Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවීම​

චීනයේ පාලනය කොමියුනිස්ට් පක්ෂය යටතට පත්වීමෙන් පසු 1949 ඔක්තෝබර් 1 වනදා, මාඕ සේතුං විසින් බීජින් නගරයේ දී මහජන චීන සමූහාණ්ඩුව ප්‍රකාශයට පත් කළා. චීන ජාතිකවාදී රජය ෆෝර්මෝසා දූපතට පලා යද්දී ලෝකයේ ජනාධිකම ප්‍රදේශයෙහි කොමියුනිස්ට් පාලනය පිහිටවන ලද්දේ නැගෙනහිර ආසියාවේ දේශපාලනය සැලකිය යුතු වෙනසකට ලක් කරමින්.

චීනයේ කොමියුනිස්ට් පක්ෂය පිහිටුවන ලද්දේ 1921 ජූලි 1 වන දා බව යි සඳහන් වන්නේ. එම පක්ෂය කලක් ජාතිකවාදී ගුවෝමින්ටාංග් පක්ෂය සමග එක්ව කටයුතු කළා. එහෙත් 1927 දී ගුවෝමින්ටාංග් නායක චියැං කායි ෂෙක් විසින් කොමියුනිස්ට්වාදීන්ට පහර දීමෙන් පසු ඔවුන් ප්‍රධාන නගරවලින් පසුබැස්සා. එයින් පසුව කෙමෙන් ඔවුනගේ අවධානය යොමු වූයේ ග්‍රාමීය ප්‍රදේශ වෙත යි.

1930 දශකයේ මුල් කාලයේ ඔවුන් ජියෑංෂි ප්‍රදේශයේ සෝවියට් පාලනයක් පිහිටුවා ගත්තා. ගුවොමින්ඩාංග් ප්‍රහාර හමුවේ එහි කොමියුනිස්ට්වාදීන් පරාජය වන විට ඔවුන් වයඹදිග චීනය දෙසට ගමන් කළා. මෙය මහා පා ගමන යි. මේ අතරවාරයේ මාඕ සේතුං පක්ෂයේ බලය අල්ලා ගත්තා.

1937 සිට 1945 දක්වා ජපනුන් සමග යුද්ධය පැවති සමයේ දී වැඩි පීඩනයක් එල්ල වූයේ ජාතිකවාදීන්ට යි. මේ අතර කොමියුනිස්ට්වාදීන්, යනාන් ප්‍රදේශයේ සිය පාලන කලාපය තුළ සාපේක්ෂව අඩු තර්ජනයක් සහිතව පාලනය ගෙනගියා. මේ අතර ගුවෝමින්ටාංග් පාලනය එහි වූ දූෂිත නිලධාරීන් හේතුවෙන් ද අපකීර්තියට පත් වෙමින් තිබුණා.

දෙවන ලෝක යුද්ධයෙන් පසු

දෙවන ලෝක යුද්ධය නිමාවක් කරා එළඹෙද්දී, 1945 අගෝස්තු අවසානයේ දී, චුන්කින් නගරයේ දී චියැං සහ මාඕ මුණගැසී සාකච්ඡා කළා. ඔවුන් ඔක්තෝබර් 10 වන දා එකඟතා ගිවිසුමකට ද අත්සන් කළා. මේ අතරතුර​ 1945 අන්තිම මාස කිහිපය තුළ ද ගුවෝමින්ටාංග් සහ කොමියුනිස්ට් සේනා අතර ගැටුම් ඇති වුණා. නමුත් ඒවා බරපතල ගැටුම් වුණේ නැහැ.

