Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විෂ පොවා විවාහක පුරුෂයින් ඝාතනය කළ ඉතාලි කත: ටොෆානා

ලෝකයේ එතෙක් මෙතෙක් සිදුවී ඇති දෑ විවිධ යි, විෂම යි. පුරාතනයේ වේවා, මධ්‍යකාලීනව වේවා, නූතනයේ වේවා, ඉතිහාසය නැවත නැවත වෙනස් මුහුණුවරින් ඉස්මතුව පැමිණීම ස්වභාවය යි. 

මිනිසා විසින් ඇතැම් ක්‍රියා සිදුකෙරෙන්නේ යහපත් චේතනාවෙන් වුව, එහි ප්‍රතිඵලය අයහපත් විය හැකියි. ගිලියා ටොෆානා එවැනි ක්‍රියාවක් සිදුකළ කාන්තාවකි. ඇය, “මධ්‍යතන යුගයේ ලෝකයේ බිහිවූ අංක එකේ දාම ඝාතකයා” නමින් ඉතිහාසය හඳුන්වාදෙනු ලබයි. ඇයට එම නාමය ලැබුණේ ඇයිදැ යි ඔබට මේ ලිපියෙන් දැනගත හැකියි.

කවුද මේ ගිලියා ටොෆානා?

ගිලියා උපත ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 1620 දී ඉතාලියේ පලර්මෝහි ය. ඇගේ මව එවකටත් එහි ඉතාමත් ප්‍රසිද්ධියට පත්ව සිටි කාන්තාවක් වූ තොෆානියා ඩි ඇමාඩෝ නම් වූවා ය. 17 වන ශතවර්ෂයේ ඉතාලි කාන්තාවන්ගේ ප්‍රයෝජනය සඳහා මාරාන්තික විෂ මිශ්‍රණයක් සැකසීමට හා ඇසුරුම් කිරීමට තෝෆානියා ඩි ඇමාඩෝගේ දියණිය වූ ගිලියා ටොෆානාට වඩා දක්ෂ වෙනත් කිසිවෙකු සිටියේ නැති බවට අදටත් මතයක් තිබේ. ඇයගේ මුල් ජීවිතය හා ළමා කාලය ගැන ප්‍රමාණවත් විස්තර වාර්තා තොරතුරු මෙතෙක් සොයගෙන නොමැති අතර ඇයගේම ජීවමාන ශරීරයට සමාන සිතුවමක් හෝ ඡායාරූපයක් හෝ නොමැත. අනුමාන වශයෙන් ඇගේ හැඩරුව සහිත සිතුවම් කීපයක් පමණක් ලෝකයා හමුවේ ඉතිරිව ඇත.

ගිලියා ටොෆානාගේ සිතුවමක්
ගිලියා ටොෆානාගේ සිත්තමක්/wikimedia

කෙසේ නමුත්, පෙර සඳහන් කළ ගිලියා ටොෆානාගේ මව පලර්මෝහි ඉමහත් ප්‍රසිද්ධියක් ලැබ තිබුණේ යහපත් ක්‍රියා සම්බන්ධයෙන් නොවීය. 1633 දී තොෆානියා විසින් සිය ස්වාමිපුරුෂයා වූ ෆ්‍රැන්සිස් ඝාතනය කරන ලදී. තෝෆානියා ඩි ඇමාඩෝ ඒ සඳහා තමා සතු හොඳම විෂ වට්ටෝරුවෙන් මාත්‍රා කීපයක් ඔහුට ලබාදුන් බවට කටකතා පැතිර තිබුණි. කෙසේ නමුත් ෆ්‍රැන්සිස්ගේ ඝාතනයට ඇගේ තිබුණු ඍජු සම්බන්ධය නිසා බලධාරීන් ඇය එකී චෝදනාවට වරදකරු කරමින් 1633 ජූලි 12 වන දින පලර්මෝහි දී මරණ දණ්ඩනයට යටත් කරන ලදී.

