ගෝල්ෆේස් එකේ පුරාණ බිල්ඩිං ගැන පුදුම හිතෙන කතා

ලන්දේසීන්ගෙ කාලෙ පටන් කොළඹ නගරයේ විවේක ස්ථානය ලෙස ජනප්‍රිය වුණේ ගෝල්පේස් පිටිය යි. මුහුද අද්දරින් කොල්ලුපිටිය දක්වා සැතපුමක් දුරට (කි. මී. 1.6ක්) ඇදී ගිය මේ තණපිටියට මුලින්ම කිව්වේ ගල්බොක්ක කියලයි. දැන් ගල්බොක්ක කියන නම කොටුව ප්‍රදීපාගාරය ළඟට සීමාවෙලා. පසුව ‘ගාල්ල දෙසට මුහුණ ලා ඇති ප්‍රදේශය‘ යන අරුතින් ගෝල්ෆේස් හෙවත් ගාලු මුවදොර බවට පත් වුණා. පසුව ගාලු පාර ඉදිවුණේ මේ පිටිය මැදින්. එය මුලින්ම පැවතුණේ ගුරු පාරක් ලෙස යි. සුද්දන්ගෙ කාලෙ අශ්ව රේස් තිබුණෙත් මෙතන යි. ගෝල්පේස් අවට තිබෙන පැරණි ගොඩනැගිලි කිහිපයක් තවමත් එහි අතීතය අපට මතක් කරනවා.

පළමු පිහිනුම් තටාකය ගෝල්ෆේස් එකේ

ගාලු මුවදොර 1880 දී – ගෝල්ෆේස් හෝටලය  සහ රේස්පිටියේ ගොඩනැගිලි-     lankapura.com

මෑත අතීතය වන තෙක්ම ගාලු මුවදොර කැපීපෙනන විශාලම ගොඩනැගිල්ල වූයේ මහල් හතරකින් යුත් ගෝල්ෆේස් හෝටලය යි. එහි ඉදිකිරීම් ආරම්භ වුණේ 1856 දී යි. 1864 වන විට ඉදිකිරීම් නිමවී හෝටලය අමුත්තන්ට විවෘත වුණා. එහි නවීන පහසුකම් පැමිණෙන අමුත්තන් පුදුමයට පත්කළ බව සදහන්. ගෝල්ෆේස් පිටියට මුහුණ ලා පිහිටි බැවින් එය ගෝල්ෆේස් හෝටලය ලෙස නම් කෙරුණා.

හෝටලය ඉදිරිපසින් –  lankapura.com

සූවස් ඇළට නැගෙනහිරින් පිහිටි පැරණිතම හෝටල අතරින් එකක් වන්නේ මෙම හෝටලය යි. එම බිමේ “ගෝල්ෆේස් හවුස්” නමින් යුතු ලන්දේසින්ගේ විශාල විලාවක් තිබුණා. එය කඩාදමා බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයන් 4 දෙනෙකු විසින් ඉදිකරන ලද මෙය ආසියානු කලාපයේ යටත් විජිත කාලයේ හෝටල්වලින් අද වනවිට ඉතිරි වී පවතින හෝටල් අතළොස්‌ස අතරින් එකක්‌ ලෙස සැලකෙනවා. එහි පෞරාණිකත්වයට අදත් සංචාරකයන් කැමතියි.

1897 දී නව පුනර්ජීවන ශෛලියට අනුව එඩ්වඩ් ස්කිනර්ගේ සැලැස්මක් මත මෙය නවීකරණය වුණා. එහිදී බාහිර පෙනුම ද වෙනස් කර වික්ටෝරියානු හා පුනරුද ශෛලියේ අඩකව ආරුක්කු, විශාල වීදුරු ජනේල, දිග කොරිඩෝ හෝටලයට එක්කර තිබෙනවා. ලංකාවේ හෝටලයක ඇරඹුණු පළමු පිහිනුම් තටාකය ඇත්තේ ද ගෝල්පේස් හෝටලයේ යි. ඉන්ධනවලින් දුවන වාහන නොතිබුණු ඒ කාලෙ හෝටලය අවට නිතර රික්ෂෝකරුවන් සහ අශ්ව කරත්ත ගැවසුණ බව පැරණි පින්තූර බලන විට පේනවා.

