ලංකාවේ තිබෙන ලන්දේසි බලකොටු 5ක්

ක්‍රි.ව. 1505 වසරේ දී පෘතුගීසින් ලංකාවට සේන්දු වන විට කෝට්ටේ මෙරට බලවත්ම රාජධානිය බවට පත්ව තිබුණා. නමුත් 1521 වසරේ දී සිදු වුණු විජයබා කොල්ලයත් සමග කෝට්ටේ රාජධානිය කොටස් 3කට වෙන් වී ගියා. එහි දී 7 වැනි බුවනෙකබාහු රජුගේ පාලනයට නතු වුණු කෝට්ටේ රාජධානියෙහි අයිතිය පසු කලෙක පෘතුගීසීන්ට හිමිවුණේ දොන් ජුවන් ධර්මපාල රජතුමාගේ අදූරදර්ශී ක්‍රියා කලාපය නිසා යි. විජයබා කොල්ලයෙන් පසුව බිහිවුණු සීතාවක නම් රාජධානිය පාලනය කළේ මායාදුන්නේ රජතුමා යි. එම රජතුමා පෘතුගීසින් මෙරටින් පළවාහැරීම සඳහා ප්‍රබල සටනක් දියත් කළ අතර, ඔහුගේ මෙහෙයවීම යටතේ ටිකිරි කුමරු මෙහෙය වූ මුල්ලේරියාව සටනේ දී පෘතුගීසි සේනාවට අන්ත පරාජයක් අත් වුණා.

මුල්ලේරියා සටනේ අවස්ථාවක් දැක්වෙන සිතුවමක් (Prasanna Weerakkody Paintings)

මායාදුන්නේ රජුගේ මරණයෙන් පසුව සීතාවක රාජ්‍යත්වයට පත් වුණේ ටිකිරු කුමරු හෙවත් පළමු රාජසිංහ රජතුමා යි. මුල් යුගයේ දී පෘතුගීසින්ට එරෙහිව දක්ෂ ලෙස සටන් කළ එම රජතුමා අවස්ථාවන් දෙකක දී කොළඹ පෘතුගීසි කොටුව ආක්‍රමණය කළා. නමුත් රාජසිංහ රජතුමා පසු කලෙක ‘අරිට්ඨ කිවේණ්ඩු’ නම් දමිළ පූජකයා සමග එක්ව බුද්ධාගමට වින කළ නිසා සීතාවක රාජධානිය බිඳ වැටුණා.

සීතාවක රාජධානිය බිඳ වැටීමට හේතු වුණේ පළමු විමලධර්මසූරිය රජතුමා අතින් සීතාවක රාජසිංහ රජතුමා ලැබූ පරාජය යි. සීතාවක රාජධානිය බිඳවැටීමෙන් පසුව මහනුවර රජ වුණු විමලධර්මසූරිය රජතුමාගේ රාජ්‍ය සමයේ දී පෘතුගීසින් මහනුවර රාජධානිය අල්ලා ගැනීමට සටන් දෙකක් දියත් කළා. 1594 දන්තුරේ සටන සහ 1602 බලන සටන නමින් හැඳින්වුණු එම සටන් දෙකම ජයග්‍රහණය කළේ සිංහල සේනාව යි. එලෙස සිංහලයන් සහ පෘතුගීසින් සටන් කරමින් සිටි කාල සමයේ ස්පිල්බර්ජන් නම් ලන්දේසි ජාතිකයා විමලධර්මසූරිය රජතුමා හමුවීම සඳහා පැමිණියා.

විමලධර්මසූරිය රජතුමා සහ ස්පිල්බර්ජන් (Divaina)

එලෙස 1602 වසරේ දී ලන්දේසි දූතයෙකු ලංකාවට පැමිණියත් යළි ලන්දේසීන් කරළියට පැමිණෙන්නේ 2 වැනි රාජසිංහ රාජ්‍ය සමයේ දී යි. දෙවන රාජසිංහ රජතුමා රාජ්‍යත්වයට පත්වීමට පෙර ‘මහ අස්ථාන කුමරු’ යන නමින් හඳුන්වනු ලැබුවා. 1630 වසරේ දී පෘතුගීසින්ට එරෙහිව රන්දෙනිවල සටන මෙහෙයවනු ලැබුවේ මහ අස්ථාන කුමාරයා යි. 1635 වසරේ දී මහ අස්ථාන කුමාරයා දෙවන රාජසිංහ නමින් රාජ්‍යත්වයට පත් වුණා. රාජසිංහ රජතුමා රාජ්‍යත්වයට පත් වී වසර 3කින් පෘතුගීසින්ට එරෙහිව මෙහෙය වූ ගන්නෝරුව සටන ජයග්‍රාහී ලෙසින් අවසන් කළා.

