Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොසාඩ් සංවිධානය විසින් නාසි ඇඩොල්ෆ් අයික්මාන් සොයාගැනීම

සියල්ල ඇරඹුණේ ඒ හමුවීමත් සමඟිනි.

“”ඔයාගෙ නම මොකක්ද?” ගැහැණු ළමයා විමසුවා ය.

“නිකලස්,”  පිරිමි ළමයා හිනැහුණි. “”ඒත් මගෙ යාළුවො මට කතා කරන්නේ නික් කියලා. නික් අයික්මාන්!”


අන්ධ යුදෙව්වාගේ දියණිය

1957 අග භාගයේ දී එවකට මොසාඩ් රහස් ඔත්තු සේවයේ ප්‍රධානි අයිසර් හැරෙල්ට ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් නගරයෙන් පණිවුඩයක් ලැබුණි. ඉන් කියැවුණේ ජර්මනියේ හේස් හි නීතිපතිවරයා ලෙස කටයුතු කරන ආචාර්ය ෆ්‍රිට්ස් බවර් යම් රහසිගත තොරතුරක් මොසාඩ් සංවිධානය වෙත හෙළිදරව් කිරීමට බලාපොරොත්තුවන බවයි.

අයිසර් හැරෙල්/Haaretz

යුදෙව්වෙකු වූ ආචාර්ය බවර් 1933 දී නාසි සිර කඳවුරකට යවනු ලැබූ අතර ඉන් ගැලවී පැමිණි පසු යුරෝපය පුරා සැඟවී සිටි නාසි හමුදා ප්‍රධානීන් ලුහුබැඳීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළේ ය. ඔහු පිළිබඳව මැනවින් දත් මොසාඩ් ප්‍රධානියා එම වසරේ නොවැම්බර් මස ඊශ්‍රායල ආරක්ෂක අංශයේ නිලධාරියෙකු ආචාර්ය බවර් හමුවීම වෙනුවෙන් ජර්මනියට යැවීය. දින කිහිපයකට පසු අයිසර්ගේ කාර්යාලයට පැමිණි එම නිලධාරියා අයිසර් මොහොතකට පාෂාණිභූත කරවමින් මෙසේ පැවසී  ය.

ආචාර්ය ෆ්‍රිට්ස් බවර්/Alchetron

“”ඩොක්ටර් බවර් කියනවා ඇඩොල්ෆ් අයික්මාන් ජිවතුන් අතර බව. ඔහු සැඟවී සිටින්නේ ආර්ජන්ටිනාවෙහි ලු.”

මාස කිහිපයකට පෙර ආචාර්ය බවර් වෙත ජර්මන් ජාතික අර්ධ යුදෙව් ජාතිකයෙකුගෙන් ලිපියක් ලැබී තිබුණි.  එහි සඳහන් වූවේ නාසීන්ගේ  ඇද වැටීමෙන් පසු ඇඩොල්ෆ් අයික්මාන් සහ අනෙකුත් නාසි නිලධාරින් සොයා සිය  ජීවිතය කැප කරන ආචාර්ය බවර් පිළිබඳ තමන් අසා ඇති බවත් ඒ නිසා ඇඩොල්ෆ් අයික්මාන් පිළිබඳ තමන් සතුව ඇති තොරතුරක් ආචාර්ය බවර් වෙත ලබා දීමට සූදානම් බවත් ය.

තමන්ගේ දියණිය, සිල්වියා, ජර්මානු ජාතික තරුණයෙකු හා සබඳතාවක් පවත්වන අතර එම තරුණයාගේ නම නිකලස් අයික්මාන් බව ඔහු එම ලිපියෙන් දැනුම් දුනි. වාසගම අනුව එම තරුණයා ඇඩොල්ෆ් අයික්මාන්ට ඥාතිත්වයක් දරන්නෙකු විය හැකි බවට තමා සැක කරන බව ඔහු පවසා තිබුණි. එම තරුණයා ඔස්සේ ගොස් අයික්මාන් සැඟවී සිටින ස්ථානය අනාවරණය කරගැනීමට යම් ඉඩක් ඇති බව යුදෙව්වාගේ මතය විය.

