Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉතාලිය එක්සත් කළ ගරිල්ලා නායකයා- ගැරිබාල්ඩි

ඉතාලිය අතීතයේ දී තනි රාජ්‍යයක් නොවූ අතර, නැපෝලියන් බොනපාට්ගේ යුද්ධ සමයේ දී එම දේශසීමා වෙනස් වුණා. නමුත් 1815 න් පසු යළි පැරණි දේශසීමා අනුව ඉතාලියේ විවිධ රාජ්‍යයන් බෙදී ගියා. ඉන්පසු කාලයේ ඉතාලිය එක්සත් කිරීමේ පරමාර්ථයෙන් විවිධ කණ්ඩායම් ක්‍රියාත්මක වුණා. ඉතාලියේ එක්සත්භාවය සාක්ෂාත් කරගන්නා ලද්දේ 1870 දී යි. මේ සඳහා සටන් කළ අය අතරින් ප්‍රධානතම සහ සුවිශේෂී ම පුද්ගලයෙකු ලෙස ‘ජුසෙප් ගැරිබාල්ඩි’ හඳුන්වන්නට පිළිවන්.

ගැරිබාල්ඩි උසස් පවුලක උපන් අයෙකු නොවේ. ඔහු කිසිදු අයෙකුට යටත් ව කටයුතු කිරීමට කැමැත්තක් දැක්වූවෙකු ද නොවේ. නාවිකයෙකු ලෙස ජීවිතය ඇරඹූ ඔහු, පසුකලෙක නාවික සටන්කරුවෙකු ලෙසත්, ඉන්පසු ගරිල්ලා නායකයෙකු ලෙසත් ප්‍රකට වුණා. මරණ දණ්ඩනයට ද නියම කරන ලද ඔහු, සටන් බිමේ දී ද කිහිපවිටක් ම මරණයෙන් ගැලවුණා. අවදානම් සහගත සටන් ව්‍යාපාර ගණනාවක ඔහු නිරත වුණා. කැළඹිලි සහගත ජීවිතයක් වුව ද, එය අවසන් වූයේ සාර්ඩිනියාව අසල කැප්‍රේරා දූපතේ ගොවියෙකු ලෙස ජීවත් වෙමින් සිටිය දී යි.

තරුණ විප්ලවවාදියා

ගැරිබාල්ඩි උපන්නේ 1807 ජූලි 4 වන දා එවකට ප්‍රංශ අධිරාජයේ වූ නීස් නගරයේ දී යි. නැපෝලියන්ගේ වැටීමෙන් පසු නීස් නැවතත් සැවෝයි හි ආදිපාදවරයා යටතට පත් වුණා. ගැරිබාල්ඩිගේ පියා කුඩා යාත්‍රාවක නාවිකයෙකු වූ අතර, මව කාරුණික කතෝලික කාන්තාවක වුණා.

1833 දී පමණ තරුණ කාලයේ ගැරිබාල්ඩි ජුසෙප් මැට්සිනිගේ අදහස්වලට ආකර්ෂණය වූ අතර, ඉතාලිය එක්සත් කිරීම අරමුණු කරගෙන ක්‍රියාත්මක වූ කාර්බොනරි සමාජයකට ද එක් වුණා. ඔවුන් කැරැල්ලක් සංවිධානය කළ නමුත්, එය ක්‍රියාත්මක වූයේ නැහැ. කැරලිකරුවන් රැස්වීමට නියමිත ව සිටියේ ජිනෝවා නගරයේ පියට්සාවේ (විවෘත චතුරශ්‍රය​). නමුත් ගැරිබාල්ඩි එහි ගියවිට වෙනත් කිසිවෙකු එහි පැමිණි නොසිටි බව සඳහන්.

රජය පෙරළීමට කුමන්ත්‍රණය කිරීමේ සැක පිට ගැරිබාල්ඩි අත්අඩංගුවට ගැනීමට නියම වූ නමුත්, ඔහු රටින් පළා ගියා. ඔහු නොමැති ව නඩු අසා, ඔහුට මරණ දඬුවම නියම කරනු ලැබුණා.

