතුන් යොදා ගනිමින් රෝම යුද භටයින් ව බිය ගැන්වීමට පිරස් රජු බලාපොරොත්තු වුව ද සත්‍ය වශයෙන් ම අක්‍රමණයේ වාසිය ඔහු වෙත හිමි වී ඇත්තේ ඔහුගේ ඇත් සේනාව රෝම යුද භටයින්ගේ මාර්ගය අවහිර කිරීම හේතුවෙන්.

හැනිබල් සමග ඇල්ප්ස් කඳුවැටිය තරණය කළ සූරස්

© Gianni Dagli Orti / Corbis

ලෝක ඉතිහාසයේ නම රැඳ වූ විශිෂ්ට රණශූරයෙකු වන කාතජිනියන් සේනාධිපති හැනිබල් බාකා වඩාත් ජනප්‍රිය වුණේ ක්‍රිස්තු වර්ෂ 218 දී ඉතාලිය අක්‍රමණය කිරීමෙන් පසු ව යි. ඇල්ප්ස් කඳුවැටිය තරණය කළ ඉතාලියට ළඟා වූ ඔහු සතු ව ප්‍රබල පාබල හමුදාවක්, අශ්වාරෝහක බලඇණියක් සහ ප්‍රමාණයෙන් ආසියානු සහ අප්‍රිකානු අලින්ට වඩා කුඩා උතුරු අප්‍රිකානු වන අලි සේනාවක් සිටි බව සඳහන් වෙනවා. හැනිබල් බාකා සමග ඇල්ප්ස් කඳුවැටිය තරණයට එක් වූ අලි ඇතුන් අතරින් ජීවිතය බේරා ගැනීමට සමත් වී ඇත්තේ අලි ඇතුන් 6 දෙනෙකු පමණක් වන අතර එයින් 5 දෙනෙකු එළැඹුණු සිසිරයේ දී මිය ගොස් තිබෙනවා. ඉතුරු වූ සත්ත්වයා නිරතුරු ව ම හැනිබල් බාකා ව ප්‍රවාහනය කළ තනි දළ ඇතෙකු වූ අතර ඔහුට නම් තබා ඇත්තේ සූරස් ලෙස යි.

ලක්දිව එක්සේසත් කිරීමට උර දුන් කණ්ඩුල

© Prasanna Weerakkody

එළාර රජුට එරෙහි ව දුටුගැමුණු රජු සමග සටන් බිමට බට කණ්ඩුල ලක් ඉතිහාසයේ නොමැකෙන නාමයක් බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. දුටුගැමුණු රජු උපන් දිනයේ ම උපන් කණ්ඩුල ක්‍රිස්තු පූර්ව 161 දී පමණ ඇති වූ විජිතපුර සටනේ දී තමන්ගේ පිට මතට හලන ලද උණු තාර හේතුවෙන් ඇති වූ දරුණු වේදනාව දරා ගනිමින් සතුරු බලකොටුවේ ආරක්ෂිත ද්වාරය කඩා දමන ලද බව යි ඓතිහාසික මූලාශ්‍රයන් හි සඳහන් වන්නේ. එසේ ම දුටුගැමුණු රජු සහ එළාර රජු අතර ඇති වූ අවසන් සටනේ දී එළාර රජුගේ හස්තියා වූ  මහා පබ්බත ඇතා ව පරාජය කිරීමට කණ්ඩුල සමත් වී තිබෙනවා.

මක්කම නගරය ආරක්ෂා කළ මහමුද්

© University of Notre Dame

ඉස්ලාම් දින දසුනේ පළමු වර්ෂය හෙවත්  ක්‍රිස්තු වර්ෂ 622) ලෙස සැලකෙන්නේ මුහම්මද්තුමා මක්කම සිට මෙඩීනා බලා සංක්‍රමණය වූ වසර යි. නමුත් එයින් වසර 52 කට පෙර මුහම්මද්තුමාගේ උපත සිදු වූ වර්ෂය ඉස්ලාම් බැතිමතුන් විසින් ‘හස්තියාගේ වර්ෂය’ ලෙස හඳුන්වනු ලබනවා. එයට හේතු වන්නේ යේමනය​ පාලනය කළ කිතුනු රජු ඇත් සේනාවක් ද සමග පැමිණ එම වර්ෂයේ දී මක්කම නගරය ආක්‍රමණය කර කාබා පල්ලිය විනාශ කිරීමට උත්සාහ කළ ද ඔහුගේ නායක හස්තියා වූ මහමුද් මක්කම නගර සීමාවේ නතර ව නගරයට ඇතුළු වීම ප්‍රතික්ෂේප කිරීම යි.

