Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ධූමකේතුවක පැමිණීමෙන් දිවි නසාගත් කල්ලිය: Heaven’s Gate

හේල්-බොප් වල්ගාතරුව “20වන සියවසේ ධූමකේතුව” වශයෙන් හැඳින්වූවාට වරදක් නැහැ. මාස 18ක් පියවි ඇසට නිරීක්ෂණය කළ හැකි ව තිබුණු මෙය, එවර හිරුට ආසන්න ම ස්ථානයට පැමිණියේ 1997 අප්‍රේල් 1 වන දා යි. වසර 2500කට මඳක් වැඩි සිය ගමනේ යෙදෙමින් සිටි මේ ධූමකේතුව සමග ම තමන්ගේ පෘථිවි දිවිය නිමා කරන්නට එක්තරා ආගමික කණ්ඩායමක් තීරණය කර තිබුණා. ඔවුන් ව පසුව හැඳින්වුණේ “Heaven’s Gate” නමින්.

1997 දී කැලිෆෝර්නියාවේ ජෝෂුවා ට්‍රී ජාතික උද්‍යානයට හේල්-බොප් දර්ශනය වූ අයුරු  (Wally Pacholka)

1997 මාර්තු 26 වන දා එක්සත් ජනපදයේ සැන් ඩියේගෝවේ රෑන්චෝ සැන්ටා ෆේහි විසල් නිවෙසක් තුළ තිබී, එක ම ආකාරයේ ඇඳුම් සහ නයිකි පාවහන් පැළැඳි 39 දෙනෙකුගේ මළ සිරුරු එහි පොලීසිය විසින් සොයාගනු ලැබුවා. මොවුන් Heaven’s Gate සාමාජිකයින් බව අනාවරණය වී තිබුණා. සිදුව තිබුණේ කුමක් ද?

නෙට්ල්ස් සහ ඇපල්වයිට්

ප්‍රොතෙස්තන්ත්‍ර පූජකයෙකුගේ පුත්‍රයෙකු ද, හිටපු සොල්දාදුවෙකු ද වූ මාර්ශල් ඇපල්වයිට්ට, 1970 ගණන්වල දී හෙදියක වූ බොනී නෙට්ල්ස් ව හමුවුණේ ඔහු මානසික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටිය දී යි. දෙදෙනා තුළ ම වූ ආගම කෙරෙහි වූ උනන්දුව හා පිටසක්වළ ජීවීන් පිළිබඳ ඇති කුහුල මොවුන් ව හොඳ මිතුරන් බවට පත්කළා.

ඇපල්වයිට් සහ නෙට්ල්ස් 1975 ඔක්තෝබරයේ දී (The Getty)

මේ දෙදෙනා බයිබලය ගැඹුරින් අධ්‍යයනය කළ අය යි. එම අධ්‍යයනයන් මත මොවුන් තීරණය කරන්නේ තමන් නව තෙස්තමේන්තුවේ කියැවෙන අනාගත වක්තෘවරුන් දෙදෙනෙකු බව යි. තමන්ට අනෙකුන්ට වඩා ඉහළ මනසක් ඇති බව ඔවුන් විශ්වාස කළා. පිටසක්වළ ජීවීන්ව විශ්වාස කළ මේ දෙදෙනා ඔවුන්ගේ නියෝජිතයින් සේ පෙනී සිටිමින්, තමන්ගේ දේශනා විශ්වාස කරනා පිරිස් එකතු කරගනිමින් දශක දෙකකට අසන්න කාලයක් මුළු දකුණු කැලිෆෝනියාවේ ම සංචාරය කළා.

1985 දී නෙට්ල්ස් මියගිය නමුත් ඇපල්වයිට් සිය කටයුතු ඉදිරියට ම ගෙන ගියා. 1990 ගණන්වල දී අන්තර්ජාලය හඳුන්වාදුන් පසු සිය විශ්වාසය ජනයා අතරට ‍රැගෙන යන්නට ඇපල්වයිට්ගේ කණ්ඩායම භාවිතා කළ මාධ්‍යය වූයේ එය යි. සංවිධානය නඩත්තු කෙරුණේ සාමාජිකයින් විසින් වෙබ් පි‍ටු නිර්මාණය කිරීමෙන් උපයාගත් මුදලෙන්.

