මිනිසුන් බියපත් කරන නිට්ටෑ අර්ධ මානවයා

කුරු වානර ජීවී කොට්ඨාසයක් ලෙස සැලකෙන නිට්ටෑවන් දුටු බවට වාර්තා තවමත් ඉඳහිට අපට අසන්නට ලැබෙනවා. නිට්ටෑවන්ට බියවු කාන්තාවන් රූපවාහිනී කැමරා ඉදිරිපිට තමන් දුටු  මානවයා ගැන බියපත්ව විස්තර කරන අන්දම අපත් දකිනවා. මේවායේ සත්‍ය බවක් නම් දැකගත නොහැකි වුවත් අර්ධ මනුෂ්‍ය විලාසයක් ඇති නපුරු පෙනුමින් යුත් බව සැලකෙන මේ අද්භූත සත්ව කොට්ඨාසය අතීතයේ පටන්ම අප තුළ කුතුහලයක් ඇති කළා.

2019 මුල් කාලයේ ද  ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කීපයක පුද්ගලයන් තමන් කුරු වානර මිනිසුන් දුටු බව හෝ කුරු මිනිසුන්ගේ ප්‍රහාරයකට ලක් වුණු බව කියන වාර්තා මාධ්‍යවල පළ වුණා. එහෙත්  අඩුම තරමේ සේයාරුවක් වත්  නිට්ටෑවන් සම්බන්ධයෙන් හමුවී නැහැ.

නිට්ටෑවන් ජීවත්වූ බව පැවසෙන කුඩුම්බිගල – Kusumsiri Wijayawardhana

නිට්ටෑවන් හමුවීම ගැන මෑත වාර්තා

ස්පාඤ්ඤ ජාතික මානව විද්‍යාඥයකු වූ මහාචාර්ය සැල්වදොර් මාටිනස් 2004 දෙසැම්බර් 26 වැනිදා සිදුවූ සුනාමි ව්‍යසනයට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය අවට වනයෙහි සංචාර කරනවා. ඔහු දෙසැම්බර් 25 වැනිදා දහවල් හදිසි වැස්සකට බේරීමට ගල් ගුහාවකට යනවා. ඒ අවස්ථාවේ ම ගුහාව තුළට එන අමුතු ජීවියකු ඔහු දකිනවා. අඩි 3 ක් උස නිරුවත් අර්ධ මනුෂ්‍ය පෙනුමක් ඇති මේ මානවයා  ගුහාව තුළ තවත් පුද්ලගයකු සිටින බව ඉවෙන් දැන ගෙන මහ වැස්සේ පලා යනවා. මේ ගැන පසුව සොයා බැලුවත් එවැනි ජීවියකු සොයා ගැනීමට මහාචාර්ය මාටිනස්ට හැකි වන්නේ නැහැ.

අම්පාර, දමන, තෝට්ටමින් 2019 දී   කුඩා ශරීරයක් සහිත මිනිස් රුවට සමාන පෙනුමක් සහිත මානව වර්ගයක් පිළිබඳ තොරතුරු වාර්තා පළ වුණා. රාත්‍රී  පැල් රැකීමට යන ගම්වාසීන් අඩි දෙක හමාරක් පමණ උසැති මෙම කුරු මිනිසුන් දැක ඇති බවයි පැවසුණේ.

 පලාවූ දූපත්වලින් ලැබුණු කුරු මානව හිස්කබල් – news.softpedia.com

ඉන්දුනීසියාවේ  සොයා ගැනීම

නිට්ටෑවන් වැනි කුඩා මිනිසුන් ඇතැම් රටවල ගෝත්‍රිකයන් ලෙස තවමත් ජීවත් වෙනවා.  ඉන්දුනීසියාව, තායිලන්තය වැනි රටවල පිග්මි හෙවත් කුරු ගෝත්‍රිකයන් තවමත් තැන තැන සිටිනවා. එසේම අන්දමන්, නිකොබර් සෙන්ටිනෙල්, සුලවැසි  ආදී දූපත්වල කළු පැහැති සමක් ඇති මිනිසුන් තවමත් ජීවත් වෙනවා. ඔවුන්ගේ ජිවන රටාවත් තවමත් ප්‍රාථමික අයුරින් තමයි තිබෙන්නේ.  

