Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඩෙන්මාර්කය එක්සත් කළ බ්ලූටූත් රජු

බ්ලූටූත් කියන්නෙ ස්මාර්ට් ෆෝන් එකක් තියෙන හැම කෙනෙකුම වගේ අසා ඇති වචනයක්. අපේ ස්මාර්ට් ෆෝන් එකේ තිබෙන ෆයිල් එකක් අසල තියෙන තවත් ෆෝන් එකකට යවන්න අපට එම තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්.

බ්ලූටූත් තාක්ෂණයට නම යොදා තිබෙන්නේ ඩෙන්මාර්කය එක්සත් කරපු හැරල්ඩ් බ්ලූටූත් නම් වයිකිං රජුගේ නමින්. හැරල්ඩ් බ්ලූටූත් විසින් ඩෙන්මාර්කයේ විවිධ ගෝත්‍ර එක්සත් කළ අයුරින්, මෙම තාක්ෂණය විසින් ජනතාව එකතු කරන්නේ ය යන අදහසින් මෙම නම යොදාගත් බව යි කියවෙන්නේ.

වයිකිංවරුන්

වයිකිංවරුන් යනු ස්කැන්ඩිනේවියානු රටවල සිට අනෙක් යුරෝපීය ප්‍රදේශ කරා පැතිරුණ ජන කොටසක්. සාමාන්‍යයෙන් පොදුවේ වයිකිංවරුන්යැ යි ව්‍යවහාර කළ ද, ඔවුන් විශාල ජන කණ්ඩායම් ලෙස සංවිධානය වූයේ නැහැ. බොහෝ විට මෙවන් එක් වයිකිං කණ්ඩායමක් එක් නැවක හෝ නැව් කිහිපයක හෝ නැගුණ පිරිසකගෙන් සමන්විත වුණා.

වයිකිං යන වචනය නිර්මාණය වූ මූලය පිළිබඳ මත කිහිපයක් තිබෙනවා. ඉන් එක් මතයකට අනුව වයිකිං යන වචනය හටගන්නේ මුහුදු කොල්ලකරුවන්ට යෙදුණ නමකින්. මේ අනුව, වයිකිංවරුන් යනු මුහුදු කොල්ලකරුවන් වුණා.

ස්කැන්ඩිනේවියානු රටවල බොහෝ ප්‍රදේශයන්හි එතරම් ඉඩකඩ නැහැ. මේ නිසා, ජනගහනය ඉහළ යද්දි, අලුත් ඉඩම් සහ ධනය සොයාගෙන වයිකිංවරුන් නැව් නැග්ගා. ඒ අයුරින් තමයි ඔවුන් උතුරු යුරෝපයේ සහ බ්‍රිතාන්‍ය දූපත්වල වෙරළබඩ ප්‍රදේශයන් කරා පැමිණියේ.

බ්ලූටූත්ගේ පාලනයට නතු වූ බව සැලකෙන ප්‍රදේශ​ (Wikimedia Commons)

කෙසේ වෙතත්, ඩෙන්මාර්කයේ සහ දකුණු ස්වීඩනයේ වැඩිපුර ඉඩම් තිබෙන හෙයින් එම ප්‍රදේශයන් හි වඩා විශාල ජනාවාස නිර්මාණය වුණා. එහෙත්, මුල්කාලීනව එහි ද විශාල රාජධානි වූයේ නැහැ. ඒ වෙනුවට විවිධ ප්‍රදේශ විවිධ පාලකයන් විසින් පාලනය කළා. වර්තමාන නෝර්වේ හි අගනුවර වන ඔස්ලෝ නගරය පිහිටි ප්‍රදේශය ආශ්‍රිතව ද මෙසේ තරමක ජනාවාස බිහිවුණා.

චාර්ලිමේන්

ඩේන්වරුන් අතර එක්සත්කමක් වර්ධනය වීමට බලපෑ එක් හේතුවක් වූයේ, ෆ්‍රෑන්ක්වරුන් විසින් ස්ථාපිත කරන ලද රාජ්‍යයේ සිදුවෙමින් පැවති සිද්ධි මාලාව යි. ක්‍රි.ව. 768 දී එහි ශ්‍රේෂ්ඨ චාර්ල්ස් හෙවත් චාර්ලිමේන් රාජ්‍යත්වයට පැමිණියා. රෝමන් අධිරාජ්‍යයේ උරුමක්කාරයා ලෙස ද කතෝලික ධර්ම ප්‍රචාරයේ ඒජන්තයකු ලෙස ද තමන්ව සැලකූ ඔහු, උතුරුදිග ජර්මනියේ සැක්සන්වරුන් මර්දනය කිරීමට අදහස් කළා. මේ අනුව 772 වසරේ ජර්මනියේ ෆ්‍රෑන්ක්වරුන් හා සැක්සන්වරුන් අතර සටන් ඇති වුණා.

