සිරිසඟබෝ රජතුමා හිස දන්දුන් හත්ථිකුච්ඡි විහාර බිම

ඉතාමත් දැහැමි පාලකයෙකු වුණු සිරිසඟබෝ රජතුමා දුගී මඟියෙකුට සිය හිස දන්දුන් ආකාරය ගැන ඔබ අසා ඇති. එදා සිරිසඟබෝ රජතුමා හිස දන් දුන් ස්ථානය පිළිබඳව මතයන් 2ක් සමාජගතව තිබුණා. ඉන් එක් මතයක් වුණේ හිස දන්දීම සිදුකළේ ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල විහාරයේ දී බව යි. එම නිසා අත්තන්ගලු විහාර භූමියේ රජු හිස දන්දෙන අවස්ථාව දැක්වෙන පිළිරුවක් ද ඉදිකර තිබෙනවා. එම සිදුවීම සිදුවුණු බවට අනුමාන කළ අනිත් පුදබිම වුණේ හත්ථිකුච්ඡි රජමහා විහාරය යි. පසුකලෙක ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සිදුකළ ගවේශනවල ප්‍රතිඵලවලට අනුව සිරිසඟබෝ රජතුමා හිස දන්දුන් නියම ස්ථානය හත්ථිකුච්ඡි විහාරය බව අනාවරණය වුණා.

සිරිසඟබෝ රජතුමාගේ කතාව 

පළමු සංඝතිස්ස රජතුමාට, සිරිසඟබෝ සහ ගෝඨාභය නමින් පුතුන් දෙදෙනෙකු සිටියා. සංඝතිස්ස රජතුමාගේ මරණයෙන් පසුව වැඩිමහල් පුත් සිරිසඟබෝට රජකම හිමි වුණා. සිරිසඟබෝ කුඩා කාලයේ සිටම සාමකාමී පුද්ගලයෙකු වුණා. ඔහු සතුව තිබුණු නිර්ව්‍යාජ, අවංක, සංවේදී ගතිගුණ නිසා ඔහුට රාජ්‍ය පාලනය නිසි පරිදි සිදු කිරීමට නොහැකි වනු ඇති බව ඔහුගේ සොයුරු ගෝඨාභයගේ විශ්වාසය වුණා. එම නිසා ගෝඨාභය බලා සිටියේ සිරිසඟබෝ රජතුමාගේ පාලනය බිඳවැටීමෙන් පසුව රජකම ලබාගැනීම සඳහා යි. නමුත් සැවොම විමතියට පත් කරමින් ඔහු රටේ පාලන කටයුතු ඉතා සාමකාමීව සහ සාර්ථකව ඉටු කරනු ලැබුවා. සිරිසඟබෝ රජතුමා හොඳින් පාලන කටයුතු ගෙන ගිය නිසා ඔහුගෙන් රජකම ලබාගැනීමට නොහැකි බව තේරුම්ගත් ගෝඨාභය කුමරු රජය පෙරළා දැමීමට පිඹුරුපත් සකස් කළා. 

ගෝඨාභය මෙහෙයවූ කැරළිකරුවන් අගනුවර දෙසට පැමිණෙන විට සිරිසඟබෝ වෙස්වළාගෙන මාලිගයෙන් පිටව ගියේ යුද්ධයක් ඇතිවී ලේ වැගිරීමක් සිදුවීම වැලැක්වීමේ අරමුණෙන්. ඉන්පසු අගනුවර අල්ලාගත් ගෝඨාභය කුමරු රාජ්‍යයත්වයට පත්වුණත්, සිය සොයුරා සේනා සංවිධානය කර තමන්ට පහරදෙනු ඇති බවට අනුමාන කළා. එම නිසා ඔහු සිරිසඟබෝ රජුගේ හිස ගෙනැවිත් දෙන කෙනෙකුට රන් කහවණු 1000ක ත්‍යාගයක් ලබාදෙන බවට රටට නිවේදනය කළා. එය ඇසූ සමහර මිනිසුන්, මිනිසුන් මරා, ඔවුන්ගේ හිස් සිඳ, ඒවා රජුගේ බව කියමින් හිස් රජවාසලට රැගෙන ඒමට පටන් ගත්තා. 

මේ කලබල අතරතුර රජතුමා තාපසයෙකු ලෙස වෙසෙමින් සිටි ස්ථානයට දුගී මඟියෙකු පැමිණියා. එම මඟියා සිය බත්මුල ආහාරයට ගැනීමට සූදානම් වුණු අවස්ථාවේ තාපසයා දැක, සිය බත්පතෙන් කොටසක් පූජා කළා. තාපසයෙකු ලෙසින් වෙස්වළාගෙන සිටි සිරිසඟබෝ රජතුමා අනුරාධපුරය පිළිබඳව තොරතුරු විමසා සිටියේ මේ අතරේ යි. මඟියා අනාවරණය කළ තොරතුරු ඇසීමෙන් පසුව ශෝකයට පත්වුණු තාපසයා, තමා නිසා නිකරුණේ මිනිසුන් මරණයට පත්වීම වැලැක්වීමට කටයුතු කළේ මඟියාට සිය අනන්‍යතාව හෙලිදරව් කිරීම මඟින්. 

