ජර්මානු විදුලි වේග ප්‍රහාරවල මහමොළකරු: හයින්ස් ගුඩේරියන්

දෙවන ලෝක යුද්ධයේ ආරම්භක වසර කිහිපයේ දී  නාසි ජර්මනිය යුරෝපයෙන් විශාල කොටසක් ආක්‍රමණය කරන්නේ ආයාසයකින් තොරව යි. මුළු ලොව ම විස්මයට හා භීතියට පත් කරමින් සිදු වූ ඔවුන්ගේ අධිවේගී ආක්‍රමණවලට පිටුවහලක් වූයේ මනා ලෙස සංවිධානය කළ යුද ටැංකි සේනාංක යි. පළමු ලෝක යුද්ධයයේ දී මිත්‍ර හමුදා යුද ටැංකි යොදා ගත් ආකාරය ඉතා උනන්දුවෙන් අධ්‍යයනය කළ එක්තරා ජර්මානු නිලධාරියකු ඒ පිටුපස සිටියා.

එතෙක් කල් අසරු සේනාංක සහ පාබල හමුදාවන්ගේ සහායක උපකරණයක් ලෙස භාවිත කළ යුද ටැංකිය පැන්සර්  සිද්ධාන්තය  යටතේ වෙනත් ම මාවතකට ගෙන ඒමට ඔහු කටයුතු කළා. මේ කතාව හයින්ස් ගුඩේරියන් නම් ඒ ජර්මානු නිලධාරියා ගැන යි.

මුල් ජීවිතය 

ප්‍රසියානු හමුදා නිලධාරියකුගේ පුතකු ලෙස හයින්ස් ගුඩේරියන් 1888 ජූනි මස 17 වනිදා  එවකට  ජර්මනියේ කුල්ම් නගරයේ උපත ලබනවා. කුඩා කල සිට ම හමුදා පරිසරයක හැදී වැඩෙන ගුඩේරියන්, 1903 දී හමුදා ශිෂ්‍යභට පාසලකට ඇතුළත් වෙනවා. 1907 දී ඔහු කැඩෙට් භටයකු ලෙස දසවන හැනෝරියන් පාබල බළඇණියට ඉනික්බිති එකතු වෙනවා.

1908 ජනවාරි මසදි ගුඩේරියන් දෙවැනි ලුතිනන් වරයකු වන්නේ වයස විස්සක් සපිරීමටත් පෙර යි. ගුඩේරියන් හමුදා ගුවන් විදුලි තරංග පාලන මධ්‍යස්ථානයක අණ දෙන නිලධාරියකු ලෙස පළමු ලෝක යුද්ධයට 1914 දී සම්බන්ධ වෙනවා. ඔහු එම වසරේදී ම පළමු ලුතිතන්වරයකු ලෙස උසස් වීමක් ද ලබා ගන්නවා. 1915 මැයි සිට 1916 ජනවාරි දක්වා ඔහු හතරවන හමුදාවේ සංඥා අංශ ප්‍රධානියා ලෙස කටයුතු  කරනවා.  1915 නොවැම්බර් මසදී, කපිතාන් තනතුරටත් යුද්ධය අවසන් වීමට පෙර මාණ්ඩලික බළකායටත් ඔහු පත් වෙනවා.

හයින්ස් ගුඩේරියන්
හයින්ස් ගුඩේරියන් -quotepark.com

 

ගුඩේරියන් කරළියට පැමිණෙයි 

1930 දී යතුරු පැදි බළ ඇණියක අණ දෙන නිලධාරිකු ලෙස කටයුතු කරන ගුඩේරියන් එසේ කටයුතු කරන විට ම යුද ටැංකි සැලසුම් නිර්මාණයටත් සම්බන්ධ වෙනවා. යුද ටැංකි අතර අන්තර් සන්නිවේදනය පහසු කරලනු වස් ගුවන් විදුලි සම්ප්‍රේක්ෂණ පද්ධතියක් ද ඔහු සැලසුම් කරනවා. මාණ්ඩලික නිලධාරියකු ලෙස යුද්ධයෙන් පසුත් හමුදාවට සේවය කරන ගුඩේරියන්ට තම දැනුම පෙන්වීමට ලැබෙන්නේ 1934 දී ඇඩලොෆ් හිට්ලර් ජර්මනියේ චාන්සලර් තනතුරට පත් වීම සමඟ යි.

