ලොව ප්‍රථම කෲස් මිසයිලය – නාසි හමුදාවේ V-1 මිසයිලය

ලොව ප්‍රථම වරට සතුරු ඉලක්ක කරා සාර්ථකව එල්ල කළ හැකි මිසයිල හදුන්වා දෙන්නේ නාසි ජර්මනිය විසින්. දෙවන ලෝක යුධ සමයේ අවසන් භාගයේදී මෙම මිසයිල වලින් මිත්‍ර පාර්ශවයට පහරදුන් අතර ජර්මානුවන්ගේ මිසයිල නිර්මාණය කිරීමේ ආරම්භක අවධිය දෙවන ලෝක යුද්ධයට පෙර කාලය දක්වා දිව යනවා.

ජර්මනිය විසින් හඳුන්වා දුන් මිසයිල අතරින් ලෝකයේ අවධානය දිනාගත් මිසයිල වර්ග දෙකක් පිළිබඳව බොහෝවිට ඔබ අසා තිබෙන්න පුළුවන්. ඒ ලෝකයේ පළමු කෲස් මිසයිලය වන නෝමැන්ඩි ආක්‍රමණය අතරවාරයේ, 1944 ජූනි මස 13 දා, බ්‍රිතාන්‍යය ඉලක්ක කරගෙන දියත් කරන ලද V1 මිසයිලය හා ලොව ප්‍රථම දිගු දුර බැලස්ටික් මිසයිලය මෙන්ම පෘථිවි උප කක්ෂය (කිලෝමීටර්100 සීමාව දක්වා ගමන් කිරීම) වෙත යෑමට සමත්වූ මිනිසා විසින් නිපදවූ ප්‍රථම මිසයිලය වූ V2 මිසයිලයයි. ඉතින් අද ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නට අදහස් කරන්නේ V1 මිසයිලය නිර්මාණය වූ අයුරු හා එය යොදාගෙන එල්ල කළ ප්‍රහාර පිළිබඳවයි.

ලෝකයේ පළමු කෲස් මිසයිලය – V 1

V1 (epsomandewellhistoryexplorer.org.uk)

ගොඩබිම සටන් සඳහා යොදා ගන්නා ලබන, ගමන් පථය පහළ මට්ටමක පවතින නමුත්  ඉතා වේගයෙන් ස්වයංක්‍රීයව ගමන් කරන මිසයිල විශේෂයක් ලෙස කෲස් මිසයිල (cruise missiles) හදුන්වා දිය හැකියි. බොහෝවිට ඒකාකාර වේගයකින් ගමන් ගෙන ඉතාමත් නිරවද්‍යව ඉලක්කයට යොමු වන මිසයිල හැටියටත් කෲස් මිසයිල නම් දරා තිබෙනවා.

කෲස් මිසයිල පිළිබඳ පරීක්ෂණ ලොව රටවල් කිහිපයක සිදු කළත්, යුධ බිමේදී යොදාගත් ලොව පළමු කෲස් මිසයිලය නිපදවනු ලබන්නේ දෙවන ලෝක යුධ සමයේදී ජර්මානු යුධ විශේෂඥයන් පිරිසක් විසින්. දිගු දුර මිසයිලයක් වන එය V1 ලෙස නම් කෙරෙන අතර ස්වයංක්‍රීයව ගමන් කළ හැකි, මුලින් හඳුනාගත් ඉලක්කවලට පමණක් යොමු කළ හැකි ඉතාම සරළ මිසයිල පද්ධතියකින් මෙය සමන්විතයි. සරළ රේඩියෝ තරංග මගින් නිරන්තරයෙන්ම එහි ගමන පාලනය කළ යුතු වූ අතර ඉලක්කගත ප්‍රදේශයේදී පුපුරා යාමට හැකිවන ලෙස යාන්ත්‍රණයක් මෙහි නිර්මාණය කර තිබුණා.

එහි විශේෂත්වය

ප්‍රහාර එල්ල කිරීමට සුදානමින් (Getty Images)

Fieseler Fi 103 හා vergeltungswaffe ලෙස විවිධ නම් වලින් හදුන්වනු ලබන්නේද V 1 (Vengeance Weapon 1) මිසයිලයයි. මෙහි දිග අඩි 27යි අඟල් 3ක් වූ අතර මිසයිලයේ පියාපත් අතර පරතරය අඩි 17යි අගල් 6ක් වුණා.