හෝටලය ගැන සදහන් පැරණි පෝස්ටරයක්-famousehotels.org

2012 වසරේ දී ගාලු මුවදොර හෝටලය වෙනුවෙන් මුද්දරයක් නිකුත් කළා. එය මෙරට මුද්දරයක‌ සනිටුහන් වූ පළමු හෝටලය බවට ද පත්වුණා. හෝටලයේ නවාතැන ගත් සම්භාවනීයයන් අතරට ජපානයේ හිරෝහිතෝ අධිරාජයා, ඇමරිකා එක්‌සත් ජනපදයේ ජනාධිපති රිචඩ් නික්‌සන්, ස්‌පාඤ්ඤයේ 13 වැනි අල්ෆොන්සෝ රජු, දෙවැනි ජුවාම් පාවුලු පාප් වහන්සේ, එංගලන්තයේ පිලිප් කුමරු, සහ ඉන්දියානු අග්‍රාමාත්‍යවරුන් වන ඉන්දිරා ගාන්ධි, සහ ජවර්ලාල් නේරු ආදීන් විශේෂයෙන් සඳහන් කළ හැකියි.

සුද්දන්ට පමණයි – කලම්බු ක්ලබ්

කලම්බු ක්ලබ් සහ එයට නුදුරින් හෝටලය දැක්වෙන පැරණි සේයාරුවක්- srilankamemories.blogspot.com

ටාජ් සමුද්‍රා හෝලටයේ ක්‍රිස්ටල් බෝල්රූම් ලෙස භාවිත කරන ගොඩනැගිල්ල කොළඹ පැරණිම ගොඩනැගිල්ලක් බව එහි විවාහ උත්සව හා සාද පවත්වන වැඩි දෙනෙක් දන්නෙ නැහැ. මේ ගොඩනැගිල්ල මුලින්ම ආරම්භ වූයේ 1871 මාර්තු 4 දා කොළඹ රේස් පිටියේ ප්‍රධාන විවේකාගාරය ලෙස යි. එයට යාබදව ප්‍රෙක්ෂකාගාර පිහිටා තිබුණා. එදා ගාලු මුවදොර අශ්ව රේස් නරඹන සුද්දන් මෙහි එක්රොක් වී කාබී විනෝද වුණා. එය 1893 දී සුද්දන්ට පමණක් සීමා වූ, “කලම්බු ක්ලබ්” නම් සුපිරි සමාජ ශාලාවක් ලෙස මුලින්ම ඇරඹුණා. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා සම්ප්‍රදායානුකූලව එහි සභාපති පදවියට පත් වුණා. මේ නිසා කලම්බු ක්ලබ්හි සාමාජිකත්වය ලබාගැනීම යුරෝපීයයන්ටත් ලේසි වුණේ නැහැ. එය ක්‍රියාත්මක වුණේ පිරිමින්ට පමණක් වෙන්වූ ක්ලබ් එකක් ලෙස යි.

ක්‍රිස්ටල් බෝල් රූම් බවට පත් කලම්බු ක්ලබ්   sundayobserver.lk

දෙමහල් ගොඩනැගිල්ලක් වන එහි ඉහළ මහල බුරුත දැව තට්ටුවකින් යුක්ත යි. හැඩයෙන් අර්ධ කවාකාර විශාල ජනේලවල ඉහළ කොටස පසාරු කැටයම්වලින් සමන්විත යි. පියස්ස කොටස් දෙකක් ලෙස ඉදිකර තිබෙනවා. පෝටිකෝවත් අර්ධ කවාකාර යි. ඉන්දියානු රාජස්ථානි ගෘහ නිර්මාණ ශිල්පය සිහිපත් කරන ගොඩනැගිල්ලක්. මෙහි පහළ මාලය බිලියඩ් මේස, කාඩ් ගැසීමේ හා කියවීමේ කාමර, අවන්හලට වෙන්වූ අතර ඉහළ මාලය යුගල නර්තන ශාලාවක් ලෙස යොදාගත්තා.

