වියට්නාමයට එල්ල වූ චීන, ප්‍රංශ හා ජපන් ආක්‍රමණ

වියට්නාමය යනු අතීතයේ මෙන්ම මෑත ඉතිහාසයේත් විදේශීය රටවල් කිහිපයකම ආක්‍රමණයට නතු වූ රටක් ලෙසත් දක්ෂ ගරිල්ලා සටන් උපක්‍රම භාවිතා කරමින් තමන් යටත් කරගත් ප්‍රබල රටවල් යුධමය අතින් පරාජය කළ රටක් බවත් අපි හොඳින් දන්නවා.

චීනය විසින් දෙවතාවක් වියට්නාමය ආක්‍රමණය කරන අතර වසර 1000කට ආසන්න කාලයක් චීනයේ යටත් විජිතයක් ලෙසත් පසුව ප්‍රංශයේ හා ජපානයේ යටත් විජිතයක් ලෙසත් පැවති වියට්නාමය ලෝකය පුරා අවධානය දිනාගනු ලබන්නේ වියට් මින් හමුදාව විසින් 1954 වසරේදී ඩියෙන් බියෙන් ෆූ (Dien Bien Phu) සටනින් ප්‍රංශය පරාජය කිරීම හා පුරා වසර 20ක් තිස්සේ පැවති දරුණු ඇමරිකානු ආක්‍රමණය උතුරු වියට්නාම් හමුදාව හා වියට් කොන්ග් ගරිල්ලන් එක් වී සාර්ථකව මැඩ පැවැත්වීම තුළින්ය.

චීනයේ යටත් විජිතයක් ලෙස

වියට්නාමයේ පිහිටීම (Vietnam Travel Guide)

ඉතා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන වියට්නාමය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේදී චීනය විසින් ආක්‍රමණය කරන අතර ඔවුන් විසින් මුලින්ම අල්ලා ගන්නේ වියට්නාමයේ රතු ගංගාව (Red River) ආශ්‍රිත ප්‍රදේශයයි. එම ආක්‍රමණයෙන් පසුව වසර 1000කට ආසන්න කාලයක් වියට්නාමය, චීනයේ යටත් විජිතයක් ලෙස පවතිනවා. මෙම කාලය තුළදී වියට්නාමය, ඉන්දියාව හා චීනය යා කළ මුහුදු මාර්ගයේ ප්‍රධාන නවාතැන්පළක් බවට පත් වූ අතර ඒ හේතුවෙන් වියට්නාමයට චීනයෙන් මෙන්ම ඉන්දියාවෙන්ද බොහෝ දේවල් හිමි වෙනවා.

චීනයෙන් වියට්නාමයට කොන්ෆියුසස් දහම හා මහායාන බුදු දහම හිමි වූ අතර ඉන්දියාවෙන් ථේරවාදී බුදු දහම හා ඒ හා බැඳී සංස්කෘතිය හිමි වෙනවා. කෘෂිකර්මය (වී වගාව), වාරි තාක්ෂණය හා වෛද්‍ය විද්‍යාව ද චීනයෙන් වියට්නාමයට ලැබුණු අනෙකුත් දේවල් ලෙස හඳුන්වන්නට​ පුළුවන්.

මෙසේ පාලනය වූ වියට්නාමය ක්‍රිස්තු වර්ෂ 938දී  චීන හා වියට්නාම් හමුදා අතර බැක් ඩන්ග් ගංගාව අසළ ඇති වූ (Battle on the Bach Dang River) සටන ජයග්‍රහණය කිරීමෙන්  පසුව වසර 1000ක චීන පාලනය පරාජය කරමින් න්ගෝ කුයෙන් (Ngo Quyen) නම් පාලකයා විසින් වියට්නාමය චීනයෙන් නිදහස් කර ගැනීමට කටයුතු කරනවා.

ඉන්පසු තායි ත්වෝ (Thai to) නම් රාජ වංශිකයෙකු ආරම්භ කරන ලද ලයි රජ පරම්පරාවේ (Ly dynasty) පාලකයන් විසින් 11 වන සියවසේ සිට 13 වන සියවස දක්වා වියට්නාමය පාලනය කිරීම සිදු කරනවා.එම කාලය තුළ චීන ආක්‍රමණ නැවතත් එල්ල වන අතර චීනය ඇතුළු අනෙකුත් රටවල ආක්‍රමණ සාර්ථකව ව්‍යර්ථ කිරීමට මෙම කාලය තුළදී ඔවුන්ට හැකියාව ලැබෙනවා.