ඇඩොල්ෆ් අයික්මාන්/Getty Images

ඇඩොල්ෆ් අයික්මාන් යනු හිට්ලර්ගේ, යුදෙව්වන්ට එරෙහිව ක්‍රියාත්මක කෙරුණු ‘’අවසන් විසඳුමට” සෘජු සම්බන්ධකම් දැක්වූ නාසි නිලධාරියෙකි. නාසි හමුදාව තුළ එතරම් ප්‍රබල තනතුරක් නොදැරුවේ වුවද යුදෙව්වන් හඳුනාගැනීම සඳහා කහපාට තරුවක් පැළඳ සිටීම අනිවාර්යය කිරීමේ අදහස පැමිණියේ ඔහු භාරව සිටි දෙපාර්තමේන්තුව හරහා ය. “අවසන් විසඳුම”  ක්‍රියාත්මක කිරීමේ අදහස අනුමත වූ 1942 වැනිස් සමුළුව එම තීරණය ගනු ලැබුවේ මෙම දෙපාර්තමේන්තුව විසින් සැපයූ තොරතුරු ප්‍රයෝජනයට ගනිමිනි.

නොසැලකිල්ල සහ මගහැරීම

නාසි රාජ්‍යයේ ඇද වැටීමත් සමඟ ජර්මනියෙන් අතුරුදහන් වූ අයික්මාන් සොයා ගැනීමට මොසාඩ් සංවිධානය කෙතරම් උත්සාහ දැරුව ද ඔහු සැඟවී සිටින්නේ කොහිද යන්න පිළිබඳ හෝඩුවාවක් ලබා ගැනීමට ඔවුන් අසමත් වී තිබුණි.

අයිමාන්ගේ බිරිඳ වේරා ඔස්ට්‍රියාවේ සිට ආර්ජන්ටිනාව වෙත සංක්‍රමණය වූ බවත්, එහිදී නැවත වරක් විවාහ වූ බවත් ආචාර්ය බවර් පවසා තිබුණි. ඔහුගේ අදහස වූවේ එම දෙවෙනි විවාහය බොරුවක් බවත් ඇය සමඟ සිටින්නේ වෙනත් නමකින් පෙනී සිටින අයික්මාන්ම විය හැකි බවත් ය.

වේරා අයික්මාන්/Getty Images

මේ තොරතුරු ජර්මානු රජය වෙත දැනුම් දීමට ආචාර්ය බවර් කැමැත්තක් දැක්වූවේ නැත. ඒ, එම රජයේ තවමත් තනතුරු හොබවන හිටපු නාසි නිලධාරින් නිසාවෙනි. එමෙන්ම ආර්ජන්ටිනාව වෙතද තොරතුරු ලබා නුදුන්නේ යම් හෙයකින් අදාළ අංශ හරහා ඒ බව අයික්මාන්ට දැනගැනීමට ලැබුණහොත් ඔහු නැවත වරක් පලා යාමේ අවදානම ගැනීමට සිදුවන බැවිනි.

ඊශ්‍රායල් ආරක්ෂක නිලධාරියා වෙත ආචාර්ය බවර් විසින් ලබා දී තිබූ  ලිපිනය වෙත මොසාඩ් ඒජන්තයෙකු යැවීමට අයිසර් හැරෙල් ඊළඟට  කටයුතු කළේ ය. නමුත් එම ඒජන්තවරයා නැවත පැමිණියේ අදාළ ලිපිනයේ ඇති නිවස වැන්නක අයික්මාන් ජීවත්විය නොහැකි බව පවසමිනි. එම නිවස පිහිටා තිබූ දිළිඳු වටාපිටාව සහ නිවසේ දිළිඳු ස්වභාවය එයට හේතුව විය. ඒ අනුව විමර්ශනය තාවකාලිකව අතහැර දැමීමට මොසාඩ් සංවිධානය ක්‍රියා කරන ලදී.