ඇපල්වයිට් දේව මෙහෙයක් පවත්වමින් (Bizarrepedia)

“Higher Source”

ඇපල්වයිට් තමා ව හඳුන්වාගත්තේ ජේසුතුමන්ගේ නැවත ආගමනය ලෙස යි. දෙවියන්වහන්සේ යනු පිටසක්වළ ජීවියෙකු බවත්, යහපත් පිටසක්වළ ජීවීන් සහ අයහපත් පිටසක්වළ ජීවීන් සිටින බවත්, ලෝකාවසානය නුදුරු බවත් ඔහු තම අනුගාමිකයින්ට ප්‍රකාශ කළා. තමන් ව කෙදිනක හෝ මරා දැමෙනු ඇති බවත්, තමන්ගේ ආත්මයන් ‍රැගෙන යෑමට පිටසක්වළ ජීවීන් පැමිණෙනු ඇති බවත් ඇපල්වයිට් සහ නෙට්ල්ස් පෙර සිට ම විශ්වාස කළ අතර, දැන් “Higher Source” යනුවෙන් තමන් ව හඳුන්වාගත් මේ ආගමික කල්ලිය ද ඇපල්වයිට්ගේ එම විශ්වාසයන් අනුමත කළා.

රෑන්චෝ සැන්ටා ෆේහි පිහිටි Higher Sourceහි නිවෙස, 1997 මාර්තු 27 දා  (Mirror)

’90 ගණන්වල මැදක් යන විට Higher Source කණ්ඩායම අන්තර්ජාලයට එක් කළ වීඩියෝ හා අනෙකුත් ප්‍රකාශයන් නිසා තවත් පිරිස් ඔවුන් හා එක්වෙමින් සිටියා. ඔවුන් තම වෙබ් අඩවියට එක්කළ විඩියෝ බොහොමයකින් කියැවුණේ ඉදිරියට පැමිණීමට නියමිත ව තිබූ හේල්-බොප් ධූමකේතුව සමග ඔවුන්ගේ විමුක්තිය හා ස්වර්ගයට මාර්ගය විවර වන බව යි.

1996 දී පමණ සැන් ඩියේගෝවේ රෑන්චෝ සැන්ටා ෆේ ප්‍රදේශයෙන් විශාල නිවෙසක් කුලියට ගත් ඔවුන් තම “ආරාමය” එහි පිහි‍ටුවාගත්තා. ඇපල්වයිට් සහ ඔහුට සමීපතම සාමාජික සාමාජිකාවන් පිරිසක් මෙහි නවාතැන් ගත් අතර, ඔවුන්ගේ අන්තර්ජාල ක්‍රියාකාරකම්වල මූලස්ථානය එය බවට පත්වුණා. මේ දින වන විට ඔවුන්ගේ වෙබ් අඩවියේ “ස්වර්ගයේ ගේට්‍ටු වසාදැමීමක්” (Closure to Heaven’s Gate) පිළිබඳ ව නිතර සඳහන් කෙරුණා.

අදටත් දැකිය හැකි, Heaven’s Gate වෙබ් අඩවියෙහි පළ වූ අවසන් නිවේදනය (heavensgate.com)

ඔවුන්ගේ විශ්වාසයන්

Higher Source කල්ලියට මූලික විශ්වාසයන් කීපයක් ම තිබුණා. පෘථිවිය ඉතාමත් ම ඉක්මනින් “පිරිසිදු කර” දැමෙන බවත්, එයින් ගැලවිය හැක්කේ පෘථිවිය හැරයෑමෙන් පමණක් බවත්, ශරීරය වාහනයක් පමණක් බවත්, ආත්මය ගමන් කරන බවත් යන විශ්වාසයන් සංවිධානයේ පදනම වුණා.

