මහනුවර හතර මහා දේවාල ගැන නොදත් කතා

මහනුවරට යන ඔබ හතරමහා දේවාලවලට නම්  ඕනෑ තරම් යන්න ඇති. දළදා මාලිගාවේ සතර මංගල්‍යයන්හි දී මෙම සිව් මහා දේවාලවලට ද වැදගත් වැඩ කෙටසක් පැවරෙනවා. මුලින්ම මහනුවර ඇසළ මංගල්ලයට අයත් වූයේ සිව්මහා දේවාල පෙරහර පමණ යි. දළදා පෙරහර එයට එක්වුණේ 1753 වර්ෂයෙන් පසු කිර්ති ශ්‍රී රාජසිංහ රජු දවස සිට යි.

පෙරහරේ මුල් තැන ලැබෙන නාථ දෙවොල

නාථ දේවාල වාහල්කඩ-  wikipedia.org

ඇසළ පෙරහැර මංගල්ලයේ පෙළගැස්ම අනුව ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැරට පසුපසින් ගමන් කෙරෙන පළමු දේවාල පෙරහැර නාථ දේවාලයේ පෙරහැර යි. නාථ දේවාලය කැපවී ඇත්තේ මතු බුදුවනවායැ යි විශ්වාස කෙරෙන නාථ දෙවියන් වෙනුවෙන්. 

ගම්පල රාජධානිය කොට ගත් තුන්වන වික්‍රමබාහු රජු (ක්‍රි.ව 1360-1375) නව රාජධානියක් පිහිටුවීම සඳහා රාජපුරුෂයන් යොදවා ජය භූමියක් සෙව්වා. සෙංකණ්ඩ නම් බමුණා ජය භූමියක් පෙන්නුම් කළා. එසේ සොයාගත් ජය භූමියේ රජු විසින්  සෙංකඩගලපුරය හා නාථ දේවාලය ගොඩ නැංවූ බව ජනප්‍රවාද පවසනවා. බමුණාගේ නමින් එම නගරය සෙංකඩගලපුරය නම් වී ඇතැ යි පුරාවෘත්තයන්ගෙන් කියැවෙනවා.

නාථ දේවාල බිම –  Kusumsiri Wijayawardhana

නාථ දේවාල ගොඩනැගිල්ල සෙංකඩගලපුර ඇති පැරණිම ගොඩනැගිල්ල යි. වික්‍රමබාහු රජු එවකට ඉදිකර තිබූ ගඩලාදෙණිය විහාරයේ සැලැස්ම මෙයට යොදාගෙන ඇති බවට විද්වතුන් මත පළ කරනවා.

උස් මළුවක් මත තනා ඇති දේවාල බිම වටා යන සේ අඩි 6ක් උසැති කළුගල් ප්‍රාකාරයක් දැකගත හැකියි. දේවාල භූමියට ඇතුළුවීමට ප්‍රාකාරයේ දොරටු තුනක් තබා තිබෙනවා. ප්‍රාකාරය ඉදිකරවා ඇත්තේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු හතර කෝරළේ  ජනතාව යොදවා බව පැවසෙනවා. ඉංග්‍රීසි පාලන කාලයේ (1860-1887) දේවාල ගොඩනැගිල්ල වටා යන සේ තවත් ප්‍රාකාරයක් ඉදිකර තිබෙනවා. මෙම ප්‍රාකාරය ඉදිකරන විට සෙල්ලිපියක් ද හමුවුණා. එහි දුම්බර පන්සිය පත්තුව බද මාතලේ අලුත්ගම වැසියන්ට ජයවීර රජු විසින් ප්‍රදානය කරන ලද වරප්‍රසාද ගැන සඳහන් කර තිබෙනවා.