බෙදුණ​ ඉතාලිය

මේ කාලයේ පැවති බෙදුණ ඉතාලිය පිළිබඳ යමක් සඳහන් කළ යුතු යි. ඉතාලියේ මෙකල රාජ්‍යයන් ගණනාවක් වුණා. වයඹදිග සැවෝයි සහ පීඩ්මොන්ට් ප්‍රදේශ ද සාර්ඩිනියා දූපත ද ඇතුළත් රාජාණ්ඩුව ඉන් එකක්. සැවෝයි හි ආදිපාදවරුන් විසින් මෙම ප්‍රදේශ පාලනය කළ අතර, ඔවුන් එය රාජාණ්ඩුවක් ලෙස ප්‍රකාශයට පත් කළා. සාමාන්‍යයෙන් එය පීඩ්මොන්ට්යැ යි හැඳින්වෙනවා. ටියුරින් එහි අගනුවර වුණා.

1843 දී ඉතාලිය (Wikimedia Commons)

පෝ නදී නිම්නය ආශ්‍රිත ලොම්බාර්ඩිය සහ වැනිසිය මෙකල වූයේ ඔස්ට්‍රියානු පාලනය අත යි. ඊට දකුණින් වූ මොඩීනා, පාර්මා, ලුක්කා, සහ ටස්කනි ප්‍රදේශ ආදිපාද ප්‍රදේශ වුණා. ලුක්කා ප්‍රදේශය 1847 දී ටස්කනිය විසින් ඈඳා ගනු ලැබුණා. ඊටත් දකුණින් පාප්වහන්සේගේ රාජ්‍යයන් වූ අතර, ඔහු සිය දේශපාලන බලය අහිමි වනු දැකීමට සූදානම් වූයේ නැහැ. ඊටත් දකුණින් නේපල්ස් සහ සිසිලි දූපත වුණා. මෙය සිසිලි ද්වයයේ රාජ්‍යය යි නිල වශයෙන් හැඳින්වුණා.

ගැරිබාල්ඩි පීඩ්මොන්ට්වලින් පළා යද්දී එහි පාලකයා වූයේ චාර්ල්ස් ඇල්බර්ට් රජු යි. සිසිලි ද්වයයේ පාලකයා වූයේ දෙවන ෆර්ඩිනන්ඩ් රජු යි. ඔවුන් දෙදෙනා ම ප්‍රගතිශීලී පාලකයන් ලෙස දිස් වූයේ නැහැ. ෆර්ඩිනන්ඩ් යනු ස්පාඤ්ඤය පාලනය කළ බුර්බොන් වංශයේ ශාඛාවකට අයත් වූවෙක්. එහෙයින් ඔහු ද විදේශික පාලකයෙකු ලෙස යි සලකන ලද්දේ. මේ නිසා ඉතාලිය නිදහස් කරගැනීමට සහ එක්සත් කරගැනීමට කැප විය හැකි රාජ්‍ය නායකයෙකු ඒ වෙද්දී ඉතාලියේ වූයේ නැහැ.

ගැරිබාල්ඩි ආපසු එයි

ඉතාලියෙන් පලා ගිය ගැරිබාල්ඩි, දකුණු ඇමරිකාවේ වසර පහළොවක් පමණ ජීවත් වුණා. එහි දී ඔහු රියෝ ග්‍රාන්ඩේ ඩෝ සුල් ප්‍රාන්තය වෙනුවෙන් බ්‍රසීලයට එරෙහිව ද උරුගුවේ වෙනුවෙන් ආර්ජන්ටිනාවට ද එරෙහිව සටන් වැදුණා. ඔහුට බ්‍රසීලියානු කාන්තාවක වූ ඇනීටා මුණගැසුණ අතර, ඇය ඔහුගේ භාර්යාව මෙන්ම සටන් සගයා බවටත් පත් වුණා. දකුණු ඇමරිකාවේ දී කළ සටන් හේතුවෙන් ගැරිබාල්ඩි 1840 දශකයේ දී බටහිර ලෝකයේ ප්‍රකට චරිතයක් බවට පත්වුණා.

