ප්‍රංශයේ සියවස් ගණනක් පැවති රාජාණ්ඩුවට අභියෝග කරමින් එරට විප්ලවීය අරගලය ඇරඹුණේ 1789 වසරේ යි. ටෙනිස් පිටියේ ප්‍රකාශනය හා බැස්ටීලයට පහර දීම ඔස්සේ මෙම විප්ලවය පටන් ගැනුණා.

විප්ලවකාරී ප්‍රංශයට එරෙහිව යුරෝපයේ රාජාණ්ඩු අවි අමෝරා ගත්තා. ඊට හේතුව වුණේ, තම රටවලට ද ප්‍රංශ විප්ලවයේ උණුසුම පැතිරී ඒවායේ රජවරුන්ට ද සිහසුන් අහිමි වේ’ය යන බිය යි.

ප්‍රංශය 1792 වසන්ත සමයේ දී ඔස්ට්‍රියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළා. මේ අවස්ථාවේ ඓතිහාසික නිර්මාණයක් සඳහා අවස්ථාව උදා වුණා. එය, ප්‍රංශ ජාතික ගීය ලෙස අදට ද භාවිතා වන "ලා මාර්සේයි" ගීතය යි.

ආධුනික ගීත නිර්මාණකරුවෙක්

පළපුරුදු යුධ හමුදාවන්ට එරෙහිව විප්ලවකාරී ප්‍රංශයේ හමුදා සාර්ථක වේ ද යන අවිනිශ්චිතතාව තිබුණා. යුධ හමුදාව දිරිමත් කිරීම සඳහා ගීයක් නිර්මාණය කරන ලෙස, ස්ට්‍රාස්බර්ග් නගරයේ පුරපති ෆිලිප් ෆෙඩ්‍රික් ද ඩීට්‍රිෂ් විසින් තම අමුත්තකු වශයෙන් සිටි රූගේ ද ලීල් වෙත යෝජනාවක් කෙරුණේ මේ අතර යි. එදින 1792 අප්‍රේල් 25 වන දා වූ බව යි සඳහන් වන්නේ.

ෆිලිප් ෆෙඩ්‍රික් ද ඩීට්‍රිෂ් (Public Domain)

ක්ලෝඩ් ජෝසෆ් රූගේ ද ලීල් ප්‍රංශ හමුදාවේ නිලධාරියකු මෙන්ම ආධුනික ගීත රචකයකු වුණා. එහෙත්, ඔහු එතරම් සාර්ථක වූ ගී රචකයකු වූයේ නැහැ. කෙසේ වෙතත්, ඩීට්‍රිෂ්ගේ යෝජනාව ඉදිරිපත් වූ දිනයේම රාත්‍රියේ රූගේ ද ලීල් ගීතයක් රචනා කළා. එයට ඔහු නම තැබුවේ "රයින් නදියේ යුධ හමුදාවේ රණ ගීය" යනුවෙන්.

මේ ගීතය කෙටි කලකින් ම විප්ලවකාරී හමුදා අතර ජනප්‍රිය වුණා. විශේෂයෙන්ම මෙය දකුණුදිග ප්‍රංශයේ, මාර්සේයි නගරයේ සිට පැමිණි ස්වේච්ඡා භටයින් අතර බෙහෙවින් ප්‍රචලිත වුණා. එහෙයින් මේ ගීතය ද "ලා මාර්සේයි" ලෙස ප්‍රචලිත වුණා.

මාර්සේයි හි ස්වේච්ඡා භටයින් නික්ම යාම. ආර්ක් ඩු ට්‍රයොම්ෆ් හි මූර්තියක්. (Francoise Rude)

1792 දී සිදු වූ වාල්මි සංග්‍රාමයෙන් ප්‍රංශය ජයගැනීමෙන් පසු එරට රාජාණ්ඩුව අහෝසි කෙරුණා. ඉන්පසු බලයට පත් වූ ජාතික සම්මේලන රජය, 1795 ජූලි 14 වන දා පටන් "ලා මාර්සේයි" ගීතය ප්‍රංශයේ ජාතික ගීය ලෙස නම් කළා.

තහනම

කෙසේ වෙතත්, ඇතැම් පාලකයින් මෙම ගීතයට කැමැත්තක් දැක්වූයේ නැහැ. ඊට හේතු වූයේ එහි විප්ලවවාදී මූලය යි.

විප්ලවය තුළින් බලයට පත් වුව ද, නැපෝලියන් කෙමෙන් සිය බලය වර්ධනය කරගනිද්දී ඉන් වෙනස් මාර්ගයක ගමන් ගත්තා. 1804 දී ප්‍රංශය අධිරාජයක් බවට පත් වූ පසු නැපෝලියන් විසින් "ලා මාර්සේයි" ගීතයට ජාතික ගීතය ලෙස වූ පිළිගැනීම නැති කළා.

