මැජික්කාරයාගේ කතාව – ජෝර්ජස් මෙලියස්

විශේෂ ප්‍රයෝග (Special Effects) කියන්නෙ තව දුරටත් සිනමා, රූපවාහිනී මාධ්‍යය ඇතුළෙ ‘මැජික් එකක්’ නෙමෙයි. තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ වෙනකොට රූප මාධ්‍යය හරහා කරන්න බැරි දෙයක් නැති තරම්. හැබැයි සිනමාවේ ආරම්භක අවධිය ගැන කතා කළොත්, ඒ යුගයේ එහෙම දෘෂ්‍ය ප්‍රයෝග මැවීම ඒ තරම් පහසු කටයුත්තක් වුණේ නැහැ. ගොඩක් අයට දෘෂ්‍ය ප්‍රයෝග ගැන පැහැදිළි අදහසක් තිබුණෙත් නැහැ. වැඩි දෙනෙක් කළේ සිදුවීම් ඒ ආකාරයෙන්ම පටිගත කිරීම.

හැබැයි අතරින් පතර හිටපු දියුණු පරිකල්පන ශක්තියක් සහිත, නිර්මාණශීලී මිනිස්සු හරිම ඉක්මණින් තේරුම් ගත්තා සිනමා කැමරාව කියන්නෙ මොනවගේ ‘මැජික් පෙට්ටියක්ද’ කියන කාරණය ගැන. චලන චිත්‍රයේ මායාමය ස්වරූපය සහ ඒ තාක්ෂණය යොදාගනිමින් කරන්න පුළුවන් අසීමිත දෘෂ්‍ය ප්‍රයෝග ගැනත් හොඳින්ම වටහාගත්ත ඒ වගේ පුරෝගාමී සිනමාකරුවෙක් ගැනයි මේ සටහන.

මුල්යුගයේ සිනමාව සහ මැජික් අදහස්

සංස්ලේශී කලා මාධ්‍යයක් විදියට අනිත් ගොඩක් කලාවන් එක්ක මුහු වෙමින් වේගවත් ගමනක් ආව සිනමාව මේ වෙනකොට තියෙන්නෙ ඉතාම දියුණු තැනක. ආර්ථිකයට, දේශපාලනයට වගේම සමස්ත සමාජයටම දැනෙන බලපෑමක් කරන්න පුළුවන් මේ කලාව ඇරඹෙන්නෙ සිනමා කැමරාව කියන ඉන්ද්‍රජාලික සොයාගැනීමත් එක්ක. ජෝර්ජ් ඊස්ට්මන්, එඩ්වඩ් ම්‍යුබ්‍රිජ්, තෝමස් අල්වා එඩිසන් සහ ලුමියර් සහෝදරවරු ඇතුළු ගොඩක් අය කරපු අත්හදාබැලීම් හැම එකක්ම චලන චිත්‍රයේ ගමන වේගවත් කළා.

හැබැයි මුල් කාලීනව මේ තාක්ෂණය යොදාගැනුණේ ඉතාමත් සරල අරමුණක් සහ ක්‍රියාකාරිත්වයක් ඇතුව විතරයි. රූගත කරපු දර්ශනවල වුණත් තිබුණෙ නෑ ඒ තරම් විශේෂත්වයක්. හැමෝටම වුවමනා වුණේ යමක් පෙන්වීම. හැබැයි ප්‍රේක්ෂකාගාරය කැමති වුණේ නැහැ දිගින් දිගටම එකම දේ, එකම විදියට දකින්න. එයාලට වෙනසක් ඕන වුණා.

මෙන්න මේ වගේ වටපිටාවක තමයි එක්තරා ප්‍රංශ ජාතිකයෙකුට තමන්ගේ වෘත්තිය සහ චලන චිත්‍රය එකතු කිරීම හරහා මොනතරම් දේවල් කරන්න පුළුවන්ද කියන කාරණය ගැන අපූරු අදහසක් පහළ වෙන්නෙ. අදහසක් විදියටම වැළලිලා යන්න නොදී මේ පුද්ගලයා තමන්ගෙ ඒ හීනය හැබෑවක් බවට පත්කරගන්න මහන්සි වෙනවා.

imdb.com

සිනමාවේ ආරම්භක අවධියේ පුරෝගාමී සිනමාකරුවෙක් විදියට සැලකෙන මේ පුද්ගලයා තමයි ජෝර්ජස් මෙලියස් (Georges Melies). වෘත්තියෙන් මැජික් ශිල්පියෙක් විදියට කටයුතු කරපු එයා තේරුම් ගන්නවා කැමරාව කියන්නෙත් කෙළවරක් නැති දෘෂ්‍ය ප්‍රයෝග මැවිය හැකි ඉන්ද්‍රජාලික උපකරණයක් බව.

