Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමරිකාවට නිදහස ලබා ගැනීමට උදව් කළ විදේශිකයෝ

ඇමරිකානු නිදහස් සටන යනු ඇමරිකාවට පමණක් බලපෑ දෙයක් නොවේ. මෙම නිදහස් සටන ප්‍රංශ විප්ලවයටද මූල බීජ සැපයීය. එසේ මූල බීජ සැපයූයේ ඇමරිකානු නිදහස් සටන වෙනුවෙන් සටන් කළ ප්‍රංශ හමුදාව විසිනි. ලොව විවිධ ප්‍රදේශවල සොල්දාදුවන් මෙයට සහභාගි වූ අතර ඔවුන් සිටියේ නොමැති නම් ඇමරිකාව තම නිදහස් සටන ජය නොගනු ඇත. මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ එසේ ඇමරිකානු නිදහස් සටනට සහය වූ විදේශිකයන් පිළිබඳවයි.

ඇමරිකානු නිදහස් සටන වෙනුවෙන් මියැදුනු පලමු පුද්ගලයා ලෙස සැලකෙන්නේ ක්‍රිස්පස් ඇටක්ස් (Crispus Attucks) නම් අයෙකි. ඔහු අප්‍රිකානුවෙකි; වහල් බවින් මිදී පලා ආ කෙනෙකි. ඔහුගේ හිස වෙනුවෙන් මිලක් නියම කර තිබිය දී ඔහු නැවියෙක් ලෙස සේවය කළේ ය. මොහුගේ ස්වාමියා මොහුව නැවත වහල් සේවය සඳහා බාරදෙන අයෙකුට මුදල් ගෙවීමට සූදානමින් සිටියේ ය.

Crispus Attucksගේ සිතුවමක්. (wikipedia.org)

ඇටක්ස් තම නැව් සගයින් සමග තානායමක සිටියදී බ්‍රිතාන්‍ය සොල්දාදුවෙකු පැමිණියේ ය. මෙම සොල්දාදුවාගේ පැමිණීම පිළිබඳ ඇටක්ස් ඇතුළු පිරිස නොසතුටට පත් අතර මෙහිදී කෝලාහලයක් ඇති වූයේ ය​. ඉන්පසු සිදු වූ දේ පිළිබඳ විවාද පවතී. නමුත් එදින සවස බොස්ටන් හි රේගු කාර්යාලය දෙසට පිරිසක් ගමන් කළ අතර මෙහිදී ඇති වූ ආරවුල් සහගත තත්ත්වයේ දී වෙඩි තැබීමක් සිදු වූයේ ය​. මෙයින් පස් දෙනකු මිය ගිය අතර එය “බොස්ටන් සමූලඝාතනය​” ලෙස හඳුන්වයි. අටක්ස් මෙහිදී මිය ගිය පළමුවැන්නා සේ සැලකේ. ඉතිහාසඥයන්ගේ මතය අනුව ඇටක්ස් යනු වීරයෙක් ද නැතහොත් බීමතින් කෝලහාල කල පුද්ගලයෙක් ද යන්න පිළිබද දෙගිඩියාවක් පවතියි. කෙසේවුවත් ඇමරිකානු නිදහස් සටනේ ආරම්භක ගිණි පුළිඟු මේ මඟින් දල්වන ලදී.

ඇමරිකානු නිදහස් සටන සඳහා සටන් වැදුනු අය අතරින් බොහෝ අය පුහුණු සොල්දාදුවන් නොවේ. ප්‍රශියාවේ ෆෙඩ්‍රික් විල්හෙල්ම් ෆොන් ෂ්ටොයිබන් ඇමරිකාවට පැමිණීමට පෙර එහි මිනිසුන් බයිනෙත්තු භාවිතා කළේ මිනිසුන් මැරීමට නොව සතුන් මැරීමට ය.

