Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඔලිම්පස් කන්දේ ජීවත්වූ ග්‍රීක දෙවිවරු

පුරාණ ග්‍රීසියේ වැසියන් විශ්වාස කළේ, ඔවුන්ගේ දෙවිවරුන් ඔලිම්පස් කන්දේ වාසය කළ බව යි. ඔලිම්පස් කන්දේ වාසය කළායැ‍ යි සැළකෙන ග්‍රීක දෙවිවරුන් සහ දේවතාවියන් පිළිබඳ තිබූ සංකල්පයන් හරහා ලෝකයේ පවතින ස්වභාවික සංසිද්ධීන් මනුශ්‍ය ස්වභාවයන් ලෙස එළිදැක්වුණා. දෙවිවරුන් අතර ඇතිවූ යුද්ධ, මතගැටුම්, සහ ලිංගික සබඳතා පිළිබඳ ගෙතුණු කතන්දර, බටහිර රටවල සංස්කෘතීන් සඳහා නොයෙක් ආකාරයෙන් බලපෑම් කර ඇති බව නොරහසක්.

සියුස්

සියුස් යනු ඔලිම්පස් කන්දේ ජීවත් වූ සියළු දෙවිවරුන්ගේ රජු යි. ඔහුගේ දෙමාපියන් වන්නේ ක්‍රෝනස් නම් දෙවියන් සහ රියා නම් දෙවඟන යි. ක්‍රෝනස් සහ රියා යන දෙදෙනාම දෙව්ලොවට (යුරේනස්) සහ පෘථිවියට දාව උපන් දරුවන් වනවා. 

අහසට සහ අකුණු සැරට අධිපති සියුස්ගේ බිරිඳ හීරා යි. ඥාතීත්වයෙන් ඇය ඔහුගේ සහෝදරිය ද වනවා. සියුස් සහ හීරා එක්ව හෙෆීස්ටස්, හේබ්, සහ ඒරිස් යන දරුවන් ලබා ඇති අතර, ඊට අමතරව ඇතීනා, ඇපලෝ, ආටිමිස්, හර්මිස්, ඩයනීසස්, හෙරැක්ලීස්, සහ ට්‍රෝයිහි හෙලන් වැනි අය සියුස් හට දාව වෙනත් සබඳතා හරහා උපන් දරුවන් වනවා. සියුස් අනියම් සබඳතා ඇති කරගැනීමට ඉතා ප්‍රසිද්ධ යි. 

සියුස් (https://en.wikipedia.org)

හීරා

හේරා යනු සියුස්ගේ බිරිඳ වන අතර එබැවින් ඔලිම්පස් කන්දේ විසු සියළු දෙවි දේවතාවුන්ගේ රැජිණ වන්නේ හීරා යි. විවාහයට සහ දරු උපත් සඳහා අධිපති දෙවඟන වුවත්, ඇය පෙම් සබඳතා පැවැත්වීම කෙරෙහි දැඩි විරුද්ධත්වයක් දක්වන බව ග්‍රීක ප්‍රවාදවල සඳහන්. 

හීරා, සියුස් අනියම් සබඳතා ඇති කර ගන්නා දෙවඟනන් සහ මනුශ්‍ය කාන්තාවන්ගෙන් පළිගැනීමට නිතර කටයුතු කළ බව කියැවෙනවා. ඇය සියුස්ගේ නීත්‍යානුකූල නොවන දරුවකු වන හෙරැක්ලීස් (හර්කියුලීස්: කියවන්න, හර්කියුලීස්ගේ වැඩ දොළස) කෙරෙහි දැඩි වෛරයකින් පසුවූ බැවින් ඔහුව මරා දැමීම සඳහා කුණාටුවක් ඇති කළ අතර, ඒ පිළිබඳව දැනගත් සියුස් දඬුවම් වශයෙන් ඇයව රන් දම්වැලකින් එල්ලා කකුලේ බරැති කිණිහිරක් එල්ලූ බවත්, ඇයව බේරා ගැනීමට උත්සහ කළ ඔවුන්ගේ පුත් හෙෆීස්ටස්ව දෙව්ලොවෙන් ඉවතට විසිකර දැමූ බවත් ප්‍රවාදයන්හි සඳහන්. 

