රුවන්ඩාවේ ජන සංහාරයේ අතුරු ඵලය – පළමුවන කොන්ගෝ යුද්ධය

1994 දී සිදු වූ රුවන්ඩාවේ ජන සංහාරය පිළිබඳ අප බොහෝ දෙනෙක් අසා තිබෙනවා. මෙහිදී 800,000ක් පමණ වූ පිරිසක් මියගියා. එමෙන්ම තවත් විශාල පිරිසක් සරණාගතයින් ලෙස වෙනත් ප්‍රදේශයන්ට පළා ගියා. එයින් සැලකිය යුතු පිරිසක් පළාගියේ එකල සයරේ නමින් හැඳින්වූ වර්තමාන කොන්ගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට යි. එකල සයරේ රාජ්‍යය පාලනය කළේ මොබුටු සෙසේ සේකෝ විසින්. මෙසේ සරණාගතයින් පළායාමෙන් පසු ඇති වූ තත්ත්වය හේතුවෙන් සයරේ හෙවත් කොන්ගෝවේ යුද්ධයක් ඇති වූ අතර එහි අවසන් ප්‍රතිඵලය වූයේ මොබුටු සෙසේ සේකෝ බලයෙන් පහ වීම යි. මෙම යුද්ධය පළමු කොන්ගෝ යුද්ධය ලෙස හැඳින්වෙන අතර එයට අප්‍රිකාවේ රටවල් කිහිපයක්ම සම්බන්ධ වූ හෙයින් අප්‍රිකාවේ පළමු ලෝක යුද්ධය ලෙස ද ඇතැමුන් විසින් හඳුන්වනවා.

කියවන්න​: දින සියයක් තුල මිලියනයකට ආසන්න ජීවිත බිලිගත් ‘රුවන්ඩා ජනසංහාරය’

මොබුටු බලයට පත් වූයේ 1960 දශකයේ කොන්ගෝ අර්බුදය අවස්ථාවේ යි. බටහිර රටවල ද ආශිර්වාදය ඇතිව ඔහු සයරේ පාලනය කළා. නිරවි යුධ සමයේ දී අප්‍රිකාවේ සෝවියට් බලපෑම පාලනය කිරීමට මහාද්වීපයේ මැදින්, භූගෝලීයව ඉතා වැදගත් ස්ථානයක පිහිටි සයරේ රාජ්‍යය ධනවාදී කඳවුරෙහි තිබීම ඉතා වැදගත් වුණා. විශේෂයෙන්ම ඇන්ගෝලාවේ රජයට එරෙහිව පැවති සිවිල් යුද්ධයේදී රාජ්‍ය විරෝධී කැරලි කණ්ඩායම්වලට සයරේ හරහා ආධාර ලැබීම ඉන් එක් වැදගත් අවස්ථාවක් වුණා.

කෙසේ නමුත් මොබුටුගේ පාලනය දූෂිත​, අකාර්යයක්ෂම සහ නාස්තිකාර පාලන තන්ත්‍රයක් වුණා. බටහිර රටවල් එයට සහය දුන්නේ කොමියුනිස්ට්වාදය පැතිරීමට එරෙහි ප්‍රබල සාධකයක් වූ නිසා සහ එහි වූ ස්වාභාවික සම්පත් නිසා යි. 1991 දී සෝවියට් දේශය බිඳ වැටුණ පසු දූෂිත මොබුටු පාලනය සමග ඕනාවට වඩා මිත්‍රශීලී වීමේ අවශ්‍යතාවයක් ඔවුනට තවදුරටත් තිබුණේ නැහැ. මෙහි ප්‍රතිඵලය වුණේ ඔවුන් මොබුටු සමග වූ සබඳතා කෙමෙන් අඩු කිරීම යි.

මොබුටු සෙසේ සේකෝ (Reuters)

මේ අතර මොබුටු සෙසේ සේකෝ සිය අසල්වැසි රටවල් බොහොමයක් සමග විවිධ ගැටුම් නිර්මාණය කරගෙන තිබුණා. එමෙන්ම ඔහුගේ අකාර්යයක්ෂම පාලනය රටේ ඈත ප්‍රදේශයන්හි රජයේ කටයුතු හරි ආකාරව පවත්වාගෙන යාමට සමත් වූයේ නැහැ. එරට යුධ හමුදාවේ තත්ත්වය පවා එතරම් යහපත් වූයේ නැහැ. සටන් ඒකකයක් ලෙස එහි ගුණාත්මක තත්ත්වය වූයේ ඉතා පහත අඩියක යි.

