යටත් විජිත සමයේ බටහිර ජාතීන් රටෙහි මුහුදුබඩ ප්‍රදේශවල මෙන්ම රට අභ්‍යන්තරයේත් බලකොටු ඉදි කළා. මෙවැනි බලකොටු ගණනාවක් අතුරින් කිහිපයක් පිළිබඳ විස්තර මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙනවා.

මැණික්කඩවර පෘතුගීසි බලකොටුව

amazinglanka.com

මෙය ඉදිකොට ඇත්තේ 1598 වසරේ දී ජෙරනිමෝ ද​ අසවේදු විසිනි. ඓතිහාසික වටිනාකමින් යුත් දැදිගම නමැති ප්‍රදේශයේ, කඳු වළල්ලකින් වට වී තිබෙන ස්ථානයක මෙය පිහිටා තිබුණා. බලකොටුව ඉදිකිරීමට අවශ්‍ය ගඩොල් සපයාගැනීම සිදු කර තිබෙන්නේ දැදිගම පැරකුම්බා රජතුමා විසින් ඉදිකළ සූතිගර නමැති වෙහෙරෙන් බව කියනු ලබනවා. සතුරු බලපෑම් වලින් ආරක්ෂා වීම උදෙසාත්, සැඟව සිට පහර දීමටත් උචිත ආකාරයෙන් බලකොටුවේ ඉදිකිරීම් සිදු කොට තිබෙනවා. මෙම බලකොටුවේ වැඩ කටයුතු නිම කිරීම උදෙසා අසවේදුට මාස හයක් වැනි කාලයක් ගත වූ බව දැක්වෙනවා. අසවේදු මෙම බලකොටුවේ නැවතී පාලන කටයුතු සිදු කර තිබෙන අතරම, එවකට මෙහි සොල්දාදුවන් හාරසියයකට ආසන්න සංඛ්‍යාවක් නැවතී ආරක්ෂාව සපයා තිබෙනවා. එමෙන්ම පෘතුගීසීන් උඩරටට පහරදීමට යද්දී කොළඹ සහ මහනුවර අතර වූ වැදගත් මූලස්ථානයක් ලෙස මෙය යොදාගන තිබෙනවා.

රුවන්වැල්ල බලකොටුව

static.wijeya.lk

කලින් පෘතුගීසි සහ ලන්දේසි ජාතිකයන් මෙහි තාවකාලික බලකොටු ඉදිකළ බව සඳහන් වුණත්, මෙහි ස්ථිර​ බලකොටුවක් ස්ථාපිත කිරීමට තීරණය කිරීම සිදු කර තිබෙන්නේ, ක්‍රි.ව 1815 දී උඩරට යටත් කර ගැනීමෙන් අනතුරුව යි. එච්. සී.පී. ද බෙල් ඔහුගේ කෑගලු වාර්තාවන් වල දක්වන ආකාරයට මේ සඳහා රික්ස් ඩොලර් 2851කට ඉඩම් අක්කර 47ක් මිල දී ගෙන තිබෙනවා. මෙම ඉඩමේ මායිම් ගැන දක්වන්නේ නම්, උතුරින් හා නැගෙනහිරින් දනතිගහ ඇලේ සිට බටහිර හා නිරිතට ගුරුගොඩ ඔය හා කැළණි ගඟට මායිම් වන ආකාරයට වෙන් වී තිබුණා. වර්තමානය වන විට සංරක්ෂණයට කර තිබෙන කොටු ස්වභාවයෙන් යුක්ත දොරටුවේ ක්‍රි. ව. 1817 වර්ෂය සමග රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ නමේ මුල් අකුරු සඳහන් වනවා.

අට්ටාපිටිය බලකොටුව

මෙම බලකොටුව වර්ෂ 1816 - 1834 වකවානුවේ යුද්ධාරක්ෂක මුරපොළක් ආකාරයෙන් පවත්වා ගෙන ගොස් තිබෙනවා. මෙහි ඉදිකිරීම් කටයුතු සිදු වූයේ කපිතාන් කිං නැමැත්තාගේ සැලසුමකට අනුව යි. අරන්දරත්, බලනත් අතර මාර්ගයේ මෙය පිහිටා තිබෙනවා. එවකට මෙය කිංෆෝර්ට් යන නමින් හඳුන්වා තිබෙනවා. මෙහි බාහිර මායිම් දැක ගැනීමට හැකියාව ලැබුන ද, වෙනත් කිසිදු නටඹුන් දැක ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ.

සීතාවක බලකොටුව

wikiwand.com

මෙය ඕලන්ද බලකොටුවක්. ලන්දේසින්, පෘතුගීසින් පළවා හැර මෙරට මුහුදුබඩ පළාත් යටත් කර ගනු ලැබුවා. මේ සමගම උඩරට රාජධානියට එරෙහිව කටයුතු කිරීම ලන්දේසීන් විසින් ආරම්භ කළ නිසා, මොවුන් විසින් බලකොටු කිහිපයක්ම ඉදි කළ අතර, එලෙස ඉදි කරන ලද බලකොටුවලින් එකක් ලෙස සීතාවක බලකොටුව ද දැක්විය හැකි වනවා. සීතාවක කොටුව ඉදිකර තිබෙන්නේ, 1675 දී පමණ රජ මාළිගා භූමියේම ය. මෙම බලකොටුවේ විශාලත්වය ගැන දක්වන්නේ නම්, සිව්පසින් මුර අට්ටාල හතරකින් යුක්ත අඩි 200ක් දිගින් ද, අඩි 180ක් පළලින් ද යුක්ත වන බව දැක්වෙනවා. බලකොටුව මැදට වන්නට ආහාර පාන, ඖෂධ, අවි ආයුධ, වෙඩි බෙහෙත් වලින් යුක්ත වූ ගබඩාව පිහිටා තිබුණා. මෙම බලකොටුවේ ප්‍රාකාර බැම්ම කබොක් ගලින් නිර්මාණය කර තිබුණා.