ඉන්දුනීසියාවේ පලාවු දිවයින්වල මයික්‍රොනීසියාවේ කරන ලද ගුහා කැණීම්වලදී 2008 වර්ෂයේදී ඇට කැබලි, හිස්කබල්  රැසක් සොයා ගත් අතර ඒවා මීටරයක පමණ උසැති මිනිසකුගේ බවට මත පළ වුණා. ඒ මානව වර්ගය ‘හොබිට්’ ලෙස හැඳින්වූ අතර හෝමෝ ෆ්ලොරෙන්සින්සිස් ලෙස වර්ගීකරණය කර තිබෙනවා.

එම අස්ථි අදින් වසර 3000නට එපිට සිටි මානව වර්ගයකගේ බව හෙළි වී තිබෙනවා. මොළයේ ප්‍රමාණය, මුහුණ සහ අස්ථිවල හැඩය අනුව ඔවුන්ද හෝමෝ සේපියන් සේපියන් හෙවත් අප අයිති කාණ්ඩයටම අයිති විය යුතු බවටත් මත පළ වී තිබෙනවා.

 නිට්ටෑවන්ට වාස භූමි වූ යාල නැගෙනහිර වනාන්තරය – Kusumsiri Wijayawardhana

ජීවත් වූ ප්‍රදේශ

නිට්ටෑවන් යාල නැගෙනහිර කලාපය හා තමන්කඩුව, මහලේනම ආශ්‍රිත ව ජීවත් වූ වානර ජීවි කොට්ඨාසයක් බවයි කියැවෙන්නේ. මින් වසර 250කට පමණ පෙර වැද්දන් සහමුලින් ම ඝාතනය කොට ඉවත් කළ බව පැවසෙන්නේ එම වානර කොට්ඨාසයයි.  නැගෙනහිර පළාතේ පානම කුඩුම්බිගල අවටත්  නිට්ටෑවන් විසූ කලාපයක් යයි විශ්වාස කෙරෙනවා.   

බින්තැන්න ආදී කලාපවලත් නිට්ටෑවන් සම්බන්ධ ජනප්‍රවාද පැතිර තිබෙනවා. දැනටත් ඒ පළාත්වල ඇතැම් පෙදෙස් පවතින්නේ මහ වනාන්තර ලෙස යි.  කතරගම කඳු සහ බාගුරේ කඳුවලත් ඔවුන් සිටි බවට ජනප්‍රවාදවල සඳහන් වෙනවා. එසේම තන්තිරිමලේ සහ පොම්පරිප්පු ද නිට්ටෑවන් සිටි බව  පැවසෙන ප්‍රදේශ කිහිපයක්.

නිට්ටෑ කල්පිත රුවක්- damithnah.wordpress.com

සුද්දන්ගේ පර්යේෂණ

1869 දී සිවිල් සේවකයකු ලෙස ලංකාවට පැමිණෙන හියු නෙවිල් දකුණේ සහ නැගෙනහිර දිසා විනිසුරුවරයකු  ලෙස සේවය කරමින් අවුරුදු 28 ක් මෙරට ගත කරනවා. ඒ අතර ඔහු අප රටේ පුස්කොළ පොත් එකතු කරනවා. පුරාවෘත්ත අධ්‍යයනය කරනවා. වැදි ජනතාව හමුවෙමින් නිට්ටෑවන් ගැන ජනප්‍රවාද එකතු කර ගන්නවා. එම තොරතුරු විශ්ලේෂණය කරමින් 1886 දී ලංකාවේ නිට්ටෑවන් පිළිබඳව තැප්‍රොබේනියන් සඟරාවට ලිපියක් ලියනවා.

විද්වතුන් අතර විශාල උනන්දුවක් ජනිත කළ එම ලිපිය අදටත් නිට්ටෑවන් ගැන අධයනය කිරීමේ දී පාදක කර ගන්නා ලේඛනයක්.  ඒ අතර 1914 දී ෆ්‍රෙඩ්රික් ලූවිස් රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සඟරාවට  මේ මානව කොට්ඨාසය ගැන ලිපියක් සපයනවා. ඒ සඳහා නැගෙනහිර, ඌව හා පානම් පත්තුව ආශ්‍රිත ව කළ ගවේෂණවලින් ලත් තොරතුරු ලුවිස් පාදක කර ගන්නවා.

බෙල්ජියම් ප්‍රංශ විද්‍යාඥ බර්නාඩ් හොවෙල්මන්ස් 1958 දී මේ මානවයන් ගැන ලියමින් සඳහන් කරන්නේ ඔවුන් නියැන්ඩර්තාල් යුගයේ සිටි පිරිසක් බවත් අප්‍රිකානු බුෂ්මන්ලාට සමාන බවත්.