තුන් වැනි රයික් අධිරාජ්‍යක් ගැන සිහින දුටු හිට්ලර් වර්සේල්ස් ගිවිසුමේ සීමා මායිම් ගණනකට නොගනිමින් හමුදාව සන්නද්ධ කිරීමට ක්‍රියා කරනවා. 1934 දී අගෝස්තු මස පැවති හමුදා ප්‍රදර්ශනයකදී පැන්සර් 4  යුද ටැංකි ආකෘතියක් හිට්ලර්ගේ සිත් ගන්නවා. එහි නිර්මාපකයා වූයේ ඒ වන විට කර්නල් තනතුරක් දැරූ හයින්ස් ගුඩේරියන්. සැහැල්ලු සහ වේගවත් විවිධ යුද ටැංකි රාශියකින් සමන්විත පැන්සර් බළ ඇණි උපක්‍රමශීලී ව යොදවමින් සතුරු පෙරමුණු සුණු විසුණු කළ හැකි බව ගුඩේරියන් මෙහිදී හිට්ලර්ට පැහැදිලි කර දෙනවා. ඔහු යුද ටැංකි නිශ්පාදනය හා නඩත්තුව පිළිබඳව ද හිට්ලර්ට පවසන අතර එම කාරණා ගැන ගුඩේරියන්ගේ දැනුම හිට්ලර්ගේ ප්‍රශංසාවට ද ලක් වෙනවා.

පැන්සර් 4 යුද ටැංකියක්
පැන්සර් 4 යුද ටැංකියක්- quora.com

 

ගුඩේරියන්ගේ පැන්සර් සිද්ධාන්ත ඉහළ පෙළ ජර්මානු සෙනවිවරුන් ගණනකට ගන්නේ නැහැ.  යුද ටැංකිය තවදුරටත් පාබල හමුදාවේ සහයක උපකරණයක් විය යුතු යැයි ඔවුන් විශ්වාස කළා. මෙම පරස්පර මත හේතුවෙන් ගුඩේරියන්ට යම් වෙන් කොට සැලකීම් වලට ද ලක් වන්නට සිදු වෙනවා. 1937 දී ගුඩේරියන් ‘Achtung! Panzer ” නම් කෘතියක් ප්‍රකාශයට පත් කරනවා.

වාර්තා බිඳ දමමින් අලෙවි වූ  එහි සඳහන් වූයේ විශාල ප්‍රමාණයේ යාන්ත්‍රික බළඇණි මගින් අනාගතයේ යුද්ධයක තීරණාත්මකභාවය සහමුලින් ම වෙනස් කළ හැකි බව යි. පළමු ලෝක යුද්ධයේ සිදු වූ පරාජයට හේතුව ලෙස බ්‍රිතාන්‍ය හා ප්‍රංශ යුද ටැංකි විශාල භූමිකාවක් ඉටු කළ නිසා බව එහි වැඩි දුරටත් සඳහන් වූවා.  ගුඩේරියන් තම ග්‍රන්ථයෙන් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණේ රුසියාවට ලොව විශාලත ම යුද ටැංකි සංචිතය ඇති බවට තමන් විශ්වාස කරන බව යි. එය 10000ක් පමණ විය යුතු යැයි ඔහු උපකල්පනය කළා.

යුරෝපයේ පැන්සර් සිද්ධාන්තය 

1939 මාර්තු මස චෙකොස්වැකියාව ඈඳා ගැනීමෙන් පසු හිට්ලර් සැප්තැම්බර් මස පළමුවැනි දා පෝලන්තය ආක්‍රමණය කළා. යල් පැන ගිය අක්‍රමවත් ලෙස පිහිටුවූ යුද ටැංකිවලින් සමන්විත වූ පෝලන්ත හමුදාවට, ගුඩේරියන්ගේ නවීන සහ මනා ලෙස සංවිධානය කළ පැන්සර් බළ ඇණි සමඟ පෑහීමට හැකිවන්නේ නෑ. තවමත් පැරණි ආකාරයට කල්පනා කළ පොලන්ත හමුදාවේ යුද අගල් සහ කම්බි වැටවල්වලින් සමන්විත වූ ආරක්ෂක වැටවල් පැන්සර් හමුදා විසුණු කළා. 