එම යුගය වන විට පෘතුගීසීන් මහනුවර රාජධානිය අල්ලා ගැනීම සඳහා මාන බලමින් සිටියා. නිතරම පෘතුගීසින් මහනුවර රාජධානියට ප්‍රහාර එල්ල කරන්නට වූ නිසා, දෙවන රාජසිංහ රජතුමා පෘතුගීසීන්ව මෙරටින් පළවාහැරීම සඳහා පිඹුරුපත් සකස් කළා. ඒ සඳහා ලන්දේසි ජාතිකයන්ගේ සහාය ලබාගැනීමට රජතුමා තීරණය කළා.

දෙවන රාජසිංහ රජතුමා (Life Online)

එහි ප්‍රතිඵලයක් වශයෙන් 1638 වසරේ දී ලන්දේසීන් සහ උඩරට රජතුමා අතර ගිවිසුමක් අත්සන් කරනු ලැබුවා. එම ගිවිසුමේ අඩංගු වුණු වගන්ති තුනක බලපෑම හේතුවෙන් මෙරට තුළ ලන්දේසි බලකොටු ඉදි  වුණා. පහත දැක්වෙන්නේ එම වගන්ති තුන යි.

1) පෘතුගීසින්ට පහර දී අල්ලා ගන්නා බලකොටුවල රජුගේ කැමැත්ත ඇත්නම් පමණක් ලන්දේසි සේනා පදිංචි කළ හැකියි.

2) ලන්දේසීන්ගේ බලකොටු ප්‍රතිසංස්කරණයට යන වියදම රජු විසින් දැරිය යුතු අතර ආරක්ෂා කිරීම සඳහා රජු විසින් වැටුප් ගෙවිය යුතුයි 

3) බලකොටු අල්ලා ගත් පසු රජු විසින් ලන්දේසීන්ට තම වෙළෙඳ හා බඩු වෙඩි බෙහෙත් තබාගැනීමට ගබඩාවක් තනා දිය යුතුයි 

ඉහත වගන්තිවල පළමු වගන්තියේ සඳහන් රජුගේ කැමැත්ත ඇත්නම් යන කොටස ලන්දේසි පිටපතේ ඇතුළත් නොවීම නිසා ගැටළුකාරී තත්ත්වයක් මතු වුණා. පසු කලෙක මෙරට පෘතුගීසි බලය බිඳවැටීමෙන් පසුව බලයට පත් වුණු ලන්දේසීන්, එම ගිවිසුම කඩ කරමින් සිය පාලන කටයුතු කරගෙන ගියා. ඉන් “ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ” යන ප්‍රස්ථා පිරුළ පවා නිර්මාණය වුණා. 1638 ගිවිසුම මගින් ලන්දේසීන්ට ලැබුණු බලය හේතුවෙන් රට වටා තිබුණු පෘතුගීසි බලකොටුවල අයිතිය හිමි වුණා. එසේම අලුතින් බලකොටු තැනීම සඳහා අවස්ථාව හිමි වුණා. එදා ලන්දේසීන් විසින් අප රට තුළ ඉදිකරන ලද බලකොටු අදටත් දක්නට ලැබෙනවා. එවැනි බලකොටු කිහිපයක් පිළිබඳව තොරතුරු පහත දැක්වෙනවා.

