Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පළමු ලෝක යුධ සමයේ ඉන්දියන් සාගරයේ යකා නැටූ එම්ඩන් නෞකාව​

1914 ජූලි 28 වන දා ඔස්ට්‍රියා-හන්ගේරියාව විසින් සර්බියාවට එරෙහිව යුධ ප්‍රකාශ කිරීමත් සමග පළමු ලෝක යුද්ධය ආරම්භ වූ අතර දින කිහිපයක් තුළ ජර්මනිය ද යුද්ධයට සම්බන්ධ වුණා. මේ අනුව අගෝස්තු 4 වන දා වන විට ජර්මන් අධිරාජ්‍යය යුරෝපීය බලවතුන් වූ ප්‍රංශය​, බ්‍රිතාන්‍යය, සහ රුසියාව යන රාජ්‍යයන් තුන සමග ම යුධ වැදී සිටියා. මේ අවස්ථාවේ යුද්ධය යුරෝපයෙන් එපිටට ද පැතිර ගියේ ජර්මනියට ඇතැම් ප්‍රදේශයන්හි යටත් විජිතයන් ද තිබීම නිසා යි.

මෙකල චීනයේ ජර්මානුවන් සතු ව තිබූ ට්සිංටාඕ ප්‍රදේශය ජර්මන් නැගෙනහිර ආසියා නාවුක බලකායේ මූලස්ථානය වුණා. යුද්ධය ඇරඹෙන අවස්ථාව වන විට එහි නවතා තිබූ එකම “කෲසර්” නෞකාව වූයේ එම්ඩන් නෞකාව පමණයි. මෙම නෞකාව පළමු ලෝක යුද්ධය ඇරඹී මාස කිහිපයකට පසු ලොව පුරා ප්‍රචලිත වුණා. එසේ ප්‍රකට වූයේ ඉන්දියන් සාගරයේ බ්‍රිතාන්‍ය ආදී නෞකා ගමනාගමනයට තර්ජනය කරමින් යකා නැටූ ජර්මානු නෞකාව ලෙස යි.

එම්ඩන් නෞකාව​

ඩ්‍රෙස්ඩන් පන්තියේ යුධ නැවක් වූ එම්ඩන් “ලයිට් කෲසර්” ගණයට අයත් වුණා. මෙම නෞකාව ජර්මන් අධිරාජ්‍යයීය නාවික හමුදාවට එක් වූයේ 1906 දී. යුද්ධාරම්භයේ දී එහි නිලධාරීන් 18 දෙනෙකු සහ සෙබළුන් 343 දෙනෙකු වූ අතර නැවේ කපිතාන්වරයා වූයේ කාල් ෆොන් ම්‍යුලර්.

කාල් ෆොන් ම්‍යුලර් (Public Domain)

එම්ඩන් නෞකාවේ ප්‍රධානම අවිය වූයේ කැලිබර් 40 වර්ගයේ කාලතුවක්කු දහයක්. එයට කි. මී. 12ක උපරිම පරාසයක් තිබුණා. මේ අතර මෙම නෞකාවට මුහුදු බෝම්බ ඇතිරීමට සහ ටෝර්පිඩෝ ප්‍රහාර එල්ල කිරීමට ද හැකියාව තිබුණා.

යුද්ධය ආරම්භ වූ පසු 1914 අගෝස්තු 3 වන දා එම්ඩන් නෞකාව විසින් රුසියානු නැවක් අල්ලාගෙන එය ට්සිංටාඕ වෙත ගෙන ගියා.

මේ වන විට වයිස් අද්මිරාල් මැක්සිමිලියන් ෆොන් ස්පී විසින් එම්ඩන් නැවට දන්වා සිටියේ නැගෙනහිර ආසියානු සේනාවේ අනෙක් නෞකා සමග එක්වීම සඳහා මරියානා දූපත් වෙත පැමිණන ලෙස යි​. ඒ අනුව එම්ඩන් නෞකාව එම සේනාව සමග යළිත් එක් වුණා.​

ෆොන් ස්පීගේ සැලසුම වූයේ පැසිෆික් සාගරය හරහා ගමන් කොට​, දකුණු ඇමරිකාවෙහි දකුණු කෙළවරින් අත්ලාන්තික් සාගරයට පිවිස ජර්මනිය කරා ගමන් කිරීම යි. මේ අවස්ථාවේ ෆොන් ම්‍යුලර් යෝජනා කළේ එම්ඩන් නෞකාව ඉන්දියන් සාගරයට පිවිස ස්වාධීන කොල්ලකරුවෙකු ලෙස කටයුතු කළ යුතු බව යි. ෆොන් ස්පී ඊට එකඟ වූයෙන් අනෙක් නෞකා පැසිෆික් සාගරය හරහා අත්ලාන්තික් සයුර කරා ගමන් කරද්දී එම්ඩන් නැව ඉන්දියන් සාගරය දෙසට පැමිණියා.

