බිහිසුණු වසංගත නිසා ඇති වූ යහපත් ප්‍රතිපල කිහිපයක්

කලින් කලට ඇති වූ විවිධ වසංගත නිසා බොහෝ රටවල් පීඩා විඳි බවට ඉතිහාසය පුරාවට සාක්ෂි ඇත. යුරෝපා රටවල බොහෝ විට  ආරම්භ වූ එවැනි වසංගත නිසා මිලියන ගණනක් ජනයා ජීවිතක්ෂයට පත් වූ අතර තවත් සමාජ හා ආර්ථික ගැටලු රැසක් ද ඇති විය. ඊට හේතුව එවැනි සමහර  වසංගත වසර ගණනාවක් තිස්සේ පැතිර යාම යි.

මේ වන විට ලොව පුරා පැතිර යන කොවිඩ්-19 වසංගතය නිසා ඇති වී තිබෙන අර්බුදය ඉහත කරුණ මනාව තහවුරු කරයි. ඒ හේතුවෙන් මිලියන පහකට අධික පිරිසක් මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයන් මිලියන 400කට වැඩි පිරිසක් රෝගාතුර වී තිබේ. සෞඛ්‍යමය වශයෙන් ඇති වී ඇති අර්බුදයට අමතරව කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා තවත් ක්ෂේත්‍ර ගණනාවක් බිඳ වැටී ඇත.

 ඉතිහාසය පුරාවට ඇති වූ මෙවැනි වසංගත තත්ත්වයන් නිසා ඇති වූ සුබවාදී පුතිපල ද නැතුවා නොවේ. රෝගී සත්කාරක සේවා සහ විවිධ ප්‍රතිකාර ක්‍රමවල ඇති වූ දියුණුව වැනි දේ ඒ අතර වේ. මෙම ලිපිය මාරාන්තික වසංගත ලොවට ගෙන දුන් එවැනි යහපත් ප්‍රතිපල කිහිපයක් පිළිබඳව යි.

වසංගතයක් පැතිර ගිය සමයක රෝගීන්ගෙන් පිරී ගිය යුරෝපයේ රෝහලක් – www.neh.gov

වැඩකරන ජනතාවගේ ජීවන තත්ත්වය වෙනස් කළ ‘කළු මරණය’

14 වැනි සියවසේ යුරෝපය පුරා පැතිර ගිය ‘කළු මරණය’ යනුවෙන් හැඳින්වූ වසංගත තත්ත්වය, අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරමින් සිටි වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට ගෙන ඒමට සමත් විය. මෙම වසංගත තත්ත්වය නිසා අති විශාල පිරිසක් මිය ගිය බැවින් උග්‍ර කම්කරි හිඟයක් ඇති විය. ඒ නිසා ම වැඩ කරන ජනතාව සඳහා තිබූ ඉල්ලුම වැඩි වූයේ අදහාගත නොහැකි පරිද්දෙනි. ඒ නිසා ම වහලුන් මෙන් සේවයේ යෙදෙමින් සිටි කම්කරු ජනතාවට සිය අයිතිවාසිකම් වෙනුවෙන් හඬක් නැගීමට අවස්ථාව ලැබිණි.

ඒ පිළිබඳ රිච්මන්ඩ් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙක් අදහස් දැක්වූයේ මේ අයුරිනි:

“‘කළු මරණය’ වසංගතය නිසා වැඩ කරන ජනතාවට සිය ගෙවීම් වැඩි කරන ලෙස හාම්පුතුන්ට බල කිරීමට හැකි විය. ඒ සමඟ ම ඔවුන්ගේ ජීවන රටාව සුබවාදී ආකාරයෙන් වෙනස් විය.”

මියගිය අයකුගේ මළසිරුර රැගෙන යන රෝහල් සේවිකාවන් – www.api.nationalgeographic.com

විශේෂයෙන් ම වසංගතය නිසා හාම්පුතුන් සිය සේවකයන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිලිමත් වූ බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සේවා ස්ථානවල ස්ථාපිත කළ බවත් කියැවේ. ඊට අමතර ව වර්තමානය වන විට ඉතා සුලබ ක්‍රමවේදයක් වූ නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ වූයේ මෙම වසංගත තත්ත්වය සමඟ බව විශේෂඥයන්ගේ මතය යි.