සාමාන්‍ය මිනිසුන්ට වඩා මානසික ව ඉහළ මට්ටමකට පත්වීමට පෘථිවියට ඇති සියලු බැඳීම් අත්හල යුතු බව ඔවුන් විශ්වාස කළා. ඒ සඳහා තම පවුල, ‍රැකියාව, මිතුරන්, මුදල් පමණක් නොව, තම ලිංගිකත්වය පවා අත්හල යුතු වුණා. තමන් උපයන සෑම මුදලක් ම සංවිධානයට බැර කළ යුතු වූ අතර, සියලු ගනුදෙනු ලේඛනගත කළ යුතු වුණා.

Heaven’s Gate කල්ලියට නව සාමාජිකයින් බඳවාගැනීමේ අරමුණින් අන්තර්ජාලයට නිකුත් කෙරුණු විඩියෝවක ඇපල්වයිට් පෙනී සිටියා (YouTube/JayDowns)

ලිංගික සිතුවිලි ඇතිවීම වැළැක්වීම සඳහා ක්ෂණික ආහාර ගැනීමෙන් වැළකීම සහ සිරුර විරේක වන ඖෂධ නිතර ලබාගැනීම කළ යුතු වුණා. ඇපල්වයිට් ද ඇතුළු ඇතැමෙක් සිය ලිංගික අවයවයන් පවා ඉවත් කළේ තමාට ලිංගික හැඟීම් ඇතිවීම වැළැක්වීමට යි.

මීට වසර මිලියන ගණනකට පෙර පෘථිවියට පැමිණි පිටසක්වළ ජීවීන් විසින් මනුෂ්‍ය වර්ගයා නිපදවූ බවත්, ඔවුන් ඉදිරියේ දී නැවත පැමිණ උසස් මානසික තත්ත්වයකට එළැඹිය හැකි මිනිසුන් කීපදෙනෙකු පමණක් ඔවුන් හා ‍රැගෙන යන බවත් ඇපල්වයිට්ගේ කණ්ඩායම විශ්වාස කළා. එම ‍තෝරාගත්තවුන් තමන් බව යි ඔවුන් සැලකුවේ.

1997 මාර්තුවේ දී මොවුන් සියලුදෙනාගේ ම අනාගතය තීරණය කළ “හෙළිදරව්වක්” පිටසක්වළ ජීවීන් විසින් ඇපල්වයිට්ට දැනුම් දී තිබුණා. ඒ, ‍තෝරාගත්තවුන් කණ්ඩායම වූ ඔවුන්ට පෘථිවිය හැර දා යෑමට කාලය එළඹ ඇති බවත්, ඔවුන් ගෙනයෑමට එන යානය හේල්-බොප් ධූමකේතුව පසුපසින් එන බවත්.

Heaven’s Gate Away Team

සියදිවි නසාගත්තවුන්ගේ සිරුරු ගෙන යෑමට පැමිණි ට්‍රක් රථයක් – 1997 මාර්තු 27 දා  (Santa Maria Times)

1997 මාර්තු 27 වන දා ලැබුණු 119 ඇමතුමකට අනුව සැන් ඩියේගෝ පොලීසිය විසින් රෑන්චෝ සැන්ටා ෆේහි නිවෙසකින් මළ සිරුරු 39ක් සොයාගත්තා. වයස 26 සිට 72 දක්වා වූ ගැහැණුන් 21 හා පිරිමින් 18කගේ, ඒ වන විටත් නරක් වෙමින් පැවැති සිරුරු එහි තිබුණා. එතෙක් කලක් එක්සත් ජනපදයේ සිදු ව තිබුණු විශාලතම සියදිවි නසාගැනීම එය බව පෙනෙන්නට තිබුණා.

