සීනිගම දෙවොල්දෙවි ‘මහා සාමි’ විදේශිකයෙක් ද?

ශ්‍රී ලංකාවේ වන්දනාමානයට පාත්‍රවන නූතන දේවතා සංකල්ප දෙස බැලීමේ දී දේශීය මෙන්ම විදේශීය දෙවිවරුන් හඳුනා ගත හැකි අතර ඇතැම් විදේශීය දේව සංකල්ප විදේශීය දැයි අපට නොසිතෙන තරමට ම දේශීයකරණයට ලක්ව ති‌බේ. දකුණු පළාතේ හික්කඩුව සංචාරක පුරවරයට නුදුරු සීනිගම මූලික කොට ගෙන වන්දනාමානයට ලක් වන ‘දෙවොල් දෙවියන්’ පිළිබඳ කතාන්දරය ද එවැන්නකි.  යහපත් මෙන්ම අයහපත් අරමුණු මුල් කොටගෙන වන්දනාමානයට ලක්වන දෙවි කෙනෙකු ලෙස අපට හඳුනා ගත හැකි දෙවොල් දෙවියන් පිළිබඳයි මේ ලිපිය ලියැවෙන්නේ.

දෙවොල් දෙවියන් යනු කවුරුන්ද?

දෙවොල් දෙවියන් හා සම්බන්ධ පුරාවෘත්ත කිහිපයක් ති‌බෙන අතර ඒ අතරින් ප්‍රධාන ජනප්‍රවාදයට අනුව අතීතයේ දඹදිව කුදුප්පර නම් දේශයේ ජීවත් වූ “රාමසිංහ” නම් රජෙකුට සත්සියයක් බිසෝවරු වූහ. ඉන් ප්‍රධාන බිසවුන් සත් දෙනෙකු වූ අතර මෙම බිසෝවරුන් සත් දෙනා එකවිට ගැබ් ගත්හ. එකම සතියක සත් දිනකදී එම බිසෝවරු පිළිවෙලින් දරුවන් ප්‍රසූත කළහ. දෙවොල් කුමාර සත්කට්ටුවේ විත්තිය නම් කවි පන්තියට අනුව ඔවුන්ගේ නම් මෙසේ විය.

ඉරු දින ඉරු රැස් සාමි                 උපන්නේ
සඳු දින සඳ රැස් සාමි                  උපන්නේ
කුජ දින තෙදරැස් සාමි                 උපන්නේ
බුද දින බුදුරැස් සාමි                    උපන්නේ

ගුරු දින ගිනි රැස් සාමි                  උපන්නේ
කිවි දිනයේ මහ සාමි                    උපන්නේ
කුඩා සාමි සනි දිනයෙ                   උපන්නේ
කුමරුන් සත් දෙන මෙලෙස            උපන්නේ

ඒ සත් දෙනාගෙන් බලවත් ම පුත්‍රයා  “මහා සාමි” ‍නම් වූ  අතර  මේ දරු පිරිස වැඩි වියට පත් වෙද්දී දුනු ශිල්පයෙහි දක්ෂයන් වූ අතර ඉවක් බවක් නොමැතිව ඔවුහු සතුන් දඩයමේ ගියහ. රටවැසියන් මේ ගැන රජුට දැනුම් දුන් විට ඒ ගැන ද කිපුණු මේ කුමාරවරු රටවැසියන් ද මරණයට පත් කළහ. මේ නිසා කලබලයට පත් රජු තමන්ගේ පුතුන්ගෙන් රාජ්‍යය ‌බේරා ගැනීම සදහා ඔවුන් නැවක පටවා පිටුවහල් කළේය.