හේරා (https://en.wikipedia.org)

ඇතීනා

ඇතීනා යනු ඤාණයට සහ යුද්ධයට අධිපති දේවතාවිය යි. ඇය සියුස්ගේ දියණියක වනවා. ඇයට මවක් නොමැති අතර ඇය ඉපිද ඇත්තේ සියුස්ගේ නළල් තලයෙනුයි. ඇතැම් ග්‍රීක ප්‍රවාදයන්ට අනුව මෙටිස් නම් වන ඇතීනාගේ මවව සියුස් විසින් ගිල දමා ඇති අතර, එවිට ඇය ගර්භණීව සිටි බැවින් මෙටීස්ගේ දියණිය වන ඇතීනා සියුස්ගේ නළල් තලයෙන් උපත ලබා තිබෙනවා. 

ඤාණයට සහ යුධ කටයුතුවලට අමතරව ඇය වීර්යය, නීතිය සහ සාමය, ගණිතය, කලාව වැනි විෂයය ක්ශේත්‍රයන් ගණනාවකටම අධිපතිනිය යි. 

ඇතීනා ඇතැන්ස් නුවර ආරක්ශක දේවතාවිය ලෙස සැළකුණු අතර පාතිනන් යනු ඇයට කැප කළ දෙව් මැඳුර යි.

ඇතීනා (https://spirituality.visualstories.com)

ඇෆ්‍රොඩයිටි

ඇෆ්‍රොඩයිටි යනු ආදරය, සුන්දරත්වය, සහ කාමයට අධිපති දෙවඟන යි. එක් ග්‍රීක ප්‍රවාදයක සඳහන් වන්නේ යුරේනස්ගේ ලිංගේන්ද්‍රිය ඔහුගේ පුතු වන ක්‍රෝනස් විසින් කපා මුහුදට විසි කළ විට ඉන් නිපදවුණු පෙණවලින් ඇෆ්‍රොඩයිට් ඉපදුණු බව යි. තවත් ප්‍රවාදයක කියවෙන්නේ ඇය සියුස්ට සහ ඩියෝන් නම් දෙවඟනකට දාව උපන් බව යි. ඇයගේ සුන්දරත්වය හේතුවෙන් දෙවිවරුන් ඇය ලබාගැනීම සඳහා යුද්ධ වැදීමට පෙළඹෙන බව දුටු සියුස්, ඇයව ගින්දර සහ වානේවලට අධිපති හෙෆිස්ටස් දෙවියන් හට විවාහ කර දී ඇති නමුත්, ඉන්පසුවත් ඇෆ්‍රොඩයිට් සිය පෙම්වතුන් ලෙස දෙවිවරුන් සහ මනුෂ්‍යයින් රැසක් ඇසුරු කර ඇති බව ප්‍රවාදයේ සඳහන්. 

ඇෆ්‍රොඩයිට් (https://commons.wikimedia.org)

ආර්ටිමිස්

දඩයමට, වනසතුන්ට, සහ ලුහුබැඳයාමට අධිපති දෙව්දුව වන ආර්ටිමිස්, සියුස්ගේ දියණියක සහ ඇපලෝගේ සොහොයුරියක ලෙස ප්‍රකට යි. ඇය දැරියන්ගේ සහ කන්‍යාවන්ගේ ආරක්ෂිකාව ලෙස කටයුතු කරන අතර, දරු උපත්වල දී මවට සහ දරුවාට ආරක්ෂාව සැපයීම ද ඇයගේ කාර්ය භාරයක්.