දේවාල බිමේ සිට දළදා මැදුර- inside-srilanka.com

මහාචාර්ය සෙනරත් පරණවිතාන මේ දේවාලය ගැන මෙසේ සඳහන් කරනවා:

මෙම දේවාලය එතරම් විශාල නැති නමුත් මහනුවර ඇති සම්පූර්ණයෙන්ම ගලින් කළ එකම ගොඩනැගිල්ල ලෙස එය වැදගත් ය. ගෘහ නිර්මාණය අතින් එය හින්දු දේවාලයක ආකාරය ගනී. එසේ වුව ද ස්ථූප හැඩය ගත් ශිඛරය එම ගොඩනැගිල්ලේ බෞද්ධ ප්‍රභවය හෙළි කරයි. 

(සෙනරත් පරණවිතාන- පුරාණ යුගය, ශාස්ත්‍රීය ලිපි)

ගෙඩිගේ සම්ප්‍රදාය අනුව සම්පූර්ණයෙන් කළුගලින් කළ මෙම දේවාලය විජයනගර් ද්‍රවිඩ ගෘහනිර්මාණ ශිල්පය සිහිපත් කරනවා. මහනුවර රජවරු ඔටුනු පැළදවීම, මඟුල් කඩුව පැළඳවීම සිදුකළේ මෙහි දී යි. රජුට නමක් තැබීමේ දී පුස්කොළවල ලියන ලද නම් කිපයක් නාථ දෙවියන් ඉදිරියේ තබා ඒ අතරින් නමක් තෝරාගැනිම සිදුකළේ ද නාථ දෙවියන් ඉදිරියේ. කප් සිටුවීමේ දී කපෙහි මුල් කොටස බෙදාදෙනුයේ ද, දිය කැපුම් මංගල්ලයේ දී පළමුව ගැටඹේ තොටට බැසීමට හැකි ද නාථ දේවාලයට යි.

දේවාලයේ වාහල්කඩක්- Kusumsiri Wijayawardhana

දේවාලයට ඇතුළුවීමට අලංකාර වාහල්කඩක් තනා තිබෙනවා. උඩරට ගෘහ නිර්මාණ ශිල්පය සහිත එය දේවාලයේ දකුණු වාහල්කඩ යි. මෙහි අලංකාර කළුගල් කැටයම් දැකගත හැකියි. වාහල්කඩ අසල ප්‍රදේශය රජකාලේ හඳුන්වා තිබෙන්නේ දේව සංහිඳ කියල යි. එය රජු යුක්තිය ඉෂ්ට කරන තැන ලෙස සැලකෙනවා. එක් පසෙකින් විෂ්ණු දේවාලයට ද අනෙක් පසින් නාථ දේවාලය ද පිහිටි නිසා මෙම ස්ථානයේ දී රජුට අයුක්තියක් කිරීමට අවසර නැති බව ජනතාව සැලකුවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඇහැලේපොළ අදිකාරමගේ දරුවන් ඇතුළු පවුලේ පිරිස ඝාතනයට ලක් කළේ ද මෙතැන සිට බව යි පැවසෙන්නේ. හැබැයි ඊට පසුව නම් රජුගෙන් යුක්තියක් බලාපොරොත්තු වීමට ජනතාවට අවස්ථාව නැති වුණා.

දේවාල භූමිය තුළ දාගැබ් දෙකක් ද විහාර මන්දිරයක් ද තිබෙන අතර, ඔටුනු මණ්ඩපය නම් ගොඩනැගිල්ලක පාදමක් කැණීම්වලින් මතුකර ගැනීමට හැකිවුණා. එයට නුදුරින් මහනුවර යුගයට වඩා ඈතට යන ගඩොල්වලින් යුක්ත බෝධිඝරයක ශේෂයන් ද හමුවී තිබෙනවා. දේවාල බිම පසෙකින් ගම්බාර දේවාලයක් ද දැකගත හැකියි.  මහනුවර ධර්මරාජ විදුහල 1888 දී මුලින්ම ආරම්භ කර ඇත්තේත් නාථ දේවාල බිමේ. විදුහලට අයත්ව තිබූ මහල් ගොඩනැගිල්ල දැන් විහාරයේ කාර්යාල සහ සංඝාවාසයක් ලෙස භාවිත කරනවා.

