Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දෙවන ලෝක යුද සමයේ ජර්මානු යුද ටැංකි

දෙවන ලෝක යුධ සමයේ ජර්මානුවන්ගේ පාබල බල ඇණි ශක්තිමත් කළ යුද්ධ ටැංකි පිළිබඳව ඔබ අසා ඇති. ඒ ආකාරයෙන් මිත්‍ර හමුදාවන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කළ යුද ටැංකි තුනක් පිළිබඳව කෙටි විස්තරයක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

දෙවන ලෝක යුද්ධයේ ප්‍රබල ජර්මානු පැන්තර් යුධ ටැංකිය

පැන්තර් ටැංකිය (Tank Encyclopedia)

පැන්තර් යුධ ටැංකිය යනු ජර්මානු යුධ ටැංකි විශේෂඥයන් විසින් නිර්මාණය කරන ලද පැන්සර් (Panzer) යුධ ටැංකි සමූහයේ 5 වන යාවත්කාලීන යුධ ටැංකිය යි. ඒ හේතුවෙන් මෙය පැන්සර් 5 ලෙසත් හඳුන්වනු ලබනවා.

මෙම යුධ ටැංකිය දෙවන ලෝක යුධ සමයේ දී යුරෝපයේ බටහිර හා නැගෙනහිර පෙරමුණේ සටන්වලට දායක වෙනවා. ඒ, 1943 වසරේ මැද භාගයේ සිට දෙවන ලෝක යුද්ධය අවසන් වන තුරු කාල සීමාව තුළ යි. මෙම යුධ ටැංකිය දෙවන ලෝක යුධ සමයේ ප්‍රබල මධ්‍යම ප්‍රමාණයේ යුධ ටැංකියක් ලෙස නමක් දිනාගෙන සිටිනවා.

දෙවන ලෝක යුද්ධ කාලයටත් ප්‍රථම සිට නිර්මාණය කිරීම ආරම්භ කරන පැන්සර් යුධ ටැංකි පෙළෙහි පළමු ටැංකිය හඳුන්වන්නේ පැන්සර් 1 ලෙස යි. අනතුරුව පැන්සර් 1, පැන්සර් 2, හා පැන්සර් 3 නමින් ඔවුන් පැන්සර් යුධ ටැංකි සමූහයක් නිර්මාණය කරනවා.

1943 වසරේ මුල් භාගයේ දී එහි ප්‍රථම ටැංකිය නිෂ්පාදනය කර අවසන් කිරීමට ජර්මානුවන් සමත් වෙනවා. පසුව, මෙය ජර්මානුවන්ගේ ඉතා ප්‍රසිද්ධ පැන්සර් යුධ ටැංකි ඩිවිෂණයට ඇතුළත් වෙනවා.

MAN AG නම් ජර්මනියේ සුප්‍රසිද්ධ කාර්මික ඉංජිනේරු ආයතනය විසින් මෙය නිෂ්පාදනය කළ අතර, එහි බර ටොන් 44ක් පමණ වෙනවා. ප්‍රධාන අවිය සමග එහි දිග මීටර් 8.66ක් වූ අතර, සම්පූර්ණ පළල මීටර් 3.42ක්. උස මීටර් 3කට ආසන්න වෙනවා. ප්‍රධාන අවිය අභ්‍යන්තරය සෙ.මී. 7.5ක බැරලයකින් යුක්ත වූ KwK 42 L/70 අවියක් වූ අතර, එහි වරකට උන්ඩ 79ක් රැගෙන යාමේ හැකියාව පැවතුණා. මෙහි උප අවිය ලෙස මි.මි. 7.92MG 34 මැෂින් තුවක්කු දෙකක් සවි කිරීමේ හැකියාව පැවතුණු අතර, ඒ සඳහා උණ්ඩ 5100ක් යොදා ගනු ලබනවා. ඊට අමතරව, ටැංකිය ශක්ක්තිමත් සන්නාහයකින් ආවරණය වී තිබෙනවා.

යුධ ටැංකියේ ටැංකි සාමාජිකයන් ගණන 5ක් වූ අතර යුධ ටැංකියේ අණ දෙන්නා, උප අවිය ක්‍රියා කරවන්නා, ප්‍රධාන අවිය ක්‍රියා කරවන්නා, රියදුරු හා උණ්ඩ පුරවන්නා ලෙස එම සාමාජිකයන් පස් දෙනා ක්‍රියා කරනවා.