ක්‍රි.ව. 777 දී සැක්සන් නායක විඩුකින්ඩ් ඩෙන්මාර්කය වෙත පලා ගියා. මේ අතර ඩෙන්මාර්කයේ ප්‍රදේශයක පාලකයා වූ ගොඩ්ෆ්‍රෙඩ් නම් රජු දකුණුදිගට හමුදා මෙහෙයවා චාර්ලිමේන්ට සහාය දැක්වූ සැක්සන්වරුන් ඇතමෙක්ට පහර දුන්නා. මෙසේ සිදුකළ එක් ප්‍රහාරයක දී එහි වූ ප්‍රධාන වෙළෙඳ වරායක් විනාශ කිරීමට ගොඩ්ෆ්‍රෙඩ් සමත් වුණා. එයින් පසු ප්‍රදේශයේ ප්‍රධානම වරාය බවට පත් වූයේ ඩෙන්මාර්කයේ හෙඩෙබි නගරය යි.

හෙඩබි සිට උතුරු මුහුද දක්වා දිවෙන ආරක්ෂක පවුරක් ඉදිකිරීමට ඩෙන්මාර්ක වැසියන් කටයුතු කළා. ඒ අනුව සැක්සන් සහ ෆ්‍රෑන්ක් ප්‍රහාරවලින් ඔවුන් ආරක්ෂාව සලසා ගත්තා.

කතෝලික ධර්ම ප්‍රචාරය

චාර්ලිමේන් 814 වසරේ දී මියගිය අතර, ඔහුගේ පුත්‍රයා වූ ධාර්මික ලුවී (Louis the Pious) අධිරාජයා ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා වැඩි අවධානය යොමු කළා. 826 දී එවකට 25 හැවිරිදි මිෂනාරියකු වූ අන්ස්කාර් නමැත්තා හෙඩබි වෙත යැවීමට ලුවී ක්‍රියා කළා. වසර කිහිපයකට පසු අන්ස්කාර්ව එළවා දැමීමට ඩේන්වරුන් ක්‍රියා කළා.

අන්ස්කාර් හැම්බර්ග් නගරය කේන්ද්‍ර කරගනිමින් උතුරට ධර්ම ප්‍රචාරය කිරීමට වුණා. මේ අතර 840 දී ලුවී මියගිය අතර ඔහුගේ පුතුන් තිදෙනා සිහසුනට සටන් කිරීමට වුණා. මේ අවසරයෙන් ඩේන්වරුන් 849 දී හැම්බර්ග් නගරයට පහර දුන්නා. අන්ස්කාර් දිවි ගලවාගෙන පලා යාමට සමත් වුණා.

හැරල්ඩ් බ්ලූටූත් බෞතිස්ම කිරීම​ (Public Domain)

මේ අතර ඩේන්වරුන්ගේ ප්‍රධාන රජු බවට ජ්‍යෙෂ්ඨ හොරික් (Horik the Elder) පත් වුණා. ෆ්‍රෑන්ක්වරුන් ද සිය බල අරගලය අවසන් කරගත්තා. මේ අනුව නැවතත් ෆ්‍රෑන්ක්වරුන් ශක්තිමත් ලෙස නැගී සිටියා. ඔවුන් සමග සටන් කිරීමට නොකැමැති වූ හොරික් මිෂනාරීන්ට ඩෙන්මාර්කයට පැමිණීමට ඉඩ දුන්නා.

853 දී ජ්‍යෙෂ්ඨ හොරික් මියගිය අතර, ඔහුගේ පුතුන් අතර සිහසුනට සටන් ඇතිවුණා. 853 වෙද්දී කනිෂ්ඨ හොරික් නම් පුත්‍රයා එයින් ජයගෙන සිහසුනට පත් වුණා. ඔහුගේ සහෝදරයන් මරණයට පත් වූයේයැ යි විශ්වාස කෙරුණ ද, එය ස්ථිර නැහැ. ඇතැම් විට ඔවුන් ඩෙන්මාර්කයේ වෙනත් ප්‍රදේශ පාලනය කරන්නට ඇතැ යි සිතිය හැකියි. ස්ථිරවම කිව හැකි කරුණ වන්නේ ඩෙන්මාර්ක ප්‍රදේශයන් හි ප්‍රධාන රජකු සිටිය ද, අවශේෂ රජවරුන් තවමත් සිටිය බව යි.

ස්වීඩන පාලනය හා ගෝර්ම්

ක්‍රි.ව. 900 පමණ වන විට දකුණුදිග ස්වීඩනයේ වැසියන් සිය බලය දකුණු දෙසට පැතිරුවා. ඔවුන් වෙළෙඳ නගරයක් වූ හෙඩබි දෙස ගිජුව බලා සිටි අතර 900 වසර ආසන්න කාල වකවානුවක එය අල්ලා ගත්තා. කෙසේ වෙතත්, ඩෙන්මාර්කයේ ජට්ලන්ත අර්ධද්වීපය හෝ අනෙක් දූපත් කෙරෙහි ස්වීඩන වැසියන් එතරම් අවධානයක් යොමු කළ බවක් දිස් වන්නේ නැහැ.

