Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුපිරි වෙළඳසැල් සංකල්පයේ ආරම්භය: පිග්ලි විග්ලි

අද වන විට සුපිරි වෙළඳසැල් අපේ රටටත් නව අත්දැකීමක් නොවෙයි. ඒ තරමටම සුපිරි වෙළඳසැල් ජාලා ලොව පුරා පැතිරී තිබෙනවා. මේවා වෙළඳ කටයුතු වඩාත් පහසු කර දීමටත්, පාරිභෝගික ආකර්ශනය වැඩි කිරීමටත් සමත්වී තිබෙනවා.

වර්තමාන සුපිරි වෙළඳසැල් සංකල්පයේ ආරම්භය

වර්තමානයේ අප දන්නා සුපිරි වෙළඳසැල්වල සංකල්පය සහිත වෙළඳසලක ආරම්භය ලෙස, 1916 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ ටෙනසිහි මෙම්ෆිස්හි දී විවෘත කරන ලද පිග්ලි විග්ලි ස්වයං-සේවා වෙළඳසැල හැඳින්විය හැකියි. අද වන විට පිග්ලි විග්ලි වෙළඳසැල ජනපද දාහතක් පුරා විසිරුණු, ශාඛා පන්සිය තිහකට වැඩි ජාලයක් බවට පත්ව ඇත්තේ එම සංකල්පයේ සාර්ථක බව මනාව පැහැදිළි කරමින්.

පිග්ලි විග්ලි වෙළඳසැලේ නිර්මාතෘ ක්ලැරන්ස් සෝන්ඩර්ස් සතුව සාම්ප්‍රදායික සිල්ලර භාණ්ඩ අලෙවි සැලක් තිබුණා. එහිදී ඔහු නිරීක්ශණය කළේ, එකල පැවති සිල්ලර බදු මිල දී ගැනීමේ ක්‍රමය – වෙළඳසැලට පැමිණෙන පාරිභෝගිකයින් ඔවුන්ට අවශ්‍ය භාණඩ ලැයිස්තු වෙළෙන්දාට හෝ වෙළඳ සහකරුට ලබාදුන් පසු වෙළෙන්දා හෝ ඔහුගේ සහකරු විසින් එම භාණ්ඩ රාක්කවලින් සොයා, මළුවලට අසුරා දෙන තුරු බලා සිටීම – ඉතා අකාර්යක්ශම බව යි. මෙය වෙළඳසලේ බොහෝ පාරිභෝගිකයින් සිටින අවස්ථාවන්වල දී දීර්ඝ පෝලිමක් ඇතිවීමට, පාරිභෝගිකයින්ගේ කාලය නාස්ති වීමට, සහ වෙළෙන්දා හෝ සහකරු මත දැඩි පීඩනයක් ඇති කිරීමට හේතු වන බව සෝන්ඩර්ස්ගේ අවධානයට හසුවුණා.

මෙම ගැටළුවට පිළියමක් කල්පනා කළ සොන්ඩර්ස්, “ස්වයං-සේවා” වෙළඳසැල් සංකල්පය (පාරිභෝගිකයින් වෙළඳසලේ දී තමාගේම සිල්ලර බදු තමාම රාක්කවලින් සොයාගැනීම) හඳුන්වා දුන් අතර, එම සංකල්පය අනුව යමින් ඔහුගේ ප්‍රථම ස්වයං සේවා වෙළඳසැල හෙවත් ‘පිග්ලි විග්ලි’ වෙළඳසැල ටෙනෙසිහි විවෘත කළා.

පිග්ලි විග්ලි නිර්මාතෘ ක්ලැරන්ස් සෝන්ඩර්ස් (memphismuseums.wordpress.com)

විවෘත කිරීමේ උත්සවය

ප්‍රථම පිග්ලි විග්ලි ස්වයං-සේවා වෙළඳසැලේ විවෘත කිරීමේ උත්සවයේ දී “රූපලාවන්‍ය තරගයක්” පැවැත්වීමට සෝන්ඩර්ස් පොරොන්දු වූ බවට වාර්තා වේ. එදින වෙළඳසැලට පැමිණි කාන්තාවන් අතට අත දී පිළිගත් සෝන්ඩර්ස්, කුඩා දරුවන් අත මල් සහ බැලුන් බෝල තැබුවේ ඔවුන්වත් උණුසුම් ලෙස පිළිගනිමිනි. අවස්ථාව වාර්තා කරන්නට පැමිණි පුවත්පත් වාර්තාකරුවන් තරග තීරකයන් ලෙස පෙනී සිටි අතර, පැමිණ සිටි සියළු කාන්තාවන්ට ඩොලර් පහේ සහ දහයේ රන් කාසි ලබා දුන්නේ ත්‍යාග ලෙස ය. 

එදින වෙළඳ කටයුතු අවසන් වනතුරුම තූර්‍යවාදක කණ්ඩායමක් අමුත්තන් සඳහා වාදනයේ යෙදුනේ ය. ඒ, සෝන්ඩර්ස් විසින් වෙළඳ ලෝකයට මෙතෙක් නොවූ විරූ සංකල්පයක් හඳුන්වාදෙන මොහොත අති උත්කර්ශවත් සහ ආකර්ශනීය වීම අත්‍යාවශ්‍ය බැවිනි.