17 වන ශතවර්ෂයේ සමාජ පසුබිම

ටොෆානාගේ වෘතාන්තය සහ එහි පසුබිම එවකට පැවති සමාජ අර්ථ ක්‍රමය පිලිබඳව එක්තරා පිළිබිඹුවක් වර්තමාන ලෝකයට සපයනු ලබයි. එවකට බටහිර ලෝකය චින්තනමය වශයෙන්, ආර්ථික හා සමාජයීය වශයෙන් පමණක් නොව, භෞතික දියුණුවේ ද කිසියම් ඉදිරි පියවරකට ලක්වෙමින් තිබුණු පුනරුද සමයක් විය. මේ පුනරුද සමය එක්තරා ආකාරයකට සංක්‍රන්තිමය ගතික කාලයක් ද විය. පුරුෂාධිපත්‍යය පිළිබඳ කථාබහක් ඉදිරියට එන්නේ මෙම පසුබිම තුළ ය. 

ක්‍රිස්තු වර්ෂ 1633 සමයේ දී ඉතාලියේ ජීවත්වූ කාන්තා පක්ෂයට සාපේක්ෂව පුරුෂයින්ට ලබා දී තිබුණු අසීමිත සමාජමය, ආර්ථික, සහ පුද්ගල බලය නිසා, එම කාලයේ කාන්තාවන් අප්‍රසිද්ධියේ, ගෘහස්ථ සහ වෙනත් අතවරයන්ට ලක්විය. ඔවුන්ට සමාජයේ පිළිගැනීමක් හෝ බලයක් නොතිබූ අතර, එකල නෛතික සහ සමාජ රාමුව හමුවේ සිය තත්ත්වය යහපත්කර ගැනීමට තිබුණේ විකල්පයන් කිහිපයකි.

  1. තම ස්වාමිපුරුෂයා තමන්ට විනීතව, මානුෂිකව සලකනු ඇතැ යි සුභවාදීව බලාපොරොත්තු වී, පුරුෂයකු හා විවාහවීම.
  2. දිවි රැකගැනීම සඳහා ලිංගික කටයුතුවල යෙදෙමින්, පිරිමින්ගේ අවශ්‍යතා ඉටුකරමින් දිගටම අවිවාහකව සිටීම.
  3. විවාහ වී ඉක්මනින් වැන්දඹුවක් බවට පත්වීම.

එදා ඉතාලියේ කාන්තාවන් හට මෙම තෝරාගැනීම් ත්‍රිත්වය හැර ජීවිතය රැකගැනීමට වෙනත් තෝරාගැනීමක් නොතිබීමෙන් ඔවුන් ජීවත්වූ සමාජය කාන්තාවන් මත පැටවූ පීඩනය කෙතරම්දැ යි සිතාගත හැකිය. එවකට ඉතාලියේ වැදගත්, ඉහළ පංතියේ බොහෝ විවාහක කාන්තාවන් අතර එම තුන්වන විකල්පය වන “ඉක්මනින් වැන්දඹුවක් බවට පත්වීම” බෙහෙවින් ජනප්‍රිය වීම එනිසා පුදුමයට කරුණක් නොවේ. 

එවකට සමාජයේ පිරිමින් කාන්තාව ස්වකීය දේපොළක් සේ තැකූ අතර, එම සමාජයේ බොහෝ කාන්තාවන් ප්‍රචණ්ඩකාරී ස්වාමිපුරුෂයන් සමග අයහපත් විවාහවල පැටලී සිටියහ. පීඩාවෙන් සහ අසහනකාරී බවින් මිරිකුනු ඔවුන්ට උපකාර පිණිස නීතිය හෝ ආගම හෝ සමාජ ආකල්ප ඉදිරිපත් නොවීය. බොහෝ කාන්තාවන් ඔවුන්ගේ පවුලේ අය විසින් විවාහ කරදෙනු ලැබුවේ ඇගේ කැමැත්ත අකමැත්ත නොතකා ය. ස්වාමිපුරුෂයන්ට තම භාර්යාවන් කෙරෙහි අසීමිත පූර්ණ පාලනයක් තිබූ අතර, තම භාර්යාවන් අත්තනෝමතිකව පහරදීමට හෝ සියලු ආකාරයේ කුරිරුකම්වලට යටත් කිරීමට හැකියාව තිබුණි. එකී තත්ත්වය යටතේ එවැනි පිරිමින්ගේ විවාහක භාර්යාවන් ඔවුන්ගේ ජීවිත ගත කළ දුක්ඛිත, පීඩාකාරී ස්වභාවය ඔබට පැහැදිලි විය යුතු ය. එනිසා එකල බහුතරයක් විවාහක කාන්තාවන්ගේ එකම අභිලාෂය වූවේ නිදහස යි.

