අතීතයේ සැඟවී ගිය මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය

චාල්ස් ඩාවින්ට අනුව මිනිසා ඈත ඉතිහාසයක සිට විවිධ අවධීන් පසු කරමින් තම පරිණාමය හරහා අද තත්ත්වයට පත්වී ඇති බව කුඩා කල සිටම අප ඉගෙන ගෙන තියෙනවා. ඒ නිසාම මිනිසා විසින් බොහෝ කලක සිට අතීතය පිළිබඳව සොයාබැලීම් විටින් විට සිදුකරනු ලබන අතර එසේ සොයාගත් දේ ඉතිහාසය ලෙස ලඝු කෙරෙනවා. මිනිසා එදිනෙදා සිදුකරන බොහෝ කටයුතු අතීතයේ ලද දැනුම හරහා පෝෂණය කරගනිමින් වඩා සාර්ථකත්වයට පත්කර ගන්නවා දකින්න පුළුවන්.

මෙසපොතේමියානු ශිෂ්ඨාචාරයත් එලෙස මිනිසා විසින් කලකට ඉහත ගවේෂණය කරන ලදුව අනාවරණය කරගන්නා ලද දියුණු ශිෂ්ඨාචාරයක්. මිනිසා ශිෂ්ඨ සම්පන්න ලෙස පළමුව ජීවත්වීම ඇරඹුවා යැයි සැලකෙන්නේ මේ කාලයේදීය. මේ ලිපිය කියවීමෙන් මෙතෙක් කලක් ඔබ නොදැන සිටි මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය පිළිබද කරුණු ගණනාවක් දැන ගන්න ඔබට හැකි වේවි.

මෙසපොතේමියානු ශිෂ්ඨාචාරයේ ආරම්භය

මෙසපොතේමියා යන්න ග්‍රීක බස ආශ්‍රිතව ගොඩනැගුනු වචනයක් වන අතර එහි තේරුම ‘ගංගාවන් දෙකක් අතර පිහිටි’ යන්නයි. ඉරාකය, ඉරානය, තුර්කිය හා සිරියාව යන රටවල් හතරෙහිම කොටස් මේ ශිෂ්ටාචාරය පිහිටි භුමියට ඇතුලත්. යුප්‍රටීස් හා ටයිග්‍රීස් ගංගා අතර ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට වසර 3500 කට පෙර මේ ශිෂ්ඨාචාරය ආරම්භ වූවා කියා සැලකෙනවා.

මෙසපොතේමියානු ශිෂ්ඨාචාරයේ භුමිය පැතිරී ඇති ප්‍රදේශයේ සිතියමක් (mrscelis6.weebly.com)

ශිෂ්ඨාචාරයේ ජන ජීවිතය

ශිෂ්ඨාචාර ආරම්භයේ මුලිකම අවධිය වූ නිසාම අනෙකුත් පසුව පැමිණි ශිෂ්ඨාචාරවලට වඩා වෙනස්කම් බොහොමයක් මෙහි පැවතුනා. දඩයම්න් ජීවත් වූ මිනිසා ශිෂ්ඨත්වයට පත්වීමත් සමග වගාකටයුතුවල නිරතවීම හා සත්වපාලනයද සිදුකර තිබෙනවා. නගර නිර්මාණයද මේ කාලයේදී සිදුවී තිබෙන අතර මනාව එහි කටයුතු සිදුකරගෙන ගොස් තිබෙනවා.

කෘෂිකර්මාන්තයේ දියුණුව

සත්වපාලනය හා ගොවිතැන මුලික වූ සමාජයක් පැවතුන නිසාම විවිධ ධාන්‍ය වගාකර මිනිසුන් ආහාර සපයාගෙන තිබෙනවා. ප්‍රධාන භෝග විදියට තිරිඟු හා බාර්ලි වගාකොට ඇති අතර රටඉදි, මිදි, කොමඩු, ඇපල්, ළූණු වැනි දේද එහි වගාකර තිබෙනවා. එලෙසම එළුවන්, හරකුන් හා ඔටුවන් හීලෑකර එදිනෙදා කටයුතුවලට යොදාගෙන තිබෙනවා.