1846 දී නවවන පයස් පාප්වහන්සේ රෝමයේ බලයට පත් වුණා. මුල්කාලීන ව ඔහු තම පාලන ප්‍රදේශයන් හි ප්‍රතිසංස්කරණ දියත් කළ අතර, ඒ පිළිබඳ යම් ප්‍රබෝධයක් නිදහස් සටන්කරුවන් අතර ඇති වුණා.

1848 යුරෝපයේ විප්ලව වසරක් වූ අතර, ඉතාලියේ ද එම තත්ත්වය දකින්න ලැබුණා. ජනවාරියේ දී සිසිලියේ පැලර්මෝ හි කැරැල්ලක් ඇති වූ අතර, කෙටි කලෙකින් ප්‍රංශයේ ලුවී ෆිලිප් බලයෙන් පහ කෙරුණා. ඉන්පසු ඉතාලිය​, ජර්මනිය, සහ ඔස්ට්‍රියාව හරහා විප්ලව රැල්ලක් හමා ගියා.

චාර්ල්ස් ඇල්බර්ට් රජුට ද සිය රටෙහි ප්‍රතිසංස්කරණ ඇති කිරීමට සිදුවුණා. මේ අතර ලොම්බාර්ඩියේ සහ වැනිසියේ ජනයා සිය ඔස්ට්‍රියානු පාලකයන්ට එරෙහිව කැරලි ගැසුවා. චාර්ල්ස් ඇල්බර්ට් මේ අවස්ථාව ඔස්ට්‍රියාවට එරෙහිව යුධ වැදීමට අවස්ථාවක් කරගත්තා.

මැට්සිනි (Public Domain)

ගැරිබාල්ඩි 1848 අප්‍රේල් මාසයේ ඉතාලියට​ පැමිණ චාර්ල්ස් ඇල්බර්ට් වෙත සිය සේවය ලබාදීමට සූදානම් වුණා. රජු ගැරිබාල්ඩිගේ මරණ දඬුවම අහෝසි කර ඔහුට සමාව දී තිබුණා. නමුත් රජු සහ ගැරිබාල්ඩි අතර විශේෂ මිත්‍රත්වයක් ගොඩනැඟුණේ නැහැ.

මේ අතර මැට්සිනි සහ ගැරිබාල්ඩි අතරේ ද එතරම් හොඳ මිත්‍රත්වයක් ගොඩනැඟුණේ නැහැ. චාර්ල්ස් ඇල්බර්ට් වෙත සිය සේවය සැපයීමට ගැරිබාල්ඩි ගත් තීරණය සමූහාණ්ඩුවාදියෙකු වූ මැට්සිනිගේ විවේචනයට හේතු වුණා.

ඔස්ට්‍රියානු හමුදා ඉදිරියේ චාර්ල්ස් ඇල්බර්ට් පරාජයට පත් වුණා. මේ අනුව ගැරිබාල්ඩි රෝමය වෙත පැමිණියා. මේ වෙද්දී රෝමයේ සමූහාණ්ඩුවක් ප්‍රකාශ කර තිබුණ අතර, මැට්සිනි ද එහි එක් නායකයෙකු වුණා. ගැරිබාල්ඩි එය​ වෙනුවෙන් සටන් කරන්නට පටන් ගත්තා.

