බලංගොඩ මානවයාගේ කුතුහලය පිරි අවමඟුල් සිරිත්

මළ සිරුරු ආදාහනය වර්තමානයේ අපේ අවමඟුල් සිරිතකටත් වඩා සමාජ තත්ත්වය පෙන්වන දෙයක් වෙලා. අධික වියදම් දරලා අවමඟුල් උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට බොහෝ දෙනා උත්සාහ කරන්නේ ඒකනෙ. අදින් අවුරුදු 38000කට එහා ජීවත් වුණු බලංගොඩ මානවයාගේ කාලෙ කෙනකු මියගිය පසු ඔහුගේ අස්ථි ජීවත්වන ලෙන තුළ ම යාන්තම් වළ දමා මානව පිරිස  එහි ම ජීවත්වූ බව කැණීම්වලින් හෙළි ව තිබෙනවා. මේ අවමඟුල් චාරිත්‍ර ගැන සොයා බැලීම කුතුහලය දනවන වැඩක්.

මධ්‍ය ශිලා යුග මානවයන් ආදාහනය කළේ කොහොමද?

කිතුල්ගල බෙලිලෙන මධ්‍ය ශිලා ජනාවාසය- lakpura.lk

අවමඟුල් චාරිත්‍ර ගැන ආදි ම සාධක අපට හමුවන්නේ මධ්‍යශිලා යුගය හෙවත් මෙසොලිතික යුගයෙනු යි. ඒ බලංගොඩ මානවයන් ලෙස සැලකෙන මානව ජනාවාසවලින්. ශ්‍රී ලංකාවේ මධ්‍යශිලා යුගය පිළිබඳ කාලනීර්ණ අනුව බුලත්සිංහල ෆාහියන්ලෙන අදින් වසර 48,000ක අතීතයකට ද, කුරුවිට බටදොඹලෙන අදින් වසර 37,000කට ද, කිතුල්ගල බෙලිලෙන අදින් වසර 31,000කට ද අයත් වන කාලනිර්ණ ලැබී තිබෙනවා. මේවා කැණීමේ දී මළ සිරුරු ආදාහනය ගැන විවිධ සාක්ෂි හමුවී තිබෙනවා.

ඒ කාලෙ කර තිබෙන්නේ මරණයට පත් ඥාතියාගේ මළසිරුර ගුහාවෙන් ඉවත එළිමහනක දමා එහි මස් දියවී ගිය පසුව ඇටසැකිල්ල හෝ එහි කොටස් එම තැනැත්තා ජිවත් ව සිටි ලෙනට හෝ එළිමහන් ජනාවාසයට ගෙනවිත් තැන්පත් කිරීම යි. බොහෝවිට එසේ තැන්පත් කර ඇත්තේ නැවුණු ඉරියව්වකින් බව හෙළි වී තිබෙනවා. ඉන් පසුව එම ලෙනේ ම අනෙක් ඥාතීන් ජීවත් ව සිටියා. අද නම් මිනී ඇටකටු සමඟ ජීවත්වීම බොහෝ දෙනාට බය හිතෙන කාරණයක්. මේ ගැන පැහැදිලි සාධක පී. ඊ. පී. දැරණියගල කළ කැණීම්වලදී ඇඹිලිපිටියේ බෙල්ලන්බැදිපැලැස්සෙන් හමු වි තිබෙනවා. එය අවුරුදු 6,000ක් පැරණි සුසානයක්.

ඉබ්බන්කටුව සුසානය – ccf.gov.lk

 

රාවණ ඇල්ල ලෙනෙන් ගුරුගල් පාට ආලේප කළ මිනිස් හිස් කබල් කොටසක් ද පී. ඊ. පී. දැරණියගලට හමු වුණා. අස්ථිවල පාට ආලේප කිරීම මරණයෙන් පසු කරන ඇදහිලි ක්‍රමයක් බව ඒ අනුව පේනවා. බෙල්ලන්බැඳි පැලැස්සට සමාන සුසානයක් මන්නාරමේ පොම්පරිප්පුවලිනුත් හමුවුණා.