කෘෂිකර්මාන්තයට අවශ්‍ය උපකරණයන් තඹ ලෝහයෙන් නිර්මාණය කරගෙන ඇති අතර එලෙස නිර්මාණය කරගත් උපකරණ අතර මිටි, පොරව වැනි උපකරණ සොයාගෙන තිබෙනවා. මුලින්ම රෝදය සොයාගැනීමත් මේ අවධියේම සිදු සිදුකර තිබෙනවා.

කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ලබාගැනීම සඳහා ලෝහ, දැව හා අනෙකුත් දේ යොදාගෙන කානු, වේලි හා ඇළ මාර්ගයන් සාදාගෙන ගංගා හරස්කර ජලය වගාභුමියට ලබාගෙන තිබෙනවා.

ජලය ලබාගැනීමට යොදාගත් වේල්ලක නටබුන් (www.pinterest.com)

භාෂාව හා ලේඛන කලාවේ දියුණුව

මිනිසා භාෂාව හා ලේඛන කලාවට යොමුවීම අාරම්භ වූයේ මෙසපොතේමියානු ශිෂ්ඨාචාරයෙන් බව කැණීම්වලින් සොයා ගන්නා ලද මැටි පුවරුවලින් මනාව පැහැදිලි වනවා. එහිදී විවිධ වූ සලකුණු යොදා ඔවුන් තම අක්ෂරයන් නිර්මාණය කරගෙන තිබෙනවා. ඔවුන් සතු දේපල ප්‍රමාණයන් වැනි වටිනා තොරතුරු ඔවුන් මේ මැටි පුවරුවල සටහන්. අද වන විටත් එලෙස සටහන් කරන ලද තොරතුරු බොහොමයක් කියවීමට නොහැකිවී තිබෙනවා. එසේ වීමට හේතුව එම ජනයා විවිධ වූ සංකේත 700ක පමණ ප්‍රමාණයක් තම සටහන් තැබීමට යොදාගැනීමයි.

මැටි පුවරුමත යොදන ලද සටහනක් (www.pinterest.com)

ඔවුන්ගේ ලේඛනයන්හි විශේෂිතතා පවතිනවා. එනම්

  • ලේඛනයන් අවසානයේ පෞද්ගලික මුද්‍රාවක් යොදාගැනීම
  • සුමේරියානු හා බැබිලෝමියානු ලේඛනවලත් මෙසපොතේමියානු ලක්ෂණ පැවතීම
  • මෙසපොතේමියානු අක්ෂර කලාවට පෙර එවැනි අක්ෂර යොදාගෙන නොතිබීම

රාජ්‍ය පාලනය

කෘෂිකාර්මික දියුණුව සමග රාජ්‍ය පාලනයද දියුණු වූ නිසාම කාලයත් සමග ක්‍රමවත් පාලනයකට මාර්ගය සැලසුණු අතර එලෙස නිර්මාණය වූ ප්‍රථම නගරය විදියට ඌරුක් නගරය හදුන්වනවා. මෙහිදී ප්‍රථම අක්ෂර කලාව බිහිවුවායයි හඳුනාගෙන තිබෙනවා.

ඌරුක් නගරයේ පිහිටීම සලකා අදිනලද සිතුවමක් (www.pinterest.com)

නගර පාලකයා වෙනස් වීමත් සමග නගර විවිධ ප්‍රදේශවලට මාරුවුණු අතර තවත් වැදගත් නගරයක් විදියට බැබිලෝන් නගරය හඳුන්වන්න පුළුවන්. එම කාලයේදීම පාලනයට සුදුසු ලෙස  නීතිමාලාවක් පවා සම්පාදනය කර තිබෙනවා.