ඉන් මාස කිහිපයකට පසු පිටරට සිට පැමිණි පුද්ගලයෙකු ටෙල් අවිව් පොලිස් විමර්ශන අංශයේ ප්‍රධානියා මුණ ගැසුණි. ජාත්‍යන්තර ආරක්ෂක සමුළුවක් සඳහා ආර්ජන්ටිනාව වෙත ගිය ඔහු ආචාර්ය බවර් වෙත තොරතුරු සැපයූ යුදෙව්වාගේ නිවසට ගොස් තිබුණි. එහිදී තමන් ආචාර්ය බවර්ගේ මිතුරෙකු ලෙස හඳුන්වාදුන් ඔහු අන්ධ යුදෙව්වා  හර්මන්, සහ ඔහුගේ දියණිය සිල්වියා හා කතා බහ කර තිබුණි.

සිල්වියා හර්මාන්/Mossad නිල වෙබ් අඩවිය

එහිදී හර්මාන් නිකලස් අයික්මාන්ගේ පවුල පිළිබඳ වැඩිදුර තොරතුරු සෙවීමට බුවනෝර්ස්  අයර්ස් වෙත යාමට කැමැත්ත පළ කර තිබුණි. අයික්මාන් හඳුනාගැනීම සඳහා ඡායාරූපයක්, ඇඟිලි සලකුණු ආදී දෑ හර්මාන් වෙත ලබා දුන් ඔහු අනතුරුව වෙනත් ඡායාරූපයක් ගෙන එහි හරි අඩක් හර්මාන් වෙත ලබා දුන්නේ එහි ඉතිරී අඩ රැගෙන එන පුද්ගලයාට හර්මාන් සොයාගන්නා සියළුම තොරතුරු සැකයකින් තොරව දැනුම් දෙන ලෙස පවසමිනි.

මාස කිහිපයකට පසු හර්මාන් විසින් අයික්මාන් සැඟවී සිටින බවට සැක කෙරෙන නිවසේ ලිපිනය ඇතුළු වාර්තාවක් මොසාඩ් සංවිධානය වෙත ලැබෙන්නට සැලැස්වූවේ ය. ඒ අනුව අදාළ නිවස ගොඩනගනු ලැබුවේ ෆ්‍රැන්සිස්කෝ ෂ්මිට් නම් ඔස්ට්‍රියන් ජාතිකයෙකු බවත්, ඔහු විසින් එම නිවස ඩගුටෝ සහ ක්ලේමෙන්ට් නම් පවුල් දෙකකට කුලී පදනමින් ලබා දී ඇති බවත් වාර්තාවේ දැක්වුණි. හර්මාන් පවසා සිටියේ ෆ්‍රැන්සිස්කෝ ෂ්මිට් යනු අනන්‍යතාවය සඟවා ගත ඇඩොල්ෆ් අයික්මාන් විය හැකි බවය.

ඒ අනුව ක්‍රියාත්මක වූ අයිසර් හැරෙල් ආර්ජන්ටිනාවේ සිටි මොසාඩ් ඒජන්තයෙකු වෙත හර්මාන්ගේ වාර්තාවේ අඩංගු කරුණුවල සත්‍ය-අසත්‍ය බව පරික්ෂා කරන මෙන් දැනුම් දුන්නේ ය. මොසාඩ් නියෝජිතයා පවසා සිටියේ ෆ්‍රැන්සිස්කෝ ෂ්මිට් යනු ඇඩොල්ෆ් අයික්මාන් නොවන බව ස්ථිර වශයෙන්ම පැහැදිලි බවය.

අනතුරුව හර්මාන්ගේ වාර්තාව විශ්වාසදායී නොවන බව තීරණය කළ හැරෙල් විමර්ශනය නවතාලීමට තීරණය කළේ ය.