සිරිසඟබෝ රජු ඉන්පසු සිය කඩුවෙන් හිස සිඳ, එය මඟියාට ලබාදුන් බවයි ප්‍රවාදයන්ගේ සඳහන් වන්නේ. එවිට මඟියා රජුගේ හිස රජවාසලට ගෙන ගොස් රන් කහවණු 1000ක් ලබාගත් බව වංශ කතාවල සඳහන් වනවා.

සිරිසඟබෝ රජතුමා හිස දන්දුන් අවස්ථාව දැක්වෙන අවස්ථාවක් (Newsfirst)

හත්ථිකුච්ඡි විහාරය හිස දන්දුන් ස්ථානය බව පිළිගැනීමට හේතු

1) අනුරාධපුරයේ සිය රජකම අතහැර දැමූ සිරිසඟබෝ රජතුමා, දහවල් හෝරාව පසුවී අනුරාධපුර ඉසුරුමුණි  විහාරයෙන් දකුණු දිශාවට පිටත්ව ගොස්, රාත්‍රිය වන විට ළඟාවුණු ස්ථානයේ භාවනානුයෝගීව සිටි බව වංශකථාවල සඳහන් වනවා. 

අනුරාධපුර නගරයේ සිට දකුණු දිශාවට වන්නට සැතපුම් 13ක් පමණ ඈතින් පිහිටි හත්ථිකුච්ඡි විහාරයට හෝරාවක පමණ කාලයකින් පාගමනින් සේන්දු විය හැකියි. නමුත් ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබෙන අත්තනගල්ල විහාරයට එසේ ළඟා විය නොහැකියි.

2) අනුරාධපුරයේ සිට පැමිණි බත්මුලක් රැගත් මඟියා, හෝරාවක පමණ ගමනකින් පසුව සිය දිවා ආහාරය ගැනීමට පර්වතයක මුදුනට ගිය අවස්ථාවේ භාවනානුයෝගීව සිටි සිරිසගබෝ රජු හමු වුණා. බත්මුලක් රැගෙන පා ගමනින් පැමිණි මඟියාට හෝරාවකින් ළඟා විය හැක්කේ හත්ථිකුච්ඡි විහාරයට යි. එසේම හත්ථිකුච්ඡි විහාර බිමේ අදටත් ගල් පර්වත රැසක් දැකිය හැකියි.

3) සිරිසඟබෝ රජුගේ හිස දුගියා විසින් ගෝඨාභය රජුට ගෙනවිත් දුන් පසු, ගෝඨාභය රජු සිරිසඟබෝ රජු හිස දන් දුන් ස්ථානයට පැමිණ හිස සුන් දේහය මිහිදන් කොට වටදාගෙයක්  සහිත චෛත්‍යයක් සහ බෝධිඝරයක් පිහිටවූ බව සඳහන් වනවා. මෙම විහාර භූමියෙහි ඊට අනුරූප නටඹුන් දැකගත හැකියි.

4) හත්ථිකුච්ඡි විහාර බෝධිඝරයහි අඩි තුනක් පමණ උස සහ අඩි අටක් පමණ දිග ගඩොලින් කළ චතුරස්‍රාකාර ඉදිකිරීමක් දැකගත හැකියි. ඉන් එක් පසෙක කවාකාර ගල් ස්ථම්භයක් තබා තිබෙන බව ද නිරීක්ෂණය කළ හැකියි. ශී‍්‍ර ලංකාවේ වෙනත් බෝධිඝරයක දක්නට නොහැකි ආකාරයේ ඉදිකිරීමක් වන එය සිරිසඟබෝ රජතුමා මිහිදන් කිරීමට තැනූවක් විය හැකි බව පුරාවිද්‍යාඥයන්ගේ මතය යි. 

5) සිරිසඟබෝ රජු හිස දන් දුන් ස්ථානයේ ‘ඉර හඳ නොදුටු පොකුණක්’ තිබුණු බව වංශකථාවල සඳහන් වනවා. හත්ථිකුච්ඡි විහාරයේ සිරිසගබෝ රජු විසින් හිස දන්දුන්නායැ යි සැලකෙන ඉසව්වේ එවැනි ස්වභාවික පොකුණක් පිහිටා තිබෙනවා. එම පොකුණට හිරුගේ හෝ සඳුගේ ඡායාව නොවැටෙන නිසා ඉර හඳ නොපෙනෙන පොකුණ ලෙසින් හඳුන්වනු ලබනවා. එසේම මෙම ලෙනට පහලින් පර්වතය පාමුල බෝධිඝරය පිහිටා තිබෙන අතර, ලෙනෙහි සිට අයෙකු බිමට වැටුණහොත් පතිත වන්නේ එම බෝධිඝරය පිහිටි ස්ථානයට යි.