බලන බලකොටුව

charithmania.blogspot.com

බලන බලකොටුවේ ඉදිකිරීම් කටයුතු සිදු කරන ලද්දේ කවුරුන් විසින් ද යන්න සම්බන්ධයෙන් විවිධ මතයන් තිබෙනවා. එක් ලිපියක දැක්වෙන්නේ මෙය පළවන විමලධර්මසූරිය රජුගේ පාලන සමයේ ඉදිකෙරුණ බවට යි. උඩරට සිට අමුනුපුර මුදලිඳු විසින් සිංහල හේවායන් යොදවා ඉදිකළ බවට එහි සඳහන් වනවා. එමෙන්ම පළමු රාජසිංහ රජුගේ පාලන සමයේ ඇති වූ සතුරු ආක්‍රමණයක දී ආරක්ෂාව උදෙසා මෙහි පැමිණි බව ද එහි දැක්වෙනවා. තවත් මතවාදයක් වන්නේ, සෙංකඩගල රජකම් කළ දෙවැනි රාජසිංහ රජු සමයේ මෙම බලකොටුව ඉදිකළ බව යි. කෙසේ වෙතත් සතුරු ආක්‍රමණ වලින් ආරක්ෂා කර ගැනීමට මෙම බල කොටුව මහඟු පිටුවහලක් වී තිබෙනවා. ඉහළ හා පහළ බලකොටු දෙකක් පමණ තිබූ බවට මත පළ කරනු ලබනවා.

මඩකලපුව ලන්දේසි බලකොටුව

srilankatailormade.com

මෙම පැරණි ලන්දේසි බලකොටුව කලපුවට මුහුණලා තිබෙන අතර, මුහුදු ප්‍රවේශ මාර්ගය ඔස්සේ මෙම බලකොටුවට පැමිණීමට පහසු වන ආකාරයට ඉදි කර තිබෙනවා. මුර කුටි 4ක්, සිර කුටි, වෙඩි බෙහෙත් ගබඩාව, හා උමං ආදියෙන් සමන්විත වන ආකාරයට මෙය ඉදි කර තිබෙනවා. වර්ෂ 1707 හෙන්ද්‍රික් බැක්කර් විසින් නිම කළ මෙය, වර්තමානය වන විට මඩකලපුව නගරයේ පරිපාලන කටයුතු පවත්වා ගෙන යෑමට උපකාරී වනවා. වසර ගණනාවකට පෙරාතුව ඉදි කළ මෙහි යෝධ පවුර මඟින් එවකට ලන්දේසීන්ගේ ගෘහ නිර්මාණ ශිල්පීය දක්ෂතාව පසක් කරනු ලබනවා.

ගාලු කොටුව

ceylonclassictours.com

පෘතුගීසි නාවිකයෝ වර්ෂ 1505 දී කුණාටුවකට හසුව ගාලු වරායට ගොඩ බැස්සා. පසුව මොවුන් කොළඹ වරායට ගියත්, ගාල්ලේ බලකොටුවක් ඉදිකරනු ලබනවා. මැටි, ගල්, පොල් කොටන් ආදී අවට පරිසරයෙන් සොයා ගත හැකි දේවල් වලින් මුර අට්ටාල 3කින් යුක්තව කොටු බැම්ම නිර්මාණය කෙරෙනවා.

පෘතුගීසින් පරදා ලන්දේසි බලය ලබා ගැනීමෙන් අනතුරුව ගාලු බල කොටුව කළුගල් හා හුණුගල් වලින් ඉදි කරනු ලබනවා. අනතුරුව ඉංග්‍රීසින් බලය ලබාගෙන, 1948 වන තුරු ගාලු කොටුව පරිපාලන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරනවා. මෙහි නගරයක සියලු අංගෝපාංග ඉදිකර තිබෙනවා. සතුරු බලවේග වලින් ආරක්ෂා වීමට මුහුදට යාබදව කොළඹ කොටුව, මාතර කොටුව, යාපන කොටුව, ත්‍රිකුණාමල කොටුව ආදියත් මේ ආකාරයට ඉදි කර තිබෙනවා. 1988 වසරේ දී ගාලු කොටුව ලෝක උරුම මධ්‍යස්ථානයක් ලෙස පත් කොට තිබෙනවා. මුර අට්ටාල 14කින් යුක්ත මෙහි ඝන්ඨාර කුළුණ, ඔරලෝසු කනුව, ප්‍රදීපාගාරය, පැරණි ලන්දේසි රෝහල, කළු කොටුව, උමං කාණු පද්ධතිය ආදිය දැක ගත හැකි යි.

කවරයේ පින්තූරය: lookbooktraveller.com