දෙවන ලෝක යුධ සමයෙහි ෆින්ලන්තය​

දෙවන ලෝක යුද්ධය සමයේ ෆින්ලන්තයේ යුධ ඉතිහාසය සුවිශේෂී වූවක් බව කිව යුතු යි. විශේෂයෙන්ම එය සෝවියට් දේශයේ යුධ කටයුතු හා බැඳී තිබුණා. යුද්ධයෙන් පසුව ද එරට විශේෂිත තත්ත්වයක් යටතේ පැවතුණ අතර නිරවි යුධ සමයෙහි එරට ප්‍රතිපත්ති සඳහා එය කෙලින්ම බලපෑවා.

රුසියාව සහ ෆින්ලන්තය

ඔක්තෝබර් විප්ලවයට පෙර ෆින්ලන්තය රුසියාවෙහි කොටසක් ලෙස පැවතුණත් එය සැලකිය යුතු ස්වයං පාලනයක් සහිත ප්‍රදේශයක් වුණා. විප්ලවයෙන් මාසයකට පසු, 1917 දෙසැම්බර් 6 වන දා ෆින්ලන්තය සිය ස්වාධීනතාව ප්‍රකාශ කළා. ඉන් මාසයක කාලයක් ගිය තැන​, 1918 ජනවාරි 4 වන දා, සෝවියට් රුසියාව ෆින්ලන්තයේ නිදහස පිළිගත්තා.

ෆින්ලන්තයේ නිදහස පිළිගැනීම සෝවියට් පාලකයන් ගත් උපාක්‍රමයක්. ඔවුන් බලාපොරොත්තු වූයේ ෆින්ලන්ත කොමියුනිස්ට්වාදීන්ට ආධාර කර එහි කොමියුනිස්ට් පාලනයක් බිහි කිරීම යි. නමුත් කෙටිකාලීන සහ දරුණු සිවිල් යුද්ධයකින් පසු ෆින්ලන්තයේ කොමියුනිස්ට්වාදීන් පරාජය කරනු ලැබුණා.

සෝවියට් පාලකයින් සෑම විටකම ෆින්ලන්තය පිළිබඳ විපරමින් සිටියා. මීට එක් හේතුවක් වුණේ ලෙනින්ග්‍රාද් (සාන්ත පීටර්ස්බුර්ග්) නගරයට ෆින්ලන්ත දේශසීමාව ඉතා ආසන්න වීම යි. යම් කිසි අවස්ථාවක ෆින්ලන්තය දෙසින් එම නගරයට තර්ජනය කිරීමේ හැකියාව තිබුණා.

සිසිර යුද්ධය

1939 අගෝස්තු 23 වනදා නට්සි – සෝවියට් ගිවිසුම අත්සන් කිරීමෙන් පසු 1939 සැප්තැම්බර් 1 වන දා ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමග දෙවන ලෝක යුද්ධය ඇරඹුණා. සැප්තැම්බර් 17 වන දා සෝවියට් හමුදා නැගෙනහිර පෝලන්තය ආක්‍රමණය කළා. එයින් ස්වල්ප දිනකින් පෝලන්තය සම්පූර්ණයෙන් අල්ලාගනු ලැබුණා අතර එරට භූමිය ජර්මනිය සහ සෝවියට් දේශය විසින් බෙදා ගැනුණා.

සෝවියට් දේශය ඉන්පසු අවධානය යොමු කළේ ෆින්ලන්තය දෙසට යි. සෝවියට් දේශය සහ ෆින්ලන්තය අතර වූ දේශසීමාවේ පිහිටි ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයක් පදනම් කරගෙන 1939 නොවැම්බර් 30 වන දා සෝවියට් හමුදා ෆින්ලන්තයට පහර දුන්නා.