හත්ථිකුච්ඡි විහාරයේ පර්වතය (vijaya)

ගමන් මාර්ගය 

කොළඹ සිට හත්ථිකුච්ඡි පුදබිමට පැමිණෙන සංචාරකයෙකු මුලින්ම ගල්ගමුව නගරයට පැමිණිය යුතු යි. ඒ සඳහා පහසුම ගමන් මාර්ගය වන්නේ අධිවේගී මාර්ගයේ කටුනායකට පැමිණ  ඉන් පසුව ගිරිඋල්ල, නාරම්මල, පාදෙණිය පසුකොට මහව හරහා ගල්ගමුවට පැමිණීම යි. ගල්ගමුවට පැමිණීමෙන් පසු, ගල්ගමුව දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර් 7ක පමණ දුරක් තඹුත්තේගම දෙසට ගමන් කළ යුතු යි. ඉන් අනතුරුව  මහගල්කඩවලින් වමට හැරී මහගල්කඩවල-වෙරවැව මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ ගිය පසුව ඓතිහාසික හත්ථිකුච්ඡි පුදබිම වෙත ළඟාවිය හැකියි.

විහාරයේ ඉතිහාසය 

පාලි භාෂාවෙන් ‘හත්ථිකුච්ඡි’, නැත්තම් ඇත් කුස් වෙහෙර, ලෙසින් හඳුන්වනු ලැබූ මෙම විහාරයට එම නාමය ලැබී ඇත්තේ දණින් වැටී සිටින හස්තියෙකු මෙන් දිස්වුණු පර්වතයක් විහාර භූමියේ පිහිටා තිබීම නිසා යි. අක්කර 100කට වඩා විශාල භූමියක පිහිටා ඇති මෙම විහාරයේ ඉතිහාසය ක්‍රි.පූ 3 වන සියවස දක්වා දිව යනවා. විහාර බිමේ ඇති නටබුන් සහ ශිලා ලේඛනවලින් හමුවී ඇති සාධකවලට අනුව මෙම විහාරය ඉදිකර තිබෙන්නේ මිහිඳු මහරහතන්වහන්සේ ලංකාවට වැඩම කළ යුගයේ දී යි. හත්ථිකුච්ඡි විහාරයට එතරම් පැරණි ඉතිහාසයක් තිබුණත් එහි නාමය මහාවංසය තුළ ලියැවී ඇත්තේ පසු කලෙක සිදුවුණු සිරිසඟබෝ රජතුමාගේ හිස දන්දුන් සිදුවීම නිසා යි.

විහාර භූමියේ ඇති නටබුන් 

අක්කර 100කට වැඩි භූමියක පිහිටා ඇති මෙම පුදබිම තුළ ගොඩනැගිලි රැසක නටබුන් දක්නට ලැබෙනවා. නමුත් තවමත් ඉන් වැඩි කොටසක අනන්‍යතාවය තහවුරු කරගෙන නැහැ. අනන්‍යතාවය තහවුරු කරගත් නටබුන් අතරට පහත දැක්වෙන ගොඩනැගිලි සහ නිර්මාණ අයත් වනවා.

1) ලෙන් විහාරය 

2) පධානඝරයක නටබුන් 

3) පොකුණු කිහිපයක් 

4) වටදාගෙය 

5) බෝධිඝරය 

6) ජන්ඨාඝරය 

7) පොහොයගෙය 

8) පිළිමගෙය 

මෙම ස්ථානයේ මුල්ම වරට කැණීම් සිදුකරන ලද්දේ පුරාවිද්‍යාඥයෙකු වුණු මහාචාර්ය සෙනරත් පරණවිතාන යි. මෙම ස්ථානය හත්ථිකුච්ඡි විහාරය ලෙස නම් කරන ලද්දේත් එතුමා යි. මෙම විහාර භූමිය තුළ සෙල්ලිපි විශාල ප්‍රමාණයක් තිබෙන ගල්තලාවක් ද පිහිටා තිබෙනවා. තවමත් මෙහි කැණීම් කටයුතු සම්පූර්ණයෙන්ම නිමාවට පත්වී නැහැ. එම නිසා අනාගතයේ දීත් මෙම භූමියෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති දේවල් හමුවීමට තිබෙන ඉඩ වැඩියි. ඔබ තවමත් මෙම පුදබිමට ගොස් නැත්තම් අනුරාධපුරයෙහි සංචාරය කරන අවස්ථාවක මෙහි ගොස් ඓතිහාසික නටබුන් දැකබලා ගන්න.

විහාර බිමේ නටබුන් (vijaya)

කවරයේ ඡායාරූපය- හත්ථිකුච්ඡි විහාරය (Wikimedia)

මූලාශ්‍රයයන්- මහාවංසය, හත්ථිකුච්චි විහාරය-පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

Related Articles