රෝගී සත්කාර ක්‍රියාවලිය වැඩිදියුණු කළ ස්පාඤ්ඤ උණ වසංගතය-1918

1918 සහ ඒ ආසන්න කාලය තුළ ලොව පුරා පැතිර ගිය ස්පාඥ්ඥ උණ හේතුවෙන් පුද්ගලයන් මිලියන 50කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් විය. මෙම වසංගතය නිසා අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් ගණනාවක මහජන සෞඛ්‍ය ප්‍රතිපත්තිවල වෙනස්කම් රැසක් සිදු විය.

හැරිස්බර්ග් විශ්වවිද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍යය පිළිබඳ විශේෂඥවරියක වන නැන්සි මිමි පවසන්නේ ස්පාඤ්ඤ උණ වසංගතය සමග බොහෝ රටවල් වෛද්‍ය විද්‍යාව පිළිබඳ නව සංකල්ප වෙත යොමු වූ බව යි. විශේෂයෙන් ම රුසියාව, ප්‍රංශය, ජර්මනිය සහ එක්සත් රාජධානිය වැනි රටවල් සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවේද පුළුල් කරමින් රෝගීන්ට සත්කාර කළ බව කියැවේ.

සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලයක  අතීත ඡායාරූපයක් -www.api.nationalgeographic.com

නැන්සි සඳහන් කළේ:

“මෙම වසංගත තත්ත්වය සමග බොහෝ වෛද්‍යවරු රෝග තත්ත්වයන් ඇති වීමට හේතු වූ වෘත්තීය සහ සමාජ තත්ත්වයන් පිළිබඳ ව අවධානය යොමු කරන්නට විය. ඔවුන් රෝගය සුවපත් කිරීමට අමතර ව රෝගයෙන් ආරක්ෂා වන ආකාරය පිළිබඳ ව ජනතාව දැනුම්වත් කළ අතර එය ඉතා සුබදායි තත්ත්වයක් විය.”

විශේෂ ක්‍රමයකට ඇඳන් තබා ඇති අයුරු – www.britannica.com

රෝහල්වල පහසුකම් වැඩි දියුණු වීම

 ඇඩෙල්ෆි විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය කෙලී රොනේන් පවසන්නේ වසංගත, රෝහල් පහසුකම් වැඩි දියුණු කිරීමට මූලික වශයෙන් හේතු වූ බව යි. බොහෝ විට වැඩි අවධානයට ලක් නොවූ සුළු දේවල් සම්බන්ධයෙන් පවා අවධානය යොමු කිරීමට අදාළ බලධාරීන් සහ ආයතන කටයුතු කර තිබේ.

ඒ පිළිබඳ උදාහරණයක් දක්වමින් ඇය පවසන්නේ ඒ වන විට රෝහල්වල රෝගීන් සඳහා තබා තිබූ දැවයෙන් කළ ඇඳන් වෙනුවට ලෝහ ඇඳන් භාවිතය මෙම කාල සීමාවේදී ආරම්භ වූ බව යි.

ස්පාඤ්ඤ උණ රෝගය පැතිර ගිය සමයේ රෝහලක් –  www.cdc.gov

සමාජ දුරස්ථභාවය වැනි සංකල්ප බිහි වීම

මුලාශ්‍රවලට අනුව ‘සමාජ දුරස්ථභාවය’ යන සංකල්පයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මහාමාරිය වසංගතය පැතිර ගිය අවධියේ වෛද්‍යවරුන් භාවිත කළ දිගු හොටක් වැනි ඉදිරිපසක් සහිත මුව ආවරණය රෝගීයා සහ වෛද්‍යවරයා අතර භෞතික දුරස්ථභාවය තබාගැනීමේ අරමුණින් නිර්මාණය කර තිබිණි.

ඊට අමතරව එම හොටයක් වැනි කොටස තුළ බහා තිබූ විවිධ ඖෂධ පැළෑටිවලට විෂබීජනාශක හැකියාවක් තිබු බව ද කියැවේ.

