පද්මසම්භව: වජ්‍රයාන බුදු දහමේ ආරම්භකයා

ලොව ප්‍රධාන ආගම්වලින් එකක් වූ බුදු දහම ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන යනුවෙන් කොටස් ත්‍රිත්වයකට බෙදී පවතියි. ඒ අනුව ටි‌බෙටය ආදී රටවල පැතිර පවත්නා වජ්‍රයාන බුදු දහමේ මූලාරම්භකයා ලෙස සැලකෙන්නේ ගුරු පද්මසම්භව හෙවත් ගුරු රින්පොචේ ය. ක්‍රිස්තු වර්ෂ අට වැනි සියවසේ දී ටිබෙටය ආදී ප්‍රදේශවල බුදු දහම ආරක්ෂා කොට පැතිරවීම සදහා කටයුතු කළ ඔහු ගුරු රින්පොචේ යනුවෙන් ද හඳුන්වන අතර එහි අර්ථය “මාහැඟි ගුරුවරයා” යන්න යි.

පද්මසම්භව සහ ශ්‍රී ලංකාව අතර ද සුවිශේෂී සම්බන්ධතාවක් තිබෙන බවට ඇතැම් මූලාශ්‍රයන්හි සඳහන් වන කරුණු අනුව පැහැදිලි ය. සමහර ජනප්‍රවාදයන්ට අනුව පද්මසම්භව ලංකාවේ උපත ලැබූ අයෙකි. භූතානයේ ජීවත් වූ පද්මසම්භව එක්වර ම අතුරුදන් වී ඇති අතර වජ්‍රයාන දහම අදහන සමහරුන් විශ්වාස කරන්නේ වර්තමානයේ ඔහු ශ්‍රී ලංකාවේ සිරිපා කඳුමුදුනේ ජීවත් වන බව යි.

පද්මසම්භව – buddhaweekly.com

පද්මසම්භවගේ උපත හා ඒ පිළිබඳ ජනප්‍රවාද

පද්ම සම්භව යන නාමයෙන් අර්ථ ගැන්වෙන පරිදි ඇතැම් ජනප්‍රවාදවලට අනුව ඔහු උපත ලබා ඇත්තේ නෙළුම් මලකිනි. ජනප්‍රවාදයන්ට අනුව වානරයාගේ වර්ෂයේ සය වැනි මාසයේ දසවැනි දින උන්වහන්සේ අට හැවිරිදි දරුවකු ලෙසින් උපත ලබා ඇත්තේ නිරිතදිග ඔඩියානා නම් ප්‍රදේශයේ පිහිටි ‘කිරි සයුර’ නම් විලෙහිදී ය. වර්තමානයේ එම විල පාකිස්තාන හා ඇෆ්ගනිස්තාන දේශසීමාවේ වූ ‘දනකෝෂ’ නම් විල බව සැලකේ.

තවත් මූලාශ්‍රවලට අනුව ඔහු ඔඩියානාවේ රජ පවුලක උපත ලැබූ කුමාරයෙකි. භූතානයේ පිහිටා ඇති පෞරාණික ලේඛනයකට අනුව  උන්වහන්සේ ශ්‍රී ලංකාවේ මලය දේශයේ  උපන් කුමාරයකු බව ද කියැවේ. වජ්‍රයක් ද, නෙළුමක් ද අතැති ව උපන් ඔහු උපන් වහාම දෙවිවරුන්ට ධර්ම ඉගැන්වීම ආරම්භ කළ බව ද සැලකේ.

වජ්‍රයාන බුදු දහමේ එන ඉගැන්වීම්වලට අනුව ඔහුගේ උපත සිදු වූ මොහොතේම අතීත, වර්තමාන හා අනාගත බුදුවරුන්ගේ ක්‍රියාවන් ඉටු කිරීම සඳහා තමා මවා ඇති බව ප්‍රකාශ කර තිබේ. එයින් අදහස් වන්නේ ඔහු බුදු දහමේ ආරක්ෂකයකු ලෙස ද, ධර්ම දූතයකු ලෙස ද දිවි හිමියෙන් කටයුතු කරන බව යි.