ස්ත්‍රී නිට්ටෑවියක්- serendib.btoptions.lk

නිට්ටෑවන්ගේ ලක්ෂණ

හියු නෙවිල් සහ ලුවිස් සොයාගත් කරුණු අනුව මේ කුරු මානවයාගේ ලක්ෂණ මෙසේ ගොනුකර දැක්විය හැකියි:

  නිට්ටෑවා  අඩි 3 ක් උස අර්ධ මනුෂ්‍ය පෙනුමක් ඇති ජීවියෙක්.  ගැහැනිය උසින් අඩුයි. අඩි දෙකහමාරක් උසයි. මේ සත්ත්වයන් ජීවත් වන්නේ නිරුවතින්. සිරුර පුරා වැඩුණු රතු ලෝම සහිත යි. දිග ශක්තිමත් බාහු සහිත උන්ගේ ශක්තිමත් ඇඟිලිවල හටගත් දිගු ඝනකම් උල් නියපොතු දැකගත හැකි යි. විශාල පතුල් සහිත පාද, විශාල ඇහි බැම සහ ඇතුළට නෙරා ගිය ඇස් කුහරවලිවන් යුක්තයි. ආයුධ පාවිච්චිය නොදැන සිටි මොවුන් ඒ වෙනුවට සතුන් සේ ශක්තිමත් බාහු සහ උල් නිය සහිත ඇඟිලි භාවිත කරනවා.

ගෝන, මුව, කුළු හරක් ආදී විශාල සතුන් වටකර රංචු පිටින් උන්ගේ ඇඟට පැන එම සතුන් අඩපණ කර ගෙන මරා දමනවා. එම සතුන් බිම පෙරළා ගෙන නියපොතුවලින් සූරා කටින් හපා මරා දමනවා. ඉන්පසු ඒ මස් අනුභව කරනවා. හාවා, ලේනා, ඉබ්බා, කබරගොයා, තලගොයා, කටුස්සා වැනි සත්තු ද ඔවුන්ගේ ගොදුරු අතරට අයත් වෙනවා. තනිව වනාන්තරයේ දඩයම් සොයමින් ගමන් කරන වැද්දන්  සහ වැදි දරුවන් ද මරා කෑමට ගත් බව පැවසෙනවා. වැදි ගැහැනුන්ට අතවර කර පසුව ඔවුන් මරා අනුභව කිරීම ද නිට්ටෑවන් කළ තවත් ම්ලේච්ඡ වැඩක්. ඔවුන් ජීවත් වූයේ 10 සිට 20 දක්වූ රංචු වශයෙනුයි.

කුඩුම්බිගල වනපෙත – Kusumsiri Wijayawardhana

නිට්ටෑ ජීවිතය

නිට්ටෑවන් ප්‍රාථමික මානව ලක්ෂණ සහිත බව හෙළිකරන ප්‍රධාන හේතුවක් තමයි  ගින්දර මොළවා ගැනීම පිළිබඳ ඔවුන් තුළ කිසිදු දැනුමක් නොතිබීම. ඒ නිසා මස් වර්ග පිළිස්සීමකින් තොරව අමුවෙන්ම කෑමට ඔවුන් පුරුදු ව සිටි බවයි පැවසෙන්නේ. ගස් මත සකස් කරන ලද දැව දඩු මත, කොළඅතුවලින් සෙවිලි කරගත් නිවාසවල තමයි ඔවුන් ජීවත් වුණේ.  

ඔවුනට වැදි, සිංහල හෝ දෙමළ බස කථා කිරීමට නොහැකි වුණු බවත් ඔවුන්ගේ බස තෙලිඟු බසට සමාන බවත් හියු නෙවිල් කියනවා. ලුවිස් සඳහන් කරන්නේ ඒ  කතාබහ කුරුල්ලන්ගේ හඬකට සමාන බවයි. තම සීමාව ආක්‍රමණය කරන වැද්දන්ට ඔවුන් පහර දීමට පුරුදුව සිටියා. මේ නිසා වැද්දන් දඩයමට හෝ පැණි එකතු කිරීමට නිට්ටෑවන් වාසය කරන සීමාවට ඇතුළුවීමට බිය වුණා.