සති හතරකින් පසු පෝලන්තය ජර්මනියට යටත් වන අතර ඔවුනට විශාල හානි සිදු වෙනවා. එයට සාපේක්ෂ ව, ජර්මන් හමුදවට සහ ගුඩේරියන්ගේ පැන්සර් බළඇණිවලට සිදුවන්නේ ඉතා අවම හානියක්. පෝලන්ත සටනේ දී ගුඩේරියන් අණ දෙන ටැංකියක සිට පෙරමුණට ආසන්නයෙන් ම තම හමුදා මෙහෙයවූවා. ඔහු එහිදී දැක්වූ විස්කම් හේතුවෙන් ගුඩේරියන්ට නයිට් ක්‍රොස් පදක්කම හිමි වෙනවා. 

අණ දෙන රථයක සිට සටන් මෙහෙයවන ගුඩේරියන්
අණ දෙන රථයක සිට සටන් මෙහෙයවන ගුඩේරියන්-thoughtco.com

 

ජර්මනිය 1940 මැයි 10 වෙනිදා, ප්‍රංශය ආක්‍රමණය  කළා. ප්‍රංශ – ජර්මානු දේශ සීමාව පුරා ඉදි කර තිබු ප්‍රංශයේ අයෝමය “මැජිනට් “වළල්ල මඟ හරිනු වස් ජර්මන් හමුදාවේ කොටසක් ඇන්ඩීස් වනයෙන් ද, අනෙත් කොටස බෙල්ජීයම දෙසිනුත් ප්‍රංශයට ඇතුළු වෙනවා. තවත් සේනාංකයක් මැජිනට්  වලල්ල වෙත ව්‍යාජ ප්‍රහාරයක් එල්ල කරන්නේ ප්‍රංශ හමුදා මුළාවේ දැමීම අරමුණු කරගෙන යි. ගුඩේරියන් මෙහිදී ඇන්ඩීස් වනයෙන් පහර දුන් 19 වන පැන්සර් බළ ඇණියට නායකත්වය ලබා දුන්නා.

අධිවේගී පැන්සර් ප්‍රහාර

එම ආක්‍රමණයට ලුෆ්තාෆා මගින් අනගි ගුවන් සහයක් ලැබුණු අතර Blitzkrieg න්‍යාය යටතේ වේගයෙන් රට තුළට කඩා වැදුණු දැවැන්ත පැන්සර් බළඇණිවලට බලවත් ප්‍රතිරෝධයක් දැක්වීමට යුද ටැංකිවල වටිනාකම හරි හැටි අවබෝධ කරනොගත්, ප්‍රංශ හමුදා හා ඔවුන්ගේ සහයට පැමිණි මිත්‍ර හමුදා සමත් වන්නේ නැහැ .  ඉක්මනින් ඉංග්‍රීසි ඕඩය ආසන්නයට  පැමිණි  අධිවෙගි පැන්සර් ප්‍රහාර හේතුවෙන්,  මැයි 24 වැනිදා 300000 පමණ වූ මත්‍රර හමුදා සේනාංක, ඩන්කර්ක් වරායේ කොටු වෙනවා.

ඔවුන්ට ඉක්මනින් පහර දීමට ගුඩේරියන් සූදානම් වූවත්, ගුඩේරියන්ගේ යාන්ත්‍රික බළඇණිවල ඉක්මන් ගමන ගැන බියෙන් පසු වූ හිට්ලර් සහායක බළ ඇණි  පැමිණෙන තුරු පහර දීම කල් දැමීමට නියෝග කරනවා. දින තුනකට පසු අවසරය ලැබුණත් ඒ වන විට කොටු වූ මිත්‍ර හමුදවන්ගෙන් වැඩි කොටසක් බෝට්ටු මගින් පිටව ගොස් සිටියා. ප්‍රංශයේ ඉතුරු පෙදෙස් යටත් කරගැනීමට ද ගුඩේරියන්ගේ පැන්සර් සිද්ධාන්තය විශාල ලෙස උපකාර වූවා.