පිග්ලි විග්ලි ස්වයං-සේවා වෙළඳසැලේ විවෘත කිරීමේ දින ස්මාරකය (flickr.com)

නව හඳුන්වාදීම්

පිග්ලි විග්ලි වෙළඳසැල් ලොව ප්‍රථම වරට “ස්වයං සේවා” ක්‍රමය හඳුන්වා දුන් අතර, මෙය වෙළඳසැල්වල සේවක වැටුප් සඳහා යන වියදම හරි අඩකින් පමණ කපා දැමීමට උපකාරී විය. “මිල සටහන් කළ භාණ්ඩ” ද පිග්ලි විග්ලි වෙළඳසැලේ හඳුන්වාදීමක් වන අතර, සෝන්ඩර්ස් පාරිභෝගිකයින් වෙනුවෙන් හඳුන්වාදුන් දැවයෙන් කරන ලද භාණ්ඩ රැස් කරන කූඩ අද වන විටත් සුපිරි වෙළඳසැල්වල භාවිතා කෙරේ (මේවා අද වන විට ප්ලාස්ටික් හෝ ලෝහ භාවිතයෙන් නිශ්පාදනය කරනු ලබයි). මීට අමතරව සිල්ලර භාණ්ඩ වෙළඳසැල් සේවකයින් සඳහා නිල ඇඳුමක් හඳුන්වා දුන්නේ ද සෝන්ඩර්ස් විසිනි.

 

ප්‍රථම පිග්ලි විග්ලි වෙළඳසැලේ ඇතුලත (knappily.com)

 

පිග්ලි විග්ලි නමේ උපත

ක්ලැරන්ස් සෝන්ඩර්ස් ඔහුගේ නව වෙළඳසැල සඳහා “පිග්ලි විග්ලි” යන නම භාවිතා කිරීමේ හේතුව අදටත් රහසක් ලෙස පවතී. සමහරෙකුට අනුව සෝන්ඩර්ස් දිනක් දුම්රියේ ගමන් කරමින් සිටිය දී වැටක් යටින් රිංගා යාමට දඟලන (wiggling) ඌරු පැටවුන් කිහිපදෙනෙක් ජනේලයෙන් දුටු අතර, එවිට ඔහුගේ සිතට “පිග්ලි විග්ලි” යන වදන් පැමිණ ඇත. පසුව, ‘වෙළඳ ක්ෂේත්‍රයේ ඇති බාධකයක් පසුකර යෑමට තමා දරණ උත්සාහය’ හෙවත් මෙම නව ආකාරයේ වෙළඳසැල් සංකල්පය එදා ඌරු පැටවුන්ගේ හැසිරීමට සමාන කරමින්, එය වෙළඳසල් නම ලෙස භාවිතා කළ බව කියැවේ.

පිග්ලි විග්ලි වෙබ් අඩවියට අනුව, වරක් එක් පුද්ගලයෙක් සෝන්ඩර්ස් ගෙන් මේ අමුතු නමට හේතුව අසා තිබේ. සෝන්ඩර්ස් එයට පිළිතුරු ලෙස, මේ අමුතු නම ගැන සියළු දෙනා ප්‍රශ්න කරන බැවින් තමා මේ නම තෝරාගත් බව පවසා ඇත. එයට අනුව නම් මේ අමුතු නම සෝන්ඩර්ස් තම නව වෙළඳසැලේ ජනප්‍රියත්වය සඳහා යොදාගත් තවත් උපක්‍රමයකි.

 

පිග්ලි විග්ලි ලාඤ්ඡනය (historiccolumbia.org)

 

ප්‍රථම පිග්ලි විග්ලි වෙළඳසැලේ ආරම්භයෙන් වසරකට පසුව සෝන්ඩර්ස් ස්වයං සේවා සංකල්පය සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගත් අතර, එම සොයාගැනීමෙන් නොනැවතී වෙළඳ ක්ෂේත්‍රයට තවත් නව හඳුන්වාදීම් කර තිබේ. කීඩූස්ල් සහ ෆුඩ් ඉලෙක්ට්‍රික්ස් වැනි ස්වයංක්‍රීය වෙළඳසැල් සංකල්පයක් හඳුන්වාදීමට සෝන්ඩර්ස්  උත්සාහ කළ ද, පිග්ලි විග්ලි මෙන් ඒවා ජනතාව අතර ප්‍රචලිත වූයේ නැත.

කෙසේ වුවත් වර්තමානයේ සෝන්ඩර්ස්ගේ ස්වයං සේවා වෙළඳසැල් සංකල්පය, එහි ඉදිරි ගමනට උපකාරී වුණු තවත් නව සොයාගැනීම් වන භාණ්ඩ රැස් කරන කරත්ත, කාඩ්පත් මඟින් ගෙවීමේ පහසුකම, ස්වයං ගෙවීම් කවුන්ටර, සහ තවත් බොහෝ පහසුකම් සහිත සුපිරි වෙළඳසැල් බවට පත්වී ඇත්තේ සෝන්ඩර්ස්ගේ සංකල්පයේ ඉදිරිගාමී බව සහ සාර්ථකත්වය මනාව පැහැදිලි කරමිනි.

Related Articles