මෙලියස්ගේ ඉන්ද්‍රජාල

නම සම්පූර්ණව කිව්වොත් මරියසි ජෝර්ජස් ජීන් මෙලියස් (Maries Georges Jean Méliès) නම් වන මොහු සිනමාවට පිවිසෙන්න ප්‍රධානම හේතුව තමයි ලුමියර් සහෝදරවරුන්ගේ Cinématographe කියන මැජික් පෙට්ටිය නිසා එයාගෙ හිතේ ඇති වූ උනන්දුව. 1895 දෙසැම්බර් 28 වෙනිදා ප්‍රංශයේදී ඒ ප්‍රාථමික සිනමා කැමරාව සහ ප්‍රක්ෂේපණ යන්ත්‍රය හඳුන්වා දෙන මොහොතේ එතන හිටපු ප්‍රේක්ෂකයෙක් තමයි මෙලියස්.

රොජර් මැන්වෙල් කියන සිනමා විචාරකයා තමන්ගෙ The Film and The Public කියන කෘතියේ එක තැනක සඳහන් කරන විදියට කලාකරුවෙක් විදියට සලකන්න පුළුවන් මුල්ම සිනමාකරුවා ජෝර්ජස් මෙලියස්. ඇත්තටම එයාට අවශ්‍ය වුණේ කැමරාව භාවිතා කරමින් කිසියම් කතන්දරයක් කීම. එතනදි කැමරාව හරහා නිර්මාණය කරන්න පුළුවන් දෘෂ්‍ය ප්‍රයෝග ගැන ටිකක් වැඩි විශ්වාසයක් තියපු මෙලියස් විවිධ පර්යේෂණ, අත්හදාබැලීම් හරහා ගොඩක් දේවල් සිනමාවට එකතු කරනවා. දර්ශනයක් රූපගත කරමින් ඉන්න අතරවාරයේ කැමරාව නැවැත්වීම සහ නැවත ධාවනය කිරීම, ද්විත්ව අනාවරණය, multiple exposure, Stop motion, Slow motion, Dissolve, Super imposition වගේ උපක්‍රම හරහා මිනිස්සු හිටිහැටියේ ප්‍රාදූර්භූත කිරීම, අතුරුදන් කිරීම, සත්තු මිනිස්සු කිරීම, මිනිස්සු සත්තු කිරීම වගේ නානාප්‍රකාර මැජික් පෙන්නපු මෙලියස්ගේ චිත්‍රපටවලට මුල්කාලෙ ලැබුණෙ ලොකු ජනප්‍රියත්වයක්.

නිර්මාණ අතරින් වඩාත් ජනප්‍රිය වුණු චිත්‍රපටයක් විදියට Trip to the Moon (1902) හඳුන්වන්න පුළුවන්. ජුල්ස් වර්න්ගේ විද්‍යා ප්‍රබන්ධයක් ඇසුරෙන් නිර්මාණය වුණු ඒ චිත්‍රපටය හරහා මෙලියස් කියන්නෙ මොන තරම් විශිෂ්ඨ පරිකල්පනයක් තිබුණු මනුස්සයෙක්ද කියන කාරණය හොඳින්ම පිළිබිඹු වෙනවා. සිනමා තාක්ෂණය ඉතාම ප්‍රාථමික මට්ටමක තිබුණු 1902 තරම් ඈත කාලයක ඒ වගේ නිර්මාණයක් එච්චර දියුණු විදියට කිරීම සුළුපටු වැඩක් නෙමෙයි.

imdb.com

ඒ චිත්‍රපටයට අමතරව 1899 – 1912 අතර කාලයේ The Voyage Across the Impossible, The Conquest of the Pole වගේ තවත් චිත්‍රපට 400 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කරන්න මෙලියස් සමත් වෙනවා. යථාර්ථය වාර්තා කිරීමෙන් එහා තැනකට සිනමාව ගෙන යෑමේ පුරෝගාමියා විදියටයි අපට එයාව හඳුන්වන්න වෙන්නෙ. චලන චිත්‍රයේ තියෙන ඉන්ද්‍රජාලික බව මුල්ම වතාවට නිර්මාණයක් ඇතුළට ගේන්නෙ මෙලියස්.