මහ විෂ්ණු දේවාලයේ වලියක් නැටුම

විෂ්ණු දේවාල වාහල්කඩ-tripadviser.com

ඇසළ පෙරහැරෙහි ගමන් ගන්නා දේවාල පෙරහැර අතර දෙවනුවට ගමන් කරනුයේ මහ විෂ්ණු දේවාලයේ පෙරහැර යි. ගුරුළු වාහනාරූඪ, දස අවතාරයෙන් පෙනී සිටින, බුද්ධ ශාසනයට ආරක්ෂාව සලසන  බවට විශ්වාස කෙරෙන විෂ්ණු දෙවියන් වෙනුවෙන් මෙම දේවාලය කැප කොට තිබෙනවා.

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයෙහි මාවනැල්ලට නුදුරින් පිහිටා තිබෙන අලුත් නුවර දේවාලය විෂ්ණු දෙවියන් උදෙසා කැපවුනු එවැනි පැරණිතම දේවාලයක්. පුරාණයේ දී මහනුවර ඇසළ මහා පෙරහැරට පෙර පෙරහැර පැවැත්වෙන අලූත් නුවර දේවාලයේ සිට කප පේකොට සිව් මහා දේවාලයන්ට කප් සිටුවීම සඳහා භාරදුන් බව පැවසෙනවා.

වලියක් නැටුමට ඇදි රටා- narthanasri.blogspot.com

මහනුවර විෂ්ණු දේවාලය ගොඩනැගීමෙන් අනතුරුව “මහ දේවාලය” වශයෙන් එය හැඳින්වීමට පටන් ගෙන තිබෙනවා. රජවරුන් අභිශේෂකයෙන් පසු නළල් පටය බඳිනු ලැබීමේ චාරිත්‍ර ඉටුකරනු ලැබුයේ මෙම දේවාලයේ සිට බව කියවෙනවා. ඇසළ  පෙරහැරේ කප් සිටුවීමට කප බෙදා දෙන දේවාලය වශයෙනුත් පෙරහැරින් පසු සිදුවන වලියක් නැටුම පැවැත්වෙන දේවාලය වශයෙනුත් මෙම දේවාලය සුවිශේෂ ස්ථානයක් ගන්නවා.

දෙවැනි වාහල්කඩ- Kusumsiri Wijayawardhana 

සෙනරත් රජ (1604-1635) කාලේ මහනුවර රජ මාලිගය අසලම උපුල්වන් දේවාලයක් තනා තිබෙනවා. නායක්කාර් රජ සමයේ දී දේව ඇදහිල්ල ඉහළ යාමත් සමග මේ දේවාලය විෂ්ණු දේවාලයක් බවට පරිවර්තනය වුණු බව තමයි පේන්නේ. ජනප්‍රවාද පවසන්නේ දේවරාජ පෙතිකඩය සහ දෙවියන්ගේ සඳුන් ප්‍රතිමාව මාවනැල්ල අලුත්නුවර සිට මෙහි අරන් ආ බව යි. පසුව සඳුන් ප්‍රතිමාව හැර අනෙක් දේවල් හඟුරන්කෙත විෂ්ණු දේවාලයට අරන් ගිය බව පැවසෙනවා.

පියගැට පෙළ කැටයම් රටා- Kusumsiri Wijayawardhana

සතර මහා දේවාල අතරින් උසස් තත්ත්වයේ කළුගල් කැටයම් දකින්න ලැබෙන්නේ මේ දේවාල ගොඩනැගිල්ලේ. මහනුවර ගෘහ නිර්මාණ ලක්ෂණ අනුව තැනූ චාම් ගොඩනැගිල්ලක් වන මෙහි පියගැට පෙළ පාමුල අලංකාර සඳකඩපහණක් තිබෙනවා. පියගැට පෙළ ද ලියවැල් රටාවලින් අලංකාර කර තිබෙනවා. වක්‍රාකාර වහලකින් යුත් දේවාල ගර්භය දෙමහල් ආකාරයක් ගන්නවා. මෙහි දික්ගෙය කැටයම් සහිත ලී කණුවලින් යුක්ත යි. විෂ්ණු දේවාල බිමේ අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයත් මුළුතැන්ගෙයත් පිහිටා තිබෙනවා.