ආර්ටේමිස්  (https://en.wikipedia.org)

ඇපලෝ

ඇපලෝ යනු හිරුට සහ ආලෝකයට අධිපති ග්‍රීක දෙවියන්. ඊට අමතරව ඔහු සංගීතය, කාව්‍යකරණය, වසංගත රෝග සහ ඒවා සුවකිරීම, සුන්දරත්වය සහ පිළිවෙල, දුනු ශිල්පය, කෘශිකර්මය වැනි අංශයන් රැසක අධිපති බව ග්‍රීක පුරාවෘත්තවල සඳහන්. ග්‍රීක සාහිත්‍ය කෘතිවල සඳහන් වන කරුණු ඇසුරින් පෙනී යන්නේ ඇපලෝ යනු භෞතික ශක්තීන් සහ ආධ්‍යාත්මික සුන්දරත්වය යන අංගයන් දෙකම සමබරව කැටිකරගත් දෙවි කෙනෙකු බව යි. 

ඇපලෝ  (https://en.wikipedia.org)

ඩිමීටර්

ඩිමීටර් යනු සියුස්ගේ සොහොයුරියක වන අතර ඇය කෘෂිකර්මාන්තයට සහ අස්වැන්නට අධිපති දෙවඟන යි. ඇයට පර්සිෆොනි නම් දියණියක සිට ඇති අතර මෙම දියණියව මළවුන්ට අධිපති දෙවි හේඩීස් (සියුස්ගේ සොහොයුරු) විසින් ප්‍රයෝගයෙන් මළවුන්ගේ ලෝකයට පැහැරගෙන ගිය බව පුරාවෘත්වල සඳහන්. 

මෙම සිද්ධියෙන් ඩිමීටර් කම්පාවට පත්වූ නිසා පෘථිවිය මත ශාඛ වර්ධනය නතර වූ බැවින් කලබල වූ සියුස්, පර්සිෆොනිව නැවත භාරදෙන මෙන් හේඩීස්ට අණ කළා. එනිස ඔහු පර්සිෆොනිව මුදාහැරි නමුත්, පර්සිෆොනි මළවුන්ගේ ලෝකයෙන් නික්මෙන මොහොතේ දී ඔහු ඇයට දෙළුම් ගෙඩියක් ලබා දී තිබෙනවා. එයින් ඇට 6ක් අනුභව කළ පර්සිෆොනි වසරෙන් මාස 6ක් හේඩීස් සමග මළවුන්ගේ ලෝකයේ ජීවත් වීමට බැඳුණු බවත්, එබැවින් සෑම වසරකම එම කාලයේ දී ඩිමීටර් දුක්වන නිසා පෘථිවියේ ශරත් සහ සීත සෘතු ඇතිවන බවත් ග්‍රීක ප්‍රවාදයන්හි සඳහන්.

ඩිමීටර් (https://www.britannica.com)

හේඩීස්

හේඩීස් යන නමෙහි තේරුම වන්නේ “දැකිය නොහැකි තැනැත්තා” යන්න යි. හේඩීස් මළවුන්ගේ ලෝකයට අධිපති දෙවියන්. ඔහු ද ක්‍රෝනස් සහ රියාගේ දරුවෙකු වන අතර එබැවින් සියුස්ගේ සහ ඩිමීටර් ගේ සොහොයුරෙකු වනවා.

හේඩ්ස්  (http://www.kellyvierralcsw.com)

මීට අමතරව ජලයට සහ මුහුදට අධිපති පොසයිඩන්, යුධ ශක්තිය සහ ධෛර්‍යයට අධිපති ඒරිස්, වයින් සෑදීමට සහ සාරවත් බවට අධිපති ඩයනීසස්, පොහොසත්බවට සහ වාසනාවට අධිපති හර්මිස් ඇතුළු ප්‍රධාන දෙවිවරුන් දොළොස්දෙනෙකු ඔලිම්පස්හි වාසය කර තිබෙනවා. ඔවුන් “ඔලිම්පියානු දෙවිවරුන්” ලෙස යි පැරණි ග්‍රීක වැසියන් හඳුන්වා ඇත්තේ.

Related Articles