අවබෝධය සහ නිසි මගට පිවිසීම

විමර්ශනය අතහැර  දමා වසර එක හමාරකට පමණ පසු ආචාර්ය ෆ්‍රීට්ස් බවර් ඊශ්‍රායලය කරා පැමිණියේ ය. නිසියාකාර විමර්ශනයකින් තොරව අයික්මාන් අල්ලාගැනීමේ මෙහෙයුම අතහැර දැමීම පිළිබඳ කෝපාවිෂ්ට වී සිටි ඔහු මෙවර මුණ ගැසුනේ ඊශ්‍රායල නිතිපති හෙයිම් කොහෙන්ව ය. එහිදී මොසාඩ් සංවිධානයේ නොසැලකිලිමත් බව පිළිබඳව තදින් දොස් පැවරූ ඔහු ඊශ්‍රායල බලධාරීන් නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් තමන් සතුව ඇති තොරතුරු ජර්මානු රහස් ඔත්තු සේවය වෙත ලබා දෙන බවට තර්ජනය කර සිටියේ ය.

වහාම ක්‍රියාත්මක වන පරිදි අයිසර් හැරෙල් සහ ඊශ්‍රායල පොලිසිය, ෂබාක් හි ප්‍රධානී ස්වි අහරෝනි සිය කාර්යාලය වෙතට කැඳවීමට නීතිපතිවරයා තීරණය කළේ ය. එම හමුවේදී ද මොසාඩ් ප්‍රධානියා වෙත තදින් දොස් පැවරූ ආචාර්ය ෆ්‍රිට්ස් ඔහුට ලැබුණ නව තොරතුරක් හෙළි කර සිටියේ ය.

ස්වි අහරෝනි/Alchetron

ඔහු පැවසුවේ ඇඩොල්ෆ් අයික්මාන් ආර්ජන්ටිනාවේ රැඳී සිටින්නේ රිකාඩෝ ක්ලේමෙන්ට් යන නමින් බව ය.

තමන් අතින් සිදුවූ මහා වැරදීම අයිසර් හැරෙල් වටහා ගත්තේ එවිට ය. අයික්මාන් සැබෑවටම ආරක්ශක උපායමාර්ගයක් ලෙස පෙර කී දිළිඳු නිවසේ රැඳී සිටින්නට ඇති බව පැහැදිලි වූ අතර අයික්මාන් යනු පසුව සොයාගත් නිවස තැනූ ෆ්‍රැන්සිස්කෝ ෂ්මිට් නොව, එහි නැවතී සිටි රිකාඩෝ ක්ලෙමෙන්ට් බවත්, වැඩිදුර සොයා බැලීමකින් තොරව විමර්ශනය අත්හිටවීමට තමන් ගත් තීරණය රහස් ඔත්තු සේවාවක ප්‍රධානියෙකු විසින් කිසිසේත්ම සිදු නොකළ යුත්තක් බවත් ඔහු තේරුම් ගත්තේ ය.

ඒ අනුව විමර්ශනය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉදිරියට ගෙන යාමටත්, එහි ප්‍රධානියා ලෙස ෂබාක් ප්‍රධානී අහරෝනි පත්කිරීමටත් හැරෙල් තීරණය කළේ ය.

සොයාගැනීම සහ ලුහුබැඳ යාම

1960 දී බුවනෝර්ස් අයර්ස් වෙත ගොඩ බැසි අහරෝනි එහි සිටි යුදෙව් ජාතිකයෙකු මගින් හර්මාන් විසින් ලබා දුන් ලිපිනයේ තිබූ නිවස පිළිබඳ තොරතුරු ලබා ගැනීමට කටයුතු කළේ ය. ඒ වන විට එම නිවස  අලුත් වැඩියා කෙරෙමින් තිබූ අතර රැඳී සිටියවුන් පිළිබඳ තොරතුරක් නොලැබුණි.