මේ වෙද්දී යුරෝපය පුරා විප්ලව රැල්ල පරාජය වෙමින් තිබුණා. ප්‍රංශයේ නව පාලකයා බවට පත්ව තිබුණු ලුවී නැපෝලියන් බොනපාර්ට්, පාප්වහන්සේගේ උපකාරයට පැමිණියා. සිසිලි ද්වයයේ රජු දෙවන ෆර්ඩිනන්ඩ් ද තම ප්‍රදේශයන් හි ප්‍රතිරෝධය මැඩ ලා රෝමය වෙත හමුදා එවමින් සිටියා. ගැරිබාල්ඩි ප්‍රංශ සේනා සමග කළ එක් සටනක දී විශිෂ්ට ජයක් ලැබූ අතර, නේපල්ස් හමුදාවලට ද සාර්ථක ප්‍රහාරයක් එල්ල කළා. නමුත් තමන්ට වඩා ඉතා විශාල සේනාංක හමුවේ රෝමය පරාජය වන බව පැහැදිලි වුණා.

ගැරිබාල්ඩි යටත් වීම ප්‍රතික්ෂේප කරමින් 4000ක සේනාංකයක් සමග කඳුකරයට පළා ගියා. කෙටි කලක් යද්දී ඔහුගේ සේනාංකය 1500ක් දක්වා අඩු වුණා. නමුත් ඔහුව අල්ලා ගැනීමට හැකි වූයේ නැහැ. සැන් මැරීනෝවට පැමිණි විට ඔහුට මඳ ඉස්පාසුවක් ලැබුණ අතර, ඔහු සිය බිරිඳගෙන් එහි නවතින ලෙස ඉල්ලා සිටියා. ඇය එය ප්‍රතික්ෂේප කළා. ඇය ඒ වෙද්දී ඔවුනගේ පස්වන දරුවා ලැබීමට නියමිත ව සිටි අතර, සැන් මැරීනෝවෙන් පිටත් ව ටික දිනකින් ඇය මියගියා.

ඇනීටා ගැරිබාල්ඩිගේ මරණය (චිත්‍රය​: Giuseppe Sciuti)

ගැරිබාල්ඩි සතුරු සේනාවලින් ගැලවී ඉතාලියෙන් පලා ගියා. ඔහුට ආරක්ෂා වීමට ස්ථානයක් සොයාගැනීමට අපහසු වුණා. අවසන දී ටැන්ජියර් හි ඉතාලි වෙළෙන්ඳෙක් ඔහුට කලක් ආරක්ෂාව සැපයූවා. පසුව ඔහු ඇමරිකාවට ගිය අතර, එහි මිත්‍රයෙක් සිය ඉටිපන්දම් කම්හලෙහි ගැරිබාල්ඩි වෙත රැකියාවක් ලබා දුන්නා. ඔහු කලක් එහි සිට ඉන් ඉවත් ව නාවිකයෙකු ලෙස උතුරු සහ දකුණු ඇමරිකාවේ සැරිසරන්නට වුණා.

දෙවන නිදහස් සටන​

ගැරිබාල්ඩි 1854 දී ඉතාලියට පැමිණ කැප්‍රේරා දූපතෙන් කොටසක් මිලට ගත්තා. ඉන්පසු ඔහු එහි ගොවිතැන් කරමින් ජීවත් වුණා.

මේ වන විට ඉතාලිය එක්සත් කිරීම සඳහා වන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක ව පැවතුණා. ඒ පීඩ්මොන්ට් හි දෙවන වික්ටර් එම්මානුවෙල් රජු සහ ඔහුගේ අග්‍රාමාත්‍ය වූ කැවුර් සිටුවරයා යටතේ යි. වික්ටර් එම්මානුවෙල් රජ බවට පත් වූයේ 1849 යුධ පරාජයන්ගෙන් කම්පිත ව සිහසුන අතැර දැමූ චාර්ල්ස් ඇල්බර්ට්ගෙන් පසුව යි. ඔහු නැපෝලියන් සමග මිත්‍රත්වය ගොඩනඟා ගත්තා. 1859 දී ප්‍රංශය සහ පීඩ්මොන්ට් රාජ්‍යය ඔස්ට්‍රියාවට එරෙහිව යුද්ධයක් ඇරඹුවා. පීඩ්මොන්ට් රාජ්‍යය මෙහි දී ලොම්බාර්ඩිය සහ වැනීසිය ලබා ගැනීමට බලාපොරොත්තු වුණ අතර, ඔවුන් ලොම්බාර්ඩිය ලබා ගත්තා. නමුත් මේ අවස්ථාවේ ප්‍රංශයේ තුන්වන නැපෝලියන් සටන අතැර දැමුවා.