ලංකාවට ගොඩබැසීම

මෙම පිරිස නැග ආ නෞකාව මුහුද මැද දී අනතුරට ලක් වන අතර වාසනාවකට මෙන් කුමාරවරුන් දිවි ‌බේරා ගනී. ඔවුන් මුහුද මැද අතරමං වූ අතර එම සිද්ධිය මුහුදු මණිමේඛලාව (තවත් දෙවි කෙනෙකු) දැක සක්‍ර දෙවියන්ට කිමෙන් අනතුරුව සක්‍ර දෙවියන් ඒ පිරිසට ගොඩබැසීම සඳහා නිවැරදි මග පෙන්වීය. ඒ අනුව මොවුන් පැමිණෙන්නේ ලංකාවටය. ලංකාවේ වෙරළ තීරයෙන් මෙරටට ගොඩ බැසීම ඔවුන් සිතූ තරම් පහසු කටයුත්තක් නොවිණි. යාපනයේ දී නාථ දෙවියන් ද, හම්බන්තොට දී කතරගම දෙවියන් ද, දෙවුන්දර දී විෂ්ණු දෙවියන් ද, කොග්ගල දී හිරිගල් බණ්ඩාර දෙවියන් ද, ගිංතොට සහ උඩුගල්පිටියේ දී මහා බ්‍රහ්මයාද, සීනිගම දී පත්තිනි දේවතාවිය ද මේ පිරිසට බාධා සිදු කළ බව සඳහන්ය. සීනිගම දී පත්තිනි දේවතාවිය ගිනි කඳු හතක් මවා ඔවුන් බිය වැද්දවීමට සැරසුණත් ඔවුන් කෙසේ හෝ  එම ගිනි නිවා සීනිගමට ගොඩ බට බව පැවසෙයි.  එහිදී ඇයගේ අවසර ලබා ගැනීම සදහා පිරිස මෙසේ කවියෙන් කන්නලව් කළ බව කියැවේ.

කන්නූරන් පුර දී දුටු                අක්කා
මදුර පුර දී දුටු අපෙ               අක්කා
දැන් මෙ තැනදී දුටුවෙමු අපෙ  අක්කා
යන්නට ගොඩ ඇරපන් නොව   අක්කා

සීනිගම දේවාලයේ ආරම්භය

සීනිගමට ‌ගොඩ බැසීමෙන් පසු එහි විසූ සීනිගම මැතිඳු නම් ප්‍රාදේශීය ප්‍රධානියකුගේ රෝගයක් සුව කිරීමට මෙම පිරිස උපකාර කළ බවත්, එම රෝගය සුව වීමෙන් අනතුරුව ඔහු මේ පිරිසට එහි දේවාලයක් ගොඩ නගා දුන් බවත් කියැවේ. මේ පිරිස නැවතත් සීනිගම දී ද යම් යම් අකටයුතු කම් කළ  අතර එය දුටු කඳකුමරුන් ඔවුන්ට තරවටු කර ඇත.

‘මහා සාමි’ පමණක් සීනිගම රැඳෙද්දී අනිත් සය දෙන විවිධ ප්‍රදේශවලට ගිය බව කියැවේ. තවත් ජනප්‍රවාදයකට අනුව සීනිගම නතර වූ මේ මහා සාමි දෙවොල් දෙවි සීනිගමට නුදුරු වේරගොඩ නම් ග්‍රාමයෙන් විවාහ වී ඇත. ඒ මාසාච්චි නම් කාන්තාවක් සමඟය. කලකට පසු මේ දෙපළට පුතෙකු ඉපදුණු අතර ඔහු කෙමෙන් වැඩිවියට පත් ව ඇත. තම ස්වාමිපුරුෂයා රැකියාවක් නොකොට නිවසට අවශ්‍ය දේ රැගෙන ඒම පිළිබඳ සැක සිතූ මාසාච්චි තම පුතුට සැඟවී සිට පියා පිළිබඳ ඔත්තු බලන්නැයි කීවාය. මහා සාමි දිව්‍යමය බලයකින් මෙම ද්‍රව්‍ය මවන බව දුටු පුතු මේ බව තම මවට කීවේය. තමන්ගේ රහස හෙළි වූ බව දැනගත් මහා සාමි තම පුතු මරා දැමූ අතර එයින් උරණ වූ මාසාච්චි මහාසාමි උමතු වේවයි සාප කළාය. එයින් අනතුරුව උමතු බවට පත් වූ මහාසාමි ඉබා ගාතයේ ඇවිද උණවටුනට පැමිණ ති‌බේ. එහිදී ප්‍රකෘති සිහිය ලබා භාවනාවට යොමු වන ඔහු නැවතත් තමන්ගේ දිව්‍යමය බලයෙන් ජනතාවට පිහිටවීම ආරම්භ කළ බව කියැවේ.