ආගමික දියුණුව

අද මෙන්ම එදා සමාජය තුලත් දෙවියන් ඇදහීම සිදු කෙරුණු අතර ඔවුන් බොහෝ විට දෙවියන් මිනිසුන් හා භේදවේයැයි සිතූ නිසා දෙවියන් සතුටු කරනු සඳහා සියලු දේ සිදුකර තිබෙනවා. එලෙස දෙවියන් සතුටු වූ පසු තම ජිවිතයට යහපත උදාවේ යැයි ඔවුන් සලකා තිබෙනවා. වැදුම් පිදුම් සිදු කෙරුණු දෙවියන් වර්ග ලෙස අන් – සියල්ලටම අධිපති දෙවියන්, එන්කි – ජලයට අධිපති දෙවියන් හා ඉනාන්නා – ආදරයට අධිපති හඳුනාගෙන තිබෙනවා.

මෙසපොතේමියානු ජනතාව වැදුම් පිදුම් කළ දෙවි කෙනෙක් (www.ancient.eu)

සමාජීය දියුණුව

ඉපදීම, මියයාම වැනි විශේෂ අවස්ථා සඳහා විවිධ චාරිත්‍ර යොදාගෙන තිබෙන අතර භාවිතයට ගන්නා ලද විවිධ සංගීත භාණ්ඩ කැණීම්වලින් සොයාගෙන තිබෙනවා. එක් නිවසක දරුවන් සිව් දෙනෙකු පමණ සිට ඇති අතර පිරිමි දරුවන් යම් කර්මාන්තයක් ඉගෙන ගැනීමටත්,  ගැහැණු ළමුන් ගෘහාශ්‍රිත කටයුතු ඉගෙන ගැනීමටත් ප්‍රමුඛත්වය දී ඇති බව කැණීම්වලින් ලද තොරතුරු අනුව තහවුරු කරගෙන තිබෙනවා.

මෙසපොතේමියානු සංගීත භාණ්ඩයක් (www.penn.museum)

තාක්ෂණික දියුණුව

කෘෂිකාර්මික අවශ්‍යතා පදනම් කරගනිමින් ඇතිවුණු අභියෝග සාර්ථකව ජයගනිමින් ශිෂ්ඨාචාරය ඉදිරිය‍ට පවත්වාගැනීමේ හැකියාවක් මෙසපොතේමියානු ජනතාවට තිබුණු බවට පහත සොයාගැනීම්වලින් මනාව පැහැදිලිවනවා.

මිනිසා නිපදවූ ලොව පළමු රෝදය (ancientmesopotamians.com)