කැවුර් (Antonio Ciseri)

ගැරිබාල්ඩි ඉතාලි ස්වාධීනත්වය සඳහා වික්ටර් එම්මානුවෙල් සහ කැවුර් වෙත සහාය පළ කළා. නමුත් ප්‍රංශයේ උපකාරයට හිලව් පිණිස තමන් උපන් නීස් ප්‍රදේශය ප්‍රංශය වෙත ලබා දීම කෙරේ ගැරිබාල්ඩි කුපිත වුණා. ඔහු දිගටම එම නගරය ඉතාලිය වෙත ලබා ගැනීමේ බලාපොරොත්තු තබාගෙන සිටියා.

ගැරිබාල්ඩිගේ දහස

ගැරිබාල්ඩිගේ සටන් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව වූයේ සිසිලිය ආක්‍රමණය යි. සිසිලි දූපතේ කැරලි ඇති වූ බවට ලද ආරංචියක් සමග ඔහු දහසක් පමණ වූ පිරිසක් බඳවාගෙන කුඩා යාත්‍රා දෙකක නැඟී එම දූපතේ බටහිරින් පිහිටි මාර්සලා වරායට ගොඩ බැස්සා. ඔවුන් එම නගරය කරා ළඟා වූයේ 1860 මැයි 11 වන දා යි. මේ අවස්ථාවේ සිසිලියේ හමුදා ගැරිබාල්ඩිගේ යාත්‍රාවලට පහර නුදුන් අතර, ඊට හේතු වූයේ අසල බ්‍රිතාන්‍ය නෞකා කිහිපයක් නවතා තිබීම යි. ගැරිබාල්ඩිගේ නෞකා ද එම බ්‍රිතාන්‍ය නෞකා කණ්ඩායමට ම අයත්යැ යි වැරදි වැටහීමක් මතු වීම හෝ බ්‍රිතාන්‍ය නැව්වලට වෙඩි වදිනු ඇතැ යි යන සැකය හෝ ඊට හේතු වන්නට ඇතැ යි සිතනු ලබනවා.

කෙසේ හෝ මාර්සලාවට ගොඩබැස්ස පසු සිසිලියේ බහුතර ජනයාගේ සහාය ගැරිබාල්ඩිගේ සේනාංකයට ලැබුණා. රජයේ හමුදා 25,000ක් දූපතේ රැඳී සිටි නමුත්, ගැරිබාල්ඩි ඔවුන් සමග නොබියව සටනට බැස්සා. ජනතාවගේ විරෝධය හමුවේ රජයේ සේනාංකවලට සටන් කිරීම පහසු වූයේ නැහැ.

මැයි 27 වන දා ගැරිබාල්ඩිගේ සේනාංක පැලර්මෝ වැටලුවා. සටන්වලින් නගරයට දැඩි අලාභ හානි සිදු වූ අතර, පසුව දෙපාර්ශවය අතර සටන් විරාමයක් ඇති වුණා. නගරයේ පාලනය ගැරිබාල්ඩිගේ සේනා විසින් අල්ලා ගාත්තා. ටික කලෙකින් දූපතේ ඉතිරි ප්‍රදේශ ද ඔහු අතට පත් වුණා.

