Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කලාවට දැඩිව ආලය කළ කන්‍යා රැජින – පළමුවන එලිසබෙත්

බ්‍රිතාන්‍යයේ ටියුඩර් රාජවංශයට අයත් අවසාන රැජින සහ ඈන් බොලීන්ගේ එක ම දියණිය වීම නිසාවෙන් පළමුවන එලිසබෙත් රැජින ඉතිහාසය තුළ සුවිශේෂී චරිතයක් හොබවනවා. ඇයගේ රාජ්‍ය කාලය හැඳින්වෙන්නේ එංගලන්තයේ ස්වර්ණමය යුගය ලෙසින්. දීර්ඝ කාලයක් තිස්සේ රජකම් කළ රැජිනියන් ලෙසින් වික්ටෝරියා රැජිනට සහ දෙවන එලිසබෙත් රැජිනට පසුපසින් ස්ථානගත වන පළමුවන එලිසබෙත් රැජින හැඳින්වෙන්නේ “කන්‍යා රැජින” යන අන්වර්ත නාමයෙන්.

ඈන් බොලීන්ගේ දියණිය එලිසබෙත් කුමරිය

අටවෙනි හෙන්රි රජුගේ දෙවෙනි දියණිය සහ ඈන් බොලීන්ගේ එක ම දියණිය ලෙසින් 1533, සැප්තැම්බර් මස හත්වෙනි දා, ග්‍රින්විච් මාළිගාවේ උපත ලබන එලිසබෙත් කුමරියගේ උපත සැලකෙන්නේ අනපේක්ෂිත උපතක් ලෙසින්. ටියුඩර් රාජවංශය ඉදිරියට ගෙන යෑමට පිරිමි දරුවෙකු බලාපොරොත්තු වූ හෙන්රි රජුගේ බලාපොරොත්තු සුන් කරමින් උපත ලබන්නේ දියණියක්. මව්පිය දෙපාර්ශවයේ මව්වරුන්ගේ නම් ආශ්‍රිත ව එනම්, යෝර්ක්හි එලිසබෙත් සහ එලිසබෙත් හොවාර්ඩ්ගේ නම් ඇසුරෙන් එලිසබෙත් කුමරියට නම් තැබෙනවා

ටියුඩර් රාජවංශයේ අටවෙනි හෙන්රි රජුගේ දියණිය වුණත් ඇයට උරුම වන්නේ කටුක ළමා කාලයක්. එලිසබෙත් කුමරියගේ උපතින් පසු ව තවත් දරුවෙකුට උපත දීමට ඈන් අපොහොසත් වීමත්, එලිසබෙත් කුමරිය ද දියණියක වීම නිසාත්, හෙන්රි රජු සහ ඈන් අතර සබඳතාවය පළුදු වන්නට පටන් ගැනෙනවා. ඒ කාලයේ දී ම ස්ත්‍රී ලෝලියක වූ හෙන්රි රජුගේ අවධානය ඈන්ගේ පරිවාර කාන්තාවක වූ ජේන් සේයමෝර්ට යොමුවෙනවා.

ඈන් ව විවාහ කර ගන්නට ආරගොන් හි කැතරින් රැජින සමග වූ විවාහය අවලංගු කර, කතෝලික පල්ලිය සමගින් වූ සබඳතාවය ද අත්හල හෙන්රි රජු, ජේන් ව විවාහ කරගැනීම සඳහා ඈන් කෙරෙහි ද කුමන්ත්‍රණයක් දියත් කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට පුංචි එලිසබෙත් කුමරියට අවුරුද්ද යි මාස අටක් පමණ වයසැති වන විට ඈන් බොලීන් හිස ගසා මරා දමන්නට හෙන්රි රජු කටයුතු කරනවා. ඒ ඈන් බොලීන්ට විරුද්ධ ව ගොනු කළ කාම මිත්‍යාචාර චෝදනාවන්ට වරදකාරිණිය කරමින්.

Miniature of Elizabeth I, c. 1560-5.- Attr. to Levina Teerlinc. -© The Royal Collection.

බලාපොරොත්තු සුන් වූ කටුක ළමා කාලය  

එලිසබෙත් කුමරිය උපදින්නට පෙර කිරුළට නිත්‍යනුකූල උරුමක්කාරිය වන්නේ ආරගොන් හි කැතරින් රැජිනගේ දියණිය, මේරි කුමරිය යි. නමුත් කැතරින් රැජින සහ හෙන්රි රජුගේ විවාහය අවලංගු කිරීමත් සමගින් මේරිට තිබු කිරුළේ අයිතිය අහිමි වෙනවා. අනතුරුව කිරුළ හිමි වන්නේ එලිසබෙත් කුමරියට. නමුත් කරුණු කාරණා වෙනස් වෙන්නේ දෛවෝපගත විදියට.

