බලහත්කාර අතපෙවීමක ප්‍රතිඵලය: 1991 ගල්ෆ් යුද්ධය

මැද පෙරදිගට අයත් ගල්ෆ් කලාපය තුළ ඉරාකය, ක්වේට්, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඕමානය, සහ කටාර් යන රටවල් හත පිහිටා තිබෙනවා. ඛනිජ තෙල් නිධි වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ එම රටවල් ආශ්‍රිතව යි. එනිසා ගල්ෆ් කලාපීය රටවල් තෙල් සම්පතෙන් අසීමිත ධනයක් උරුම කර ගැනීමට සෑම විටම උත්සාහ කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් එම රටවල් අතර සුළු සුළු අමනාපකම් ඇතිවුණා. ඇතැම් අවස්ථාවල දී ඒවා යුදමය තත්ත්ව ඇතිවීම දක්වා දුරදිග ගියා. 1991 වසරේ දී ගල්ෆ් කලාපයේ ඇතිවුණේත් ඒ වගේ යුද්ධයක්. මේ ඔබට කියන්නට යන්නේ එම ගල්ෆ් යුද්ධයේ අඳුරු මතක සටහන් පිළිබඳව යි.

යුද්ධය ඇරඹීමට පසුබිම නිර්මාණය වුණු හැටි 

1980-1988 කාල වකවානුවේ ඉරානය සහ ඉරාකය අතර යුද්ධයක් පැවතුණා. එම යුද්ධයේ දී ක්වේට් රජය ඉරාකයට සහාය දැක්වූවා. එහි දී ක්වේටය ඔවුන්ට මූල්‍යමය ආධාර ලබා දුන්නා. 1988 ජූලි මාසයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් ඉරාන – ඉරාක යුද්ධය නතර වුණා. ඉන් ටික කලකට පසුව ක්වේට්ය සහ ඉරාකය අතර අර්බුදයක් නිර්මාණය වුණා. ඒ ක්වේට් රජය ඉරාන – ඉරාක යුද සමයේ දී ලබාදුන් මුදල්  ඉරාකයෙන් ආපසු ඉල්ලා සිටි නිසා යි. දිගින් දිගටම යුද්ධ කිරීම හේතුවෙන් ඒ වන විට ඉරාකය ආර්ථික වශයෙන් පිරිහී තිබුණා. එනිසා ඔවුන්ට ක්වේටයට මුදල් ආපසු ලබාදීමට හැකියාවක් තිබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මුදල් ප්‍රශ්නය පිළිබඳව දෙපාර්ශවය අතර සාකච්ඡා ඇති වුණා. 

ඒ අතරතුර ක්වේටය ඔවුන්ගේ තෙල් නිෂ්පාදනය 40%කින් පමණ වැඩි කළා. එලෙස ක්වේට් රජය තෙල් නිෂ්පාදනය වැඩි කිරීම, ඉරාකයේ ආර්ථිකයට එල්ල කළ මරු පහරක් වුණා. ඒ අවස්ථාවේ දී එවකට ඉරාක විදේශ ඇමති ධූරය දැරූ තරීක් අසීස් පවසා සිටියේ ක්වේට්ය තෙල් නිෂ්පාදනය වැඩිකරමින් ඉරාකයට එරෙහිව ආර්ථික ආක්‍රමණයක් සිදුකළ බවයි. එහි දී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ඉරාන – ඉරාක යුද සමයේ දී ගත් ණය කපා හැරීමට ක්වේට් රජය කටයුතු කළ යුතු බවයි. ඒ අයුරින් ඔහු කළ ප්‍රකාශයත් සමගම ඉරාකය සහ ක්වේටය අතර තිබුණු ගැටුම තවත් දුරදිග ගියා.