මෙසීනා සමුද්‍ර සන්ධියෙන් ඉතාලි ප්‍රධාන භූමියට ගොඩබට ගැරිබාල්ඩි උතුරු දෙසට ඇදී ගියා. මේ අතර පීඩ්මොන්ට් හමුදා පාප්වහන්සේගේ පාලන ප්‍රදේශ එකිනෙක අල්ලාගෙන දකුණට එමින් සිටියා. එම ප්‍රදේශයන්වලත් ඉතාලි ජාතිකවාදී කඳවුරට ජනයාගේ සහාය ලැබුණා. නමුත් පීඩ්මොන්ට් හමුදා රෝමයට ඇතුල් වූයේ නැහැ. එම නගරය ප්‍රංශ සේනාංකයක් විසින් ආරක්ෂා කිරීම ඊට හේතුව යි.

දෙවන වික්ටර් එම්මානුවෙල් (André Adolphe Eugène Disderi)

ගැරිබාල්ඩි සැප්තැම්බර් 7 වන දා නේපල්ස් නගරයට ඇතුල් වුණා. මේ අතර පීඩ්මොන්ට් සේනා උතුරින් එදෙසට පැමිණෙමින් සිටියා. 1860 ඔක්තෝබර් 26 වන දා ටියානෝ නගරයේ දී ගැරිබාල්ඩි සහ දෙවන වික්ටර් එම්මානුවෙල් මුණ ගැසුණා. ගැරිබාල්ඩි නේපල්ස් හි පාලනය රජු වෙත නොපවරනු ඇතැ යි සැකයක් ඇතමුන් තුළ මතු වූ නමුත් ඔහු වික්ටර් එම්මානුවෙල්ගේ බලය පිළිගත්තා. වික්ටර් එම්මානුවෙල් නේපල්ස් වෙත කැඳවාගෙන ගිය ගැරිබාල්ඩි සටන් නවතා කැප්‍රේරා වෙත පිට ව ගියා. ඔහු තම කාර්යය ඉටුකර තිබුණා. ඒ වෙනුවෙන් කිසිවක් ඔහු රජුගෙන් ලබාගත්තේ නැහැ.

පසුකාලීන සටන්

1861 මාර්තුවේ දී ඉතාලිය එක්සත් රාජධානියක් ලෙස ප්‍රකාශ කෙරුණේ ටියුරින් නගරය අගනුවර ලෙස ගෙන යි. රෝමය කේන්ද්‍ර කරගත් පැරණි පාප්වහන්සේගේ රාජ්‍යයන් අතුරින් කොටසක් තවමත් පැවතියේ ප්‍රංශ ආරක්ෂාව යටතේ පාප්වහන්සේගේ පාලනයට යටත්ව යි. වැනිසිය ද තවමත් ඔස්ට්‍රියානු පාලනය යටතේ පැවතුණා.

1870 දී ඉතාලිය (Public Domain)

1861 අප්‍රේල් මාසයේ දී ඇමරිකානු සිවිල් යුද්ධය ඇරඹුණා. ඒබ්‍රහම් ලින්කන්ගේ රජය ගැරිබාල්ඩිගේ සේවය ලබාගැනීමට අවශ්‍ය බව දැන්වූ අතර, ඉතාලි රජයේ අවසරය ද ඒ සඳහා ලැබුණා. නමුත් කරුණු දෙකක් මත එය සාර්ථක වූයේ නැහැ. ගැරිබාල්ඩි සඳහන් කළේ තමන්ට හමුදාවේ ප්‍රධානියා ලෙස මිසෙක, සම්පූර්ණ සේවයක් සැලසිය නොහැකි බව යි. තව ද සියලුම වහලුන් වහා ම නිදහස් කරන්නේ නම් පමණක් තමන් ලින්කන්ට සහාය දෙන බව ඔහු කියා සිටියා. මෙම කොන්දේසි දෙක ම එම අවස්ථාවේ ඉටුකිරීමට ලින්කන්ට හැකියාව තිබුණේ නැහැ.

1862 දී ගැරිබාල්ඩි යළි සටනට බැස්සා. ඔහු මෙවර රෝමයට එරෙහි යුධ මෙහෙයුමකට යොමු වුණා. නමුත් එය සාර්ථක වූයේ නැහැ. ප්‍රංශය සමග ආරවුලකට අකමැති වූ හෙයින් ඉතාලිය ද ගැරිබාල්ඩි වෙත සහාය දැක්වූයේ නැහැ.