Princess Elizabeth, c. 1546-7 .Attr. to William Scrots. – Windsor Castle. -© The Royal Collection.

ඈන්ගේ මරණයෙන් සතියක් ඉක්ම යන්නටත් පෙර ජේන් සේයමෝර් විවාහ කරගැනීමට හෙන්රි රජු කටයුතු කරනවා.  ඒ සමගින් ඈන් සමගින් පැවති විවාහය නීත්‍යනුකූල නොවන බව කියා අවලංගු කර දමන්නටත්, එලිසබෙත් කුමරියගේ කිරුළට ඇති උරුමකම අහිමි කරන්නටත්, නීත්‍යනුකූල නොවන දරුවෙකු ලෙසින් ප්‍රකාශයට පත් කරන්නටත් හෙන්රි රජු කටයුතු කරනවා. අනතුරුව මාළිගාව තුළ දී ම අවජාතක දැරියක ලෙසින් අපහාස විඳි එලිසබෙත් කුමරියගේ නිල නාමය “කුමරිය” නොව “ආර්යාවක” ලෙස තත්ත්වයෙන් පහතට දමන්නටත් රජු කටයුතු කරනවා.

අනතුරුව ස්ත්‍රී ලෝලියෙකු වූ හෙන්රි රජු තවත් විවාහයන් කිහිපයක් ම සිදුකර ගන්නවා. හෙන්රි රජුගේ අවසාන බිරිඳ වූ කැතරින් පරර් රැජින, හැම මොහොතක ම එලිසබෙත්ට කරුණාව දැක්වූ අයෙක්. ඇය එලිසබෙත්ගේ වගකීම භාර ගන්නට වගේ ම, රජ දරුවෙකුට ලබා දිය හැකි ඉතා ඉහළ මට්ටමේ අධ්‍යාපනයක් එලිසබෙත්ට ලබා දෙන්නට කටයුතු කරනවා. ඉතා හුදෙකලා ජිවිතයක් ගත කළ එලිසබෙත්, අනතුරුව කලාව සහ තවත් අංශ ගණනාවක් පිළිබඳ ඉතා උසස් අධ්‍යාපනයක් ලබා ගන්නවා.

The Children of Henry VIII, c.1650-1680. Copy of a lost original, c.1545-1550. © The Duke of Buccleuch, Boughton House

රජ කිරුළ පිළිබඳ සුළු හෝ බලාපොරොත්තුවක්වත් එලිසබෙත් තුළ පවතින්නේ නැහැ.  ඒ වන විට 1537 දී උපන් එඩ්වර්ඩ් කුමරු කිරුළට නීත්‍යනුකූල උරුමකරුවා ලෙසින් නම් කර තිබුණා. එලිසබෙත් කුමරියට වයස අවුරුදු දහතුනක් වෙද්දී හෙන්රි රජු මිය යනවා. අනතුරුව රජ වෙන්නේ එලිසබෙත්ගේ බාල අර්ධ සොහොයුරා වූ එඩ්වර්ඩ්. අටවෙනි හෙන්රි රජුගේ එකම පුත්‍රයා වූ එඩ්වර්ඩ්, රජෙකු ලෙසින් සිහසුන දරන්නේ වසර හයක කෙටි කාලයක් පමණයි. යන්තම් වයස අවුරුදු පහළොවක් පමණ වන විට ක්ෂය රෝගය නිසාවෙන් එඩ්වර්ඩ් මිය යනවා. අනතුරුව රාජ්‍යත්වයට පත්වන්නේ එලිසබෙත්ගේ අර්ධ සොහොයුරිය වූ ආරගොන් හි කැතරින් රැජිනගේ දියණිය මේරි කුමරිය යි.

මේරි රැජිනගේ රාජ්‍ය කාලය හැඳින්වෙන්නේ ඉතා විනාශකාරී රාජ්‍ය කාලයක් ලෙස යි. රාජ්‍යයන් සමගින් ගැටුම් ඇති කරගන්නට වූ මේරි රැජිනගේ මතභේදයට ලක් වූ තීරණ නිසාවෙන් රාජ්‍ය ගැටලු රාශියකට මුහුණදෙනවා. මේරි රැජිනගේ තීරණයන්ට එරෙහි වෙමින් ප්‍රශ්න කරන්නට යෑම නිසාවෙන් එලිසබෙත් ව ලන්ඩන් කුලුනේ සිරගත කිරීමට සහ නිවාස අඩස්සියට පත් කරන්නට මේරි රැජින කටයුතු කරනවා. නමුත් මේරිගේ රැජිනගේ රාජ්‍ය කාලය සීමාවන්නේ ද වසර පහක කෙටි කාලයකට පමණයි. එලිසබෙත් විසිපස් හැවිරිදි වියේ දී එනම්, 1558 දී මේරි ටියුඩර් රැජින මිය යනවා. අනතුරුව රැජිනක වන්නට කිසිදු බලාපොරොත්තුවක් නොතිබූ එලිසබෙත්, පළමුවන එලිසබෙත් රැජින ලෙසින් ඔටුනු පළදිනවා.