බාබෝරෝසා ආක්‍රමණය  දැක්වෙන  සිතියමක්
බාබරෝසා ආක්‍රමණය දැක්වෙන සිතියමක්  -i.gr-assets.com

අයිවන්ලාට එරෙහිව බ්ලිට්ස්ක්‍රිග් 

1941 ජූනි 22 වැනි දා ඔපරේශන් බාබරෝසා නම් ක්‍රියාන්විතය මගින් ජර්මනිය, සෝවියට් දේශයට පහර දුන්නා. මිලියන හතරක පමණ වූ ජර්මන් හා අනෙකුත්  පාක්ශික හමුදා  සෝවියට් දේශයට පැති තුනකින් කඩා වැදුණු අතර අනපේක්ෂිත ප්‍රහාරයට මුහුණ දීමට රුසියානු දේශසීමා බළ ඇණි සමත් වන්නේ නැහැ. ජර්මනිය Blitzkrieg න්‍යාය ඉතා සාර්ථක ව මෙහිදී අනුගමනය කළා. ආරක්ෂක වළලුවල දුර්වල ස්ථානවලින් කකුළු අඩු   ලෙස ඇතුඵවන පැන්සර් හමුදාවලට මැදිවෙන රුසියානුවන් සිය ආරක්ෂක කපොළු පිටුපසින් පහර දීමකට ලක්වූවා.

දැවැන්ත උදම් රළකට හසුවුන පරිද්දෙන් රුසියානු මුරකපොළු සුණුවිසුණු වී ගියා. දෙවන පැන්සර් හමුදාවට නායකත්වය දෙමින් ගුඩේරියන් මින්ක්ස් සහ ස්මොලෙන්ක්ස් නගර යටත් කර ගැනීමට සහාය ලබා දෙනවා. යුද්ධයේ මුල් සති කිහිපයේ දී ඉතා පහසු ජයග්‍රහණ ලබා ගැනීමට හැකිවූවත් තව දුරටත් රට ඇතුළට ගමන් කරන විට දැවැන්ත ප්‍රතිරෝධයන්ට මුහුණ දීමට ජර්මානු ආක්‍රමණික හමුදාවන්ට සිදුවෙනවා.

T-34 සෝවියට් යුද ටැංකිය
T-34 සෝවියට් යුද ටැංකියක් -tanks.gf9games.com

ජර්මානු ආක්‍රමණික හමුදාවන්ට ක්‍රම ක්‍රමයෙන් සැපයුම් මාර්ග දීර්ඝ වන අතර සිහි එළවා ගත් සෝවියට් සේනාංකවල ප්‍රතිප්‍රහාර වලින් මෙන් ම, මෙතෙක් කල් සටනකදී නොදුටු , ඇල වූ ඉදිරි සන්නාහාය, මිලිමීටර් 76.2 ප්‍රධාන අවිය සහ පැයට සැතපුම් 56ක වේගයකින් යුතු T-34 , ටොන් 46 බරැති සහ මිලිමීටර් 90 ඉදිරි පස සන්නාහයකින් සමන්විත KV1 යුද ටැංකි වලින් සහ  වර්ග මීටර ලක්ෂ හතරක ප්‍රමාණයක් සුණුවිසුණු කිරීමට ප්‍රමාණවත් පරිදි වෙඩි බලයකින් සමන්විත කත්යූශා රොකට් යන්ත්‍ර මඟින් ද ජර්මානු ඉදිරි පෙළට දැවැන්ත හානියක් අත්කර දෙන්නේ ගුඩේරියන් සිය කුඩා අත්පොතෙන් කරන ලද අනතුරු ඇඟවීම් බියකරු ලෙස සැබෑවට පත් කරමින්. මෙම සමයේ දී ජර්මන් හමුදාව සතු ව පැවති පැන්සර් 3 සහ පැන්සර් 4 මුල් සංස්කරණ එම රුසියානු යුද ටැංකි වලට අභියෝගයක් එල්ල කිරිමට සමත් වෙන්නේ නැහැ.