  1. රෝදය නිපදවීම – මුල් අවදියේ මැටි භාණ්ඩ සෑදීම වැනි කටයුතු සදහා යොදාගන්නට ඇතැයි ගවේෂකයින් මත පළ කරනවා.
  2. රථය නිපදවීම – මුල් අවදියේ සතුන් යොදාගෙන සිදුකරන ප්‍රවාහන කටයුතුවලට යොදාගන්නට ඇතැයි සැලකෙනවා.
  3. රුවල් බෝට්ටු නිපදවීම – ශිෂ්ඨාචාරය ගංගා දෙකක් අතර පිහිටීම නිසා පහසුවෙන් ප්‍රවාහන කටයුතු කරගැනීමට යොදාගන්නට ඇතැයි සැලකෙනවා.
  4. නගුල නිපදවීම – පහසුවෙන් වගාකටයුතු කරගැනීමට නිපදවාගන්නට ඇතැයි සැලකෙනවා.
  5. වෙලාව ඒකකයක් 60 කින් නිරූපණය කිරීම – ඒ අනුව පැයට මිනිත්තු 60ක්ද, විනාඩියට තප්පර 60ක්ද වනසේ ගත් බවට ගවේෂකයින් මත පළකරනවා.
  6. තාරකා විද්‍යාවේ දියුණුව – ග්‍රහලෝක හා තාරකා අධ්‍යයනය සිදුකර ඇතැයි සොයාගැනීම්වලින් තහවුරු වෙනවා.
  7. සිතියම් නිර්මාණය – භූගෝලීය සාධක, ගමන් මාර්ග, දඩයම් කරන ස්ථාන ආදී දේ මැටි පුවරු මත සිතියම් කොට තිබී සොයාගෙන තිබෙනවා.
  8. ගණිත ක්‍රම භාවිතය – වෙළඳාම සඳහා ගණිතය මුලින් යොදාගන්නට ඇතැයි මත පළකරනවා. එලෙසම අංශක 360° හා බිංදුව සොයා ගැනීමද සිදුකළා සැලකෙනවා. කොහොම නමුත් ඉන්දියාවේ බිංදුව සොයාගත්තේ යැයිද සමහර ගවේෂකයින් මත පළකරනවා.
  9. නගර නිර්මාණය – අව්වේ වියලන ලද ගඩොල් භාවිතයෙන් ස්ථිර නිවාස සාදාගෙන තිබෙනවා.
  10. ලිවීම ආරම්භ කිරීම – ව්‍යාපාර තොරතුරු මැටිපුවරු මත සටහන් කොට තබාගෙන තිබෙනවා.
  11. ජල කළමනාකරණය – ගංගා නිතර පිටාර ගලන නිසා එයට ගැලපෙන ලෙස වගාවන් සිදුකර තිබෙනවා.

ශිෂ්ඨාචාරයේ අවසානය

මෙතරම් දියුණු වුවත් ශිෂ්ඨාචාරය විවිධ හේතූන් මත බිඳ වැටී තිබෙනවා. එලෙස බිඳ වැටීමට බලපෑවේ යැයි ගවේෂකයන් සලකන කරුණු කිහිපයක් පහතින් දැක්වෙනවා.

  • යුධ ගැටුම්
  • වගාවට අවශ්‍ය ජලය හා පස හරියාකාරව නොලැබීම
  • නිසි පරිදි නඩත්තුනොවූ නාගරික සනීපාරක්ෂාව

මෙලෙස දියුණු වූ මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය ක්‍රිස්තුස් වහන්සේ ඉපදීමට වසර 1900ත් 1600ත් අතර කාලයක් තිබියදී බිඳ වැටී ඇතැයි සැලකෙනවා.

අද වනවිටත් අප මෙසපොතේමියානු වැසියන් විසින් සොයාගන්නා ලද උපකරණ හා තාක්ෂණය කොතරම් නම් භාවිත කරන්නේදැයි ලිපිය කියවීමේදී ඔබටද සිතෙන්නට ඇත. තවමත් හරි ආකාරයෙන් පැහැදිලි කර නොගත් තොරතුරු බොහොමයක් සැඟවී පවතිනවා. අනාගත කැණීම් හරහා ඒ පිළිබඳවත් කරුණු අනාවරණය කරගැනීමට හැකිවනු නොඅනුමානයි.

කවරයේ පින්තූරය : images.wisegeek.com

මුලාශ්‍ර :

  1. https://sites.google.com/site/1ancientcivilizationsforkids/ancient-history-before-civilizations
  2. http://history-world.org/mesopotamia_a_place_to_start.htm
  3. https://www.thoughtco.com/where-is-mesopotamia-195043
  4. http://www.palmbeach.k12.fl.us/eagleslandingms/MesopotamiaAgriculture.pdf
  5. http://www.smspromotions.org/mesopotamian-religion.html
  6. http://www.ducksters.com/history/mesopotamia/sumerian_writing.php
  7. https://www.ancienthistorylists.com/mesopotamia-history/top-11-inventions-and-discoveries-of-mesopotamia
  8. http://ancientmesopotamians.com/decline-of-mesopotamia.html

Related Articles