නැපෝලියන්ගේ වැටීමෙන් පසු බලයට පැමිණි බූර්බන් රාජවාංශික පාලනය යටතේ "ලා මාර්සේයි" ගීතය සම්පූර්ණයෙන් තහනම් කෙරුණා.

1830 ජූලි විප්ලවයෙන් පසු නැවත "ලා මාර්සේයි" ගීයට ප්‍රමුඛ ස්ථානයක් ලැබුණා. ලුවී නැපෝලියන් බොනපාට් ප්‍රංශයේ අධිරාජයා ලෙස 1852 දී පත් වූ පසු වෙනත් ගීයක් ජාතික ගීතය ලෙස භාවිතා කළා. නැවත වරක් "ලා මාර්සේයි" ගීතය ජාතික ගීය ලෙස පිළිගන්නා ලද්දේ 1879 වසරේ යි.

දෙවන ලෝක යුද්ධයේ දී ප්‍රංශය නිදහස් කරගනු ලැබුණු පසුව, රටෙහි පාසැල්වල මෙම ගීතය ගායනා කරන ලෙස රජය විසින් උපදෙස් දෙනු ලැබුණා. එසේ කරන ලද්දේ රට වෙනුවෙන් ජීවිත පූජා කළ අය සිහිවීමට යි.

1946 සිව් වන ප්‍රංශ සමූහාණ්ඩුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ද, 1958 පස් වන ප්‍රංශ සමූහාණ්ඩුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ද "ලා මාර්සේයි" ගීතය ජාතික ගීය ලෙස නම් කරනු ලැබුණා.

මෙම ගීතයෙහි නිර්මාණකරු වූ රූගේ ද ලීල්, තවත් ගීත කිහිපයක් ලියූ අතර පසුකාලීනව වැඩි ප්‍රසිද්ධියකින් තොරව ජීවත් වුණා. 1830 ජූලි විප්ලවයෙන් පසු ඔහු ස්වල්ප කලකට ප්‍රසිද්ධ සමාජයේ පෙනී සිටි අතර, ඉන්පසු නැවත ඔහු නොපෙනී ගියා. ඔහු 76 හැවිරිදිව සිටිය දී 1836 වසරේ දී මියගියා. 1915 ජූලි 14 වන දා ඔහුගේ භෂ්මාවශේෂ ලෙස් ඉන්වැලිඩ්ස් හි තැන්පත් කෙරුණා.

ප්‍රංශ විප්ලව සමයේ රොබ්ස්පියර් විසින් දියත් කළ භීම කාලයේ ද ලීල්ගේ ජීවිතය ගැලවුණේ ඔහු "ලා මාර්සේයි" ගීතය ලිවීම හේතුවෙන් බව යි කියැවෙන්නේ.

කෙසේ වෙතත්, ඔහුට මෙම ගීතය ලිවීමට අදහස ලබා දුන් ඩීට්‍රිෂ් එතරම් වාසනාවන්ත වූයේ නැහැ. 1793 දෙසැම්බරයේ දී ඔහු ගිලටීනයෙන් මරණ දඬුවමට ලක් කරනු ලැබුණා.

විප්ලවීය ගීයක් ලෙස

"ලා මාර්සේයි" ගීතය ලොව පුරා විප්ලවවාදී ව්‍යාපාරයන් වෙත අභිප්‍රේරණයක් ඇති කරන ගීතයක් වුණා. බොහෝ විප්ලවවාදී ව්‍යාපාරයන් මෙම ගීතය භාවිතා කළා. 1871 දී පැරිස් කොමියුනය ද "ලා මාර්සේයි" ගීය තම ගීතය මෙන් භාවිතා කළා. ජාත්‍යන්තර ගීතය නිර්මාණය වන තෙක් ලෝකයේ විප්ලවවාදී ව්‍යාපාරයන්ට පොදු ගීතයක් වී නම් ඒ "ලා මාර්සේයි" ගීතය යි.

රුසියාවේ ද මෙම ගීතය බෙහෙවින් ජනප්‍රියව පැවතුණා. සාර් පාලනය බිඳවැටුණ පසු ඇති වූ විප්ලවකාරී සමයේ "ලා මාර්සේයි" ගීතයේ තනුව අනුව තැනූ රුසියන් ගීයක් එරට ජාතික ගීතය මෙන් භාවිතා කෙරුණා. පසුව, ජාත්‍යන්තර ගීතයේ රුසියන් පරිවර්තනය නිල ගීතය ලෙස යොදාගන්නට වුණා.

කවරයේ ඡායාරූපය: ලා මාර්සේයි ගීතය පළමු වරට ගයන අවස්ථාව (ඉසිදෝර් පිල්ස්ගේ චිත්‍රයක්)