සිසිර යුද්ධය අතරතුර ෆින්ලන්ත සෙබළෙක් (AP)

සංඛ්‍යාත්මකව ෆින්ලන්තයට වඩා ඉතා විශාල හමුදාවක් සෝවියට් දේශයට් සිටියෙන් යුද්ධය ඇරඹෙද්දී එහි ප්‍රතිඵලය පිළිබඳ බොහෝ දෙනෙක් සැක කරන්නට නැහැ. කෙසේ හෝ වේවා, සෝවියට් හමුදා බලාපොරොත්තු වූ තරම් පහසුවෙන් ෆින්ලන්තය පරාජය කළ නොහැකි වුණා. සිසිරයේ සටන් කිරීමේ දී විදේශීය භූමියක සටන් වැදීමට සිදුවීම රතු හමුදාවට අවාසියක් වුණා. 1939-40 සිසිරය වෙනදාටත් වඩා ශීතල වීම එම අභියෝගය තීව්‍ර කළා. ෆින්ලන්ත හමුදා ද​ හැකි උපරිම ප්‍රතිරෝධයක් දැක්වූවා. ඔවුන්ගේ ස්නයිපර් වෙඩික්කරුවන් සෝවියට් හමුදාවලට මහත් තර්ජනයක් වුණා.

මීළඟ මාස කිහිපය තුළ සිදු වූ සටන්වලින් සෝවියට් හමුදාවන්ට ප්‍රතිවාදී ෆින්ලන්ත හමුදාවලට සාපේක්ෂව විශාල ජීවිත හානි ප්‍රමාණයක් සිදු වුණා. කෙසේ වෙතත්, තම සංඛ්‍යාත්මක ශක්තිය හේතුවෙන් රතු හමුදාව සතු වූ වාසිය අමතක කළ හැක්කක් වූයේ නැහැ.

1940 පෙබරවාරිය වනවිට එක් පසෙකින් ෆින්ලන්තයට තව බොහෝ කලක් යුද්ධය පවත්වාගෙන යා නොහැකි බව වැටහුණා. අනෙක් අතට සෝවියට් දේශයට ඒ වනවිටත් යුද්ධය දේශපාලනික ලජ්ජාවක් බවට පත්ව තිබුණා. රතු හමුදාව බලාපොරොත්තු වූ තරම් සාර්ථක නොවීම ඊට හේතුව යි.

ෆින්ලන්තයට 1940 දී අහිමි වූ ප්‍රදේශ​. මෙහි හන්කෝ ප්‍රදේශය පවරා දෙන ලද්දේ බද්දක් යටතේ ය​. (Wikimedia Commons)

මාර්තු මුල වනවිට යුධ පෙරමුණ කඩාගෙන යාමට සෝවියට් හමුදා සමත් වුණා. මේ අතර දෙපාර්ශවය අතර සාකච්ඡා ඇරඹී තිබුණා. 1940 මාර්තු 12 වන දා සෝවියට් දේශය සටන් නැවැත්වීමට එකඟ වුණා. ඒ අනුව ෆින්ලන්තයට කරේලියාව, වයිබෝර්ග් නගරය​ ඇතුලුව ප්‍රදේශ ගණනාවක් බාර දෙන්න සිදු වුණා.

“මතු සම්බන්ධ යුද්ධය​”

1941 ජූනි 22 වනදා ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කළ අවස්ථාවේ සිසිර යුද්ධයේ දී තමන්ට අහිමි වූ ප්‍රදේශ ලබාගැනීමට සුදුසුම අවස්ථාව එළඹී ඇති බව ෆින්ලන්තය අවබෝධ කරගත්තා. ඇත්තෙන්ම ජර්මන් සහාය ෆින්ලන්තයට ලැබුණ අතර ෆින්ලන්තය දෙසින් ආක්‍රමණයක් පැමිණෙනු ඇතැ යි සෝවියට් දේශය ද විශ්වාස කළා. ෆින්ලන්තය විසින් මෙම යුද්ධය සලකන ලද්දේ සිසිර යුද්ධයේම දිගුවක් ලෙස යි. එහෙයින් Continuation War (මතු සම්බන්ධ යුද්ධය) ලෙස එය හැඳින්වෙනවා.

කෙසේ වෙතත් ෆින්ලන්තය ද ජර්මනියට සම්පූර්ණ සහායක් ලබා නොදුන් බව කිව හැකියි. සෝවියට් දේශය ආක්‍රමණය කිරීම සඳහා තම භූමිය යොදාගන්නට ෆින්ලන්තය ජර්මන් හමුදාවට ඉඩ දුන්නේ නැහැ. එහෙත් ජර්මන් ගුවන් හමුදාව ෆින්ලන්ත ගුවන් කඳවුරු භාවිතා කළ අතර ෆින්ලන්ත බොක්කේ දූපත්වලට හමුදා ගොඩබස්වන්නට ෆින්ලන්තය ක්‍රියා කළා.