චාල්මේන් රජුගේ අබ්දුල්-අබ්බාස්

© Charlotte M. Yonge

ශුද්ධ වූ රෝම අධිරාජ්‍යයේ පළමු වැනි අධිරාජ්‍යයා ලෙස සැලකෙන චාල්මේන් රජුට අබ්බාසිද් රාජ්‍යයේ කලීෆා ලෙස කටයුතු කරන ලද  හරුන්-අල්-රාෂීඩ් විසින් තෑගි කරන ලද හස්තියා, අබ්දුල්-අබ්බාස් ලෙස නම් කර ඇත්තේ අබ්බාසිද් රාජ්‍යයේ ප්‍රාරම්භකයාගේ නාමයෙන්. ක්‍රිස්තු වර්ෂ 801 දී යුදෙව් වෙළෙන්දෙකු මාර්ගයෙන් අබ්දුල්-අබ්බාස් ව චාල්මේන් රජු වෙත එවා ඇත්තේ රාජ්‍යයන් අතර හොඳහිත වර්ධනය කිරීමේ අරමුණ ඇති ව යි. පසු ව ක්‍රිස්තු වර්ෂ 804 දී රෝම අධිරාජ්‍යය සහ ඩෙන්මාර්කය අතර ඇති වූ සටන සඳහා චාල්මේන් රජු අබ්දුල්-අබ්බාස් ව සහභාගී කරවාගෙන තිබෙනවා.

නමක් අහිමි තෙවැනි හෙන්රි රජුගේ හස්තියා

© Matthew Paris

ක්‍රිස්තු වර්ෂ 1207 – 1272 කාලයේ දී එංගලන්තය පාලනය කළ තෙවැනි හෙන්රි රජුට ත්‍යාග ලෙස සතුන් කිහිප දෙනෙකු හිමි වූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. රෝම අධිරාජ්‍යයා වූ දෙවැනි ෆ්‍රෙඩ්රික් ඔහුට ඔටුවෙකු තෑගි කර ඇති අතර නෝර්වේ හි රජුගෙන් ඔහුට හිමි වී ඇත්තේ හිම වලසෙක්. නමුත් තෙවැනි හෙන්රි රජු වඩාත් ම අගය කළ ත්‍යාගය වන අප්‍රිකානු අලියා ව ඔහුට තෑගි කර ඇත්තේ ප්‍රංශයේ නව වැනි ලුවී රජු යි. තෙවැනි හෙන්රි රජු අලුතෙන් ලද හස්තියා වෙනුවෙන් ලන්ඩන් නුවර මධ්‍යයේ අඩි 40 ක් දිග අඩි 20 ක් ගැඹුරෙන් යුතු කුටියක් තනවා ඇති අතර ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු සහ පූජකයෙකු වූ මැතිව් පැරිස් හස්තියා ව සිතුවමට ද නගා තිබෙනවා. නමුත් වසර දෙකක කාලයක් ලන්ඩනයේ වාසය කිරීමෙන් පසු ව තෙවැනි හෙන්රි රජුගේ හස්තියා මිය ගොස් ඇත්තේ අධික ලෙස රතු වයින් පානය කිරීම හේතුවෙන්.