1980-1988 ඉරාන – ඉරාක යුද්ධය අතරතුර (Al Jazeera)

ඉරාක හමුදා ක්වේටය ආක්‍රමණය කරයි 

එදා ඉරාක – ක්වේට් ගැටුම දුරදිග යාමෙන් පසුව එවකට ඉරාක නායකයා වශයෙන් කටයුතු කළ සදාම් හුසේන් හිතුවක්කාර තීරණයක් ගත්තා. ඒ ඉරාකයේ බලය පෙන්වීම සඳහා ක්වේටය ආක්‍රමණය කිරීම යි. ඔවුන් ඊට පෙර 1973 වසරේ ද ක්වේටයට එරෙහිව එවැනි ආක්‍රමණයක් සිදු කර තිබුණා. එකල සදාම් හුසේන්ගේ ස්ථාවරය වුණේ ක්වේට් රාජ්‍යය බටහිර රටවල්වල අවශ්‍යතාව මත ගල්ෆ් කලාපය තුළ නිර්මාණය කළ කෘත්‍රිම රාජ්‍යයක් බවයි. ඔහු දෙවන වරටත් ක්වේට් රාජ්‍යය ආක්‍රමණය කිරීම සඳහා එය ද හේතුවක් ලෙසින් ඉදිරිපත් කළා. 1990 වසරේ ජූලි මාසය අවසන්  වන විට සදාම් හුසේන් ඔහුගේ හමුදා ක්වේට් ආක්‍රමණය සඳහා සූදානම් කර තිබුණා. ගල්ෆ් කලාපයේ කිසිදු රටකට එවැනි ආක්‍රමණයක් පිළිබඳව ඉවක් වැටී තිබුණේ නැහැ. එවැනි මොහොතක කිසිවෙකු බලාපොරොත්තු නොවුණු අයුරින් ඉරාක හමුදා ක්වේට් දේශ සීමාව බිඳගෙන එරටට බලෙන් ඇතුළු වුණා. 1990 අගෝස්තු 2 වැනිදා සිදුවුණු එම සිද්ධියත් සමගම බොහෝ රටවල් ඉරාකයට එරෙහිව ක්‍රියාත්මක වන්නට පටන්ගත්තා.

ඉරාකය, ක්වේටය ආක්‍රමණය කළ අවස්ථාව (History.com)

ඉරාකයට එරෙහිව ප්‍රබල රටවල් නැගී සිටියි  

එදා සදාම් හුසේන් අනුමාන කළේ ඔහුගේ ක්වේට් ආක්‍රමණයට අරාබි ලීගයේ රටවල් බහුතරයක් සහයෝගය දෙනු ඇති බවයි. ඔහුගේ අනුමානය වැරදී ගියේ අරාබි ලීගයේ රටවල් බහුතරයක් ක්වේට් ආක්‍රමණය හෙළා දැකීමත් සමග යි.  අමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ සෝවියට් රුසියාව යන ප්‍රබල රටවල් ද සදාම් හුසේන්ගේ හිතුවක්කාර ක්‍රියාවට දැඩි සේ විරුද්ධ වුණා. 1990 අගෝස්තු 3 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය ඉරාකයෙන් ඉල්ලා සිටියේ හැකි ඉක්මනින් ඔවුන්ගේ හමුදා ක්වේට් බිමෙන් ඉවත් කරගන්නා ලෙසයි. ඉරාක නායක සදාම් හුසේන් ඒ කිසිවෙකුගේ ඉල්ලීමකට කන්දුන්නේ නැහැ. එනිසා දිගටම ඉරාක හමුදා ක්වේට් බිමේ රැඳී සිටියා. 

සදාම් හුසේන් (Wiener Zeitung)

ගල්ෆ් කලාපය ගිනියම් වෙයි 

ඉරාක හමුදා බලහත්කාරයෙන් ක්වේටයට ඇතුළු වීම හේතුවෙන් ගල්ෆ් කලාපයේ අනිකුත් රටවල නායකයන් තරමක් කලබලයට පත්ව තිබුණා. එනිසා සෞදි අරාබියේ ෆාඩ් රජතුමා අමෙරිකා ආරක්ෂක ලේකම් ඩික් චෙනීගෙන් අමෙරිකා හමුදාවල සහාය, මෙම තත්වය සමනය කිරීම සඳහා ලබාදෙන මෙන් ඉල්ලා සිටියා. එයට යහපත් ප්‍රතිචාරයක් ලබාදුන් එවක අමෙරිකාවේ 41 වෙනි ජනාධිපතිවරයා වූ ජෝර්ජ් බුෂ් (ජේෂ්ඨ), ඉරාකය ක්වේටය ආක්‍රමණය කිරීමට ප්‍රතිචාර දැක්වීම සඳහා ‘ ඩෙසර්ට් ෂීල්ඩ් ‘ නම් මෙහෙයුම සූදානම් කරන ලෙස අණ දුන්නා. එදා ඉරාකයට එරෙහිව සිදුකිරීමට නියමිතව තිබුණු  යුද්ධයේ දී ජාත්‍යන්තර හමුදාවක කොටස්කරුවෙකු වීමට අමෙරිකා හමුදා සූදානම් කිරීම එම මෙහෙයුමේ අරමුණ වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අමෙරිකා හමුදා භට පිරිස් කණ්ඩායම් වශයෙන් ගල්ෆ් කලාපයට පිටත් කෙරුණා. අමෙරිකා ජනාධිපති ජෝර්ජ් බුෂ් (ජේෂ්ඨ) තම ආරක්ෂක ලේකම්වරයාට එදා අණ කර සිටියේ ගල්ෆ් කලාපය තුළ අමෙරිකා යුද ශක්තිය තවත් වැඩි කරන ලෙසයි.

ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් ‘ඩෙසර්ට් ස්ටෝම්’ මෙහෙයුමේ ආරම්භය නිවේදනය කරයි (c-span.org)

ඒ අයුරින් ගල්ෆ් කලාපය ගිනියම් වෙද්දී ඉරාක ජනාධිපති සදාම් හුසේන්, ක්වේට් රාජ්‍යය ඉරාකයේ 19 වැනි පළාත ලෙසින් නම් කළා. ගල්ෆ් කලාපයට පැමිණි ඇමරිකානු භට පිරිස්වලින්  අනාගතයේ දී යම් තර්ජනයක් එල්ල වීමට ඉඩ ඇති බවට අනුමාන කළ සදාම් හුසේන් ක්වේටය තුළ ඉරාක හමුදා ශක්තිය තවත් තර කළා. ඒ අනුව ක්වේටය තුළ රඳවා සිටි ඉරාක භටයන්ගේ ප්‍රමාණය ලක්ෂ 3 දක්වා වැඩි කරන ලෙස සදාම් හුසේන් නියෝග කළා. එම ක්‍රියාව මඟින් ඉරාක ජනාධිපතිවරයා බටහිර ලෝකයේ රටවල්වලට පෙන්වා සිටියා ඔහු ක්වේටය අත්හැරීමට සූදානම් නැති බව. එලෙස ගල්ෆ් කලාපය ටිකෙන් ටික ගිනියම් වෙද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය ඉරාකයට 1990 නොවැම්බර් 29 වැනිදා යම් අනතුරු ඇඟවීමක් සිදු කළා. ඉන් කියවුණේ 1991 ජනවාරි 15 වැනිදා වන විට ඉරාක හමුදා ක්වේටයෙන් ඉවත් නොකරගත්තොත් යුදමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවයි. එදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කළ අනතුරු ඇඟවීම පිළිබඳව කිසිදු තැකීමක් නොකළ සදාම් හුසේන් සිය හමුදා දිගටම ක්වේට් බිමේ රඳවා තැබුවා.

ගල්ෆ් කලාපයට පැමිණි අමෙරිකා හමුදා  (Al Jazeera)

ගල්ෆ් යුද්ධය 

1990 ජනවාරි 15 වැනිදා වන විට 750,000ක පමණ විදෙස් හමුදා භට පිරිස් ගල්ෆ් කලාපයට පැමිණ සිටියා. ඉන් 540,000ක පමණ භට පිරිසක් අයත් වුණේ ඇමරිකන් හමුදාවට යි. බ්‍රිතාන්‍ය, සෝවියට් රුසියාව, ප්‍රංශය, ජර්මනිය, ජපානය, ඊජිප්තුව, සහ සෞදි අරාබිය යන රටවල්වල හමුදා ද මෙම මෙහෙයුමට සම්බන්ධ වුණා. ඒ අයුරින් රටවල් කිහිපයක් ක්වේටයට සහාය දක්වද්දී ඉරාකයට සහාය දැක්වූයේ සුඩානය, යේමනය, ජෝර්දානය, ඇල්ජීරියාව, ටියුනීසියාව සහ පලස්තීන විමුක්ති සංවිධානය යන පාර්ශව යි. 