මඩකලපුව බලකොටුව 

මඩකලපුව ලන්දේසි කොටුව (Wikipedia)

මඩකලපුව පැරණි ලන්දේසි බලකොටුව කලපුවට මුහුණලා ඉදිකර තිබෙන්නේ මුහුදු ප්‍රවේශ මාර්ගය ඔස්සේ පහසුවෙන්ම පැමිණීමට හැකිවන ආකාරයට යි. මෙම බලකොටුව තුළ මුර කුටි 4ක්, සිර කුටි, වෙඩි බෙහෙත් ගබඩාව, හා උමං ආදිය දක්නට ලැබෙනවා. වර්ෂ 1707 හෙන්ද්‍රික් බැක්කර් විසින් නිම කළ මෙය වර්තමානය වන විට මඩකලපුව නගරයේ පරිපාලන කටයුතු පවත්වා ගෙන යෑමට උපකාරී වනවා. වසර ගණනාවකට පෙරාතුව ඉදි කළ මෙහි යෝධ පවුර මඟින් එවකට ලන්දේසීන්ගේ ගෘහ නිර්මාණ ශිල්පීය දක්ෂතාව පසක් කරනු ලබනවා.

ගාලු කොටුව 

1587 වසරේ දී පළමු රාජසිංහ රජතුමා කොළඹ පෘතුගීසි කොටුව ආක්‍රමණය කළා. හොඳින් සැලසුම් කරමින් දියත් කළ එම ආක්‍රමණය නිසා පෘතුගීසින් මාස ගණනාවක් කොටුව තුළ සිරවී සිටියා. එම අවස්ථාවේ දී ඔවුන්ට ගෝවෙන් ආධාරක භට සේනා එවනු ලැබුවා. එලෙස පැමිණි සේනා ලංකාවේ දකුණු ප්‍රදේශයට ගොස් මහා විනාශයක් කළා. එදා පෘතුගීසින් දකුණට පහරදුන් නිසා රජු ඇතුළු පිරිසට පසු බැසීමට සිදු වුණා. එලෙස දකුණට ගිය පෘතුගීසි සේනාව 1589 වසරේ දී ගාලු කොටුව නිර්මාණය කිරීම ආරම්භ කළා. පෘතුගීසින් ගාලු කොටුව ඉදිකිරීමෙන් පසුව ගාල්ල වරාය ආශ්‍රිතව සිය බලය තහවුරු කරගත්තා. නමුත් 1638 වසරේ දී උඩරට රජතුමා සහ ලන්දේසින් අතර අත්සන් කළ ගිවිසුමෙන් පසුව ලන්දේසින් විසින් රජුගේ අනුග්‍රහය ඇතිව පෘතුගීසි බලකොටුවලට පහරදුන්නා. 1640 වසරේ මාර්තු මාසයේ දී ලන්දේසි ජාතික විලියම් ජාකොබ් කෝස්ටර් ඇතුළු භට පිරිස පෘතුගීසීන් පරාජයට පත් කර ගාලු කොටුව අල්ලා ගත්තා. එදා ලන්දේසීන් සහ පෘතුගීසීන් අතර ඇති වුණු ද්වන්ධ සටන නිසා ප්‍රධාන මුර අට්ටාල 3ක් සහිත පෘතුගීසි කොටුව විනාශ වුණා. එම නිසා ලන්දේසීන් ගාලු කොටුව අලුතින්ම නිර්මාණය කළා.

ගාලු කොටුව (gettyimages)  

ලන්දේසීන් විසින් විනාශ වුණු මුර අට්ටාල තුන නැවත ඉදිකිරීමෙන් පසුව ඒවාට Zon, Maan, සහ Ster යන නම් තැබුවා. එලෙස සකස් කළ අට්ටාල තුළ රහස් උමග, රහස් යුධ කාමර සහ කාලතුවක්කු අට්ටාල වැනි දේ ඇතුළත් වුණා. එම ප්‍රධාන මුර අට්ටාලවලට අමතරව තවත් මුර අට්ටාල 11ක් ගාලු කොටුව තුළ දක්නට ලැබෙනවා. එසේම ගාලු කොටුව තුළ ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය අනුව ඉදි වුණු නිර්මාණ අදටත් දක්නට ලැබෙනවා. ගාලු කොටුව වටේටම කාල තුවක්කු රැඳවිය හැකි කවුළු සකස් කර තිබුණු ආකාරය අනුව, එකල සතුරු ආක්‍රමණවලට මුහුණ දීම සඳහා ලන්දේසීන් මනාව සූදානම් වී සිටි බව ඉන් නිගමනය කළ හැකියි. අදටත් ගාලු කොටු පවුර තුළ පරිපාලන ගොඩනැගිලි සහ පාසල් වැනි දේ දක්නට ලැබෙයි. රට දෙල් නම් ශාක විශේෂය ලන්දේසි යුගයේ දී අප රට තුළ ව්‍යාප්ත වූ අතර, ඔවුන් මෙරට රෝපණය කළ ප්‍රථම දෙල් ගස ගාලු කොටුව තුළ දක්නට ලැබෙනවා. 1988 වසරේ දී ලෝක උරුමයක් ලෙස නම් කර මෙම සුන්දර කොටු පවුර අදටත් ගාලු නගරයට සුන්දරත්වයක් එක් කරනවා.