මෙයින් පසු ගත වූ සමය එතරම් පැහැදිලි නැතත්, ක්‍රි. ව. 935 වෙද්දී හෙඩබි නැවතත් ඩෙන්මාර්ක් ජාතිකයන් අතට පත් වූ බව පෙනෙන්නට තිබෙනවා. එමෙන්ම, ඩෙන්මාර්කයේ ප්‍රධාන පාලකයා බවට වයෝවෘද්ධ ගෝර්ම් (Gorm the Old) පත්ව තිබුණා. ඔහු මිෂනාරීන් රටින් පලවා හැරියා.

මෙකල ඩෙන්මාර්කයේ අවශේෂ පාලකයන් ලෙස ඉතිරිව සිටියේ ජට්ලන්ත අර්ධද්වීපයේ උතුරු ප්‍රදේශය පාලනය කළ අයකු පමණයි. ගෝර්ම් එම පාලකයාගේ දියණිය වූ තයිරි විවාහ කරගත්තා. ඔවුන්ගේ පුත්‍රයා හැරල්ඩ් බ්ලෝටන්ඩ් (ඉංග්‍රීසියෙන් හැරල්ඩ් බ්ලූටූත්) නම් වුණා. අවපැහැ ගැන්වී නිල් පැහැයට හුරු වර්ණයකින් දිස්වන දතක් තිබීම ඔහුට මෙම නම ලැබීමට හේතුව වන්නට ඇතැ යි සිතිය හැකියි.

කතෝලික දහම වැළඳගැනීම

හැරල්ඩ් බ්ලූටූත් සිය මවගේ සහ පියාගේ උරුමයන් හේතුවෙන් ඩෙන්මාර්කය එක්සත් කළා. එමෙන්ම, ඔහු සිය පියාගේ ප්‍රතිපත්තිය වෙනස් කරමින් කතෝලික දහම වැළඳ ගත්තා.

හැරල්ඩ් කතෝලික දහම වැළඳගැනීම දේශපාලනික අවශ්‍යතාවයක් මත සිදුවූවක්යැ යි විශ්වාස කළ හැකියි. මේ වන විට ඔහුගේ රාජ්‍යයට දකුණුදිග ප්‍රදේශයන් හි කතෝලික දහම පැළපදියම් වෙමින් තිබුණා. එහෙයින් ඔවුන් හා දිගින් දිගටම ගැටීම දිගුකාලීනව අවාසිදායක බව හැරල්ඩ් තේරුම් ගත්තා. එමෙන්ම, ඩෙන්මාර්කයෙන් උතුරේ ප්‍රදේශ කරා සිය බලය පැතිරවීමට ආගම අවියක් කරගත හැකියැ යි ඔහු කල්පනා කළා. තමන් ආගම වෙනුවෙන් භූමිය දිනාගන්නේයැ යි අනෙක් කතෝලික රටවලට ඒත්තු ගැන්වීමට හැකි වීම ඔහු ලද වාසිය යි.

හැරල්ඩ් සිය රාජ්‍යයේ ආරක්ෂාව තර කළා. ප්‍රධාන බලකොටු පහක් රටෙහි වැදගත් ස්ථානවල ඉදිකළ ඔහු සිය බලය තහවුරු කරගත්තා. ඉන්පසු ඔහු වර්තමාන ඔස්ලෝ ප්‍රදේශය කරා සිය බලය පැතිර වීමට උත්සාහ කළා.

ක්‍රි.ව. 970 ගණන්වල ඔහු එම ප්‍රදේශයේ බලය අල්ලා ගත් බව පෙනී යනවා. එහෙත්, ඔහුගේ බලය එම ප්‍රදේශයේ එතරම්ම හොඳින් තහවුරු වූ බව පෙනී යන්නේ නැහැ.

කෙසේ වෙතත්, ඩෙන්මාර්කය එක්සත් කිරීම සම්පූර්ණ කර, එය ශක්තිමත් රාජ්‍යයක් ලෙස ස්ථාපිත කිරීමට කටයුතු කිරීම පිළිබඳ මෙන්ම එරට ක්‍රිස්තියානිකරණය කිරීම පිළිබඳ ද හැරල්ඩ් බ්ලූටූත් ඉතිහාසයේ සිය නම සටහන් කළා.

කවරයේ පින්තූරය: චිත්‍ර ශිල්පියකු හැරල්ඩ් බ්ලූටූත් සිතුවමට නැගූ අයුරු (Public Domain)

මූලාශ්‍රයයන්:

  1. A Brief History of Vikings - Jonathan Clements
  2. Tech History: How Bluetooth got its Name (EE Times)

Related Articles