Charles Willson Peale විසින් අඳින ලද Von Steuben ගේ සිතුවමක්. (Wikipedia.org)

ෆොන් ෂ්ටොයිබන්ගේ සම්පූර්ණ නම ෆෙඩ්‍රික් විල්හෙල්ම් ඕගස්ට් හයින්රිච් ෆර්ඩිනන්ඩ් ෂ්ටොයිබන් ය​. ඔහු තමාව හඳුන්වාගත්තේ බැරන් ෆොන් ෂ්ටොයිබන් යනුවෙනි. ෆොන් ෂ්ටොයිබන් සාගර තරණය කර ඇමරිකාවට පැමිණියේ ඇමරිකානුවන්ට සටන් කරන ආකාරය ඉගැන්වීමටය. ඉතාමත් අපහසුවෙන් ඉංග්‍රීසි වචනයක් කතා කළ ඔහු ඇමරිකානු හමුදාවේ අණදෙන ජෙනරාල්වරයෙකු ලෙස සේවය කරමින් හමුදාව පුහුණු කළේ ය. ෆොන් ෂ්ටොයිබන් ප්‍රශියානු භාෂාවෙන් හමුදාවට කෑමොර දෙන විට ඔහුගේ සගයෙක් එය ප්‍රංශ භාෂාවට​ පරිවර්තනය කරයි. ඒත් සමගම තවත් පුද්ගලයෙක් එය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර හමුදාවට පවසයි. මෙය සංකීර්ණ වුවද මෙම ක්‍රමය සාර්ථක විය. ෆොන් ෂ්ටොයිබන් හමුදාවට සටන් කරන ආකාරය හා බයිනෙත්තු භාවිතා කරන ආකාරය උගන්වන ලදි. මෙය යුද්ධයේ විශාල වෙනසක් සිදු කිරීමට සමත් විය.

1779 දී ජෙනරාල් වේන් විසින් ෆොන් ෂ්ටොයිබන්​ගේ උපදෙස් ස්ටෝනි බෲක් අල්ලා ගැනීමට යොදා ගන්නා ලදි. ඔහු ඇතුලු ඔහුගේ සගයන් මිනිසුන් 750කට ආසන්න ප්‍රමාණයක් රැකවලින් සිටි වරායක් කිසිදු වෙඩි තැබීමකින් තොරව බයිනෙත්තු පමණක් භාවිතා කර අල්ලා ගත්තේය.

Karl Gottlieb Schweikart විසින් අඳින ලද තදෙයුස් කොචියුස්කෝ ගේ සිතුවමක්. (History.com)

තදෙයුස් කොචියුස්කෝ (Tadeusz Kosciuszko) යනු ඇමරිකානු හමුදාවේ සේවය කළ ප්‍රධාන ඉංජිනේරුවෙකි. මොහු පෝලන්ත ජාතිකයෙක් විය. මොහු ඇමරිකානු යුද්ධයේ දී ඇමරිකාව වෙනුවෙන් විශාල සේවයක් කළ අයෙකි. මොහුගේ අවසාන බලාපොරොත්තුව වූයේ මොහුගේ සියලුම මුදල් අප්‍රිකානු වහලුන් මුදා ගැනීම සඳහා යෙදවීම යි. මේ අනුව Tadeusz Kosciuszko ඔහුගේ ළඟම​ හිතවතෙක් වූ තෝමස් ජෙෆර්සන් හට තමන් සතුව තිබූ සියලු මුදල් ලබා දී මියගිය පසු අවසාන බලාපොරොත්තුව ඉටුකරන්න යැයි පැවසුවේය. මේවන විට ජෙෆර්සන්ගේ වයස අවු. 75 ක් පමණ විය. එමනිසා ඔහු මෙම වගකීම තවෙකෙකුට පැවරීය. මේ ආකාරයෙන් මෙම වගකීම අතින් අතර ගොස් එක්තරා අවස්ථාවක ජෝර්ජ් බොම්ෆෝර්ඩ් අතට පත්වුනි. ඔහු මෙම මුදල් තම හිතුමතේට තමන්ගේ උවමනාවන් උදෙසා වියදම් කරන ලදි. අවසානයේ ජෝර්ජ් මියයන විට ඔහුට ලැබුනු $43,504 මුදලින් ඉතිරිව තිබුනේ $5,680ක් පමණි. මෙම මුදල අධිකරණයට ලබා දෙන ලදි. ඔවුන්ද මෙම මුදල් වහලුන් නිදහස් කිරීම සදහා නොයොදන ලදි. ඒ අනුව අවසානයේදී Tadeusz Kosciuszko ගේ බලාපොරොත්තුව සුන් විය. ඔහුගේ මුදල් වලින් එකදු වහලෙකු මුදා ගැනීමට නොහැකි විය.