ඉන්පසුව අහරෝනි කළේ තැපැල්කරුවෙකු ලෙස වෙස්වලා ගත් තරුණයෙකු අත රිකාඩෝ ක්ලේමෙන්ට් වෙත ආමන්ත්‍රණය කරමින් පාර්සලයක් එම නිවසට යැවීමය. එහිදී පින්තාරුකරුවන්ගෙන් රිකාඩෝ ක්ලේමෙන්ටි තාවකාලිකව නැවතී සිටින ස්ථානය පිළිබඳ හෝඩුවාවන්  ලබා ගත්තේ ය.

පසුදින දුම්රියෙන් එම ලිපිනයේ වූ ප්‍රදේශයට ගිය අහරෝනි තමන්ට ලැබුණු විස්තර සහ දකින්නට ලැබුණු නිවස සංසන්දනය කරමින් අයික්මාන් නැවතී සිටින්නේ එම ස්ථානයේම බැව් තහවුරු කරගත්තේ ය.

විමර්ශනය නැවතත් නියම මාර්ගයට පිවිසුණි!

අයික්මාන්ගේ නිවාස සහ අවට ප්‍රදේශය ගැන දක්වමින් පිළියෙළ කළ සිතියම/Mossad Archives

ඇමරිකානු සමාගමක නියෝජිතයෙකු සේ වෙස්වලාගත් අහරෝනි ක්ලෙමෙන්ට් නිවසට ගොස් එහි සිටි කාන්තාව, අයික්මාන්ගේ බිරිඳ වේරා සමඟ කතා බහ කළේ ය. මේ ගමන්වලදී නිවසේ පිට, ඇතුළ මෙන්ම ඔහු යන විට නිවසේ සිටි අයගේ ඡායාරූප විවිධ කෝණයන්ගෙන් ගැනීමට ඔහු සමත් විය.

තීරණාත්මක දිනය වූවේ 1960 මාර්තු 21වන දා ය. අයික්මාන් යුවළගේ විවාහ සංවත්සරය එදිනට යෙදී තිබුණ බැවින් එය සැමරීමට අයික්මාන් නිවසට පැමිණෙනු ඇති බව අහරෝනි විශ්වාස කළේ ය. එය සැබෑවක් බවට පත්කරමින් එදින නිවසට ගිය විට ගෙමිදුලේ සක්මන් කරමින් සිටි හීන්දෑරි, සාමාන්‍ය උසක් ඇති, මුඩු හිසැති උපැස් යුවළක් පැළඳි පුද්ගලයෙකු විය. අයික්මාන්ගේ බාහිර පෙනුම පිළිබඳ අහරෝනි සතුව තිබූ විස්තර මෙම මිනිසාගේ හැඩරුව හා අකුරටම ගැලපුණි.

එදිනම ඊශ්‍රායලයේ අගමැති ඩේවිඩ් බෙන් ගුරියන් වෙත ගිය අයිසර් හැරෙල් අයික්මාන් සිටින ස්ථානය සොයාගැනීමට අහරෝනි සමත් වී ඇති බව දැනුම් දුන්නේ ය.

“මොන විදිහකින් හරි, ඒ කියන්නෙ පණපිටින් හරි මරාදමල හරි ඔහුව ඊශ්‍රායලයට ගෙනෙන්න.” බෙන් ගුරියන්ගේ ක්ෂණික ප්‍රතිචාරය එය වූ අතර මදක් කල්පනා කළ ඔහු අනතුරුව, “එක්කෝ ඔහුව පණපිටින් ගෙනෙන්න පුළුවන් උත්සායහක් දරන්න. අපේ තරුණ පරපුරට ඒක විශේෂ දෙයක් වේවි,’ යි පැවසුවේ ය.