සියදිවි නසාගෙන තිබුණේ Higher Source නමින් තමන්ව හඳුන්වාගත්, ඇපල්වයිට්ගේ සංවිධානයේ සාමාජිකයින් 39 දෙනෙක්. ඔවුන් තමන්ගේ ආහාරයට ෆීනොබාබිටල් මිශ්‍ර කර ලබාගෙන, ඉන්පසු තම හිස්වලට පොලිතීන් බෑගයක් දමාගෙන සියදිවි නසාගෙන තිබුණා. ඔවුන් සියලුදෙනා ම තම තමන්ගේ බංකු ඇඳන්වල එක ම ආකාරයේ කළු පැහැ ටී ශර්ට්, කලිසම්, සහ සපත්තු පැළැඳ මියගොස් සිටියා. පොලීසිය එහි පැමිණෙද්දී සෑම මළ සිරුරක් ම දම් පැහැ රෙද්දකින් වසා තිබුණා. ඔවුන් සෑම දෙනෙකුගේ ම අත්වල ගසා තිබූ බැජ් එකක, “Heaven’s Gate Away Team” යනුවෙන් සඳහන් වුණා. (Star Trek චිත්‍රපටවල “Away Team” යනුවෙන් හැඳින්වුණේ තම අභ්‍යවකාශ යානාවෙන් පිටත මෙහෙයුම්වලට යන කණ්ඩායමුයි).

“Heaven’s Gate Away Team” (Boing Boing)

ඇතැම් මළ සිරුරු නරක් ව තිබීමත්, ඇතැම්වා හොඳ තත්ත්වයෙන් තිබීමත් නිසා මොවුන් පිරිස එක ම අවස්ථාවක නොව, දින තුනක දී කණ්ඩායම් තුනක් ලෙස සියදිවි නසාගෙන තිබෙන බව පොලීසිය විසින් නිගමනය කළා. ඇපල්වයිට් මියගොස් තිබුණේ තෙවනි දිනයේ දී යි.

“අවසාන භෝජන සංග්‍රහය” සහ ඉන්පසු

තමා පිටසක්වළ ජීවීන් විසින් ‍තෝරාගන්නා ලද කණ්ඩායම ය යන විශ්වාසයෙන්, හේල්-බොප් සමග එන යානයකට නඟින බලාපොරොත්තුවෙන් සියදිවි නසාගැනීමට පෙර, ඇපල්වයිට් හා කණ්ඩායම අවසන් භෝජන සංග්‍රහයක් සඳහා ආසන්නයේ පිහිටි අවන්හලකට ගොස් තිබුණා.

සැන් ඩියේගෝහි හදිසි මරණ පරීක්ෂක සහායකවරුන් එහි ගෙන එන ලද සිරුරු හසුරවමින්  (NY Daily News)

අවන්හලේ සේවිකාවක් පසු ව ප්‍රකාශ කර තිබුණේ මේ පිරිස එක ම ආහාර වර්ගය ඇනවුම් කළ අතර, ඔවුන් කිසිවෙකු දුකින් පසුවන වග පෙනෙන්නට නොතිබුණු බව යි.

සියදිවි නසාගන්නා අවස්ථාවේ සාමාජිකයින් 39 දෙනා ම පැළැඳ සිටියේ නයිකි සමාගම විසින් නිෂ්පාදිත සපත්තු යි. මේ සිදුවීමෙන් පසු නයිකි විසින් එම මොඩලයේ සපත්තු නිෂ්පාදනය නවතා දැමුවා.

සියදිවි නසාගත්තෙක් (The San Diego Union-Tribune)

ඇපල්වයිට් හා පිරිස 1997 දී “පිටසක්වළ යානයේ නැඟී ගියත්”, එම කණ්ඩායමේ දෙදෙනෙකු ඔවුන් හා නොගොස් පෘථිවියේ නැවතුණා. ඔවුන් දෙදෙනා විසින් පවත්වාගෙන යන Heaven’s Gateහි වෙබ් අඩවිය තවමත් දක්නට පුළුවන්.

මූලාශ්‍රයයන්:

nydailynews.com

sandiegouniontribune.com

santamariatimes.com

edition.cnn.com

nbcchicago.com

sandiegoreader.com

Related Articles