නැවත 1866 දී ගැරිබාල්ඩි සටන් බිමට බැස්සේ ඔස්ට්‍රියානුවන්ට එරෙහිව යි. මෙකල ප්‍රශියාව ඉතාලිය සමග මිත්‍රත්වයක් ගොඩනඟා ගෙන තිබුණා. ප්‍රශියාව, ඔස්ට්‍රියාව සමග යුධ වැදුණ අවස්ථාවේ ඉතාලිය ද ඊට සහායට ආවා. ඉතාලිය ඔස්ට්‍රියානු හමුදා හමුවේ එතරම් සාර්ථක නොවූ නමුත්, ප්‍රශියාව විසින් ඔස්ට්‍රියාව තීරණාත්මක ලෙස පරාජයට පත් කළා. එයින් පසු ඔස්ට්‍රියාවෙන් වැනීසිය ලබා ගැනීමට ඉතාලියට හැකි වුණා.

ගැරිබාල්ඩි 1875 දී පමණ​. (වමේ සිට​) දියණිය ක්ලේලියා, ෆ්‍රැන්සෙස්කා අර්මොසිනෝ, ගැරිබාල්ඩි, පුත්‍රයා මැනිලෝ, ඇනීටාගෙන් ලද පුත්‍රයකු වූ මෙනොට්ටි. ෆ්‍රැන්සෙස්කාගෙන් ලැබුණ එක් දරුවෙකු කුඩාකල මියගියා. (Public Domain)

1870 දී ප්‍රශියාව සහ ප්‍රංශය යුධ වැදුණා. මේ අවස්ථාවේ දී රෝමයේ සිටි ප්‍රංශ සේනා සිය රට කැඳවන ලද අතර, ඉතාලි හමුදා රෝමය අල්ලා ගත්තා. ප්‍රංශයේ තුන්වන නැපෝලියන් අධිරාජයා පරාජය වුණා. ප්‍රංශය සමූහාණ්ඩුවක් ලෙස ප්‍රකාශයට පත් කළා. සමූහාණ්ඩුව දිගටම ප්‍රශියානුවන් සමග සටන් වැදුණා.

ගැරිබාල්ඩි මේ අවස්ථාවේ සමූහාණ්ඩුවාදීන් වෙනුවෙන් සටනට බැස්සා. ඔහු ප්‍රංශයට පාඑමිණ ස්වෙච්ඡා හාමුදාවක් බඳවාගෙන 1870 අවසන් මාස දෙකේ සහ 1871 ජනවාරියේ දී ප්‍රශියානුවන් හා සටන් කළා. නමුත් ඔහුගේ හමුදාවේ බොහෝ දෙනා පුහුණු සෙබළුන් වූයේ නැහැ. යුද්ධය අවසන් වෙද්දී ඔහුගේ හමුදාවට බොහෝ හානි සිදු වී තිබුණා.

ගැරිබාල්ඩි යළි කැප්‍රේරා වෙත ගියා. ඔහුගේ ගෘහ සේවිකාව වූ ෆ්‍රැන්සෙස්කා අර්මොසිනෝ සමග ඔහු එහි ජීවිතාන්තය තෙක් ජීවත් වුණා. ඔවුන් දෙදෙනා දරුවන් තිදෙනෙකු ද ලැබූ අතර, 1880 දී දෙදෙනා නිත්‍යනුකූල ව විවාහ වුණා. ගැරිබාල්ඩි මියගියේ 1882 දී යි.

කවරයේ පින්තූරය: ගැරිබාල්ඩි (ThoughtCo)

මූලාශ්‍රයයන්:

  • Maverick Military Leaders by Robert Harvey
  • නූතන යුරෝපය (1789 - 1945) - ඩෙනිස් රිචර්ඩ්ස්

Related Articles