17 වන සියවසේ රෝමය/Viático de Vagamundo

එදා ඉතාලි සමාජයෙන් දික්කසාදය සලකා බැලීමට අනුබලයක් නොලැබුනි. නීතියෙන් හෝ සමාජ ආකල්පවලින් පිළිසරණක් නොමැතිකල ස්වකැමැත්තෙන් වැන්දඹුවක් වීම විකල්පය විය. එය සිදුකළ හැකි පහසුම ක්‍රමය වූවේ පුරුෂයාට වස ලබාදීම යි. එතැන තිබුණු රික්තකය පුරවාලන්නට ඉදිරිපත් වූවේ, සිය මව වූ තෝෆානියා ඩි ඇමාඩෝ පූර්වාදර්ශයට ගත් ගිලියා ටොෆානා ය.

ටොෆානාගේ “සමාජ සේවය” 

පිටතින් විනීත වූ ද, අභ්‍යන්තරයෙන් අනාදරය පිරුනා වූ ද විවාහ කුටුම්භ තුළ සිරවී සිටින අසරණ කාන්තාවන්ට, ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් ඝාතනය කිරීම හරහා දුක්ඛිත විවාහ ජීවිතයෙන් නිදහස්වීමට උපකාර කිරීමෙන් තමා කරන්නේ යහපත් ක්‍රියාවක් බව ගිලියා ටොෆානා විශ්වාස කළා ය. ඒ විශ්වාසය තුළ මෙම මධ්‍යකාලීන කාන්තාව දාම ඝාතක ස්ත්‍රියක් බවට පත්වූයේ ඉතාලි ස්වාමිපුරුෂයන් 650ක් ඇගේ වස මිශ්‍රනයෙන් නිහඬව, සහ අභිරහස් ආකාරයට මරා දැමීම මඟිනි. 

ගිලියා ටොෆානා, ඇගේ මව වූ තෝෆානියා ඩි ඇමාඩෝ මෙන්ම ඉතා රූමත්යැ යි සැලකුණු අතර, මත්පැන් සහ වසවිස ඇගේ නිහඬ පර්යේෂණය විය.

ඇගේ වස නිශ්පාදනය කුමක්ද?

ගිලියා ටොෆානා ඇගේම වට්ටෝරුවකට විෂක් නිෂ්පාදනය කළා ය. ඇතැමුන් පවසන්නේ ඒ ඇගේ මවගේ වට්ටෝරුවක් බව යි. මේ විෂ වර්ගය පසුව “අකුවා ටොෆානා” යනුවෙන් හැඳින්විණි. 

එය වර්ණ රහිත, ගන්ධ රහිත හා කිසිදු රසයකින් තොර වූ ද්‍රාවනයකි. එය මාරාන්තික විසක් බව කලින් හඳුනාගැනීමට ඉඩකඩ නොමැති විය. එකල ශරීරගත වූ විෂක් හඳුනාගැනීම අද තරම් පහසු නොවූ  අතර, අකුවා ටොෆානා එයට ගොදුරුවූවන්ගේ සිරුරුවල කිසිදු හෝඩුවාවක් ඉතිරි කළේ ද නැත. එබැවින් මරණය විෂ නිසා සිදුවූවක් බව කිසිවෙකුටත් හඳුනාගත නොහැකි විය. මේ සියලු ගුණයන් අකුවා ටොෆානා ඉතාලියේ එවකට තිබුණු උග්‍රතම, අබිරහස් වස විසෙන් එකක් බවට පත්කළේ ය.