ෆින්ලන්ත තර්ජනය අඩපණ කරනු පිණිස එම පෙරමුණේ දරුණු මට්ටමේ සටන් ඇරඹුවේ සෝවියට් දේශය යි. ඔවුන් ගුවන් ප්‍රහාර එල්ල කර ෆින්ලන්ත හමුදා අධෛර්යයමත් කිරීමට උත්සාහ කළා. එහෙත් ඔවුන් බලාපොරොත්තු වූ තරම් මෙම උත්සාහය සාර්ථක වූයේ නැහැ.

ෆින්ලන්ත හමුදා සෝවියට් සේනාංක වෙත පහර දෙමින් ලෙනින්ග්‍රාද් දෙසට පැමිණියා. අගෝස්තු අවසන් වෙද්දී වයිබෝර්ග් නගරය ඔවුන් අතට පත් වුණා. සැප්තැම්බර් මුල වන විට ඔවුන් 1940 දී අහිමි වූ සියළුම ප්‍රදේශ පාහේ නැවත ලබාගෙන තිබුණා.

වයිබෝර්ග් නගරය යළි අල්ලාගත් පසු පැවති ෆින්ලන්ත හමුදා පෙළපාලියක් (Public Domain)

මේ අතර ෆින්ලන්ත හමුදාවල තවත් ඉලක්කයක් වූයේ මුර්මාන්ස්ක් සිට ලෙනින්ග්‍රාද් වෙත වූ දුම්රිය මාර්ගය අල්ලා ගැනීම සහ මුර්මාන්ස්ක් නගරය අල්ලා ගැනීම යි. එහෙත් එම උත්සාහයන් සාර්ථක වූයේ නැහැ.

1941 අවසාන කාලයේ සිට 1944 ජනවාරිය දක්වා ලෙනින්ග්‍රාද් නගරය වටලා තිබුණ අතර ඒ කාලයේ ෆින්ලන්ත පෙරමුණේ එල්ල වූ සෝවියට් ප්‍රහාර කිහිපයක්ම අසාර්ථක වුණා. කෙසේ වෙතත් ෆින්ලන්තය දෙසින් ලෙනින්ග්‍රාද් නගරය වෙත පහර දීමට ෆින්ලන්ත හමුදා එතරම් ලොකු උත්සාහයක් ගත්තේ නැහැ.

එකල ලෙනින්ග්‍රාද් නගරය අසල ෆින්ලන්තයට මුහුණ ලා සිටියේ 23 වන සෝවියට් හමුදාව යි. ෆින්ලන්තයෙන් ලෙනින්ග්‍රාද් වෙත එල්ල වූ ප්‍රහාර කෙතරම් ද යත් එකල ප්‍රකට යාන් හෑල්ලක් ද ඒ පිළිබඳව නිර්මාණය වී තිබුණා.

ලෝක යුද්ධයේ දී හමුදා තුනක් සටන් නොවදියි. ඒ ස්වීඩන් හමුදාව​, තුර්කි හමුදාව, සහ 23 වන සෝවියට් හමුදාව යි.” (ස්වීඩනය සහ තුර්කිය යුද්ධයට සම්බන්ධ වූයේ නැහැ)

ස්ටාලින්ග්‍රාද්, කුර්ස්ක් ආදී සටන්වලින් පරාජය වූ ජර්මනිය 1944 වසර ඇරඹෙද්දී සෝවියට් යුධ පෙරමුණේ දී පසුබසින්නට පටන් ගෙන තිබුණා. ලෙනින්ග්‍රාද් වටලෑම 1944 ජනවාරි 27 අවසන් වුණා. ඉන්පසු එම සටන් පෙරමුණේ සෝවියට් බලය ස්ථාවර වුණා.

1944 ජූලියේ දී විනාශ කරන ලද සෝවියට් -34 යුධ ටැංකියක් (Military Museum of Finland)

කෙසේ වෙතත් මෙම පෙරමුණ සෝවියට් හමුදාවල ප්‍රමුඛතාව හිමි කරගත්තේ නැහැ. වැඩි අවධානය යොමු වූයේ බර්ලින් නගරය වෙත වූ ගමනට යි. මේ අතර ෆින්ලන්තය ද යුද්ධය නවතා දැමීමට අකමැත්තක් දැක්වූයේ නැහැ.