109-014 pulse ජෙට් එන්ජිමකින් බලය ලබා ගන්නා මෙම මිසයිලය රාත්තල් 1870ක ඇමටෝල් (Amatol) නම් පුපුරණ ද්‍රව්‍ය අඩංගු ශීර්ෂයකින් සමන්විත වුණා. එම ශීර්ෂයත් සමඟ මිසයිලයේ සම්පූර්ණ බර රාත්තල් 4750ක් පමණ වුණා. මිසයිලයට ගමන් කල හැකි දුර ප්‍රමාණය සැතපුම් 150ක් පමණ වූ අතර එහි උපරිම වේගය සඳහන් වන්නේ පැයට සැතපුම් 393ක් ලෙසයි.

විශාල මිනිසුන් ප්‍රමාණයක් ඝාතනය කළ හැකි මෙම අවිය විශාල භුමි ප්‍රමාණයකට ප්‍රබල ව්‍යවසනයක් ඇති කිරීමට සමත්වෙනවා. මිසයිල ප්‍රහාරයත් සමඟ මෙහිදී සිදුවන්නේ එකවරම පතිත වූ ස්ථානයේ වායු රික්තකයක් නිර්මාණය වීමයි. එම රික්තකය පිරවීම සඳහා අවට වායුව ඒ දෙසට ඇදී යාමෙන් වන හානිය ඉතා විශාල වෙනවා.

V1 මිසයිලය නිර්මාණය කිරීම

පුපුරා නොගිය V1 මිසයිලයක්. (Getty Images)

මෙවැනි මිසයිලයක් නිර්මාණය කිරීම සඳහා ජර්මනිය විසින් 1939 වසරේදී මෙන්ම 1941 වසරේදී උත්සාහ කරන නමුත් එය සාර්ථක වන්නේ නෑ. 1942 වසරේදී හිට්ලර්ගේ අනුමතිව සහිතව රොබට් ලූසර් (Robert Lusser) නම් විද්‍යාඥයා ෆිට්ස් ගොස්ලූ (Fritz Gosslau) සමඟ එකතු වී V1 මිසයිලය නිර්මාණය කිරීම ආරම්භ කරනවා. මෙහි ජෙට් එන්ජිම නිර්මාණය කරනු ලබන්නේ ගොස්ලු විසින්. ජෙට් එන්ජිම මිසයිලයේ ඉහළින් සවිකර තිබූ අතර එන්ජිම බාල මට්ටමේ ඉන්ධන වලින්ද ක්‍රියාත්මක වීම වාසිදායක වුණා. ඉන්ධන හිඟය මේ කාළයේ ජර්මන් යුධ ව්‍යාපාරයට බලපෑ ප්‍රධාන ප්‍රශ්නයක් වීම ඊට හේතුවයි. සම්පූර්ණ මිසයිලයේ තහඩුව වානේ වලින් නිර්මාණය කර තිබූ අතර පියාපත් සෑදීම සඳහා ප්ලයිවුඩ් (plywood) භාවිතා කර තිබුනා.

මිසයිලය යොදා ගනිමින් නාසි හමුදාව සිදුකළ ප්‍රහාර

V1 මිසයිලයේ අනුරුවක් (commons.wikimedia.org)

ජර්මානුවන් විසින් මෙම මිසයිලය පළමුවෙන්ම ප්‍රහාර සඳහා යොදා ගන්නේ 1944 ජූනි මස 13 දා බ්‍රිතාන්‍යය ඉලක්ක කරගෙනයි. ලන්ඩන් නගරය ඉලක්ක කරමින් සිදු වූ මෙම දැවැන්ත ප්‍රහාරය මිත්‍ර හමුදා විසින් කිසිසේත්ම බලාපොරොත්තු වූවක් නොවීය.