එතැන් පටන් මේ මහාසාමි දෙවොල් දෙවියන්, දෙවොල් සාමි, වේරගොඩ දෙවියන් ආදී නම්වලින් හැඳින්වුණු අතර සීනිගම හැරුණු විට වේරගොඩ, උණවටුන ආදී ප්‍රදේශවලත් මහාසාමි දෙවොල් දෙවියන්ට කැප වූ දේවාල ගොඩ නැගී ඇත.

දෙවොල් දේව ප්‍රතිමාව – Facebook- සීනිගම දේවාලය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සීනිගම දේවාලය මහාසාමි දෙවොල් දෙවියන් ගේ මූලස්ථානය ලෙස හඳුන්වන අතර වර්තමානයේ එහි දේවාල දෙකක්  දක්නට ලැබේ. එක් දේවාලයක් ගාලු – මාතර ප්‍රධාන මාර්ගය අසල පිහිටා ඇති අතර අනෙක් දේවාලය එතැනින් ඔබ්‌බෙහි වූ මුහුද මධ්‍යයෙහි වෙයි. මුහුදු මැද පිහිටි දේවාලයට ‘දියඹ දේවාලය’ යනුවෙනුත් ව්‍යවහාර කෙරේ. අතීතයේ දී සීනිගම දේවාලය සත් මහල් ප්‍රාසාදයක් ලෙස වසභ රජතුමන් විසින් තැනවූ බව ජනප්‍රවාදයේ සඳහන් වන අතර එය බටහිර ජාතීන් විනාශ කොට ති‌බේ. නැවත ප්‍රතිසංස්කරණය කොට වර්තමානයේ ති‌බෙන අයුරින් එය 1964 වර්ෂයේ දී ගොඩ නැගූ බව සඳහන් වේ.

දේවාලය ආශ්‍රිත විශේෂ වත්පිළිවෙත්

ජනතාව දෙවොල් දෙවියන් අදහන්නේ දෙවියන් සතුව පහසුවෙන් සුවපත් කළ නොහැකි රෝග සුවකිරීමට ඇති  හැකියාවත්, සතුරන්ට දඩුවම් දීමට ඇති විශේෂ හැකියාවත් ඇති බවට පවතින විශ්වාසය නිසාය.

මේ නිසා ලංකාවේ වෙනත් දේවාලයක දී  දක්නට නැති පුද පුජා ආදියත් සීනිගම දී දක්නට ලැ‌‌‌‌බේ. ඒ අතර ප්‍රධාන වශයෙන් මිරිස් ඇඹරීම සිදු කරයි. එය සාමාන්‍ය මිරිස් ඇඹරීමක් නොවන අතර ඒ සදහා විශේෂ ක්‍රමයක් ති‌‌බේ. මිරිස් ඇඹරීම සිදු කරන්නේ සතුරන්ට දඩුවම් දීම සදහා වන අතර එහිදී දියඹ දේවාලයට යන බැතිමතුන් මිරිස්, ගම්මිරිස් ආදී පස් වර්ගයක් හා පොල් ගෙඩියක් සහිත පූජා වට්ටියක් එහි ගෙන යයි. එහිදී කපු මහතා අදාළ කාරණාව කන්නලව් කිරීමෙන් පසු මිරිස් අඹරන ගල වෙතට ගොස් තමන් ම අවශ්‍ය කාරණය කියමින් මිරිස් ඇඹරිය යුතුය.