1944 ජූනි මාසයේ දී සෝවියට් සේනාංක ෆින්ලන්ත පෙරමුණේ කරේලියාව සහ ලාදගා විල ආශ්‍රිත ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කළා. අගෝස්තුව නිම වනතෙක් මෙහි සටන් පැවතුණා. මේ සටන්වල දී ෆින්ලන්ත හමුදා 1939-40 සිසිර යුද්ධයේ දී මෙන්ම ඉතා සාර්ථකව සෝවියට් සේනාංක වෙත මුහුණ දුන්නා. නැවතත් ඔවුන්ට අවාසියට සිටියේ ඔවුන්ගේ හමුදා විශාල නොවීම යි.

මේ අතර සෝවියට් දේශයට ද බර්ලින් දෙස අවධානය යොමු කළ යුතු වූයෙන් ෆින්ලන්ත සටන් නිමා කිරීමට අවශ්‍ය වුණා. එහෙයින් සටන් අවසන් කෙරුණ අතර 1940 යුද්ධය අවසානයේ දී එළඹි දේශසීමාවට නැවත ෆින්ලන්තය හා සෝවියට් දේශය පැමිණියා.

ලැප්ලන්ත යුද්ධය

සෝවියට් දේශය සමග වූ සටන් විරාම ගිවිසුම අනුව ෆින්ලන්තය විසින් සිය භූමියෙන් ජර්මන් හමුදා ඉවත් කළ යුතු වුණා. ජර්මනියට ද ෆින්ලන්තයේ රැඳී සිටීමට විශේෂ අවශ්‍යතාවක් වූයේ නැහැ. සිය රට සැම අතින්ම ආක්‍රමණයට ලක්වීමේ අවදානම ඊට හේතුව යි.

කෙසේ වෙතත් ජර්මන් හමුදා පලවා හැරීමේ ෆින්ලන්ත උත්සාහයේ දී දෙපාර්ශවය අතර සටන් ඇති වුණා. ෆින්ලන්තයේ උතුරුදිග ලැප්ලන්තයේ දී මෙම සටන් සිදු වූ හෙයින් එය ලැප්ලන්ත යුද්ධය යනුවෙන් හඳුන්වනු ලබනවා. මෙම යුද්ධයේ දී එතරම් දරුණු සටන් සිදු වූයේ නැහැ.

නිරවි යුධ සමය​

සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින් ෆින්ලන්තයේ කොමියුනිස්ට් බලය ස්ථාපිත කිරීම පිළිබඳ සිතුවිල්ල සහමුලින් අතැර දමා තිබූ බවක් පෙනුණේ නැහැ. එහෙයින් ඔහු ජීවතුන් අතර සිටිය දී සෝවියට් කරේලියාව වෙනම සෝවියට් සමූහාණ්ඩුවක් ලෙස පවත්වාගනු ලැබුණා. එහෙත් ඊට අමතරව ෆින්ලන්තය වෙත බලපෑම් කිරීමට ඔහුට වශ්‍ය වූ බවක් ද පෙනෙන්නේ නැහැ. ඔහු ෆින්ලන්තය මධ්‍යස්ථව තබා ගැනීමෙන් සෑහීමට පත් වූ බවක් පෙනී ගියා.

කියවන්න​: සෝවියට් දේශයේ දහසය වන සෝවියට් සමූහාණ්ඩුව

ස්ටාලින්ගේ මරණින් වසර කිහිපයක් තුළ නිකිතා කෘශ්ෂොෆ් සෝවියට් දේශයේ බලය තහවුරු කරගත්තා. මේ අතර ෆින්ලන්තය සමග සබඳතා ද වෙනස් කිරීමට ඔහු ක්‍රියා කළා. නිරවි යුධ සමයේ දී නිර්පාක්ෂික වන ප්‍රතිඥාව පිට සෝවියට් දේශය විසින් ෆින්ලන්තය කෙරෙහි වඩා මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට වුණා. වසර 50ක් සඳහා සෝවියට් දේශයට බදු දී තිබුණු පොර්ක්කලා නාවික කඳවුර ප්‍රදේශයෙන් ඉවත් වීමට 1956 දී සෝවියට් දේශය ක්‍රියා කළා. සෝවියට් කරේලියාව ද සෝවියට් සමූහාණ්ඩුවක තත්ත්වයේ සිට ස්වතන්ත්‍ර සෝවියට් සමූහාණ්ඩුවක තත්ත්වයට පත් කරනු ලැබුණා.

Related Articles