පද්මසම්භවගේ උපත දැන ගත් ඉන්ද්‍රබෝධි රජු

එකල ඔඩියානා දේශයේ පාලකයා වූ දෙවැනි ඉන්ද්‍රබෝධි නම් රජුට පුතකු නොසිටි හෙයින් ඔහු තෙරුවන් උදෙසා මහත් පූජාවක් කර සූත්‍ර ආදිය දේශනා කරවමින් සිය භාණ්ඩාගාර තුන් දහසෙහි ම දොරටු විවෘත කොට  අසරණයන්ට එම දානය බෙදා දුන්නේ ය. මේ අතරතුර රජුගේ අමාත්‍යවරයෙක් නෙළුම් විලක උපත ලද දරුවා පිළිබඳ රජුට දැනුම් දුන් අතර මෙම පුවත ගැන සතුටු වී රජු දරුවා වෙත ගොස් ඔහුගේ පියා, මව සහ ඔහු කුමන කුලයට සහ රටකට අයත් දැයි විමසී ය.

එවිට පද්මසම්භව මෙසේ ප්‍රතිඋත්තර දුන්නේය.

මගේ පියා ස්වයංව මතු වූ සමන්තභද්‍ර ය. මගේ මව යථාර්ථයේ ගෝලය සමන්තභාද්‍රි ය. මගේ කුලය නම්  ප්‍රඥාව සහ ධර්මධාතු එකතු වීමයි.ඒ වගේම මගේ නම තේජාන්විත පද්මසම්භවයි’

පද්මසම්භවගේ විවිධ ස්වරූප – mandalas.life

මෙය අසා මහත් පුදුමයට පත් වූ රජු මෙම දරුවා අපූරු හැකියාවක් සහිත ප්‍රඥාවන්ත දරුවකු බව අවබෝධ කරගත්තේ ය. ඔහුගේ පුත්‍ර තනතුර මෙන්ම ආගමික මඟ පෙන්වන්නා යන තනතුර ද පද්මසම්භව වෙත පවරා ඔහුට මාලිගයට පැමිණෙන ලෙස රජු ආරාධනා කළේ ය. පසුව තරුණ වියට පත් වූ පද්මසම්භව චන්දන් ගෝම ශ්‍රී නම් රජුගේ දියණිය වූ ප්‍රභාධරණී සමඟ විවාහ වී ධර්මයට අනුකූල ව රාජ්‍යය පාලනය කළ අතර ඔහු ‘ශිඛබන්ධ රාජා’  හෙවත් ‘පැළුණු හිසකෙස් ඇති රජු’ ලෙස ප්‍රසිද්ධියට පත් විය.

කෙසේවෙතත් දේශපාලන අංශය විමුක්ති ඉගැන්වීම්වලට විරෝධී බව වටහා ගත් ඔහු  එමගින් ජනතාවට විවර කිරීමට අපේක්ෂා කරන ධර්ම මාර්ගය විවර කිරීම අපහසු බව ද අවබෝධ කර ගත්තේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහු එම දේශය හැර යන අතර ඉන් අනතුරුව සුසාන භූමි ආශ්‍රිත ව අද්භූත අභිචාර විධි අත්හදා බැලී ය.  

ඉන්දියාවට පැමිණීම

ඉන් අනතුරුව ඉන්දියාවේ නාලන්දා විශ්වවිද්‍යාලයට පැමිණි ඔහු එහි දී බුදු දහම පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කර ඇත. එක් වරක් පමණක් සවන් දීමෙන් ඔහු විනය, සූත්‍රය සහ අභිධර්මය යන ත්‍රිපිටකයෙහි සියලු ඉගැන්වීම අවබෝධ කර ගත් බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. ඇතැම් වාර්තාවලට අනුව ඒ වන විට ඉන්දියාවේ වර්ධනය වෙමින් පැවති අනෙකුත් දර්ශනයන්ට විරුද්ධව තර්ක කරමින් බුදු දහම ඉන්දියාව තුළ සුරක්ෂිත කිරිමට පද්මසම්භව දායකත්වය දක්වා ඇත. ඉන්දියාවේ දී ඔහු සිය අධ්‍යාත්මික ජීවිතයේ උසස් ම මට්ටමට පැමිණි බව සඳහන් ය.  ඔහු එම තත්ත්වය හඳුන්වා ඇත්තේ ‘ගුරු ධීමන වර්රුචි’ නමිනි. එහි අර්ථය වූයේ  “ප්‍රඥාවෙන් යුත් උත්තරීතර මෛත්‍රීය” යන්න යි.