එය මූල ඓතිහාසික කාලෙට අයත් කර තිබෙනවා. දඹුල්ල ඉබ්බන්කටුව, යාපනය කන්තරොඩෙයි, කුච්චවේලි කොක්ඇබේ, යාපහුව ගල්සොහොන්කනත්ත, රංචමඩම, කෝන්වැව ආදී ස්ථාන මෙවැනි සුසාන හමු වී ඇති තැන් කිහිපයක්.

නවා වළ දැමූ සිරුරක්- Archaeology.lk

නවා වළ දැමීම

මියගිය පුද්ගලයකු වළ දැමීමේ දී නමා හකුළා වළ දැමීම හෙවත් උක්කුටි කයෙන් වළ දැමීම ගැන සාධක බෙල්ලන්බැඳිපැලැස්ස, රාවණා ඇල්ල සහ මිනිඇතිළියෙන් ලැබී තිබෙනවා. බෙල්ලන්බැඳිපැලැස්සෙන් පුද්ගලයන් 12 දෙනකුගේවත් ඇටකටු ලැබී ඇතැයි සිරාන් දැරණියගල සඳහන් කරනවා. බළන්ගොඩ මානවයා, මියගිය පුද්ගලයකු භූමදාන කරන විට – වළ දැමීමේ දී – බටහිර දෙසට හිස සිටින සේ වළ දමා තිබීම කැණීම්වලින් හෙළි වී ඇති කරුණක්. බටදොඹ ලෙනින් ද නවා හැකිළූ ඇටසැකිලි කොටස් ලැබී තිබුණා. ලෙන් බිම යන්තම් හාරා ඇටසැකිලි තබා ඒ මත ඉවතලන කසළ දමා තිබෙනවා.

අදත් යමෙක් මරණයට පත්වූ විට ආදාහනය කරන්නේ හිස බටහිර දෙසට සිටින ලෙස යි. බලංගොඩ මානවයා එසේ හිස දමා ඇත්තේ සූර්යා දෙසට හිස සිටින සේ බවට අනුමාන කරනවා. මධ්‍ය ශිලා යුගයේ සිට පූර්ව ඓතිහාසික යුගයට එන විට මානවයාගේ අවමඟුල් චාරිත්‍ර තරමක් දියුණු වෙනවා. එකල විධිමත් භූමදාන ක්‍රම පැවති බව හෙළිවී තිබෙනවා. මේ එවැනි සුසාන ක්‍රම කිහිපයක් ගැන කළ සොයා බැලීමක්.

ඉබ්බන්කටුවේ සොහොන් කුටි -ccf.gov.lk

සුසාන ක්‍රම ගැන වැදගත් සාක්ෂි දෙන ඉබ්බන්කටුව

දඹුල්ලට නුදුරුව පිහිටි හෙක්ටයාර් 13ක භූමිය වසා පැතිරී පවතින ඉබ්බන්කටුව සුසාන භූමිය මෙගලිතික හෙවත් මහාශිලා සම්ප්‍රදායට අයත් ගල් කුටීර ස්වරූපයේ සොහොන් ගණනාවකින් සමන්විත යි. එහි කාලය ක්‍රිස්තු පූර්ව 770-350 අතරට අයත්. මෙගලිතික සුසාන සඳහා ශිලා මාධ්‍ය භාවිත කර තිබෙනවා. ශිලා පුවරු , ශිලා ටැඹ, ශිලා කුට්ටි භාවිත කර සුසාන ගැබ් තනා තිබෙනවා. කැණීමෙන් සොයාගැනුණු සොහොන්ගත කිරීම් හතළිස් හතෙන් විසි එකක් තුළ මළවුන්ගේ අළු තැන්පත් වූ මැටි භාජන තිබුණා.

ඉබ්බන්කටුව සුසානය ශ්‍රී ලංකාවෙන් හමු වූ මූල-ඓතිහාසික සුසාන භූමි අතුරෙන් විශාලත ම භූමිය යි. සුසාන කුටියේ මිය ගිය කෙනාගේ අවශේෂ තැන්පත් කර ඇති මංජුසා හා බරණි අසල ම මැටි බඳුන්වල මියගිය පුද්ගලයා භාවිත කළ භාණ්ඩ තැන්පත් කර තිබී හමු වුණා. මේ ආකාරයේ ම ක්‍රමයක් ඊජිප්තු පිරමිඩවලත් දකින්නට ලැබෙනවා. ඉබ්බන්කටුවෙන් ඒ අන්දමේ වළං 180ක් හා වළං කැබලි 14,000 පමණ ලැබුණා. එම මුට්ටිවල තුළ තිබී සුවඳ විලවුන්, පබළු, තඹවලින් තැනූ අඤ්ජන කුරු, ලෝහ පළඳනා, සත්ත්ව ඇටකටු, ඇත්දළ භාණ්ඩ, ඊ හිස්, යකඩ කැබැලි වැනි පුරාවස්තු හමු වුණා. මේවා අද එතැන තනා ඇති කටුගෙයි දැකබලාගත හැකි යි.