බර්නාඩෝ දි ගාල්වෙස් (Bernardo de Galvez) යනු ලුයිසියානා හි ආණ්ඩුකාරවරයා විය​. මෙය එකල ස්පාඤ්ඤයේ යටත් විජිතයකි. මොහු ඇමරිකාවට අවශ්‍ය අවි ආයුධ හා ඖෂධ හොර රහසේම සපයන ලදි. 1779 දී ස්පාඤ්ඤයත් යුද්ධයට අවතීර්ණ වූයෙන් ඔහුට තවත් සැඟවී සිටීමේ අවශ්‍යතාවක් නොවීය. ඔහු වසරක් තුල ඇලබාමාවලින් බ්‍රිතාන්‍යයන් පලවා හරින ලදි. ඊට වසරකට පසු ෆ්ලොරිඩා වලින්ද බ්‍රිතාන්‍යයන් ඔහු විසින් පලවා හරින ලදි.

මෙම යුද්ධය අතර කාලයේ කැනඩාව යනු බ්‍රිතාන්‍යයේ යටත් විජිතයකි. එමනිසා කැනඩාව තරමක් ඇමරිකාවේ හතුරන් ලෙස ක්‍රියා කරන ලදි. තත්ත්වය එසේ වුවත් කැනේඩියානුවන්ගෙන් සමහරෙක් ඇමරිකාව වෙනුවෙන් සටන් වැදුනේය. ඇමරිකානුවන් වරින් වර විවිධ පණිවිඩකරුවන් කැනඩාවට යවා එහි වැසියන්ව තමන්ගේ පැත්තට නම්මවාගැනීමට උත්සහ දරණ ලදි. මේ අනුව කැනේඩියානුවන්ගෙන් සමහරෙක් ඇමරිකානු හමුදාවට බැඳුණහ​.

Bernardo de galvez ගේ සිතුවමක්. (Civilwar.org)

ඇමරිකානු හමුදාවේ කැනේඩියානු රෙජිමේන්තු දෙකක් පැවතුනි. ඉන් එක් රෙජිමේන්‍තුවක් බෙනඩික්ට් ආර්නෝල්ඩ් (Benedict Arnold) විසින් මෙහෙයවූ අතර එය අසාර්ථක විය. කියුබෙක් අල්ලා ගැනීම අසාර්ථක වූ අතර ඔවුන් නිව් යෝර්ක් හි ස්ථානගත කර තබන ලදි. Moses Hazen විසින් මෙහෙයවන ලද අනික් කැනේඩියානු රෙජිමේන්තුව සාර්ථක විය. Hazen ද කැනේඩියානුවෙක් විය​. ඔහුගේ හමුදාව යෝර්ක්ටවුන් වැටලීමටත් සහභාගි විය. මෙය සටන යුද්ධයේ අවසානය සනිටුහන් කළේ ය​. යුද්ධය අවසාන වූ පසු Hazen සහ ඔහුගේ සගයෝ ඉතිරි කාලය ඇමරිකාවේ වාසය කළෝ ය​.

ඇමරිකානු නිදහස් සටන වෙනුවෙන් ස්පාඤ්ඤය හා ප්‍රංශය ද සටන් වැදුනේය. මෙම යුද්ධයේදී විශාලතම හා දීර්ඝතම සටන පැවතියේ යුරෝපයේදීය. ඒ ජිබ්‍රෝල්ටාවේදී ය.​ 1779 ජූනි 24 වන දින ප්‍රංශ හා ස්පාඤ්ඤය හමුදා නැව් මගින් පැමිණ ජිබ්‍රෝල්ටාව​ යටත් කරගන්න සැරසුණි. එහෙත් එය ලේසි පහසු එකක් නොවීය. මෙම සටන වසර තුනක් තිස්සේ දිව ගියේය. ස්පාඤ්ඤය ජාතික Antonio Barcelo විසින් මෙම සටන මෙහෙයවන ලදි. මෙම වැටලීම සාම ගිවිසුමක් අත්සන් කරන තුරු නතර වූයේ නැත.  කෙසේ හෝ අවසානයේ මෙම සටන වෙනුවෙන් ස්පාඤ්ඤ ජාතිකයන් 3000කට ආසන්න පිරිසක් දිවි දුන්නේය.