වජ්‍රයාන ග්‍රන්ථයක් –  Pinterest.com

නේපාලයට පැමිණීම

පසුව ඔහු  නේපාලයේ සහෝර්හි රජු වූ ශාස්ත්‍රධරගේ දියණිය වන මන්දාරවා කුමරිය තම අධ්‍යාත්මික සහකාරිය ලෙස පිළි ගෙන ඇත. ඔහු ඇය නේපාලයේ හලේෂාහි මරතික කඳු ගුහාව වෙත කැඳවා ගෙන ගොස් භාවනා ආදියෙන් ආධ්‍යාත්මය දියුණු කරවීමට උපදෙස් ලබා දුන්නේ ය.

නොබෝ කලකින් ඇය ද උතුම් අධ්‍යාත්මික තත්ත්වයකට පත් වූ අතර එම නිසා ඇය වජ්‍රයානය තුළ අධ්‍යාත්මික ගුරුවරියක් ලෙස ද සඳහන් වේ. ඇය පද්මසම්භවගේ අධ්‍යාත්මික දිවිපෙවෙත සඳහා කැපවීමට රාජ්‍ය උරුමය පවා අතහැර දැමූ බව සඳහන් ය. විවිධ පාර්ශ්ව පද්මසම්භව හා මන්දාරවා විනාශ කිරීමට විවිධ උපක්‍රම යෙදුවත්, ඒ සියල්ල පරාජය කරමින් ඔවුන් තුළ ද ධර්මය පිළිබඳ ළැදියාවක් ඇති කිරීමට පද්මසම්භවට හැකියාව ලැබිණි.

පපද්මසම්භවගේ අධ්‍යාත්මික සහසහකාරිය – Wikipedia

නැගෙනහිර ආසියාවට බුදු දහම ගෙන යාම

මේ කාලය වන විට ටිබෙටයේ පැවතුණේ සාම්ප්‍රදායික ‘බොන්’ ආගම ය. එය යන්ත්‍ර මන්ත්‍ර සහ භූතයන් ආදි අමනුෂ්‍යයන් මූලික කර ගත්  ආගමක් විය. මේ නිසා එම ප්‍රදේශය පාලනය කළ  ට්‍රයිසොං ඩෙට්සන් නම් රජුගේ ආරාධනයෙන් ටි‌බෙටය වෙත යන ගුරු රිම්පොචේ හෙවත් පද්මසම්භව සිය අධ්‍යාත්මික බලයෙන් බොන් ආගමට සම්බන්ධ මනුෂ්‍ය හා අමනුෂ්‍ය පිරිස්  හෙවත් රාක්ෂයන් මෙල්ල කොට ඔවුන්ව බුද්ධ ධර්මයේ භාරකරුවන් හෙවත් ධර්මපාලවරුන් බවට පත් කොට ති‌බේ. ඒ අනුව පද්මසම්භව, වර්තමානයේ ටිබෙටයේ පැරැණිතම බෞද්ධ නිකාය ලෙස සැලකෙන ‘නියින්ග්මා’ නිකාය ආරම්භ කර ඇත.