එංගලන්තයට ස්වර්ණමය යුගයක් උරුම කළ පළමුවන එලිසබෙත් රැජින

මේරි රැජින රාජ්‍ය තුළ ඇති කර තිබු ගැටලු රැසක් නිරාකරණය කරන්නට එලිසබෙත් රැජිනට සිදුවෙනවා. එලිසබෙත් රැජිනට උරුමවන්නේ බංකොලොත් වූ දේශයක්යැ යි ඉතිහාසඥයින් පවසනවා. ඒ වන විටත් එංගලන්තය, ප්‍රංශය සමගින් යුද්ධයක් ඇති කරගෙන තිබුණා. නමුත් සිය මවගෙන් සහ පියාගෙන් උරුම වූ ඥාණය සහ බුද්ධිමත්භාවය අනුව කටයුතු කරමින් එලිසබෙත් රැජින, සතුරු ආක්‍රමණවලට සහ ආගමික අසමගියට මුහුණ පා සිටි එංගලන්තය සාමකාමී, ශක්තිමත්, සහ නිදහස් රාජ්‍යයක් බවට පත් කරමින් ස්වර්ණමය යුගයක් කරා ගෙන යාමට කටයුතු කරනවා. එමෙන්ම එංගලන්තය තුළ රෙපරමාදු ආගම ස්ථාපිත කරනන්ටත් ඇය කටයුතු කරනවා.

එලිසබෙත් රැජින යුරෝපය තුළ වූ වෙළඳ වාසි දෙස අවධානය යොමු කරන්නටත් වෙළඳ ව්‍යාපාර යුරෝපය පුරා ව්‍යාප්ත කරන්නටත්, ජාතික ධනය වැඩිවර්ධනය කරන්නටත් උනන්දු වූ බව පැවසෙනවා. මුහුදු මාර්ග ඔස්සේ දේශ ගවේෂණය සඳහා අනුග්‍රාහය දැක්වු ඇයගේ කාලයේ දී (1580 දී) ෆ්‍රැන්සිස් ඩ්‍රෙක්, ලොව වටා යාත්‍රා කළ පළමු ඉංග්‍රීසි ජාතිකයා බවට ද පත් වෙනවා.

The Hampden Portrait, Queen Elizabeth I, circa 1563. – pinterest

එලිසබෙත් රැජින කලාවන්ට දැඩි ව ආදරය කළ රැජිනක් ලෙසින් ප්‍රකට යි. එලිසබෙත් රැජිනගේ යුගයේ දී අනුග්‍රාහයට ලක් වූ කලාකරුවන් අතර විලියම් ශේක්ෂ්පියර් සේම ක්‍රිස්ටෝපර් මාලොව් ද සඳහන් වෙනවා. කලාවට අනුග්‍රාහය දැක්වූ රැජිනට ගෞරවයක් ලෙසින් කලාකරුවන් ඇය පිළිබඳ කළා කෘතීන් නිර්මාණය කිරීමට ද උනන්දු වී තිබෙනවා.
යෞවන අවධියේ පටන් ම සිතුවම් සඳහා පෙනී සිටිය දී ඈන් බොලීන්ට අයත් A අකුර සඳහන් පෙන්ඩනයක් ගෙල පළඳින්නට එලිසබෙත් කටයුතු කළ බව පැවසෙනවා. ඈන් නිදොස් ලෙස සැලකූ එලිසබෙත් රැජින, සිය මවට දැඩි ව ආදරය කළ අයෙක්. සිය මවගේ පාර්ශවයේ ඥාතීන්ට ද ඉතා ඉහළින් සැලකූ ඇය, මවගේ සිතුවමක් සහ ඇයගේ සිතුවමක් සහිත පෙන්ඩනයක් ද ගෙල පැළඳ සිටි බව පැවසෙනවා.