ජනතාව පිරුණු ගාලු මුවදොර – blog. cinnamonhotels.com

1948 දී ලංකාවට නිදහස ලැබීමත් සමග මෙහි සාමාජිකත්වය ලාංකිකයන්ට විවර වුණත් එහි කළමනාකරණය සිදුවී ඇත්තේ ඉංග්‍රීසින් විසින්. එහි මුල්ම ලාංකික සාමාජිකයා ලෙස වෛද්‍ය එච්. සි. පී. ගුණවර්ධන බදවාගෙන ඇත්තේ 1956 දී යි. 1980 දශකයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලය මෙම බිමේ ඉදිකළ අතර ඔවුන් පැරණි ගොඩනැගිල්ල හෝටල් පාසලක් ලෙස යොදාගත්තා. පසුව එය අලුත්වැඩියා කර ඔවුන්ගේ ක්‍රිස්ටල් බෝල්රූම් ලෙස භාවිත කරනවා.

පළමු මහල් නිවාසය: ගෝල්ෆේස් කෝට්

ගෝල්ෆේස් කෝට් සහ ගෝල්ෆේස් හෝටලය – wikipedia.org

ගාලු මුවදොර හෝටල ඉදිරිපිට පාරෙන් අනෙක් පස පිහිටි මේ ගොඩනැගිල්ල කැපීනෙන පැරණි ගොඩනැගිල්ලක්. එය අලංකාර ගෝලාකාර ශිඛරයකින් යුක්ත යි. අදත් එය සාප්පු සංකීර්ණයක් සහ නිවාස සංකීර්ණයක් ලෙස පවත්වාගෙන යනවා. 

ගෝල්ෆේස් කෝට් ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ මාකන් මාකර් නම් ව්‍යාපාරික සහෝදරයන් සිව්දෙනෙකු විසින්. ඔවුන් 1860 කාලයේ සිට ගාල්ලේ මැණික් වෙළෙදාමේ යෙදුණු අතර පසුව ඔවුන්ගේ පියා 1910 දී  කොළඹට පැමිණ ග්‍රැන්ඩ් ඔරියන්ටල් හෝටල ගොඩනැගිල්ලේ සිට ව්‍යාපාර කරගෙන ගියා. මාකන් සහෝදරවරු මෙම ගොඩනැගිල්ල 1923 දී ඉදිකර නිම කළා. එය ලංකාවේ පළමු මහල් නිවාසය යි. එහි ප්‍රධාන ගොඩනැගිල්ල මහල් පහකින් යුක්ත යි.

ඉදිරිපසින් ගෝල්ෆේස් කෝට් – house.lk

1926 දී එහි දෙවන අදියර ගොඩනැගිල්ල බුබ්බුලාකාර මුදුනක් සහිතව ඉදිකළා. බුබ්බුලාකාර කොටස තවත් වැඩිපුර මහල් දෙකකින් යුක්ත යි. අද කොළඹ හැමතැනම මහල් නිවාස දක්නට ලැබුණත් නගරයේ පළමු බහුමහල් නිවාසය මෙය යි. එමෙන්ම එකල යුරෝපීයයන්ට අවශ්‍ය නූතන පහසුකම් තිබූ එකම මහල් නිවාසය වශයෙන් ද එය ප්‍රකට වුණා.

ශාන්ත ඇන්ඩෘ දේවස්ථානය

පල්ලිය ඉදිරිපසින් – scotkirks.com

ගෝල්ෆේස් කෝට්වලට නුදුරින් ගාලු පාර අද්දර පිහිටි මෙම දේවස්ථානය අලංකාර සැලසුමකින් යුක්ත යි. එය පිහිටා ඇත්තේ මුහුදුබඩ දුම්රිය මාර්ගය ගාලු පාරට යටින් දිවෙන පාලම අද්දර යි.