පලස්තීන විමුක්ති සංවිධානය පිළිබඳ කියවන්න: පලස්තීනය ගොඩනගන්නට කැපවුණු මිනිසා: යසර් අර්ෆත්

1991 ජනවාරි 17 වැනිදා පාන්දර විදෙස් හමුදා භට පිරිස් ඉරාක හමුදාවන්ට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමත් සමගම ගල්ෆ් යුද්ධය ආරම්භ වුණා. එදා ආරම්භ වුණු මෙහෙයුම ‘ඩෙසර්ට් ස්ටෝම්’ යනුවෙන් හැඳින්වුණා. දිගින් දිගටම එල්ල වුණු ප්‍රහාර හමුවේ ඉරාක හමුදා බලය වේගයෙන් අඩපණ වුණා. එදා විදෙස් හමුදා භට පිරිස් නවීන තාක්ෂණික උපකරණ භාවිත කරමින් සිදු කළ දැවැන්ත ප්‍රහාර මාලාව හමුවේ ඉරාක හමුදාවට අත්විඳින්නට සිදු වුණේ විශාල විනාශයක්. ඒ හේතුවෙන් පෙබරවාරි මාසය ආරම්භ වන විට ඉරාක හමුදා ක්‍රමයෙන් පසුබසිමින් සිටියා. එවැනි තත්ත්වයක් යටතේ විදෙස් හමුදා භට පිරිස් ක්වේටයේ සහ දකුණු ඉරාකයේ රැඳී සිටි ඉරාක හමුදා වෙත නොකඩවා ප්‍රහාර එල්ල කළා. 


– ගල්ෆ් යුද්ධයේ හේතු, සිදුවීම් සහ දේශපාලනය පැහැදිලි  කෙරෙන වීඩියෝවක් (The HISTORY Channel)

 

එහි ප්‍රතිඵලයක් වශයෙන් 1990 පෙබරවාරි 24 වැනිදා වන විට ඉරාකය අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටියා. ඉන් පසුව ඉරාක හමුදාවන්ට එරෙහිව සිදුකළ ‘ඩෙසර්ට් සේබර්’ නම් මෙහෙයුම නිසා 1990 පෙබරවාරි 28 වැනිදා වන විට ක්වේට් රාජ්‍යය ඉරාක  ග්‍රහණයෙන් නිදහස් කරගැනීමට හැකියාව ලැබුණා. 1991 වසරේ පෙබරවාරි 28 වැනිදා  අමෙරිකා ජනාධිපති ජෝජ් බුෂ් (ජේෂ්ඨ) ගල්ෆ් යුද්ධය අවසන් කරමින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළා. 

‘ඩෙසර්ට් ස්ටෝම්’ මෙහෙයුම අතරතුර (The Atlantic)

ගල්ෆ් යුද්ධය නිසා ලැබුණු අයහපත් ප්‍රතිඵල 

ඉම්පීරියල් යුද කෞතුකාගාරය ඉදිරිපත් කරන දත්තවලට අනුව ගල්ෆ් යුද්ධය හේතුවෙන් ඉරාක භටයන් 20,000-35,000 ත් අතර ප්‍රමාණයක් මරණයට පත්ව තිබෙනවා. සිවිල් වැසියන් 100,000-200,000 අතර ප්‍රමාණයක් මරණයට පත්වන්නට ඇතැයි විශ්වාස කරනවා. ඒ අයුරින් ඉරාක භටයන් සහ සිවිල් වැසියන් වැඩි ප්‍රමාණයක් මරණයට පත්වෙද්දී විදෙස් හමුදා භට පිරිස්වලට අවම හානියක් සිදුවුණු බව එම වාර්තාවල වැඩිදුරටත් දක්වා තිබෙනවා.

 ගල්ෆ් යුද්ධය නිසා දැඩි පරිසර හානියක් ද සිදුවුණා. පර්සියානු බොක්කට බොරතෙල් විශාල වශයෙන්  මුදා හැරීම නිසා වෙරළ තීරය දූෂණය වුණා. තෙල් ළිං ගිනි ගැනීම නිසා වායුගෝලයට විෂ වායූන් එකතු වුණා. එමගින් පරිසරයට විශාල හානියක් සිදුවුණා. ගල්ෆ් යුද්ධය නිසා සිදුවුණු විනාශය හේතුවෙන් ඉරාකය ආර්ථිකමය වශයෙන් පිරිහීමකට ලක්වුණු බව ද කිව යුතුම යි.

යුද්ධය නිසා සිදුව තිබුණු විනාශය (nostalgiacentral.com)

Cover Photo: ගල්ෆ් යුද්ධය අතරතුර (Reddit)

මූලාශ්‍ර:
history.com
forces.net

Related Articles