මුල් කාලයේදී ඇ.එ.ජ. තුල නෙදර්ලන්ත වැසියන් බොහෝ ප්‍රමාණයක් සිටියේය. ඔවුන් අනෙක් ඇමරිකානුවන්ගෙන් වෙන්ව වෙනමම සමාජය ගොඩනගා ගෙන සිටියහ. බ්‍රිතාන්‍යයන් විසින් නිව් ජර්සි අල්ලා ගත් පසු John Mauritius Goetschius නම් නෙදර්ලන්ත වැසියෙක් වගා කටයුතු වල යෙදෙන තම සගයින් සමග ගරිල්ලා හමුදාවක් සාදා ගත්තේය. රාත්‍රී කාලයේදී ඔවුන් බ්‍රිතාන්‍ය හමුදාවට පහර දී උදය වන විට සාමාන්‍ය වගා කරුවන් ලෙස පෙනී සිටියහ. 1781 දී වොෂින්ටන් විසින් තම හමුදාව Lee වරාය ලෝයලිස්ට්වරුන්ගෙන් (බ්‍රිතාන්‍ය රාජපාක්ෂික ඇමරිකානුවන්) ලබා ගැනීමට යැව්වේය. එනමුත් එම හමුදාව වරාය වෙත යන විටත් John Mauritius Goetschius ඇතුලු නෙදර්ලන්ත ගරිල්ලා හමුදාව විසින් එම වරාය ලෝයලිස්ට්වරුන්ගෙන් ලබාගෙන තිබුනි.

ඇමරිකානු නිදහස් සටනේ අවසන් සටන පැවතියේ ඇමරිකාව තුල නොවේ. ඒ ඉන්දියාව තුලය. ප්‍රංශය​, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය දුර්වල කිරීමේ අටියෙන් ඇමරිකානු නිදහස් සටනට ආධාර කළ අතර එහෙයින් ඉන්දියාව ආදී ප්‍රදේශවල ද සටන් ඇති වූයේ ය​. 18 වන ශතවර්ෂය වන විට සන්නිවේදනය එතරම් සීග්‍රයෙන් සිදු වූයේ නැත. ලෝකයේ එක් කෙරවලක සටන් කරමින් සිටි මිනිසුන් යුද්ධය අවසන් වූ බව නොදැන දිගින් දිගටම සටන් කරමින් සිටියේය.

හයිදර් අලී ගේ සිතුවමක්. (Thefamouspeople.com)

ප්‍රංශය එංගලන්තයට විරුද්ධව යුධ ප්‍රකාශ කල විට බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම ඔවුන්ගේ යටත් විජිත වලට පහර දීමට පටන් ගත්තේය. මයිසෝර් හි සුල්තාන්වරයෙකු වූ හයිදර් අලි ප්‍රංශයේ හමුදා සමඟ එක්ව සටන් කලේය.

1783 දී හයිදර් අලි මියගිය පසු බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම ප්‍රංශයට ප්‍රභල ලෙස පහර දීමට පටන්ගත්තේය. ප්‍රංශ හමුදාව මයිසෝරියානු හමුදාව එක්ව බ්‍රිතාන්‍යට දිගින් දිගටම පහර දෙන ලදි. අවසානයේ 1783 ජූනි 29 වන දින ඉන්දියාව වෙත පණිවිඩයක් ආවේය. එහි සටහන් වූයේ මාස අටකට පෙර ඇමරිකානු නිදහස් සටන ජයගත් බවයි. මෙම පණිවිඩය ලැබුණු විට සටන්කරුවන් අවි බිම හෙලා තම තමන්ගේ මව් රටවල්වලට යන ලදි.

මූලාශ්‍රයයන්

1) Crispus Attucks

2) Friedrich von Steuben arrives at Valley Forge

3) Tadeusz Kosciuszko, Polish engineer, was hero of American Revolution

4) Hazen, Moses

5) Hyder Ali Biography

කවරයේ පින්තූරය – ඇමරිකානු විප්ලවයේ අවස්ථාවක් දැක්වෙන ඉමැනුවෙල් ගොට්ලියබ් විසින් අදින ලද සිතුවමක්.

Related Articles