අකුවා ටොෆානාහි අමුද්‍රව්‍ය අතර ආසනික්, ඊයම්, සහ බෙලඩෝනා අඩංගු විය. බෙලඩෝනා රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිතා කෙරුණු, මාරාන්තික විෂ සහිත ශාකයකි. ගිලියා ටොෆානාගේ විෂ වට්ටෝරුව මේවායින් සමන්විත වූ අතර මෙම සියලු අමුද්‍රව්‍ය සැලකිය යුතු මාත්‍රාවකින් පරිභෝජනය කිරීම මිනිසුන්ට මාරාන්තික බලපෑමක් ඇති කළේ ය. මිනිසුන් අතර සෞඛ්‍ය සම්පන්නම අය පවා සැකයෙන් තොරව මර ඇඳට හෙළීමට අවශ්‍ය වූයේ මත්පැන් බඳුනකට, සුප් බඳුනකට හෝ ආහාර වේලකට දැමූ බින්දු හතරක් පමණි. 

මෙම විෂ බිංදු ආහාරපානයන්ට දමා ලබාදිය හැකිවූ අතර, ඒවායින් කිසිදු අමිහිරි රසයක් නොදැනෙන නිසා ඉලක්කගත ස්වාමිපුරුෂයන් කිසි විටෙකත් තම භාර්යාවන් තමන්ට වස පානය කරවන බව නොදැන සිටියහ. ඇක්වා ටොෆානා විෂ වීමේ ප්‍රධාන රෝග ලක්ෂණ අතර වමනය, රුධිරය සමග පාචනය, සහ ආමාශයේ අසහනකාරී වේදනාවන් (ආසනික් විෂ වීම) වැනි තත්ත්වයන් දැක්වේ. ඇක්වා ටොෆානා විෂෙහි හොඳම ලක්ෂණය වූයේ එය ක්ෂණිකව මරණය නොගෙනේම යි. රෝග ලක්ෂණ පිටතට පැමිණීමට සති ගණනාවක් ගතවූ අතර, එම නිසා එය ශරීර අභ්‍යන්තරයේ වර්ධනය වෙමින් පැවති, හඳුනාගත නොහැකි රෝගයක් සේ පෙනුනි. ඒ නිසාම බලධාරීන්ගේ සැකයට කිසිවෙකුත් ලක් නොවීය.

රෝග ලක්ෂණ පිටතට පැමිණීමට සති ගණනාවක් ගතවූ අතර, එම නිසා එය ශරීර අභ්‍යන්තරයේ වර්ධනය වෙමින් පැවති, හඳුනාගත නොහැකි රෝගයක් සේ පෙනුනි/History of Yesterday

ගිලියා ටොෆානාගේ මාරාන්තික විෂ වෙළඳාම

ගිලියා ටොෆානා ඇගේ මාරාන්තික විෂ නිශ්පාදනය අලෙවි කළේ, විෂ ද්‍රාවනය වියළි කුඩු බවට හරවා කාන්තාවන්ගේ මුහුණු ආලේපන පුයර සේ පෙනෙන ලෙස කුඩා කුප්පිවල ඇසිරීමෙනි. ඒ කාලයේ කාන්තාවන් සතුව රූපලාවණ්‍ය දෑ අඩංගු කුඩා කුප්පි බොහෝමයක් තිබූ නිසා, මේ කුඩා කුප්පි කිසිවෙකු තුළ සැකයක් ජනිත නොකළේ ය. මෙනිසා ඇය කිසිවකුගේ සැකයට භාජනය නොවී, අපහසුවකින් තොරව, වසර 50කට වැඩි කාලයක් තම ව්‍යාපාරය කරගෙන ගියා ය.

ටොෆානා සිය වෙළඳාම පුළුල් කරමින් සිසිලියේ සිට නේපල්ස් හරහා රෝමයට ගියා ය. සිය දියණිය වූ  ගිරෝලාමා ස්පෙරාගේ ද, විශ්වාසවන්ත ආධාරකයින් පිරිසකගේ ද, සහ ඇතැමුන් සැක කරන පරිදි පූජකවරයකුගේ ද උපකාරය ඇතිව ගිලියා ටොෆානා සිය විෂ වෙළඳාම දියත් කළා ය. බොහෝ අයට ඇගේ ව්‍යාපාරය හුදු කාන්තා ආලේපන ව්‍යාරයක් පමණක් විය. කාන්තාවන්ගේ අලංකාරය වැඩි දියුණු කරන වෙනත් ආලේපන ද ටොෆානා අලෙවි කළා ය. එය අකුවා ටොෆානා අලෙවිය පහසු කළේ ය.