දෙවන ලෝක යුද්ධයේ දී නැගෙනහිර පෙරමුණේ සිදු වූ ප්‍රසිද්ධම සටනක් වන කුර්ක්ස් අඩකවයේ සටනේ දී පැන්තර් යුධ ටැංකි බොහෝමයක් යොදාගන්නවා. ඒ වගේම, 1944 වසරේ ජූලි 6 වන දා බටහිර පෙරමුණේ ඇති වූ වැදගත් සටනක් වන නොර්මැන්ඩි ගොඩබැසිමේ දී, මිත්‍ර හමුදා ආක්‍රමණයට එරෙහිව ජර්මානුවන්ගේ පැන්තර් ටැංකිය විශාල කාර්යයභාරයක් ඉටුකරනවා.

දෙවන ලෝක යුද්ධයේ ජර්මානුවන්ගේ බිහිසුණු යුද ටැංකිය- ටයිගර් 1

ටයිගර් 1 උතුරු අප්‍රිකානු යුද පෙරමුණේ (ThoughtCo)

ජර්මානුවන් දෙවන ලෝක යුද සමයේ දී නිර්මාණය කළ බලවත්ම යුද ටැංකිය ලෙස මෙය නම් කළ හැකියි. පැන්සර් ටැංකි පෙලේ 6 වන යාවත්කාලීන පැන්සර් යුද ටැංකිය ලෙස මෙය නිපදවන අතර, ඒ හේතුවෙන් මෙම ටැංකිය පැන්සර් 6 ලෙසත් හඳුන්වනු ලබනවා. 1938 සිට පැන්සර් යුද ටැංකි පෙළ නිර්මාණය කිරීම ජර්මානු යුද ටැංකි ඉංජිනේරුවන් විසින් ආරම්භ කර තිබූ අතර, 1941 ජුනි මාසයේ දී ජර්මානු බලකා සෝවියට් දේශය ආක්‍රමණය කිරීමේ බාබරෝසා මෙහෙයුමේ දී ඔවුන්ට, රුසියානුවන් සතු T34 වැනි මධ්‍යම ප්‍රමාණයේ යුද ටැංකි හා KV-1 නම් විශාල ප්‍රමාණයේ යුද ටැංකි දකින්න ලැබෙනවා.

මෙම යුද ටැංකිවලට වඩා වැඩි වෙඩි බලයකින් හා ආරක්ෂාකාරී සන්නාහයකින් යුක්ත ප්‍රබල විශාල ප්‍රමාණයේ යුද ටැංකියක් නිෂ්පාදනය කළ යුතු බව හිට්ලර් පවසනවා. පැන්තර් යුද ටැංකියෙන් ඒ කාර්යය ඉටු නොවන බවත්, ඒ වෙනුවෙන් ආකෘති සාදා ඉදිරිපත් කරන ලෙසත් පොර්ෂෙ (Porsche) හා  හැන්ෂෙල් (Henschel) සමාගම් දෙකට දන්වා සිටිනවා. ආකෘතිය ඉදිරිපත් කිරීමේ අවසන් දවස ලෙස ලබාදෙන්නේ හිට්ලර්ගේ උපන්දින දවසයි. ඒ, 1942 වසරේ අප්‍රේල් 20 වන දිනට ප්‍රථම යි.

VK 4501 (P) නම් ආකෘතිය නිපදවන්නේ පොර්ෂෙ සමාගම යි. P අකුරෙන් එම සමාගම හඳුන්වා තිබෙනවා. හැන්ෂෙල් විසින් නිෂ්පාදනය කරන ලද ආකෘතිය හඳුන්වන්නේ VK 4501 (H) නමින්. H අකුරෙන් එම සමාගම හඳුන්වා තිබෙනවා. මේ ආකෘති දෙකම හිට්ලර්ගේ උපන්දිනයට ප්‍රථම නිර්මාණය කරන අතර, මේ අතරින් වඩාත්ම ප්‍රබල හා ශක්තිමත් සැලැස්මක් වූ හැන්ෂෙල් ආකෘතිය යුද ටැංකි නිෂ්පාදනය සඳහා යොදාගැනීමට නට්සි නායකයන් තීරණය කරනවා. මේ ආකාරයට නිර්මාණය කරන ලද ටයිගර් 1 යුද ටැංකියේ දිගු නාමය වන්නේ Panzerkampfwagen VI Tiger Ausf. E යන්න යි.