මෙම මිසයිලය ඉලක්කය බලා පියාසර කිරීමේදී එයින් නැගෙන ශබ්දය හේතුවෙන් බ්‍රිතාන්‍ය වැසියන් විසින් මෙය හදුන්වනු ලැබුවේ “buzz bombs” යන අන්වර්ථ නාමයෙන්. දෙවන ලෝක යුද්ධයේ අවසාන කාලය පුරාවටම ජර්මානුවන් විසින් මෙම මිසයිල ප්‍රහාර එල්ල කරනු ලබන්නේ වන වැස්මක් සහිත ප්‍රදේශ වල සිටයි. ඊට හේතුව වන්නේ මිත්‍ර පාර්ශවයේ ගුවන් ප්‍රහාරයන්ගෙන් එම ස්ථානය විනාශ වීම වැළක්වීමයි. නමුත් V1 මිසයිල ප්‍රහාර එල්ල කරන ස්ථාන බොහොමයක් මිත්‍ර පාර්ශවයේ ගුවන් ප්‍රහාර හේතුවෙන් විනාශ වී යනවා. තවද මෙම මිසයිලය ගුවනේ සිට මුදා හැරීමේදී ඒ සඳහා ජර්මානුවන් විසින් භාවිතා කරන්නේ ඔවුන් සතුව තිබූ Heinkel He 111 නම් බෝම්බ හෙළන යානා විශේෂයයි.

දෙවන ලෝක යුද්ධ සාමය තුළදී නාසි හමුදාව විසින් මෙම මිසයිල 10 000ක් පමණ යොදා ගනිමින් ප්‍රහාර එල්ල කළ නමුත් ඉන් ඉලක්කය වෙත සාර්ථකව පතිත වන්නේ 25%ක ප්‍රතිශතයක් පමණයි. ඔවුන් විසින් මූලිකව ප්‍රහාර එල්ල කරනු ලබන්නේ ලන්ඩනය හා බ්‍රිතානයේ අනෙකුත් දකුණුදිග නගරවලටයි. දවසකට මිසයිල 100ක් පමණ එම නගර වලට පතිත වූ අතර ඒ හේතුවෙන් 6000 කට ආසන්න පිරිසක් මියගොස් තවත් 16,000 ක් පමණ තුවාල ලැබුවා. මෙම නව අවිය තුළින් බරපතළ හානි සිදුකරමින් බ්‍රිතාන්‍ය රජයේ හා මිත්‍ර හමුදාවේ ආත්ම විශ්වාසය​ පහළ දැමීම හිට්ලර්ගේ මූලික අරමුණ වුණා.

මිසයිලයේ අසාර්ථකත්වය

අසාර්ථක වීමට මූලික හේතූන් ලෙස, මිසයිලය පාලනය කරන රේඩියෝ තරංග පද්ධතියේ ඇති වූ දෝෂ, ගුවන්යානා නාශක අවි වලින් එල්ල කරන ලද ප්‍රහාර, බාධක ලෙස යොදා තිබූ බැලුන හේතුවෙන් හා ප්‍රහාර එල්ල කරන ලද ප්‍රදේශ වල සැරිසරමින් මිත්‍ර ප්‍රහාරක ගුවන් යානා වලින් මිසයිල ගුවන්ගත කිරීමේදී එල්ල කරන ලද ප්‍රහාර දැක්විය හැකියි.

මිත්‍ර පාර්ශවය සතු වූ රේඩාර් පද්ධතිය හේතුවෙන් බොහෝ මිසයිල ප්‍රහාර එල්ල වන දිශාව සොයා ගැනීම පහසු වූ අතර ඒ ක්ෂණිකව ඒවා විනාශ කිරීමට ඔවුන් විසින් කටයුතු කරනවා.

දෙවන ලෝක යුද්ධයේ පරාජය ජර්මනිය ප්‍රමුඛ සතුරු පාර්ශවීය රටවලට හිමිවෙමින් පැවති අවසන් සමයේ 1945 මාර්තු මාසයේ මිසයිල දියත් කරන ස්ථාන මිත්‍ර පාර්ශ්වික හමුදා අල්ලා ගත් අතර ඒ වන තෙක් ජර්මානුවන් බ්‍රිතාන්‍යය සහ යුරෝපා මහද්වීපයේ ඇන්ට්වර්ප් (Antwerp) වැනි අනෙකුත් නගර වෙත මිසයිල ප්‍රහාර දියත් කර තිබුණා.

කවරයේ ජායාරූපය – V1 මිසයිලය ප්‍රතිනිර්මාණය කර ඇති අයුරු (primeportal.net)

Related Articles