මහාමාරිය වසංගත තත්ත්වය පැවැති කාලයේ වෛද්‍යවරයෙකු පැළඳ සිටි මුඛ ආවරණය දැක්වෙන සිතුවමක් – www.nejm.org

දුරස්ථභාවය ආරක්ෂා කරමින් නිවාස ඉදිකිරීම

සමාජ දුරස්ථභාවය පිළිබඳ ව වන සංකල්පයත් සමඟ නිවාස ඉදිකිරීමේ දී තරමක් ඈතින් පිහිටන පරිදි නිවාස ඉදිකිරිම ආරම්භ වී තිබේ. බොහෝ වසංගත තත්ත්වයන්ට ගොදුරු වූයේ ඉතා ළඟින් පිහිටි නිවාසවල ජීවත් වූ ජනතාව බැවින් නිවාස ඉදිකිරිම සඳහා නව ක්‍රමවේද හඳුන්වා දීමට බොහෝ රටවල් කටයුතු කර තිබේ.

1930 දශකය වන විට සමහර රටවල පිහිටි නිවාස සංකීර්ණවල ඒ ඒ නිවස සඳහා වෙන් වෙන් වශයෙන් නාන කාමර සහ වැසිකිළි පහසුකම් තිබීම අනිවාර්ය කරමින් නීතිරීති පවා පැනවූ බව කියැ වේ.

හෙදියන් – www.britannica.com

විශිෂ්ට කලා නිර්මාණ බිහි වීම

කලින් කලට ඇති වූ වසංගත නිසා පිඩා විඳි සමහරු සිය අත්දැකීම් විශිෂ්ට කලා නිර්මාණ බවට පත් කළහ. බොහෝ විට යුරෝපා රටවල්වල බිහි වූ එවැනි කලා නිර්මාණ අතර නවකතා ප්‍රධාන තැනක් ගනී.

වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මානව ශාස්ත්‍ර වැඩසටහනේ සම-නිර්මාතෘ, රෙබෙකා මෙස්බර්ගර් පවසන්නේ:

“මධ්‍යකාලීන කතුවරයෙකු වූ Giovanni Boccaccio ඔහුගේ ප්‍රධාන කෘතිය වන Decameron සකස් කළේ 1348 වසරේ පැතිර ගිය බුබොනික් වසංගතය මධ්‍යයේය. ඔහු ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයේ දී අත්විඳි සිදුවීම් ඔහුගේ නිර්මාණය වඩාත් සාර්ථක වන්නට හේතු වී ඇත.” යනුවෙනි.

Giovanni Boccaccio/ www.wikipedia.org

ඊට අමතර ව බ්‍රිතාන්‍ය ජාතික ගත්කතුවරයෙක් වූ ඩැනියෙල් ඩෙෆෝ සහ ඉතාලි ලේඛක ඇලෙස්සැන්ඩ්‍රෝ මැන්සෝනි ද 17 සියවසේ යුරෝපය පුරා පැතිර ගිය වසංගත මත පදනම්ව ඓතිහාසික නවකතා ලිවී ය.

1918 වසරේ පැතිර ගිය ඉන්ෆ්ලුවෙන්සා වසංගතය පදනම් කරගෙන සාහිත්‍ය නිර්මාණ ගණනාවක් බිහි විය. ඒ අතර ටී.වී. එලියට්ගේ ‘Wasteland’, විලියම් බට්ලර් යීට්ස්ගේ ‘The Second Coming’ සහ වර්ජිනියා වුල්ෆ්ගේ ‘Mrs. Dalloway’ වැනි ඒවා ප්‍රධාන වේ.

වර්ජීනියා වුල්ෆ් – www.wikipedia.org

 1980 දශකයේ විශාල වශයෙන් පැතිර ගිය ඒඩ්ස් රෝග තත්ත්වය සමග David Wojnarowicz, Therese Frare සහ Keith Haring වැනි කලාකරුවන් ගණනාවක් ද බිහි විය.

කවරයේ ඡායාරූපය- ස්පාඤ්ඤ උණ පැතිර ගිය අවධියේ පිරිසක් මුඛ ආවරණ පැළඳ සිටින අයුරු -  www.cdc.gov

මූලාශ්‍ර:

www.history.com

Glenn Mcdonald

www.britannica.com

www.cdc.gov

Related Articles