5 රංචමඩම මැටි ඔරු සුසාන කැණීම-thuppahis. blogspot.com

මැටි ඔරු සුසාන (Clay canoe/Clay cist)

මේ ආදාහන ක්‍රමය ශ්‍රී ලංකාවට ම ආවේණික ලෙස සැලකෙනවා. පොළොවේ මැටියෙන් තැනූ ඹරු ආකාර ආකෘතියක් ගත් සොහොන් තුළ මළ සිරුර හෝ අස්ථි කොටස් දමා පසුව දවා තිබෙනවා. 1952 වසරේදී පී. ඊ පී. දැරණියගල මාතර බණ්ඩත්තර දී පළමුවෙන් මෙම සුසාන වර්ගය වාර්තා කර තිබෙනවා. ඉබ්බන්කටුවෙන් ද ක්‍රිස්තු පූර්ව 720 ට අයත් මැටිඔරු සුසානයක් හමුවුණා.

1996 දී ආචාර්ය නිමල් පෙරේරා වාරණට නුදුරු ඕගොඩපොළ කළ නමැති ස්ථානයේ කැණිමක් කළා. එමි මැටි ඹරු ක්‍රි.පූ 250 ට අයත් වන බවට කාලනීර්ණවලින් හෙළි වුණා. රුවන්වැල්ලේ නිකවලමුල්ලේ කළ කැණිමකින් මැටි ඔරු සුසානයක් ලැබුණු අතර එහි කාලය ක්‍රිස්තු පූර්ව 400ට අයත්. රාජ් සෝමදේව ඇඹිලිපිටිය රංචමඩමේ 2006 දී මැටිඔරු සුසානයක් කැණීම් කළා. එහි කාලය ක්‍රිස්තු පූර්ව 1359 ට දිව යනවා. සෝමදේව ම සිදු කළ හල්දුම්මුල්ල සුසාන කැණිම ක්‍රිස්තු පූර්ව 1750 ක් අතීතයට අයත්.

ඉබ්බන්කටුව ශිලා මංජුසා – facebook

ශිලා මංජුසා සුසාන (Cist burial)

අප රටේ පූර්ව ඓතිහාසික අවධියෙන් බහුල ලෙස භාවිත කළ සුසාන වර්ගයක් තමයි මේ. මේ වර්ගයට අයත් සුසාන බිම් උතුරු මැද, වයඹ, මධ්‍යම හා නැඟෙනහිර පළාත්වලින් හමු වුණා. මෙහි දී කර ඇත්තේ ශිලා පුවරු හතරක් භාවිත කර මංජුසාවක් සේ පොලොවේ සිටුවා ඒ තුළ ඇටකටු ආදිය තැන්පත් කිරීම යි. විශාල සහ කුඩා ප්‍රමාණවලින් මේවා හමුවෙනවා.

ශෛලමය කුටිය තුළ මැටි මුට්ටිවල අස්ථි හෝ මළ සිරුර දහනය කළ අඟුරු තැන්පත් කර ඒ සමඟ මිය ගිය පුද්ගලයා භාවිත කළ භාණ්ඩ කිහිපයක් ද වළ දමා තිබෙනවා. ලංකාවේ ශිලා මංජුසා සුසාන වැඩි ම ප්‍රමාණයක් දැනට වාර්තා වන්නේ මල්වතු ඔය, යාන් ඔය, කිරිඳි ඔය, දැදුරු ඔය, දඹුලු ඔය ආදී ගංගා නිම්න ආශ්‍රිත ව යි.