මුලින්ම ශාන්ත ඇන්ඩෘ පල්ලිය පිහිටා තිබුණේ පිටකොටුව කුමාර වීදියේ. එය 1842 දී ඉදිකළ දේවස්ථානයක්. පිටකොටුව ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් බවට පත්වී ජනාකීර්ණ විමත් සමග පල්ලිය ගාලු මුවදොරට නුදුරින් පිහිටි කොල්ලුපිටියට රැගෙන ඒමට තීරණය කළා. එම ස්ථානයේ තිබූ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඉවත්කර මේ පල්ලිය තැනීම ආරම්භ වුණේ 1906 දී. එයට මුල්ගල තැබුවේ එවකට ආණ්ඩුකාර හෙන්රි ආතර් බ්ලේක්. මෙරට සිටින ස්කොට්ලන්ත ජාතිකයන්ගේ ආගමික කටයුතු සදහා භාවිත කළ බැවින් එය ස්කොට් කර්ක් දේවස්ථානය ලෙසින් ද හඳුන්වනවා. ගොඩනැගිල්ල සැලසුම් කර ඇත්තේ ස්කොට් ජාතික එඩ්වඩ් ස්කීන් විසින්. ඉදිකිරීම් කළේ වෝකර් සමාගම යි.

පල්ලිය ඇතුළත – scotkirks.com

1907 දී එහි තැනීම් කටයුතු නිම වුණා. ගොතික් ගෘහ නිර්මාණ ලක්ෂණ පළ කරන මෙහි ඉදිරිපස ඇති චතුරස්‍රාකාර කුලුනු දෙක කැපී පෙනෙන ලක්ණයක්. දේවස්ථාන ශාලාවට ආලෝකය ලබාගන්නේ ගොතික් ආරුක්කු මැද  පිහිටි විශාල වීදුරු ජනේලයක් මඟින්. එම ජනේලය 1921 දී සවිකර ඇති බව සඳහන් වෙනවා. ආරුක්කු සහිත කොරිඩෝ සහ කවුලුවලින් දේවස්ථානයට අලංකාර පෙනුමක් ලබාදෙනවා.

ලක්ෂ හතරහමාරකින් තැනූ පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තු ගොඩනැගිලි සහ ගාලු මුවදොර – traverrtiangle.com

කොටුවේ තිබුණු ව්‍යවස්ථාදායක සභා ගොඩනැගිල්ල (ජනරජ ගොඩනැගිල්ල) ඉඩකඩ මඳවීම නිසා, වෙනම පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ඉංග්‍රීසි ආණ්ඩුව තීරණය කළා. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ 1912 දී ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් හෙන්රි මැකලම් විසින්. ඒ සඳහා ගාලු මුවදොරෙහි උතුරු කෙළවර හමුදා නිල නිවාස හා බේරේ වැව අතර පිහිටි ගොඩකරන ලද ඉඩමක් තෝරා ගත්තා. ගොඩනැගිල්ල සැලසුම් කර තිබෙන්නේ කොළඹ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ  ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා වූ ඔස්‌ටින් වුඩ්සන්. ඔහු සැලැස්‌ම සෑදීමේ දී එය ඉදිකිරීමෙන් පසුව රාජකාරි කරන කරන කාගේත් සුව පහසුව හා වාතාශ්‍රය සැලසීම සඳහා අවශ්‍ය උපක්‍රමවලට වැඩි අවධානයක්‌ යොමුකර තිබෙනවා. 

මෙම ගොඩනැගිල්ල ග්‍රීක වාස්‌තු විද්‍යාත්මක ශෛලීන්ගෙන් එකක්‌ වූ ‘අයෝනික ශෛලිය’ අනුවයි ඉදිකර තිබෙන්නේ. ග්‍රීසියේ ඇතැන්ස්‌ නුවර ‘ඇතීනා’ නම් ග්‍රීක දෙව්දුවට පූජා කෙරුනු ‘පාතීනන්’ නැමැති දේවස්‌ථාන සැලසුමේ ආභාෂය මෙයට යොදාගත් බව පැවසෙනවා.

පැරණි පාර්ලිමේන්තුව වැඩ නිම කළ අලුත- wikipedia.org

1930 ජනවාරි මස 29 වැනි දින ව්‍යවස්‌ථාදායක මන්ත්‍රණ සභා මන්දිරය ශ්‍රීමත් හර්බට්‌ ස්‌ටැන්ලි ආණ්‌ඩුකාරයා විසින් විවෘත වුණා. මන්දිරය ගොඩනැගීමේ මූලික ඇස්‌තමේන්තුව රුපියල් හාර ලක්‌ෂයක්. පසුව රජයේ වැඩ කටයුතු පිළිබඳ උපදේශක මණ්‌ඩලය මඟින් රුපියල් හාර ලක්‌ෂ පනස්‌දහසක්‌ දක්‌වා මුදල් ප්‍රමාණය වැඩිකර තිබෙන බව සදහන්.