කන්‍යා රැජින  

වර්ණවත් වටිනා සළුපිලි ආභරණ පළඳින්නට ද, අංග රචනයට ද දැඩිව ආශා කළ එලිසබෙත් රැජින, තමන්ගේ රූපය පිළිබඳ ඉතා සැලකිලිමත් වූ බව පැවසෙනවා. සිය පරිවාර කාන්තාවන්ට සුදු සහ කළු නිල ඇදුමකින් පමණක් සැරසීමට නියෝග කළ රැජින, පිරිමින්ගේ අවධානය තමන් වෙත පමණක් යොමු කරවාගැනීමට කැමැත්තක් දැක්වූ අයෙකු ලෙස පැවසෙනවා. නිරතුරුව ම රාජ සභාවේ සිටි අමාත්‍යවරුන්ට සුරතල් කෙටි නම් පටබැඳි රැජින, කඩවසම් විදෙස් කුමාරවරුන් සමගින් ආශ්‍රය කළ බව පැවසෙනවා.

නමුත් විවාහය පිළිබඳ විශ්වාසයක් නොතිබුණු රැජින, රාජ සභාවේ සහ රජ පවුලේ ඉල්ලීම් ද නොසලකා හරින්නට කටයුතු කළ බව පැවසෙනවා. ඇයගේ අවිවාහක ජීවිතය බොහෝ කටකතාවන් ඇති වීමට හේතුපාදක වෙනවා.

ඇයගේ අවිවාහක බව පිටුපස රහසක් ඇතැ යි විශ්වාස කළ පිරිස්, රැජින ගැබ්ගැනීම සඳහා දුර්වලතාවයක් ඇති අයෙකුත් ලෙසත්, ඇය ගැහැනියක ලෙස වෙස් වලාගෙන හිඳින පිරිමියෙකු ලෙසත් විශ්වාස කරන්නට පෙළඹුණු බව පැවසෙනවා. සැබෑ එලිසබෙත් කුමරිය කුඩා කාලයේ දී ම මියගොස් ඇති අතර, ඒ වෙනුවට පිරිමි ළමයෙකු කුමරිය ලෙස වෙස් ගන්වා තබා ඇති බවට ද කියැවුණා. නමුත් ඇයගේ හදවත දිනාගත් පුද්ගලයා ලෙසින් කියවුණේ ලෙයිචෙස්ටර් හි අර්ල්වරයා වූ රොබර්ට් ඩඩ්ලි. එකල ඔවුන් අතර ඉතා සමීප සම්බන්ධතාවයක් පැවති අතර, ඇයගේ විශ්වාසී උපදේශකවරයෙකු වශයෙන් ද ඔහු පත් කෙරෙනවා. ඔහුගේ බිරිඳ ඇමි ඩඩ්ලි, අබිරහස් ලෙස මිය යෑමත් සමගින් ඔවුන්ගේ සබඳතාවය පිළිබඳ විවිධ කටකතා පැතිරෙන්නට වුණත්, එලිසබෙත් රැජින ඒ සියලු කටකතා නොසලකා හරින්නට කටයුතු කළා.

නමුත් කිසිවෙකුත් සමගින් විවාහ නොවූ එලිසබෙත් රැජින, කන්‍යාවක ලෙසින් සිය ජිවිත කාලය පුරාවට ම සිටි බවත්, තමන්ගේ කන්‍යාභාවය පිළිබඳ සතුටු වූ ඇය තමන්ව තමන්ගේ රාජ්‍යයට විවාහ කර දී ඇතැ යි විශ්වාස කරන්නට පෙළඹ සිටි බවත් පැවසෙනවා.

රොබර්ට් ඩඩ්ලි සහ රැජින දැක්වෙන සිතුවමක්- www.rmg.co.uk

එළිසබෙත් යුගයේ නිමාව

සිය පියා වූ හෙන්රි රජු මෙන්ම තමන්ගේ ජනතාවට දැඩිව ආදරය කළ එළිසෙබෙත් රැජින, හතලිස් හතර අවුරුද්දක රාජ්‍ය කාලයක ඇවෑමෙන් 1603 මාර්තු 24 වෙනි දා වයස අවුරුදු 69 දී ජිවිතෙන් සමුගන්නවා.

අනතුරුව දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කී ටියුඩර් රාජවංශය අවසන් වන්නේ කිරුළට උරුමකරුවෙකු නොමැති වීම නිසාවෙන්. එලිසබෙත් රැජිනගේ ඥාති සහෝදරියක මෙන්ම කලක් එලිසබෙත්ගේ එදිරිවාදියෙකු වුණු ස්කොට්හි රැජින, එනම් මේරි ස්ටුවර්ට් රැජිනගේ පුත්‍රයා අනතුරුව පළවෙනි ජේම්ස් ලෙසින් සිහසුනට පත්වෙනවා. වසර 118ක් පුරා පැවති ටියුඩර් රාජවංශය එතැන් පටන් අවසන් වන්නේ එංගලන්තයට නව යුගයක් උදා කරමින්.

 

Related Articles