නැවතත් 15 වන සියවසේ මුල් භාගයේදී චීනය විසින් වියට්නාමය ආක්‍රමණය කරන අතර ක්‍රි.ව 1407 වසරේ සිට රටේ පාලන බලය ලබා ගන්නා ඔවුන් විසින් වියට්නාම් ජනතාව වෙත අධික බදු බරක් පටවන අතර ස්වදේශිකයන් වහල් සේවයේ ද යොදවනු ලබනවා. වර්ෂ 1428 දී රට නැවතත් චීනයෙන් නිදහස් කර ගැනීමට වියට්නාමයේ ලේ ලෝයි (Le Loi) අධිරාජයා විසින් කටයුතු කරනවා. ක්‍රිස්තු වර්ෂ 17 හා 18 සියවස වන විට වියට්නාමය උතුර හා දකුණ ලෙස වෙන් වෙන්ව පාලනය කරනු ලබන අතර ට්‍රෙන්වරුන් (Trinh) විසින් උතුරු ප්‍රදේශය ද නොවුයන්වරුන් (Nguyen) විසින් දකුණු ප්‍රදේශය ද පාලනය කරනවා.

19 වන සියවසේදී ප්‍රංශ යටත් විජිතයක් බවට පත්වීම

ප්‍රංශ පාලනය තුළ වියට්නාමය (YouTube)

1847 වසරේදී පමණ ප්‍රංශය විසින් වියට්නාමය තුළ සිය යුධ ක්‍රියාකාරකම් ආරම්භ කරන අතර 1861 වසරේදී ඔවුන් විසින් සයිගොන් නගරය (Saigon) අල්ලා ගන්නවා.1883 වන විට මුළු වියට්නාමය අල්ලා ගන්නා ප්‍රංශය, තම පාලනය සදහා වියට්නාමය කොටස් තුනකට වෙන් කරනවා. කොචින් (chochin) ලෙස දකුණු ප්‍රදේශයත්, තොන්කින් (Tonkin) ලෙස උතුරු ප්‍රදේශයත්, ඇනෑම් (Annam) ලෙස මධ්‍යම ප්‍රදේශයත් නම් කරනවා. 1887 වන විට ප්‍රංශ ජාතිකයන් විසින් සම්පූර්ණයෙන්ම වියට්නාමය, ලාඕසය හා කාම්බෝජය ආක්‍රමණය කරන අතර මෙම ප්‍රදේශ ඉන්දු-චීන යටත් විජිත ලෙස හදුන්වනු ලබනවා.

යටත් කරගැනීමෙන් පසුව වියට්නාමයේ සයිගොන් සිට හැනොයි (Saigon–Hanoi) දක්වා ප්‍රංශ ජාතිකයන් විසින් දුම්රිය මාර්ගයක් නිර්මාණය කරනවා. වියට්නාමයේ තුළ තිබූ ස්භාවික සම්පත් සියල්ල තම ප්‍රයෝජනය සදහා ලබා ගන්නා ප්‍රංශ ජාතිකයන් මෙම කාලය තුළ අධික ලෙස බදු මුදල් අය කිරීම ද සිදු කරනවා. සියළුම ඉදිකිරීම් සදහා වියට්නාම් ශ්‍රමය යොදාගත් අතර ඒ සඳහා කම්කරුවන්ට ඉතා අඩු වැටුපක් ගෙවනු ලබනවා. කම්කරුවන් පිළිබඳව කිසිඳු සැළකිල්ලක් නොදැක්වූ අතර මිෂලාන් රබර් කර්මාන්තශාලාවේ සේවය කල මියන්මාර සේවකයන් 45000 අතරින් 1917 සිට 1947 කාලය දක්වා 12 000කට ආසන්න ප්‍රමාණයක් මන්දපෝෂණයෙන් හා වෙනත් රෝග වලින් මරණයට පත් වීම ඊට එක් උදාහරණයකි.

වියට්නාම් කොමියුනිස්ට්වාදය

හෝ චි මින් (Getty Images)

මේ අතර චීනයේ සම්පූර්ණ අනුග්‍රහය මත 1925දී චීනයේ කැන්ටන් නගරයේදී වියට්නාම් සටන් ඉතිහාසයේ ප්‍රධානියා වූ හෝ චි මිං ගේ ප්‍රධානත්වයෙන් වියට්නාම් “විප්ලවීය තරුණ ලීගය” ආරම්භ කරනවා. ඉන් පසුව 1930 වසරේදී වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කිරීම වියට්නාමයේ නිදහස සදහා නව දොරටුවක් නිර්මාණය කිරීමක් ලෙස හදුන්වා දිය හැකියි.