දෙවන ලෝක යුද්ධය අවසන් දිනවලට එළඹෙද්දී ගුවෝමින්ටාංග් හමුදාව දකුණුදිග චීනයේ සැලකිය යුතු ප්‍රදේශයක සිටි නමුත් මැන්චූරියාවෙහි ඔවුන් වූයේ නැහැ. සෝවියට් දේශය 1945 අගෝස්තු 8 වන දා ජපානයට එරෙහිව යුධ ප්‍රකාශ කළ පසු මැන්චූරියාවට කඩා වැදුණෙන්, ඒ අවසරයෙන් කොමියුනිස්ට් චීන සේනාංක ද එහි ගම්බද ප්‍රදේශයන්හි සිය බලය පැතිරවූවා. ඔවුනට සෝවියට් හමුදා විසින් අල්ලාගත් ජපන් අයුධ මෙන්ම සෝවියට් යුධ ආධාර ද ලැබුණා. 1946 දී සෝවියට් හමුදා ඉවත් වෙද්දී එම ප්‍රදේශ බොහොමයක් කොමියුනිස්ට් සේනා විසින් අල්ලා ගත්තා. මෙය අනාගත කොමියුනිස්ට් ජයග්‍රහණය සඳහා විශාල පිටිවහලක් වුණා.

චියැං සහ මාඕ චුන්කින් හි දී 1945 වසරේ (Public Domain)

මේ අතරතුර කොමියුනිස්ට්වාදීන් විසින් යෝජනා කළ ඉඩම් ප්‍රතිසංස්කරණ සැලැස්ම විශාල ග්‍රාමීය ජනතා සහායක් ඔවුන් වෙත ආකර්ෂණය කරගැනීමට සමත් වුණා. ගුවොමින්ඩාංග් පාලනය සමයේ පීඩාවට පත් වූ ගොවීන් සහ ඉඩම් නැති ගැමියන් තමන්ට ඉඩම් ලැබේ ය යන විශ්වාසයෙන් කොමියුනිස්ට්වාදීන්ට සහාය දක්වන්නට පටන් ගත්තා.

යුද්ධය නැවත ඇරඹෙයි

1946 ජූලි 20 වන දා ගුවෝමින්ටාංග් සේනා විසින් ඇරඹූ යුධ මෙහෙයුමක් සමග නැවත යුද්ධය ඇවිල ගියා. ඔවුන් උත්සාහ කළේ උතුරුදිග චීනයේ කොමියුනිස්ට්වාදීන් පරාජය කිරීම යි. ඒ වන විට ද කොමියුනිස්ට් හමුදා ගුවොමින්ඩාංග් සේනාංකවලට වඩා ශක්තියෙන් අඩු වුණා. එහෙයින් කොමියුනිස්ට්වාදීන් අවාසි සහගත ස්ථානවලින් උපක්‍රමිකව පසුබසිමින්, ගුවොමින්ඩාංග් සේනාංක වෙහෙසට පත් කරවීමේ උත්සාහයක නිරත වුණා.

1947 මාර්තුවේ දී ගුවෝමින්ටාංග් සේනා විසින් යනාන් ප්‍රදේශය අල්ලා ගත්තා. නමුත් කොමියුනිස්ට්වාදීන් ඒ වන විට​, විශේෂයෙන්ම උතුරු සහ ඊසානදිග චීනයේ ගම්බද ප්‍රදේශයන්හි බලය තහවුරු කරගනිමින් සිටියා.

කොමියුනිස්ට්වාදීන් බීජිං අල්ලාගනී (Public Domain)

මෙසේ ශක්තිමත් වූ කොමියුනිස්ට්වාදීන් 1948 අග භාගයේ සිට 1949 ජනවාරිය දක්වා කාලය ඇතුළත දියත් කෙරුණ යුධ ව්‍යාපාර තුනක දී උතුරු චීනයේ සහ මධ්‍යම චීනයේ නැගෙනහිර ප්‍රදේශයේ බලය තහවුරු කරගත්තා. මෙයින් පළමු යුධ ව්‍යාපාරය වූ උතුරු ලියාඔෂෙන් යුධ ව්‍යාපාරයේ දී මැන්චූරියාවේ ප්‍රධාන නගර තම බලයට නතු කරගත් කොමියුනිස්ට්වාදීන් සැලකිය යුතු ආයුධ ප්‍රමාණයක් ද අල්ලා ගත්තා. 1948 නොවැම්බර් සිට 1949 ජනවාරි දක්වා වූ පිංග්-ජින් යුධ ව්‍යාපාරයේ දී උතුරු චීනයේ සම්පූර්ණ පාලනය කොමියුනිස්ට්වාදීන්ට අත් වූ අතර එයට සමකාලීනව සිදු වූ හුවයිහායි යුධ ව්‍යාපාරයේ දී මධ්‍යම නැගෙනහිර චීනය ද කොමියුනිස්ට් පාලනයට යටත් වුණා.