කොල්ලකාර නෞකාව

නෙදර්ලන්ත නැගෙනහිර ඉන්දියා දූපත් හෙවත් වර්තමාන ඉන්දුනීසියා දූපත් හරහා පැමිණි එම්ඩන් නෞකාව සැප්තැම්බර් 5 වන දා බෙංගාල​ බොක්ක ප්‍රදේශයට පැමිණියා. කොළඹ සිට කල්කටා දක්වා වැටී ඇති නැව් මාර්ගයට පැමිණි පසු එම්ඩන් නැව විසින් ග්‍රීක නැවක් අල්ලාගත්තා. ඉන්පසු තවත් බ්‍රිතාන්‍ය නැව් පහක් අල්ලාගත් ජර්මානුවන් එයින් දෙකක් ගිල්වා දැමුවා.

එම්ඩන් නැව ඉන්දියන් සාගරය වෙත පැමිණි බව බ්‍රිතාන්‍යයන් දැන සිටියේ නැහැ. ඔවුන් සිතා සිටියේ එය ෆොන් ස්පීගේ සේනාංකය සමග ම සිටින බව යි. එහෙයින් මුල් දිනවල එම නෞකාවෙන් එල්ල වූ ප්‍රහාර බ්‍රිතාන්‍යයන් පුදුමයට පත් කළා.

එම්ඩන් නැවේ ගමන් මඟ​ (William Oliver Stevens and Allan Westcott)

ඊළඟ දිනවල කල්කටාව ආසන්නයට ගමන් කළ එම්ඩන් නෞකාව ඉන්පසු රැන්ගුන් ආසන්නයට ගමන් කර ආපසු හැරී මදුරාසිය දෙසට පැමිණියා. මේ වනවිට එම්ඩන් නැව ඉන්දියන් සාගරයේ සැරිසරන බව බ්‍රිතාන්‍යයන්ට දැනගැනීමට හැකි ව තිබුණු අතර නෞකා කිහිපයක් ම එය සෙවීමේ කටයුතුවල නිරත වුණා. මේ අතර ඉන්දියානු සාගරයේ වෙළෙඳ නැව් ගමනාගමනය සීමා කිරීමට​ බ්‍රිතාන්‍යයන් කටයුතු කර තිබුණා.

කෙසේ නමුත් සැප්තැම්බර් 22 වන දා රාත්‍රියේ මදුරාසි වරායට කඩා වැදුණ එම්ඩන් නෞකාව තෙල් ටැංකි දෙකක් විනාශ කර තව එකක් හානියට පත් කළා. මෙම ප්‍රහාරය අවස්ථාවේ ජර්මානුවන් මදුරාසිය ආක්‍රමණය කරන්නේ ය යන භීතියක් පවා ඇති වුණා.

මදුරාසියෙන් පිට වූ එම්ඩන් නැව ලංකාවේ නැගෙනහිර වෙරළ වටා පැමිණ කොළඹට බටහිර දිශාවෙන් ඈත මුහුදේ සරමින් වෙළෙඳ නෞකා කිහිපයක් ගිල්වා දැමීමට සමත් වුණා. ඉන්පසු ගල් අඟුරු ලබාගැනීම සඳහා මාලදිවයින කරා ගිය එම්ඩන් නැව බ්‍රිතාන්‍ය යටත් ප්‍රදේශයක් වූ දියේගෝ ගාර්සියා වෙත ගමන් කළා.

දියේගෝ ගාර්සියා හි සිටි බ්‍රිතාන්‍යයන් ඒ වනවිට ද යුද්ධයක් ඇරඹී තිබුණු බවක් අසා තිබුණේ නැහැ. එහෙයින් එම්ඩන් නෞකාව එහි දී හොඳින් පිළිගනු ලැබුණා. දින කිහිපයක් එහි රැඳුණු නැව එයින් පිටත් වී යළි මාලදිවයින් ප්‍රදේශයට පැමිණියා.

මේ අවස්ථාවේ ෆොන් ම්‍යුලර් තීරණය කළේ වෙනත් ප්‍රදේශයක යුධ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට යි. ඒ අනුව ඔහු සිය නෞකාව මලයාව දෙසට යොමු කළා.

පෙනෑංග් සහ කොකෝස් දූපත්

ඔක්තෝබර් 28 වන දා එම්ඩන් නෞකාව පෙනෑංග් වරායට ඇතුළු වූ අතර එහි දී එහි නැවියන්ට නෞකාවක් නිරීක්ෂණය වුණා. එය ජෙම්‍ෂුග් (Zhemchug) නම් වූ රුසියානු නැවක්. අලුත්වැඩියා කටයුතු කරමින් තිබුණු එම නෞකාවට එම්ඩන් නැවෙන් ප්‍රහාරයක් එල්ල වුණා. ජෙම්‍ෂුග් හි නැවියන් එම්ඩන් නැව වෙත වෙඩි තැබූ නමුත් එම ප්‍රහාරය අසාර්ථක වුණා. එම්ඩන් වෙතින් එල්ල වූ ටෝර්පිඩෝ ප්‍රහාර හමුවේ ජෙම්‍ෂුග් නෞකාව ගිලාබත් වුණා. එම ප්‍රහාරයෙන් රුසියානු නැවියන් 89 දෙනෙකු මිය ගියා.