තරගකාරී සිනමාව සමග

මුල්කාලීනව අතිශය ජනප්‍රිය වුණත් ටිකෙන් ටික මෙලියස්ගේ සිනමාවට තිබුණු ඉල්ලුම අඩුවෙන්න පටන් ගන්නවා. ඒකට ප්‍රධානම හේතුව තමයි චිත්‍රපට කර්මාන්තය ඇතුළෙ සීග්‍රයෙන් වර්ධනය වුණු දැවැන්ත තරගය. ‘Star Films’ නමින් තමන්ගෙම චිත්‍රපට නිෂ්පාදන සමාගමක් පවා ආරම්භ කළත් ඒ කිසි දෙයක් දිගටම පවත්වාගෙන යන්න මෙලියස්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ඔය අතරෙ දැවැන්ත වාණිජ රැල්ලක් එක්ක හැප්පෙන්නත් එයාට සිද්ධවෙනවා. යහමින් සල්ලි ගැවසෙන කර්මාන්තයක් දවසින් දවස තරගකාරී වීම වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේ තරගයක් ඇතුළෙ මෙලියස් වගේ කලා ශිල්පීන්ගේ පැවැත්ම අර්බුදයට යෑම අනිවාර්ය තත්ත්වයක්.

imdb.com

කොහොම වුණත් මෙලියස්ගේ ජීවිතේ අවසාන භාගය ගෙවෙන්නෙ තරමක් කණගාටුදායක විදියට. ඒක හරියට සිනමා කර්මාන්තය ඇතුළු සමස්ත කලාවන්ට මේ මොහොතේ අත්විඳින්න සිද්ධවෙලා තියෙන යථාර්ථය පෙන්වන කැඩපතක් වගේ. අතිශය ජනප්‍රිය සිනමාකරුවෙක් විදියට වැජඹුණු එයාට පස්සෙ කාලෙක සිද්ධවෙනවා පුංචි වෙළඳසැලක සේවකයෙක් විදියට වැඩකරන්න. මෙලියස් ගැන උනන්දුවෙන කෙනෙකුට බලන්න වටින නිර්මාණයක් විදියට Le grand Méliès (1952) කියන වාර්තා චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. මෙලියස්ගේ පුතා තමයි ඒ චිත්‍රපටයෙ මෙලියස්ගේ චරිතයට පණදෙන්නෙ.

1861 දෙසැම්බර් 08 පැරිසියේ ඉපදිලා 1938 ජනවාරි 21 වෙනිදා තමන්ගෙ දිවිගමන කෙළවර කරන මෙලියස්, සිනමාවේ පුරෝගාමියෙක් විදියට හැඳින්වෙන ප්‍රධානම සාධකය තමයි එයා තමන්ගෙ නිර්මාණ ඇතුළෙ මුදාහැරපු අසීමිත පරිකල්පන ශක්තිය. ඒවා තාක්ෂණික හරඹ විතරයි කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. හැබැයි අතිශය ප්‍රාථමික තාක්ෂණයක් එක්ක ඔට්ටු වෙන අතරෙම ඒ වගේ නානාප්‍රකාර අදහස් ගොන්නක් එක්කත් වැඩ කරන එක පහසු කටයුත්තක් නෙමෙයි. මෙලියස් ජීවත්වුණු, චිත්‍රපට හදපු යුගයට සාපේක්ෂව කල්පනා කරල බලද්දි අපට දැනෙනවා එයා කරපු දේවල් සුළුපටු නොවෙන බව.

කවරයේ රූපය : imdb.com

මූලාශ්‍ර :

සිනමාව හා ජන සමාජය – රොජර් මැන්වෙල් (පරිවර්තනය එම්.ඩී. මහින්දපාල)

ලෝකයේ ශ්‍රේෂ්ඨ සිනමා නිර්මාණ – සුනිල් මිහිඳුකුල

https://www.britannica.com/biography/Georges-Melies

https://www.imdb.com/name/nm0617588/?ref_=nmbio_bio_nm

http://www.melies.eu/English.html

Related Articles