මොස්කව් වැටලීම

ගුඩේරියන් ඇතුළු ජර්මන් සේනාංක මොස්කව් වැටලීමට අර අඳින මොහොතේ හිට්ලර් තම සැලසුම් වෙනස් කිරීමකට ලක් කරනවා. ඒ අනුව ගුඩේරියන්ට සිදුවන්නේ මොස්කව් වැටලීම පසෙක ලා යුක්‍රේනය යටත් කිරීමට යොමු වීමට යි. මෙම නව සැලසුමට ගුඩේරියන් දැඩි ලෙස විරුද්ධ වූවත් හිට්ලර් ඒ කිසිවක් කනකට ගන්නේ නැහැ. අධික ලෙස ඇද හැළුණු වර්ෂාපතනය හේතුවෙන් බාධා එල්ල වුව ද ගුඩේරියන් නායකත්වය දුන් දෙවන පැන්සර් හමුදාව, දකුණු දිග ජර්මන් හමුදාව සමඟ එක්ව යුක්‍රේනය ජයගන්නවා.

හිට්ලර් සහ ගුඩේරියන් සහ අනෙකුත් නිලධාරින් සමඟ
හිට්ලර් සහ ගුඩේරියන්  අනෙකුත් නිලධාරින් සමඟ -ww2images.blogspot.com

 

ඔක්තෝබර් මසදී ගුඩේරියන් යළිත් මොස්කව් දෙසට ගමන් ගන්නවා. ඉතා කෙටි කලක දී ඔහුගේ යාන්ත්‍රික හමුදා බ්‍රියාන්ක්ස් නගරය අල්වා ගැනීමට ද සමත් වෙනවා. රුසියානු යුද්ධය ඉතා ඉක්මනින් අවසන්වේයැයි සියලු දෙනා සිතුවත් අනපේක්ෂිත ලෙස නිසි කලටත් පෙර සිසිර සමය ආරම්භ වන්නේ අඛණ්ඩ හිම පතන සහ කුණාටුද සමඟින්. එය වසර ගණනාවකට පසු රුසියාව මුහුණ දුන් විශාලත ම  සීත ඍතුව  වූවා. මෙයට ජර්මානු හමුදා සුදානම්ව සිටියේ නැහැ. අධික හිම පතනය හමුවේ ගුඩේරියන්ගේ යුද ටැංකි අක්‍රිය වූ අතර ඒවා පණ ගැන්වීමට යටින් ගිනි මැල දැල්වීමට සිදුවූවා.

බාබරෝසා මෙහෙයුම

හමුදාවට ප්‍රමාණවත් තරම් ශීත ඇඳුම් නොමැති වූයේ බාබරෝසා මෙහෙයුම මාස දෙකකින් පමණ අවන්සන්වේයැයි එහි සැලසුම්කරුවන් අපේක්ෂා කළ හෙයිනු යි. උශ්ණත්වය සෘණ අංශක 36 දක්වා පහත වැටුණු අතර,  අධික ශීතල හමුවේ ජර්මානු සෙබළුන් දස දහස් ගණනින් මරණයට පත්වූවා. මේ අතරතුර මනා ලෙස සංවිධානය වූ සෝවියට් හමුදා එල්ල කළද ප්‍රතිප්‍රහාර හමුවේ තම හමුදා සේනාංක උපායශීලි ව ආරක්ෂක අඩියකට පසු බැස්වීමට ගුඩේරියන් කටයුතු කරන්නේ හිට්ලර්ගේ නියෝග කඩ කරමින්. එහි ප්‍රතිඵලයක් ලෙස හිට්ලර්, ගුඩේරියන් දෙසැම්බර් 25 වනදා තනතුරෙන් පහ කරනවා. 

අධික හිමපතනයෙන් අක්‍රිය වූ ජර්මානු යුද රථ
අධික හිමපතනයෙන් අක්‍රිය වූ ජර්මානු යුද රථ – hoodcomstudies.com

යළිත් සේවයට

හිට්ලර්, හයින්ස් ගුඩේරියන් 1943 පෙබරවාරි 17 වනිදා සේවයට යළි කැඳවන්නේ ස්ටාලින්ග්‍රාඩයේදී ජර්මානු හමුදා අන්ත පරාජයක් අත්කරගෙන තිබූ පසුබිමක යි. මාර්තු 1 දින ගුඩේරියන් ජර්මනියේ සන්නාහ සන්නද්ධ හමුදා අධික්ෂණ ජනරාල් බවට පත් කරනවා. මින් පසු හානි වූ ජර්මන් යාන්ත්‍රික හමුදා ප්‍රතිසංස්කරණය කිරීමට ගුඩේරියන්  කටයුතු කළ අතර එම ප්‍රතිසංවිධාන නොවන්නට ජර්මනියට 1945 වන තුරු යුද්ධය පවත්වාගෙන යාමට හැකියාවක් නොවන්නට ඉඩ තිබුණා.