වඩා විශාල සේනාංකයකට මුහුණ දීමට වේය යන බියෙන් පෙනෑංග් වරාය හැර යාමට ෆොන් ම්‍යුලර් තීරණය කළා. මෙසේ වරායෙන් ඉවත එන අවස්ථාවේ ඩෙස්ට්‍රෝයර් වර්ගයේ ප්‍රංශ නැවක් වූ මුස්කේ (Mousquet) නැව එම්ඩන් නෞකාවට හමු වූ අතර එහි දී වූ ගැටුමෙන් මුස්කේ නැව ද විනාශ වුණා.

පෙනෑංග්වලින් පිටත් වූ එම්ඩන් නැව දින කිහිපයකට පසු කොකෝස් දිවයින් කරා ගමන් කළා. එම ප්‍රදේශයට නෞකාව ආසන්න වන විට එහි වූ බ්‍රිතාන්‍යයන් ගුවන් විදුලි පණිවිඩයක් මඟින් ආගන්තුක​ නැවක පැමිණීම පිළිබඳ දැනුම් දීමට සමත් වුණා. ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය නෞකා නොවූ හෙයින් එම්ඩන් නෞකාව විසින් හෙල්මුත් ෆොන් ම්‍යුක නායකත්වය දුන් 53 දෙනෙකුගෙන් යුතු පිරිසක් ඩිරෙක්ෂන් දූපතට ගොඩ බැස්වීමට කටයුතු කළා.

ඩිරෙක්ෂන් දූපතේ සිට ආපසු පළා යන ෆොන් ම්‍යුකගේ කණ්ඩායම. ඈතින් පෙනෙන නැව අයේෂා ය​. (Public Domain)

කොකෝස් දූපත්වලින් පැමිණි සංඥාව ඊට නාවික සැතපුම් 50ක් පමණ ඈතින් ගමන් කළ ඔස්ට්‍රේලියානු නෞකාවක් වූ HMAS සිඩ්නි නෞකාවට ලැබුණා. ඒ අනුව එය උපරිම වේගයෙන් කොකෝස් දූපත් කරා පැමිණියා.

මෙම නෞකාව නිරීක්ෂණය කළ එම්ඩන් නැව සටනට සූදානම් වුණා. එයට ඩිරෙක්ෂන් දූපතට ගොඩ බැස්ස පිරිස යළි ගෙන්වා ගැනීමට කාලයක් වූයේ නැහැ. එම්ඩන් හි තුවක්කු සිඩ්නි හි තුවක්කුවලට වඩා සැහැල්ලු වූ නමුත් වැඩි දුරකට පහරදිය හැකි ඒවා වුණා. එහෙයින් පළමු ප්‍රහාරය එම්ඩන් වෙතින් එල්ල වූ අතර එයින් සිඩ්නි හි නාවිකයන් සිව්දෙනෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලැබුවා. නමුත් එයින් පසු සිඩ්නි හි තුවක්කු විසින් එම්ඩන් වෙත පහර පිට පහරදෙනු ලැබුණා.

මේ අනුව ෆොන් ම්‍යුලර් තම නැව උතුරු කීලිංග් (North Keeling Island) දූපත කරා ගෙන ගොස් එහි දී ගොඩබිමට පදවා නවතා දැමුවා. ඉන්පසු ඔවුන් ඔස්ට්‍රේලියානු නෞකාවට යටත් වුණා.

උතුරු කීලිංග් දූපතට ගොඩ ගැසූ එම්ඩන් නෞකාව​ (Public Domain)

කෙසේ නමුත් ෆොන් ම්‍යුක විසින් නායකත්වය දුන් කණ්ඩායම ඩිරෙක්ෂන් දූපතෙහි වූ අයේෂා නම් නෞකාවක් අල්ලාගෙන එයින් පළා ගියා. ඔවුන් මුලින් ඉන්දුනීසියාවේ (එවක නෙදර්ලන්ත නැගෙනහිර ඉන්දියා දූපත්) පඩාංග් වෙත පැමිණ පසු ව යේමනය හරහා ජර්මනියට ළඟා වුණා.

මෙසේ මාස දෙකක් ඉන්දියන් සාගරයේ රැඳී සිටිමින් මිත්‍ර පාක්ෂික නෞකා ගමනාගමනයට තර්ජනයක් වූ එම්ඩන් නෞකාවෙහි වීර ක්‍රියා නිමාවට පත් වුණා.

Cover Image: එම්‍ඩන් නෞකාව 1909 දී (wwitoday.com)

මූලාශ්‍රයයන්:

Related Articles