දේවාලයේ වතාවත්වල යෙදෙන බැතිමතුන්/ Facebook- සීනිගම දේවාලය

 

 

 

 

 

 

 

 

 

 

මිරිස් ඇඹරීම

එහි දී අප මුලුතැන්ගෙයි භාවිත කරන මිරිස් අත් ගල වැනි කොටසකින් මිරිස් ආදිය තලා අවසන් කොට එම ගලෙන්ම තමන්ට විරුද්ධ දෙසට එය ඇඹරීම කළ යුතුය. එය ඉතා ප්‍රවේශමෙන් කළ යුතු කටයුත්තක් වන්නේ අත් ගල තමන්ගේ දෙසට ඇඹරීම නොකිරීමයි. එසේ තමන්ගේ දෙසට ඇඹරීමෙන් සිදු කරන පළි ගැසීම ද තමන්ට පෙරළා එන බව විශ්වාස කෙරේ. මිරිස් ඇඹරීමෙන් අනතුරුව ගෙන ගිය පොල් ගෙඩිය ගසයි. එය පලි පොල් ගැසිම නම් වේ.

මිරිස් ඇඹරීම-Travel with Chathura

 

 

 

 

 

 

 

 

 

 

 

දෙවොල් සාමි විසින් එකල රෝග සුවපත් කිරීම සදහ පැන් ලබා ගත් ළිඳ අදටත් මේ දේවාල බිමෙහි දක්නට ලැ‌බෙන අතර තද බල නියඟයකටවත් මෙය නොසිඳෙන බව පැවැසේ. මෙම ළිඳ මුහුද මැද  පිහිටා තිබුණ ද එහි ජලය කිවුල් ගතියක් නොමැති පිරිසුදු ජලය වීම ද පුදුමයට කරුණකි.

දේවාලය ඇතුළත – Facebook- සීනිගම දේවාලය 

 

 

 

 

 

 

 

 

 

 

වර්තමාන තත්වය

2004 වසරේ සුනාමි රළ පහර සීනිගමට පැමිණියත් මුහුදු වෙරළෙහිම පිහිටා තිබෙන දේවාලය‌ට එයින් එතරම් සැලකිය යුතු හානියක් නොවීම දෙවොල් දෙවියන්ගේ හාස්කමක් ලෙස ජනතාව සලකති. මේ දේවාලය ආශ්‍රිතව සුනාමි ව්‍යසනයෙන් පසු ඇති වූ විශේෂ උත්සවයක් ලෙස කුරුඳු මංගල්‍යය හැදින්විය හැකි අතර සුනාමියෙන් පසු මේ ප්‍රදේශයේ කුරුඳු වගාව නැවත නගා සිටුවීම සදහා එම වගාකරුවන් දෙවොල් දෙවියන්ට වූ බාරයක් හේතුවෙන් මෙය පවත්වයි. එය සෑම වසරක ම දෙසැම්බර් මාසයේ දී පැවැත්වෙන අතර සීනිගම දෙවොල් පුද බිමේ ප්‍රධාන මංගල්‍යය ලෙස ඇසළ මංගල්‍යය අගෝස්තු මාසයේ දී පැවැත්වෙයි.

Cover Photo- සීනිගම මුහුදු මැද පිහිටි 'දියඹ දේවාලය' (facebook.com/ සීනිගම දේවාලය)
මූලාශ්‍ර:                                                                                                                                                                         

සිංහල දේවපුරාණය - කේ.එන්. ඕ ධර්මදාස , එච්. එම්. ඒ. එස්.තුන්දෙණිය 

facebook.com/ සීනිගම දේවාලය           

Related Articles