 වැද්දන්, නිට්ටෑවන් මරා දමන අයුරු පී. ඊ. පී. දැරණියගලගේ චිත්‍රයක් – 1964 june, Loris

නිට්ටෑ සමූල ඝාතනය

හියූ නෙවිල්ට වැදි ජනතාවගෙන් දැන ගැනීමට ලැබුණු පුරාවෘත්ත අනුව නිට්ටෑ කරදරවලින් මිදීමට අවසානයේ වැදි පිරිස තීරණර කර තිබෙනවා. ඔවුන් ඒ සඳහා උපක්‍රමයක් භාවිත කළා.  නිට්ටෑවුන් සමඟ සටන් කොට බොහෝ නිට්ටෑවන් මරා දැමීමට වැද්දන් සමත් වෙනවා.  

අවසානයේදී ඉතිරි වූ නිට්ටෑවුන්ගේ ගැහැනුන්, මිනිසුන් හා ළමයින් ගුහාවක් තුළ සිර කර දින තුනක් පුරා දර අවුලුවා පණපිටින් පුළුස්සා ඝාතනය කර දැමුවා. ඉන් පසුව නිට්ටෑ තර්ජනයක් නැති ව නිදහසේ දඩයම් කරමින් දිවි ගෙවීමට වැද්දන්ට හැකියාව ලැබුණු බව පැවසෙනවා. 

 ස්පිට්ල්ට අනුව රාහු වලසාට සමාන නිට්ටෑවා – Philippe Coudray – journals.plos.org

රඹුක්වැල්ල සහ ස්පිට්ල්

කපිතාන් ඒ. ටී. රඹුක්වැල්ල, නිට්ටෑවන් ගැන  1963 දී ලංකා රාජකීය ආසියාතික සංගමයේ සඟරාවට ලිපියක් ලියමින් ඔවුන් වානර මානව විශේෂයක් බවට කරුණු ඉදිරිපත් කරනවා. මෙම මානව විශේෂය ඔස්ට්‍රලෝපිතකස් මානව විශේෂයට අයත්  බවට ඔහු විශ්වාස කරනවා.

වෛද්‍ය ආර්. එල්. ස්පිට්ල්,  රඹුක්වැල්ලගේ න්‍යායට එරෙහි මතයක් ඉදිරිපත් කරනවා. ස්පිට්ල් සඳහන් කරන්නේ  වඳවී ගොස් ඇතැයි සැලකෙන රතු ලෝම සහිත රාහු වලසාට නිට්ටෑවා සමාන බව යි.   නමුත් එම මතයට එතරම් පිළිගැනීමක් නම් ලැබුණේ නැහැ.

නිට්ටෑවන් වන්දනාමාන කරන ලදැයි සැලකෙන ගලින් තැනූ පූජාසන කීපයක් 1963 මැයි මාසයේදී නැගෙනහිර පළාතේ යාල වනයට යාබද මහලේනම කැලය මැදදී කපිතාන් රඹුක්වැල්ලට හමුවුණා. එහි ගල් ගුහා ගවේෂණය කළ රඹුක්වැල්ල ඒවායේ තිබී කබරගොයි අස්ථි ශේෂ, ගොළුබෙලි කටු, ඉබි කටු ආදියත් සොයාගත්තා.

එම  ඇටකටු නිට්ටෑවන් ආහාරයට ගෙන ඉවත දැමූ ඒවා බවයි ඔහු පවසන්නේ. ආචාර්ය නන්දදේව විජේසේකර ද 1964 දී මතයක් ඉදිරිපත් කර පවසන්නේ මේ මානවයන්  ජාවා, සුමාත්‍රා, අන්දමන් දූපත් ආදියේ තවමත් ජීවත්වන අප්‍රිකානූ නීග්‍රෝ මිනිසුන් වැනි ගෝත්‍රයක් බව යි. මෙසේ විවිධ මත ඉදිරිපත් වුණත් අප රටේ පුරාවිද්‍යාත්මක වශයෙන් නම් මෙවැනි මානව විශේෂයක් සිටි බවට කරුණු හෙළිදරව් වී නැහැ. ඒ ගැන විධිමත් පුරාවිද්‍යා ගවේෂණයක් පවා තව ම සිදුව නැහැ.

කවරයේ පින්තූරය: නිට්ටෑවාට සමාන බව කියන හෝමෝ ෆ්ලොරෙන්සින්සිස් මානව චිත්‍රයක්- reutes.com

මූලාශ්‍ර:

රත්නපුර දිස්ත්‍රික්කයේ අභිලේඛන සහ ස්මාරක- එච්. එම්. ජයන්ත විජේරත්න හේරත්

praja.lk

journals.plos.org

munchee-academic.tumblr.com

serendib.btoptions.lk

Related Articles