කොන්ගෝවේ ටුට්සි සහ හූටුවරු

හූටු සහ ටුට්සි ගෝත්‍රිකයන් රුවන්ඩාවේ සහ බුරුන්ඩියේ වැඩිපුර ජීවත් වන අතර යටත් විජිත සමයේම එයින් ඇතැම් ටුට්සින් කොන්ගෝව වෙත පැමිණියා. 1960 දී රුවන්ඩාව නිදහස ලද පසු එවක හූටුවරුන්ගේ පාලනය නොරිස්සූ ටුට්සින් සමහරෙක් ද රුවන්ඩාවේ සිට කොන්ගෝව වෙත පළා ආවා.

1994 අප්‍රේල් මාසයේ දියත් වූ රුවන්ඩා ජන සංහාරයේ දී හූටු දේශපාලකයන්, හමුදා අංශ, සහ ඉන්ටරහම්වේ මිලීෂියා භටයන් ටුට්සි ගෝත්‍රිකයන් සමූල ඝාතනය කිරීමට වුණා. ඉන් ස්වල්ප දිනකට පසු, එතෙක් උගන්ඩාවේ ක්‍රියාත්මක වූ රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණෙහි සන්නද්ධ භටයින් රුවන්ඩාව ආක්‍රමණය කළා. ඉතා වේගයෙන් රුවන්ඩා රජයේ හමුදා සහ හූටු මිලීෂියා භටයන් පළවා හරිනු ලැබුණා. ඔවුන් ද ඇතමෙක් කොන්ගෝවට පළා ගියා.

සයරේ රටෙහි රජයෙහි පාලනය දුර්වල වීම හේතුවෙන් රුවන්ඩාවට සහ බුරුන්ඩියට යාබදව පිහිටි උතුරු කිවූ සහ දකුණු කිවූ ප්‍රාන්තවලට ද ටුට්සි සහ හූටු ගැටුම් පැතිරීමේ අවදානමක් මතු වුණා. රුවන්ඩාවෙන් පළා ආ හූටුවරුන් කොන්ගෝවේ සිටි ටුට්සින්ට පහර දීමට යොමු වීමෙන් මෙම තත්ත්වය වර්ධනය වුණා.

එකල රුවන්ඩාවේ උප ජනාධිපති වූ පෝල් කගාමේ (CNTV)

මෙම අවස්ථාවේ රුවන්ඩා රජය කොන්ගෝවේ ටුට්සින් ආරක්ෂා කිරීම සඳහා එම ප්‍රදේශයන් හි ටුට්සි මිලීෂියා කණ්ඩායම් පිහිටුවා ඊට අනුබල දෙන්නට වුණා. ඔවුන් කිවූ ප්‍රාන්තවල බලය තහවුරු කරගන්නට වූ අවස්ථාවේ මොබුටු විරෝධී අනෙකුත් කණ්ඩායම් ද ක්‍රියාකාරී වන්නට පටන් ගත්තා.

මොබුටු පාලනයට එරෙහිව සටන් කළ කණ්ඩායම් 1960 දශකයේ සිටම සයරේහි ක්‍රියාත්මක වුණා. එකල සිටම මොබුටුට එරෙහි වූ කැරලි නායකයකු වූයේ ලෝරන්ට් කබීලා යි. මෙම අවස්ථාවේ කබීලා වටා මොබුටු විරෝධී කණ්ඩායම් ඒකරාශී වීමට වුණා. ඔවුන් කොන්ගෝ-සයරේහි විමුක්තිය සඳහා වන ප්‍රජාතාන්ත්‍රික සන්ධානය (AFDL) ලෙස තම ව්‍යාපාරය නම් කළා. මේ අතර කලාපීය වශයෙන් ගත් විට උගන්ඩාව මුල සිටම රුවන්ඩාවේ සහයට සිටියා.

කබීලා මෙහිදී ඉටු කළේ රුවන්ඩාව පර්ශවයෙන් ගත් විට වැදගත් කාර්යයභාරයක්. සයරේ හෙවත් කොන්ගෝව කෙරෙහි රුවන්ඩාවේ මැදිහත් වීමට කබීලා විසින් කොන්ගෝ විමුක්තිකාමී මුහුණුවරක් ලබා දුන්නා. 1980 දශකය අග දී සහ 1990 දශකය මුල් කාලයේ දී කොන්ගෝවෙන් ඉවත සිටිය දී උගන්ඩා ජනාධිපති යොවෙරි මුසවේනි සහ පසු කලෙක රුවන්ඩාවේ ජනාධිපති බවට පත් වූ පෝල් කගාමේ සමග කබීලා සමීප සබඳතාවක් ගොඩනගාගත් බව කියනු ලබනවා. රුවන්ඩාව විසින් මොබුටු රජයට එරෙහිව යුධ ක්‍රියාමාර්ගයට අත තැබූ අවස්ථාවේ කබීලාගේ ව්‍යාපාරය ද නැවත ක්‍රියාකාරී වුණා.