පාප් වහන්සේගේ සුරතලා : හැනෝ

© Smithsonian Magazine

ක්‍රිස්තු වර්ෂ 1514 දී පෘතුගීසි දේශ ගවේෂක ට්‍රිස්ටන් ද කූන්යා රෝමය බලා පැමිණෙන්නේ වටිනා වස්තු සම්භාරයක් ද රැගෙන යි. ඒ අතරේ රන්වන් නූලෙන් ගෙත්තම් කරන ලද පට රෙද්දකින් සැරසූ සුදු පැහැ ආසියානු අලියෙක් සිටි බව සඳහන්. එවකට පෘතුගාලයේ පාලකයා වූ පළමු වැනි මැනුවල් රජු හැනෝ ලෙස නම් කරන ලද හස්තියා ව දස වැනි ලියෝ පාප් වහන්සේට තෑගි කර තිබෙනවා. ඒ ශුද්ධ වූ රෝම අධිරාජ්‍යය සමග පැවති බිඳ වැටුණු සබඳතා යළිත් යථා තත්ත්වයට පත් කර ගැනීමේ අරමුණෙන්. පාප් වහන්සේගේ නොමද ආදරය දිනා ගත් හැනෝ වයස අවුරුදු හතක් ව තිබිය දී මිය ගිය අතර පාප් වහන්සේ විසින් සුදු ඇතාගේ සමරු සිතුවමක් නිර්මාණය කරන ලෙස ප්‍රකට ඉතාලි චිත්‍ර ශිල්පියෙකු වූ රෆායෙල්ගෙන් ඉල්ලා සිටි බව යි සඳහන් වන්නේ.

ඉංග්‍රීසි බසට නාම විශේෂණයක් හඳුන්වා දුන් ජම්බෝ

© Pinterest

19 වැනි සියවසේ ජනප්‍රිය ම අලියාට හිමි සම්මානය නිතැතින් ම හිමි වන්නේ ජම්බෝට යි. 1861 වසන්තයේ දී මාලි රාජ්‍යයේ දී අල්ලා ගන්නා ලද ජම්බෝ ව පළමු ව ප්‍රංශ සත්ත්වෝද්‍යානයට භාර දී ඇති අතර පසු ව ලන්ඩන් සත්ත්වෝද්‍යානයට භාර දී තිබෙනවා. අඩි 7 ක් පමණ උස ටොන් 7 ක් පමණ බරින් යුතු ජම්බෝ කෙටි කලකින් ම කුඩා දරුවන් අතර ජනප්‍රිය වූ අතර පසු ව ලන්ඩන් නගර වාසීන් ව දැවැන්ත දේවල් ජම්බෝ සමග සැසඳීම පුරුද්දක් කර ගත් බව සඳහන්. කෙසේ හෝ 1882 වර්ෂයේ දී ලන්ඩන් සත්ත්වෝද්‍යානය, ජම්බෝ ව ඇමෙරිකානු ඩොලර් 10,000 ක මුදලකට ඇමෙරිකානු ජාතික පී. ටී. බානම්ට අලෙවි කර ඇති අතර ඉන් පසු ව 1885 දී රිය අනතුරකින් මිය යන තුරු ම ජම්බෝ බානම් සහ බේලි සර්කස් කණ්ඩායම වෙනුවෙන් සේවය කර තිබෙනවා.

දෙවැනි ලෝක සංග්‍රාමයේ දී සටන් වැදුණු ලින් වෑන්ග්

© Wikimedia Commons

1942 වර්ෂයේ දී ජපානය විසින් බුරුමය ආක්‍රමණය කර ඇත්තේ මහා මාර්ග තැනීමේ කටයුතු සඳහා යොදා ගත හැකි අලි ඇතුන්ගේ අයිතිය තමන් වෙත පවරා ගනිමින්. වසරකට පසු ව චීන කාර්ය සාධක හමුදාව ද බුරුමයෙන් අලි ඇතුන් 13 දෙනෙකු රැගෙන ගොස් තිබෙනවා. දෙවැනි ලෝක සංග්‍රාමයේ දී සටන් වැදුණු මෙම අලි ඇතුන් අතරින් තිදෙනෙකු තායිවානය වෙත රැගෙන ගොස් ඇති අතර තෙවසරකට පසු ඉතුරු වී ඇත්තේ එකි අලියෙකු පමණ යි. ලින් වෑන්ග් ලෙස නම් කරන ලද ඔහු 1954 දී තායිපේ සත්ත්වෝද්‍යානය වෙත භාර දී ඇති අතර වසර 86 ක් දිවි ගෙවීමෙන් අනතුරු ව 2003 වර්ෂයේ දී ලින් වෑන්ග් මිය ගියා.

කවරයේ පින්තූරය : © Pinterest