භූතානය හා පද්මසම්භව

භූතානයේ පද්මසම්භව හා සම්බන්ධ වජ්‍රයානයට අයත් සිද්ධස්ථාන ගණනාවක් පිහිටා තිබෙයි. ඉන් වඩාත් ප්‍රසිද්ධ වන්නේ ‘Paro Taktsang’ නම් වූ ආරාමය යි. භූතානයේ ප්‍රාදේශීය රජකු සමඟ අමනාප වූ දෙවිවරයකු යටත් කිරීම සඳහා පද්මසම්භව භූතානය වෙත පැමිණි අතර ඔහු භාවනා කළ ගුහාව වටා මෙම ආරාමය ගොඩ නඟා ඇත. එය පොළව මට්ටමේ සිට මීටර් 900ක් පමණ ඉහළින් පිහිටා ඇත. පුරාවෘත්තවලට අනුව භූතානයේ  ‘Kurjey Lhakhang’ නම් ආරාමයේ ලෙනක පද්මසම්භවගේ ජීවමාන සිතුවමක් තිබෙන බව ද පැවැසේ.

Paro Taktsang විහාර සංකීර්ණය –  Wikipedia.com

මෙසේ කටයුතු සිදු කරමින් සිටින අතරතුරු ඔහු එක්වර ම අතුරුදහන් වන අතර ඇතැම් ජනප්‍රවාදවලට අනුව ඔහු තවමත් ජීවත්වන බව සඳහන් වේ. ඒ ‘ තාම්ර පර්නිත’ හෙවත් ශ්‍රී ලංකාවේ සිරිපා අඩවියේ ය.

වජ්‍රයානය හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධය

පද්මසම්භවගෙන් පසු කලයේ දී වජ්‍රයානය තවදුරටත් වර්ධනය වන අතර වර්තමානය වන විට ටි‌බෙටය, මොංගෝලියාව, භූතානය ආදී රටවල් ගණනාවක මෙම වජ්‍රයාන බුදු දහම පැතිර පවතී.

 පද්මසම්භව ශ්‍රී ලංකාවේ ජීවත් වන බවට වන විශ්වාසය නිසා වජ්‍රයානිකයන් ශ්‍රී ලංකාවට විශේෂ ගෞරවයක් දක්වයි. 2020 වසරට පද්මසම්භයන් සිරිපා අඩවියට පැමිණ අවුරුදු 1,300 ක් සපිරෙන බවට වන විශ්වාසය නිමිත්තෙන් භූතානයේ රජුගේ අනුග්‍රහයෙන් එරට වජ්‍රයානික භික්ෂූන් වහන්සේ 48 නමක් ශ්‍රී ලංකාවට පැමිණ වජ්‍රයාන ත්‍රිපිටක සජ්ඣායනාව පැවැත්වීම පසුගිය වසරේ පෙබරවාරි 12 දින කැලණිය මානෙල්වත්ත විහාරස්ථානයේ දී ආරම්භ විය.

මානෙල්වත්ත විහාරයේ පැවැති ත්‍රිපිටක සජ්ජායනය- Facebook- Nagananda University

පසුව උන්වහන්සේලා මහනුවර නාථදේවාල පිරිශ්‍රයේ ද, මිහින්තලා රජමහා විහාරයේ දී ද, ශ්‍රී පාද ජපන් සාම චෛත්‍යය පුද බිමේ දී ද මෙම ත්‍රිපිටකසජ්ජායනා පවත්වා ඇත. ඇතැම් විටෙක සිරිපා වන්දනාවේ යන ඔබට ටිබෙට් අක්ෂර සහිත කොඩි වැල් උඩමළුවේ සහ මග දෙපස දක්නට හැකි අතර වජ්‍රයාන ගිහි-පැවිදි පිරිස් විසින් වජ්‍රයාන ධර්මපාඨ  අඩංගු ධජ මෙසේ පළඳවයි.

කවරයේ පින්තූරය- පද්මසම්භවගේ ප්‍රතිමාවක් - buddhistdoor.net

මූලාශ්‍ර:

තිර කළ යුතු ලංකා - ටිබෙට් සබදතා - දිනෙත් මල්ලිකාරච්චි

හිමවත භූතානයේ භික්ෂූන් වහන්සේලා රටට සෙත් පතා ත්‍රිපිටක සජ්ඣායනාවක - ආචාර්ය ගාමිණී කාරියවසම්

 www.dharmadata.org

Related Articles