සයරේ (කොන්ගෝ ප්‍රජාතන්ත්‍රික ජනරජයේ) සිතියමක් (University of Texas)

1996 අවසන් මාසවල රුවන්ඩාවේ උපකාරය සහ හමුදා මැදිහත්වීම ද ඇතිව ටුට්සි මිලීෂියා කණ්ඩායම් කිවූ ප්‍රාන්තවල සැලකිය යුතු ප්‍රදේශයක බලය තහවුරු කරගත්තා. මේ අවස්ථාවේ මොබුටුගේ හමුදා එම ප්‍රදේශයන් හි බලය ලබා ගැනීමට තරමක උත්සාහයක් ගත්තා. විශේෂයෙන්ම මොබුටු වෙනුවෙන් පැරණි යුගෝස්ලාවියාවෙන් පැමිණි කුලී හේවායන් ද සටන් කළා.

කබීලා බලය ලබා ගැනීම

1997 වසර මුල දී නැවතත් සටන් මතු වූ අතර මෙම අවස්ථාවේ කබීලාගේ සංවිධානය සහ රුවන්ඩාව මොබුටුගේ පාලනය පෙරළා දැමීමේ අභිලාශය ඇතිව සටන් කරන බව පෙනී ගියා. මොබුටු දිගටම බලයේ සිටීමෙන් තමන් බලය ස්ථාවර කරගත් ප්‍රදේශයට තර්ජනයක් මතු වේයැ යි රුවන්ඩාව බිය වූ අතර තමන්ට හිතවත් පාලනයක් සයරේහි පිහිටුවාගැනීමට ඔවුන් බලාපොරොත්තු වුණා.

මේ අතර මොබුටුගේ පාලනයට එරෙහිව ඇන්ගෝලාව ද ක්‍රියාකාරී වීමට වුණා. ඇන්ගෝලා සිවිල් යුධ සමයේ දී යුනීටා සංවිධානයට සහය දීම හේතුවෙන් මොබුටු පිළිබඳව ඇන්ගෝලා රජය තුළ වූයේ අප්‍රසාදයක්. කලාපයේ අනෙක් රටවල් ද බහුතරයක් මොබුටුට සහය දීමට ඉදිරිපත් වූයේ නැහැ.

මෙවර ප්‍රහාරයට මුහුණ දීමට තරම් හැකියාවක් මොබුටුගේ සයරේ හමුදාවට වූයේ නැහැ. රටේ ප්‍රධාන නගර එකින් එක පහසුවෙන්ම කැරලිකාර සංවිධාන අතට පත් වුණා. රටේ විශාලත්වය සහ ගමනාගමන පහසුකම් දුර්වල වීම නොවේ නම් කැරලිකාර හමුදා වඩා වේගයෙන් රටේ අගනුවර වූ කින්‍ශාසා වෙත පැමිණීමට ඉඩ තිබුණා.

1997 මැයි මාසය වනවිට කැරලි හමුදා කින්ශාසා අගනුවර ආසන්නයට පැමිණෙමින් තිබුණා. මැයි 17 වන දා නගරය කැරලි හමුදා අතට පත් වූ අතර කබීලා රටේ නව ජනාධිපති ලෙස ප්‍රකාශ කෙරුණා. එමෙන්ම රටේ නම ද සයරේ වෙනුවට ප්‍රජාතාන්ත්‍රික කොන්ගෝ ජනරජය ලෙස වෙනස් කෙරුණා. මොබුටු රටින් පළා ගියා.

නමුත් ලෝරන්ට් කබීලා බලයට පැමිණීමෙන් කොන්ගෝවේ අර්බුද නිම වූයේ නැහැ. ස්වල්ප දිනෙකින් නැවත අර්බුදකාරී තත්ත්වයන් මතු වූ අතර කබීලා තම පැරණි මිත්‍රයින් සමග ද ගැටුම් ඇති කරගත්තා. කෙටි කලකින් දෙවන කොන්ගෝ යුද්ධයට මාර්ගය විවර වූයේ මේ අර්බුද සමග යි. නමුත් ඒ වෙනත් ලිපියකින් විස්තර කළ යුතු කතාවක්.

Cover Image: ලෝරන්ට් කබීලා (Reuters)

මූලාශ්‍රයයන්:

Related Articles