දියකැපීමෙන් අනතුරුව සත් දිනක් මුළුල්ලේ පවත්වන වලියක් නැටුම නම් දේව පුජාව ආරම්භ වේ. මෙය කොහොඹා කංකාරියට සමාන පූජා විධියකි. මෙයින් පසු තවත් සත් දිනක් මුළුල්ලේ බලිබත් කුලයට අයත් වූවෝ පිළියෙල කරන ලද බත්, ව්‍යාංජන, පලතුරු ගොඩවල් වටා නටති. පසුව ඒවා අනුභව කරති. 

(කඹුරුගමුවේ වජිර හිමි- දළදා ඉතිහාසය සහ සංස්කෘතිය, 445 පිට)

රූමතියන් නටන පත්තිනි දේවාලය

ඇසළ පරෙහරේ පත්තිනි දේවාල නැටුම්- soloei.com 

නාථ දේවාලයට බටහිරින් පිහිටා තිබෙන මෙහි ආරම්භය ගැන නිශ්චිත සාධක හමුවන්නේ නැහැ. ජනප්‍රවාදවල කියැවෙන්නේ පළමුවැනි විමලධර්මසූරිය රජ කාලේ මාලගම්මන පත්තිනි දේවාලයේ තිබූ ප්‍රතිමාව මෙහි තැන්පත් කර දෙවොල ඉදිකළ බව යි. අද ඇති පත්තිනි දේවාලය නරේන්ද්‍රසිංහ රජු කල (1707- 1739) ඉදි වූ ගොඩනැගිල්ලක් බව පැවසෙනවා.

මහමළුවේ සිට පත්තිනි දේවාලය- Kusumsiri Wijayawardhana

 මෙම දේවාල ගොඩනැගිල්ල සරල යි. දේවාල බිම වටා යන සේ බොරදම් බේරූ කළුගල් ප්‍රාකාරයක් තිබෙනවා. දේවාලයට ඇතුළුවීමට ඇත්තේ සරල වාහල්කඩක්. ආයත චතුරස්‍රාකාර දේවාල ගොඩනැගිල්ල කුටි හතරකින් යුක්ත යි.

 දේවාල දොරටුවේ සැරසිලි-Amazinglanka.com

පත්තිනි දේවාලයේ පෙරහර ඇසළ පෙරහරේ අවසානයට ගමන් ගන්නා දේවාල පෙරහැර යි. මෙම දේවාල පෙරහැරේ වැඩමවන ඇතා පිට බැඳි රන්සිවිගෙය තුළ තැන්පත් කර ඇත්තේ රනින් නිමවූ කුඩා පත්තිනි දෙවි ප්‍රතිමාවක්. දළදා පෙරහරේ කාන්තා නැටුම් දැකගත හැකි පත්තිනි දේවාල පෙරහරේ දී යි.

කතරගම දේවාලය

කතරගම දේවාල ප්‍රවේශය -Foursquare.com

14 වන සියවසේ දී පමණ ආරම්භ වූ බව සැලකෙන මහනුවර කතරගම දේවාලය 16 වන සියවසේ දී වඩාත් ජනප්‍රිය වුණා. නගරය මැද කොටුගොඩැල්ල වීදියට මුහුණ ලා කතරගම දොවොල පිහිටා තිබෙනවා. මහනුවර කතරගම දේවාලයේ සේවාවේ යෙදී සටින්නේ බ්‍රාහ්මණ වංශික හින්දු පූජකවරුන්. එය නායක්කර් රජ කාලයේ පටන් ගත් සිරිතක් බව පේනවා. මේ දේවාල ගොඩනැගිල්ලේ ලක්ෂ්මී, සරස්වතී ආදී දෙවිවරුන්ට කැප කළ දේවාල ද පිහිටා තිබෙනවා. දේවාල භූමිය තුළ ද ප්‍රතිමා මන්දිරයක් ද දැකගත හැකියි.

Related Articles