කල්පිටිය බලකොටුව 

කල්පිටිය ලන්දේසි කොටුවේ නටබුන් (Twitter)

1666 වසරේ දී දෙවන රාජසිංහ රජතුමා කල්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ඉදිකිරීම සඳහා ලන්දේසීන්ට අවසර ලබා දුන්. නමුත් ඔවුන් සූක්ෂමව එහි බලකොටුවක් ඉදිකරගනු ලැබුවා. කුරුස සහ කුළුණු සමග ඔවුන් එය පිටතට පල්ලියක් සේ දිස්වන අයුරින් නිර්මාණය කළා. මෙම බලකොටුවේ සියළුම බිත්ති හිරිගල්, හුණුගල් සහ කොරල් ආදිය භාවිතා කරමින් නිර්මාණය කර තිබෙනවා. එවැනි මාධ්‍ය යොදාගෙන නිර්මාණය කරන බැමි පළුදු වුණු විට ඉක්මනින්ම විනාශ වනවා. අද වන විට කල්පිටිය බලකොටුවේ බිත්ති සහ බැමි දැඩි ලෙස විනාශයට පත් වී තිබෙන්නේ එම හේතුව නිසා යි. පැරණි ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ හැකියාව ලොවටම පෙන්වන්නට කල්පිටිය ලන්දේසි බලකොටුව සමත් වෙනවා.

යාපනය බලකොටුව 

යාපනය ලන්දේසි කොටුවේ නටබුන් (gettyimages)

පෘතුගීසින් 1618 වසරේ දී යාපනය අල්ලා ගත්තා. ඉන් පසුව පිලිප් ද ඔලිවේරා නම් පෘතුගීසි ජාතිකයාගේ මඟ පෙන්වීම යටතේ යාපනය කොටුව ඉදි කළා. නමුත් 1658 වසරේ දී මෙම කොටුව ලන්දේසින්ගේ ග්‍රහණයට නතු වුණා. අක්කර 56ක භූමි ප්‍රදේශයක් පුරා විහිදී ඇති මෙම කොටුව දෙවැනි වන්නේ ගාලු කොටුවට පමණ යි. එදා ලන්දේසි වාස්තු විද්‍යාත්මක ක්‍රම භාවිතා කරමින් යළි ගොඩනැගුණු යාපනය ලන්දේසි බලකොටුව පංචස්‍රාකාර තුඩු 5ක් සහිත තාරකාවක හැඩයක් සහිතව නිමාවට පත් කළා. එලෙස ගොඩනගන ලද යාපනය බලකොටුව ප්‍රාකාර දෙකකින් ශක්තිමත් කළා. පිටත ප්‍රාකාරය තුළ යුද්ධ අට්ටාල 3ක් හා ඇතුල් ප්‍රාකාරය තුළ යුද්ධ අට්ටාල 5ක් ඉදි කළා. එම ප්‍රාකාර දෙක වෙන් කිරීම සඳහා දිය අගලක් නිර්මාණය කර තිබුණු නිසා බලකොටුව ඉතාමත් සුන්දර අයුරින් පිටතට දිස් වුණා. 1658 වසරේ දී වැඩ ආරම්භ කළ මෙම බලකොටුවේ ඉදිකිරීම් අදියර දෙකක් යටතේ සිදු වුණා. 1658-1680 කාල සීමාව තුළ මෙහි ඇතුළත ප්‍රාකාරය ඉදි කළා. දිය අගල සහ පිටත ප්‍රාකාරයේ ඉදිකිරීම් කටයුතු 1680-1792 කාල සමය තුළ සිදු වුණා. එහි දක්නට ලැබෙන සුවිශේෂී සිදුවීම වන්නේ සමස්ත බලකොටුව නිමා කිරීම සඳහා වසර 134ක් පමණ ගතවී තිබීම යි. එලෙස මහත් පරිශ්‍රමයක් දරා නිර්මාණය කළ යාපනය බලකොටුව මෑතකාලීන සිවිල් යුද්ධ සමයේ දී විනාශයට පත් වුණා. නමුත් වර්තමානය වන විට නෙදර්ලන්ත ආධාර යටතේ මෙම බලකොටුව ප්‍රතිසංස්කරණය වෙමින් පවතිනවා. එම නිසා අනාගත පරපුරට යාපනයේ බලකොටුවේ අසිරිය යළි නැරඹීමට හැකිවනු ඇති.