Krupp කර්මාන්ත ආයතනයේ නිෂ්පාදනයක් වූ ප්‍රධාන අවිය 8.8 cm KwK 36 ලෙස හැඳින්වූ අතර, ටැංකියේ උණ්ඩ 92ක් එක්වර රැගෙන යාමේ හැකියාව පැවතුණා. පැන්තර් ටැංකියේ අවියට වඩා මෙම අවිය විශාල වීම හේතුවෙන් ජර්මානුවන් සතු ප්‍රබලම ටැංකිය ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ටයිගර් 1 ටැංකියට හිමි වෙනවා. 

මෙහි උප අවි ලෙස සවිකර තිබුණේ 7.92 mm MG 34 අවි 2ක්. එම අවි දෙකට පිළිවෙලින් උණ්ඩ 4500ක් හා උණ්ඩ 4800ක්, එක් රැගෙන යාමක් සඳහා ඇතුළත් වෙනවා.  උපරිම වේගය පැයට කි.මී 45ක් වූ අතර, බාධක සහිත යුද පිටියේ දී එහි වේගය පැයට කි.මී 20 – 25ත් අතර අගයක් ගන්නවා. නැවත ඉන්ධන පිරවීමකින් තොරව මාර්ගයක නම් කි.මී 195ක් ගමන් කළ හැකි අතර, යුද පිටියක වැනි බාධක සහිත මාර්ගයක නම් කි.මී 110ක් ගමන් කිරීමේ හැකියාව පවතිනවා. නමුත්, මෙහි තිබූ යාන්ත්‍රික ප්‍රශ්නයක් වූයේ මඩ සහිත යුද පිටියේ ගමන් කරන විට ටැංකියේ යකඩ රෝද සිර වීම යි. නැගෙනහිර පෙරමුණේ සටන්වල දී මෙම ලක්ෂණය බොහෝ විට දකින්න ලැබෙනවා. ඒ හේතුවෙන් ටැංකියේ වේගවත් බව අඩු වීම බොහෝ අවස්ථාවල දකින්න ලැබෙනවා.

ටයිගර් 1 ටැංකි පළමු වතාවට දකින්න ලැබෙන්නේ 1942 වසරේ ටියුනීසියාවේ අක්ෂ පාර්ශවයේ යුද පෙරමුණේ යි. එම සටන්වල දී බ්‍රිතාන්‍ය හමුදා මවිත කිරීමට මෙම ටැංකි ඩිවිෂණ සමත් වෙනවා. ඊට අමතරව ඉතාලියේ සටන්වලට, නොර්මැන්ඩි සටන්වලට හා නැගෙනහිර පෙරමුණේ බොහෝ සටන්වලට ටයිගර් 1 ටැංකිය යොදාගනු ලබනවා.

නට්සින්ගේ ටයිගර් 2 හෙවත් කින්ග් ටයිගර්

ටයිගර් 2 ප්‍රංශ යුධ පෙරමුණේ (Tank Encyclopedia)

දෙවන ලෝක යුධ සමයේ ජර්මනියේ නිෂ්පාදනයක් වූ ටයිගර් 2 ටැංකියේ දිගු නාමය වන්නේ  Panzerkampfwagen Tiger Ausf. B යි. එය කෙටි කර ටයිගර් B ලෙස හඳුන්වනවා. එය තවත් අවස්ථාවල දී රෝයල් ටයිගර් ලෙසත්, කින්ග් ටයිගර් ලෙසත් හඳුන්වා තිබෙනවා. 

ටයිගර් 1 යුධ ටැංකියට වඩා බරින් වැඩි වූ මෙම ටැංකිය දිග හා පළලෙන් ද ටයිගර් ටැංකිය ඉක්මවා යනවා. ප්‍රධාන අවිය සමග එහි මුළු දිග මීටර් 8 ඉක්මවා යන අතර ටැංකියේ පළල ද මීටර් 3ට මඳක් වැඩියි. එහි උස මීටර් 3 ඉක්මවා යන අතර, එය ද ටයිගර් 1 යුධ ටැංකියට වඩා වැඩියි.