තීරණාත්මක යුධ ව්‍යාපාර තුන (Wikimedia Commons)

මෙම යුධ මෙහෙයුම්වලින් පසු ගුවෝමින්ටාංග් බලය සීඝ්‍රයෙන් කඩා වැටුණා. 1949 අප්‍රේල් 21 වනදා ප්‍රධාන කොමියුනිස්ට් සේනාංකයක් යැන්සි නදිය තරණය කළා. අප්‍රේල් 23 වනදා ගුවෝමින්ටාංග් අගනුවර වූ නැන්ජිං නගරය කොමියුනිස්ට් පාලනයට නතු වුණා. කෙමෙන් කෙමෙන් දකුණට පසුබැස ගිය ගුවෝමින්ටාංග් ආණ්ඩුව දෙසැම්බර් 10 වන දා තයිවානයට පලා ගියා. ඇමරිකන් නාවික හමුදා රැඳී සිටීමත්, තමන්ට ශක්තිමත් නාවික හමුදාවක් නොමැතිවීමත් හේතුවෙන් කොමියුනිස්ට්වාදීන්ට තායිවාන් අල්ලාගත හැකි වූයේ නැහැ.

මහජන චීන සමූහාණ්ඩුව

1949 ඔක්තෝබර් 1 වනදා මාඕ සේතුං විසින් බීජිං නගරයේ දී මහජන චීනා සමූහාණ්ඩුව ප්‍රකාශයට පත් කෙරුණා. එහි නායකයා හැඳින්වුණේ “සභාපති” ලෙස යි. තම අරමුණ සමාජවාදී සමාජයක් සහ ලෝක කොමියුනිස්ට්වාදය නිර්මාණය කිරීම බව සභාපති මාඕ එකල සඳහන් කළා. මාඕ විසින් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වූ දේශපාලන​ ක්‍රමය නව ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හඳුන්වනු ලැබුණා. මෙය තායිවානයේ සිට ක්‍රියාත්මක වූ චීන ජනරජයට ප්‍රතිවාදී රාජ්‍යයක් ලෙස කටයුතු කළා. මහජන චීන සමූහාණ්ඩුව විසින් තායිවානය දුටුවේ තම පාලනයට එරෙහිව කැරලි ගැසූ ප්‍රාන්තයක් ලෙස යි. ඒ අනුව, තායිවානයට වඩා සාර්ථක රාජ්‍යයක් නිර්මාණය කිරීම මහජන චීනයේ නායකයින්ගේ බලාපොරොත්තුවක් වුණා.

චීනය සෝවියට් කඳවුරේ ප්‍රබලයකු වූ අතර කොරියන් යුද්ධය සඳහා ද හමුදා දායකත්වයෙන් උතුරු කොරියාවට සහාය වුණා. මේ අතර දේශීය වශයෙන් ඉඩම් ප්‍රතිසංස්කරණ සහ කාර්මිකකරණය වේගවත් කිරීමේ උත්සාහයන් ද ගනු ලැබුණා. මේ අතර කොමියුනිස්ට් පක්ෂය රටේ කටයුතු තම පාලනයට නතු කරගත්තා.

චීනයේ බලය හේතුවෙන් ඇමරිකාව අග්නිදිග ආසියාවේ වඩාත් ක්‍රියාකාරී වුණා. එමෙන්ම ජපානය යළි සන්නද්ධ කිරීම පිළිබඳව ද අවධානය යොමු කිරීමට චීනයේ බලය ප්‍රධාන වශයෙන් හේතු වුණා. මේ අතර​, දශක කිහිපයක් යනතුරු ප්‍රදේශයේ සන්නද්ධ අරගල සඳහා චීනයේ මතවාදී හෝ ද්‍රව්‍යමය සහාය ලැබුණා.

Related Articles