එංගලන්තයේ ශිලා කේතුක සුසානයක්- traveling-savage.com

ශිලා කේතුක සුසාන (Cairn mound)

ශිලාකේතුක සොහොන් ගැබ් තනා තිබෙන්නේ කැටගල් හෝ ගල්පුවරු කන්දක් සේ ගොඩ ගැසීමෙන්. මිය ගිය අයගේ භෂ්මාවශේෂ මුටිටිවල දමා ඒ මත තමයි ගල් ගොඩ ගසා තිබෙන්නේ. මියගිය පුද්ගලයාගේ ආභරණ ආදී භාණ්ඩත් මැටි භාජනවල දමා තිබෙනවා.

කොක්එබේ, හොරොව්පොතාන අසල නිකවැව,මොරගොඩයාය, ගොරකපැලැස්ස, නීලගිරිසෑය, කෝවිල්තැන්න, සෙට්ටිවත්ත, මාමඩුව යන ස්ථානවලින් මේ සුසාන ලැබී ඇති බව ආචාර්ය තුසිත මෙන්ඩිස් සදහන් කරනවා.

ශිලා පෙළ මහා ශිලා සුසානයක්- එංගලන්තය- megalithic.co.uk

ශිලා පෙළ සුසාන (Alignment)

මේක දුලබ සුසාන ක්‍රමයක්. ශ්‍රී ලංකාවෙන් හමුවී තිබෙන්නේ එක් සුසානයක් පමණයි. එය හමුවන්නේ කොක්ඇබේ මහාශිලා සුසාන බිමෙනු යි.

එහිදී කර තිබෙන්නේ මීටර් එකක් පමණ උස ශිලා පුවරු සිරස් අතට පෙළක් ලෙස පොළොවේ සිටුවා ශිලා පෙළ දෙපැත්තේ ම සුසාන බරණි සහ පූජා මුට්ටි වළ දැමීම යි.

පොම්පරිප්පුවෙන් හමුවූ බරණි- wikipedia.org

බරණි සුසාන (Urn pot)

ඓතිහාසික යුගයේ ශිෂ්ටාචාරයට පැමිණීමට පෙර මිනිසුන් සිය මළ සිරුරු තැන්පත් කළ තවත් ආකාරයක් වන්නේ මැටි බරණි තුළ අස්ථි කොටස් දමා වළ දැමීම යි. එම බරණි ප්‍රමාණයෙන් විශාල යි. මේ ආකාරයේ වළ දැමීම් පොම්පරිප්පු, මාකේවිට, කොක්ඇබේ, ඉබ්බන්කටුව, තම්මැන්නාගොඩැල්ල ඇතුළු ස්ථාන කිහිපයකින් ම හමුවුණා.

පොම්පරිප්පුවේ බරණි තුළ මානව අස්ථි, දත්, පබළු, තඔ වළලු, යකඩ කොටස් තිබී හමු වුණා. ඉබ්බන්කටුවෙන් පමණක් හමු වූ බරණි සුසාන සංඛ්‍යාව 21ක්.

පදවිගම්පොළ ශිලා මංචය -megalithic.co.uk

ශිලා මංචක සුසාන (Delmenoid)

මෙම සුසාන ආකෘතිය ශිලා මංජුසා සුසානයට සමාන වුවත් ඊට වඩා විශාල යි. මේ ගැන ජනප්‍රිය ම උදාහරණය හමුවන්නේ රඹුක්කන පදවිගම්පොළින්. පොළොවෙන් ඉහළට සිරස් අතට සිටුවන ලද විශාල ගල් පුවරු ගල් ගෙයක් ආකාරයට තනා එම කුටිය තුළ බරණි තැන්පත් කර තිබුණා.
හොරොව්පොතානට නුදුරු වාහල්කඩ ප්‍රදේශයේ සහ කහටගස්දිගිලියට නුදුරු ගල්ඇඳකටුව නම් ස්ථානයේ ද මෙවැනි සුසාන ඇති බව ආචාර්ය තුසිත මෙන්ඩිස් සඳහන් කරනවා.

බලංගොඩ මානවයා සම්බන්ධ තවත් ලිපි මෙතැනින් කියවන්න.

කවරයේ ඡායාරූපය- සිරුර නවා ආදාහනය කළ අවස්ථාවක් - myschool.lk

මූලාශ්‍ර:
ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය- එස්. යූ. දැරණියගල පරි. සෝමපාල ජයවර්ධන
Silumina.lk
Archaeology.lk

Related Articles