ටයිගර් 1 යුධ ටැංකියට වඩා මෙහි ඇති වැදගත්ම දේ වන්නේ ශක්තිමත් සන්නාහය යි. ටයිගර් 1 ටැංකියේ සන්නාහය මි.මී 25–120 අතර අගයක් ගත්තා. එමෙන්ම, ටයිගර් 2 යුධ ටැංකියේ සන්නාහය ටැංකියේ සෑම ස්ථානයකම මි.මී 25–185ත් අතර අගයක් ගන්නවා. ඒ අනුව බලන කල, දෙවන ලෝක යුධ පිටිය තුළ තිබුණු ශක්තිමත්ම සන්නාහය සහිත යුධ ටැංකිය වූයේ මෙම ටයිගර් 2 යුධ ටැංකිය යි. ටයිගර් 2 යුධ ටැංකියක් යුධ පිටියේ දී මුණගැසීම මිත්‍ර හමුදා යුධ ටැංකි භටයන් භීතියට පත් කිරීමට සමත් වූ කාරණයක් වූ අතර, ඉන් නිකුත් වන උණ්ඩ හමුවේ මිත්‍ර හමුදාවේ ෂර්මන් 4 හා චර්චිල් වැනි ටැංකිවල සන්නාහය පහසුවෙන් විනාශ වී යනවා.

ටයිගර් 2 ටැංකියේ ප්‍රධාන අවිය ලෙස සෙ.මී 8.8  KwK 43 අවියක් සවිකර තිබූ අතර, එහි එකවර උණ්ඩ 80ක් රැගෙන යාමේ හැකියාව පවතිනවා. යුධ ටැංකියේ උප අවිය ලෙස මි.මී 7.92 Maschinengewehr 34 (MG 34) අවි දෙකක් සවිකර තිබූ අතර, ඒ සඳහා එකවර උණ්ඩ 5850ක් රැගෙන යාමේ හැකියාව පැවතුණා.

ඒ වගේම මෙම යුධ ටැංකිය නඩත්තුව සඳහා විශේෂඥ පුහුණුව ලත් පිරිසක් යුධ පිටිය ආසන්නයේ රැඳී සිටිය යුතු වෙනවා. නඩත්තුව සඳහා ගත වන කාලය හා ශ්‍රමය ද ඉතා ඉහළ යි. ටයිගර් 2 යුධ ටැංකියේ ඉන්ධන පරිභෝජනය ඉතා අධික වූ අතර, යුධ ටැංකි විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය නොකිරීමට මෙම කරුණු ද හේතු සාධක වෙනවා.

ටයිගර් 2 නම් ප්‍රබල සන්නාහයකින් හා ප්‍රබල වෙඩි බලයක් යුක්ත මෙම යුධ ටැංකිය යොදවන පළමු සටන වන්නේ, නෝර්මැන්ඩි ආක්‍රමණ සටන යි. එහි දී මිත්‍ර පාර්ශවයේ යුධ ටැංකිවලට බරපතල හානි සිදුකිරීමට ටයිගර් 2 යුධ ටැංකිය සමත් වෙනවා. නමුත්, මෙම සටනේ දී ඔවුන් අනුගමනය කළ යුධ උපක්‍රම අසාර්ථක වීම හේතුවෙන් නෝර්මැන්ඩි සටන ජයග්‍රහණය කරන්නේ මිත්‍ර පාර්ශවය යි.

දෙවන ලෝක යුද්ධය අවසන් වීමේ දී ටයිගර් 2 ටැංකි බොහෝ ප්‍රමාණයක් යුධ පෙරමුණේ දී විනාශ වෙන අතර, යුද්ධය පැරදෙන බව දැනගන්නා බොහෝ කාර්ය මණ්ඩල, තම ටයිගර් 2 ටැංකි විනාශ කිරීම ද සිදුකරනවා. ඊට අමතරව, මිත්‍ර හමුදා අල්ලාගත් ටයිගර් 2 යුධ ටැංකි අතරින් කිහිපයක් විවිධ රටවල යුධ කෞතුකාගාරවල මේ වන විට ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

මූලාශ්‍රයයන්:

britannica.com

thoughtco.com

warhistoryonline.com

Tankmuseum

කවරයේ පින්තූරය- ටයිගර් 2 හෙවත් කින්ග් ටයිගර් (Microsoft)

Related Articles