දොළහක්

මේ තහවුරු කිරීමෙන් පසු අයිසර් හැරෙල්ගේ කාර්යය වූවේ අයික්මාන් ගෙන ඒමේ මෙහෙයුම වෙනුවෙන් කණ්ඩායමක් සකසා ගැනීම ය. එම කණ්ඩායමට මොසාඩ් නියෝජිතයන් 12 දෙනෙකු ඇතුළත් විය. ඔවුන් සියල්ලන්ම ස්වේච්ඡාවෙන් මෙහෙයුම සඳහා ඉදිරිපත් වූ අතර වැඩි දෙනා යුදෙව් සංහාරයෙන් දිවි ගලවා ගත් අය වූවෝ ය.

මෙම කණ්ඩායමට ව්‍යාජ ලියකියවිලි සැකසීමේ විශේෂඥවරයෙකු, නාසීන්  කිහිප දෙනෙකු ලුහුබැඳ ගොස් ඝාතනය කරනු ලැබූ මොසාඩ් ඒජන්තවරයෙකු,මොසාඩ් සංවිධානයේ සේවය කළ හොඳම කාන්තා රහස් ඔත්තුකාරිය ලෙස නම් දරා සිටි කාන්තාව, සහ වෛද්‍යවරයෙකු ද ඇතුළත් විය.

ව්‍යාජ ලියවිලි සැකසීමට භාවිතා කළ තීන්ත සහ පින්සල්/Mossad Archives

ඒ සියල්ලන්ටම පෙරාතුව කණ්ඩායම සඳහා ස්වේච්ඡා දායකත්වය දැක්වීමට ඉදිරිපත් වූවේ අයිසර් හැරෙල් ය. අති සූක්ෂම මෙහෙයුමක් වූ මෙය සඳහා තීරණ ගැනීමේදී ඒ සඳහා සෘජුව වගකීම ගත හැකි ඉහළ නිලධාරියෙකු කණ්ඩායමේ සිටිය යුතුයැයි විශ්වාස කිරීම එයට හේතුව විය.

ඉන්පසු එම පිරිසෙන් සිව් දෙනෙකු සිව් දිශාවකින් ආර්ජන්ටිනාවට ඇතුළු විය. මෙහෙයුම සඳහා අවශ්‍ය උපකරණ හොර රහසේ ආර්ජන්ටිනාවට ගෙන ආ ඔවුන් අනතුරුව බුවනෝර්ස් අයර්ස් ප්‍රදේශයේ නිවසක් කුලියට ගත්තෝ ය. එයට ලබා දුන් සංකේත නාමය ‘The Castle’ (බලකොටුව​) විය. පසු දින කාරයක් ද කුලී පදනමින් ලබා ගත් ඔවුන් ඇඳිරි වැටුණ පසු රිකාඩෝ ක්ලේමෙන්ට්ගේ නිවස අසල රැඳී සිටියෝ  ය.

රාත්‍රී 7.30 ට පමණ ඔවුන් එම පුද්ගලයා දුටුවෝය. රිකාඩෝ ක්ලේමෙන්ට්, නවතා තිබූ කාරය පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා නිවස තුළට ගමන් කළ අතර ඔහු සෑම දිනකම නිවසට පැමිණෙන්නේ එම වෙලාවටම විය යුතු බවත් මොසාඩ් කණ්ඩායම තීරණය කළේ ය.

ඒ අනුව පැහැරගැනීමේ උත්සාහය ක්‍රියාවේ යෙදිය යුතුවන්නේ එම වෙලාවේ දී බවත්, අයික්මාන් බස් නැවතුමේ සිට නිවස කරා ගමන් කරන අතරතුර දී බවත් ඔවුහු වටහා ගත්තෝ ය.

එදින රාත්‍රියේ දී ඊශ්‍රායලය වෙත කේබල් පණිවුඩයක් යැවිණි. ‘Operation Feasible’ ඇරඹුණ බව එයින්  දැනුම් දී තිබිණි.

දෙවන කොටස නුදුරේදීම..

Cover Photo :  ඇඩොල්ෆ් අයික්මාන් ඊශ්‍රායල සිර මැදිරිය තුළ/Spiegel)

Related Articles