මෙහිදී නිෂ්පාදනය කරමින් පැවති නව ටයිගර් සහ පැන්තර් යුද ටැංකි ගුඩේරියන් අධික්ෂණය  කරනවා. සංකීර්ණ තාක්ෂණය, අධික ඉන්ධන පාරිභෝජනය නිසා මේවා සටන් පෙරමුණේ දී උපරිම පලදායි ලෙස භාවිත කළ හැකිදැයි යන්න ගුඩේරියන් ප්‍රශ්න නගනවා.  මේ වන විට කුර්ක්ස් අඩකවයේ සටන  හිට්ලර් සැලසුම් කරමින් සම්පාදනය කරමින්  සිටි අතර ගුඩේරියන්ගේ මතය වූයේ 1944 මැද වනතුරු එය ක්‍රියාවට  නැංවීමට හැකියාවක් ජර්මනියට නොවන බව යි. එහෙත් හිට්ලර් එයට එකඟ වන්නේ නැහැ.

කුර්ක්ස් සටනේ හමුදා ක්‍රියාකාරකම් දැක්වෙන සිතියමක්
කුර්ක්ස් සටනේ හමුදා ක්‍රියාකාරකම් දැක්වෙන සිතියමක්-quoracdn.net

 

1943 ජූලි පස් වනදා කුර්ක්ස් අඩක්වයේ සටන ආරම්භ වෙනවා. නවීන ටයිගර් සහ පැන්තර් යුද ටැංකි ද සමඟින්   දෙපසින්   කුර්ක්ස් නෙරුවට පහරදී ඒ ආසන්නයේ රඳවා තිබූ සෝවියට් හමුදා සේනාංක විනාශ කිරීම උදෙසා ජර්මනිය දැරූ ප්‍රයත්නය එතරම් පහසු වුණේ නැහැ. ජර්මානු ප්‍රහාරයක් පිළිබඳ ව හොදින් දැනුම්වත් වී සිටි සෝවියට් හමුදා යාන්ත්‍රණය ක්‍රමානුකූල ආරක්ෂක වළලු හතරක් පිහිටුවා වැටලීමකට ඉතා හොඳින් සූදානම් වී සිටියා.

ගුඩේරියන් අනතුරු ඇඟවූ පරිද්දෙන් නවීන පැන්තර් සහ ටයිගර් යුද ටැංකි විවිධ කාර්මික දෝෂයන්ට ලක්වනවා. ඒවා අලුත්වැඩියා කිරීමට විශේෂඥ පුහුණුව ලත් කාර්මිකයන්  අවශ්‍ය  වූවා.  අසීරුවෙන් ආරක්ෂක බැමි සිදුරු කරමින් ඉදිරියට ගමන්ගත් ජර්මන් හමුදාවන් සෝවියට් හමුදාවන්ගේ වටකොට පහරදීම්වලට ලක්වී දැඩි හානි අත්කර ගන්නවා.  ජර්මන් හමුදාවලට දැරිය නොහැකි ලෙස හානි සිදු වූ අතර Prokhorovka ගම්මානය අසලදී සිදු වූ බියකරු පරාජයකින් පසු හිට්ලර්    ජර්මන් හමුදාවන්ට පසු බැසීමට අණ කරනවා.

යුද්ධයයේ අවසන් සමය 

හිට්ලර් ඝාතනය කිරීමේ අභ්‍යන්තර කුමන්ත්‍රණය 1944 ජූලි මස  පරාජයට පත් කිරීමෙන් පසු ව  ගුඩේරියන්  වැඩ බලන මාණ්ඩලික  ප්‍රධානියා ලෙස පත් කරනවා. මිත්‍ර හමුදා මුදා ගත් ප්‍රදේශ නැවත අල්ලා ගන්නට හිට්ලර්  Battle of the Bulge ක්‍රියාන්විතය 1944 දෙසැම්බර් මස 16 වනදා අරඹනවා. ප්‍රමාණවත් පරිදි උණ්ඩ, ඉන්ධන සහ අනෙකුත් සැපයුම් නොමැති හෙයින් මෙම මෙහෙයුමට ගුඩේරියන් විරුද්ධ වූවත් හිට්ලර් සුපුරුදු ලෙස  එය කනකට ගන්නේ නැහැ .