එකල සිය විවාහයෙන් මිදීමට අවැසි වූ කාන්තාවෝ සිය ගණනින් ගිලියා ටොෆානා සොයා ආවෝ ය. බොහෝ විවාහක කාන්තාවෝ එමඟින් ඉක්මන් වැන්දඹුභාවය ලැබගත්හ. ඇගේ අකුවා ටොෆානා එතරම්ම සාර්ථක සහ භාවිතයට පහසු විය. ස්වාමිපුරුෂයන් තම බිරිඳගේ රූපලාවණ්‍ය කුප්පිය ඔවුන්ගේ මරණ වරෙන්තුව බව දැන සිටියේ නැත.

ගිලියා ටොෆානාගේ වෙළඳ ව්‍යාපාරය හෙළිදරව්ව සහ අවසානය

වසර 50කට ආසන්න කාලයක් තුළ මිනිසුන් සිය ගණනක් දෑතින් ස්පර්ශ නොකොට ඝාතනය කිරීමට ගිලියා ටොෆානාට හැකි විය. එහෙත් තීරනාත්මක දවසක එකම එක සුප් බඳුනක් ඇගේ සම්පූර්ණ බිඳවැටීමට හේතු විය. වසර 50ක් සාර්ථකව පවත්වාගෙන ගිය ඇගේ මාරාන්තික ව්‍යාපාරය, අවසානයේ ඇගේ සේවාදායකයකු වෙතින්ම හෙළිදරව්වීමෙන් අනපේක්ෂිත ලෙස ගිලියා ටොෆානා නීතියේ රැහැණට හසුවූවාය. 

වැන්දඹුවක් බවට පත්වීමේ කැමැත්තෙන් සිටි එක්තරා කාන්තාවක් ගිලියා ටොෆානාගෙන් විෂ මිල දී ගත්තා ය. එය ස්වාමිපුරුෂයාගේ සුප් භාජනයට මුසුකර පිළිගැන්වූ ඇයට හදිසියේම පසුතැවීමක් දැනුනු බව කියයි. එනිසා ඇය ඔහු සුප් පානය කිරීමෙන් වැළකුවා ය. ඇගේ හැසිරීම් පිළිබඳ බලවත්සේ සැක උපදවාගත් ඒ මිනිසා සත්‍යය පැවසීමට ඇයට බල කළේ ය. මේ කාන්තාව සියල්ල හෙළිකළෙන් ඔහු ඇය රෝමයේ බලධාරීන් වෙත භාර දුන්නේ ය. පාපොච්චාරණය කළ ඇය, තමාට වස විකුණූ තැනැත්තිය ලෙස ගිලියා ටොෆානා වෙත ඇඟිල්ල දිගු කළා ය.

ගිලියා ටොෆානා වස පානය අතැතිව/Domenico Puligoගේ සිතුවමක්

නීතිය වහා ක්‍රියාත්මක විය. තමා අත්අඩංගුවට ගැනීමට බලධාරීන් එන බව ආරංචි වූ ගිලියා ටොෆානා අභයදානය ඉල්ලා පල්ලියකට පලා ගියා ය. නමුත් පසුව පල්ලියට ගිය බලධාරීන් ඇය අත්අඩංගුවට ගෙන, 1633 සහ 1651 අතර මිනිසුන් 650කට අධික පිරිසකට වස දුන් බවට පාපොච්චාරණය කරන තෙක් ඇයට විවිධ වධ හිංසා පමුණුවා ඇත.

1659 ජූලි මාසයේ දී ගිලියා ටොෆානාට, ඇගේ දියණිය ගිරෝලාමා ස්පෙරාට, සහ සේවකයින් තිදෙනාට මරණීය දණ්ඩනය හිමිවූ අතර ඔවුන් ප්‍රසිද්ධියේ මරාදමන ලදී. ගිලියා ටොෆානාගේ සේවාව ලබාගත් බවට එතෙක් හෙලිදරව් වූ සමහර සේවාදායකයින්ට ද විවිධ දඬුවම් නියම කරන ලදී. 

 

කවරයේ සිතුවම: YouTube - Siakap Keli

මූලාශ්‍රයයන්: edtimes.in/

syfy.com/

medium.com/

alchetron.com/

listverse.com/

Related Articles