බිම් මහලේ අතුරා ඇති කළුගල් ලබාගෙන ඇත්තේ ඒ සඳහා විශේෂයෙන්ම අත්පත් කරගන්නා ලද රුවන්වැල්ලේ ගල් වළකින්. බිම් මහලේ පොළොවෙහි අතුරා ඇති ගල්වලට ගැළපෙන ලෙස විශේෂ වර්ණ සංයෝජනයකින් යුක්ත බදාමයක් ඒ මතින් යොදා තිබෙනවා. බිත්ති, කොන්ක්‍රීට් පොළොව, සහ කොන්ක්‍රීට් කුලුනු වානේ රාමු යොදා ශක්තිමත් කර තිබෙනවා. මුළු ගොඩනැගිල්ලම කොන්ක්‍රීට් ටැම් මත ඉදිවී තිබෙනවා. ගොඩනැගිල්ල තුළ ශබ්දය අඩු කිරීම සඳහා එහි පොළොවට කිරළ කළාල සහ ලිනෝලියම් බහුල ලෙස යොදාගෙන තිබෙනවා.

පැරණි පාර්ලිමේන්තුව ඉදිරිපසින්- – wikipedia.org

ආලින්දය සහ බරාඳ මිශ්‍ර වර්ණයන්ගෙන් යුතු ඝන රබර් ඇතිරිලිවලින් අවාරණය කොට තිබෙනවා. දෝංකාරය අවම වන ලෙසත්, ධ්වනි ගුණ හැකි උපරිමයෙන් ආරක්ෂා වන ලෙසත් නිර්මාණය කර තිබෙනවා. බිත්ති සහ සිවිලිම ඉවත දමන උක්දඬු කෙඳිවලින් සකස් කරන ආරක්ෂක අවශෝෂකයක් වන “පෙලෝටෙක්ස්”වලින් ආවරණය කර ඇති බව සඳහන්.

සභා ගර්භයේ පහළ කොටස තේක්ක ජනේලයන්ගෙන් නිමවා කාල වර්ණයෙන් ඔප දමා තිබෙනවා. එහි ඉහළ කොටස නිමකර ඇත්තේ බුරුත දැවවලින්. බිම් මහලේ ඇති වේගවත් පංකා මඟින් ජනනය වන සුළං ප්‍රවාහය විශාල නළ හරහා ගොඩනැගිල්ලට යොමු කෙරෙන අතර, එමඟින් සභා ගැබ තුළට පිරිසිදු වාතාශ්‍රය සැපයෙනවා. මන්ත්‍රීවරුන්ගේ ආසන යට ඇති සීරු මාරු කළ හැකි ගරාදි තුළින් වායු ධාරා නිකුත් කෙරෙනවා.

එදා රට කරවන ඇත්තන් සිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අද භාවිත කරන්නේ ජනාධිපති ලේකම් කාර්යයාලය ලෙස යි. ගොඩනැගිල්ල ඉදිරිපිට තණ පිටියේ තිබෙන මූර්ති ලංකාවේ ප්‍රබල දේශපාලන නායකයන්ගේ යුගය අපට සිහිපත් කරනවා.

ෂැංග්‍රිලා හෝටලයේ කාලතුවක්කුව

කාලතුවක්කුව මතුවූ විගස- Kusumsiri Wijayawardhana

2018 දී ශැංග්‍රිලා හෝටලය ඉදිකිරීමේ වැඩබිමේ පදනම හෑරීමේ දී බ්‍රිතාන්‍ය යුගයට අයත් පැරණි කාලතුවක්කුවක් හමුවුණා. එය අප අතීතයට නැවත රැගෙන ගිය අවස්ථාවක්. යකඩෙන් නිමකර ඇති කාලතුවක්කුව දිගින් අඩි 25ක් පමණ වෙනවා.

Related Articles