ජපානය විසින් අග්නිදිග ආසියාව ආක්‍රමණය කිරීම

ජපාන හමුදාව චීනයේ (Pinterest)

දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමඟ කොරියාව, චීනය ඇතුළු අග්නිදිග ආසියානු රටවල් ආක්‍රමණය කරමින් මෙම කලාපයේ පිහිටි සියළුම මිත්‍ර හමුදා යටත් විජිත තම යටතට ගැනීමට ජපන් අධිරාජය විසින් උත්සාහ කරනවා.

1937 වසරේදී ජපානය විසින් චීනය ආක්‍රමණය කිරීමත්, 1940 වසරේ ජුනි මාසයේදී ප්‍රංශය නාසි ජර්මනියට යටත් වීමත් යන මූලික කරුණු මුල් කරගනිමින් එම කාලයේදී ප්‍රංශය යටතේ පැවති ඉන්දු-චීන ප්‍රදේශ ජපානය විසින් පවරා ගැනීම සිදු කරනවා. මේ අනුව වියට්නාමය පාලනය කිරීමේ බලතල ද හිමි වන්නේ ජපානයටයි.

නිදහස් වියට්නාමය

ජපන් හමුදාව හැනොයි නගරය අල්ලා ගැනීම (Saigoneer)

මෙම කාලය තුළ ජපන් අධිරාජයාට එරෙහිව නැගී සිටීමට හෝ චි මින් විසින් 1941 වසරේදී “වියට්නාම් නිදහස් ලීගය” හෙවත් වියට් මින් සංවිධානය පිහිටුවන අතර ඔවුන් ජපානයට එරෙහිව සන්නද්ධ ව්‍යාපාරයක නිරත වෙනවා. ඒ සදහා ඔවුන්ට ඇමරිකානු එක්සත් ජනපදයේ ද සහයෝගිතාව හිමිවෙනවා.

දෙවන ලෝක යුද්ධය හමුවේ ජපානය ක්‍රමක් ක්‍රමයෙන් පරාජයට පත්වෙන ආකාරය පැහැදිලි වීමත් සමඟ වියට්නාමයේ බලය ලබා ගැනීමට වියට්මින්වරු උත්සාහ දරනවා.1945 වසරේ අගෝස්තු මාසයේදී “ජාතික විමුක්ති කමිටුව” නිර්මාණය කරන හෝචි මින් උතුරේ ප්‍රදේශ කිහිපයක බලය ලබා ගැනීමට සමත් වෙනවා.

1945 වසරේ ජපානයේ හිරෝෂිමා හා නාගසාකි නගර වලට ඇමරිකානු ගුවන් හමුදාව විසින් පරමාණු බෝම්බ හෙළීමෙන් අනතුරුව 1945 වසරේ සැප්තැම්බර් මාසයේදී ජපන් අධිරාජයා කොන්දේසි විරහිතව මිත්‍ර පාර්ශවයට යටත් වීම සිදු වෙනවා.ඒ අනුව 1945 වසරේ සැප්තැම්බර් 2 වනදා හෝ චි මින්, හැනෝයි හි බා ඩින් (Hanaoi’s Ba Dinh) චතුරස්‍රයේදී වියට්නාම් ජනතාව අමතා හැනොයි නගරයේ බලය තහවුරු කර නිදහස් වියට්නාමය පිහිටවනු ලබනවා.

වියට්නාමය නිදහස ලබා ගැනීම – හෝ චි මින් වෙත වියට් මින් ආචාරය  (Wikimedia Commons)

ඉතා කෙටි කාලයකින් ප්‍රජාතන්ත්‍රවාදී වියට්නාම් ජනරජයට එරෙහිව ප්‍රංශය නැවතත් යුධ ප්‍රකාශ කරන අතර 1946 දී නැවතත් ප්‍රංශය විසින් වියට්නාමය ආක්‍රමණය කරනවා. 1946 සිට 1954 දක්වා දෙපාර්ශවය අතර දරුණු ලෙස යුද්ධය පවතිනවා. අවසානයේදී ඩියෙන් බියෙන් ෆූ සටනනින් පසු ප්‍රංශයට අන්ත පරාජයක් අත් කර දෙමින් යුද්ධය නිම වෙන අතර ඒ පිළිබඳව සදහන් වන තවත් ලිපියකින් නැවතත් හමුවෙමු.

Cover Image – වියට් මින් සංවිධානයේ දක්ෂ ගරිල්ලා සටන් නායකයෙකු වූ Võ Nguyên Giáp ඇතුළු වියට් මින් ගරිල්ලා භට පිරිසක් 1944 වසරේදී වියට්නාම් වනාන්තරයක් තුළ.( Wikimedia Commons)

Related Articles