අමරිකානු ඉදිරි ආරක්ෂක වළල්ල කඩාගෙන සැතපුම් පනහක් පමණ ඉදිරියට යෑමට ජර්මානු හමුදාව සමත් වුවත් හීන සැපයුම් හේතු කොටගෙන ඉදිරි ගමන අඩාල වෙනවා. මිත්‍ර හමුදාව දැඩි ප්‍රතිරෝධයක් දක්වන අතර ජනාවාරි මුල  හිම කුණාටු අවසන් වීමෙන් පසු ගුවනට නැගෙන අමරිකානු ගුවන් ප්‍රහාර හේතුවෙන් පැමිණි වේගෙන් ම පසු බැසීමට ජර්මානුවන්ට සිදුවන්නේ නවීන Tiger -2 Panther වැනි යුද වාහන අත්හැර දමමිනු යි.

ඇමරිකානුවන් විසින් අල්ලා ගන්නා ලද ටයිගර් 2 ටැංකියක්
අමරිකානුවන් අල්ලා ගත් ටයිගර් 2 ටැංකියක්-pinterest.com

 

1945 මාර්තු වන විට හිට්ලර් සහ ගුඩේරියන් අතර මත ගැටුම් උත්සන්න වෙනවා. නොනවතින සෝවියට් ප්‍රවාහයන්ට ඔරොත්තු දීමට නොහැකි ව විස්ටූලා ප්‍රදේශයේ ජර්මානු හමුදා පසුබසිනවා. මෙහි වගකීම්ද  භාර ගැනීමට සිදුවන්නේ ජනරල් ගුඩේරියන්ට යි. අනෙකුත් නිලධාරින් මෙන් නොව හිට්ලර් ඉදිරියේ පවා කිවයුතුදේ කෙළින් ම මුහුණට පැවසීමට තරම් ගුඩේරියන්ට ආත්ම විශ්වාසයක් තිබුණා. තම නියෝග කඩ කරමින් පසු බැසීම සහ මිත්‍ර හමුදා සමඟ එකඟතාවකට පැමිණිය යුතුයැයි කියන ගුඩේරියන්ගේ යෝජනාවලට අන් කවරදාකවත් නොවූ පරිද්දෙන් හිට්ලර් උරණ වූවා. නිතර නිතර ඇසෙන ගුඩේරියන්ගේ කන්දොස්කිරියාව හිට්ලර්ට හිසරදයක් බවට පත්වී තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස හිට්ලර්, ගුඩේරියන් අනිවාර්ය නිවාඩු යවනවා.

පැරණි පැන්සර් ජනරල්වරයාගේ ඉරණම

1945 මැයි මස 2 වනදා ජර්මනිය කොන්දේසි විරහිත ව මිත්‍ර රටවලට යටත් වෙනවා. 1945 මැයි 10 වනදා ගුඩේරියන් අමරිකානු හමුදාවට භාර වෙනවා. අමරිකානුවන් 1948 දක්වා ගුඩේරියන් සිරභාරයේ තබා ගන්නවා.සිරභාරයෙන් නිදහස්වීමෙන් පසු ගුඩේරියන් බටහිර ජර්මානු හමුදාව වන “බුන්ඩෙස්වර් ” සංවිධානය කරවීමට දායක වනවා. වයස 65  දී එනම්, 1954 මැයි 14 වැනි දා ජනරල් හයින්ස් ගුඩේරියන් මිය යනවා.                           

කවරයේ ජායාරූපය- බාබරෝසා මෙහෙයුමේ ජර්මන් සන්නද්ධ රථ - asisbiz.com

මූලාශ්‍ර:

jewishvirtuallibrary.org

warhistoryonline.com

thefamouspeople.com

Pzkfw5.youtube.com

Military History Visualized.youtube.com 

history.com

britannica.com

nebraskapress.unl.edu

nationalgeographic.comඨැරප්බල අ්ර-ේරැල 

Related Articles