ත්‍රිකුණාමලය බලකොටුව 

ත්‍රිකුණාමලය කොටුව (Wikipedia)

පෘතුගීසි සෙන්පතියෙකු වුණු ‘කොන්ස්ටන්ටයින් ද සා’ 1624 වසරේ දී මෙම බලකොටුව ඉදිකරනු ලැබුවා. මෙම බලකොටුව ඉදිකිරිමේ දී ගෝකන්න විහාරය ඇතුළු බෞද්ධ පුදබිම් කිහිපයක් විනාශ කෙරුණා. එලෙස ත්‍රිකුණාමලයේ ඉදිවුණු පෘතුගීසි බලකොටුව ඔවුන්ගේ යුද්ධ මධ්‍යස්ථානය බවට පත් වුණා. මෙම බලකොටුව පිළිබඳව එදා පෘතුගීසි ඉතිහාසඥයකු වුණු ජොආඕ රිබෙයිරෝ මෙසේ සටහන් කර තිබුණා.

“ත්‍රිකුණාමලයෙහි ත්‍රිකෝණාකාර බලකොටුවක් විය. අයෝමය කාලතුවක්කු දහයකින් යුත් මුර අට්ටාල තුනක් සහිත බලකොටුව වරාය අසලින් මුහුදට නෙරා සිටි බිම්කඩක කඳුගැටයක් මත ඉදිවී තිබුණි. සෙබළුන් පනස් දෙනකු පිරිවරාගත් කපිතන්වරයෙක් එය භාරව සිටියේය. පල්ලියක් ද එහි ඉදිවී තිබුණු අතර දේවගැතිවරයෙක් ද සිටියේය. වෙඩි බෙහෙත් මෙන් ම වෙනත් ගබඩාද එහි විය.”

1639 වසරේ දී දෙවන රාජසිංහ රජතුමා මෙම බලකොටුවට එල්ල කළ ප්‍රහාරයන් නිසා බලකොටුව විනාශ වුණා. පසු කලෙක ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසින්ගේ ග්‍රහණයට නතුවීමත් සමගම මෙම බලකොටුව ඔවුන්ගේ වාස්තු විද්‍යාත්මක ක්‍රම යටතේ යළි ප්‍රතිසංස්කරණයට ලක් වුණා. ඒ අනුව 1665-1675 කාල සමය තුළ මෙම බලකොටුවේ වැඩ අවසන් වුණා. මෙම බලකොටුව තුළ ලන්දේසි හමුදා නිලධාරින්ගේ බැරැක්ක, නිවාස, අශ්ව ඉස්තාල සහ වෙනත් කුටි පිහිටා තිබෙනවා. එසේම බලකොටුව තුළ තිබුණු  කාලතුවක්කු  14 අතුරින් සමහර ඒවා අදටත් දැකගත හැකියි.

කවරයේ ඡායාරූපය- ගාලු කොටුවේ දක්නට ලැබෙන ලන්දේසි ලාංඡනයක් (gettyimages)  

Related Articles