වන තුරුඅතර සැඟවුණු කඩුගන්නාවේ පුරාණ ලෙන් වෙහෙර

කඩුගන්නාව කඳු බෑවුමේ පිහිටි කාගෙත් එතරම් අවධානයට ලක් නොවන ලෙන් විහාරයක් ලෙස මාවෙල වලගම්බා විහාරය හැඳින්විය හැකි යි. මහනුවර යුගයේ චිත්‍ර හා මූර්ති තිබෙන මෙහි ඉතිහාසය ඊටත් පෙර කාලයකට අයත් බව එහි හමු වන ශෛලමය නිර්මාණවලින්  පැහැදිලි වෙනවා.

විහාරයට යොමුවුණූ මාවත -Indika Karunadasa – serendives.blogspot.com

ගමන් මඟ

කොළඹ – මහනුවර මාර්ගයේ කඩුගන්නාව කන්ද පසුකරමින් ඔබ ඕනෑතරම්  ගමන්කරන්නට ඇති බව නිසැක යි. එහෙත් පහළ කඩුගන්නාව අම්බලම අසලින් මාර්ගයෙන් පහළට බැස වන තුරුඅතර සැඟවුණු පුරාණ ලෙන් විහාරය දැක බලන්නට උනන්දු වන්නට ඇත්තේ කලාතුරකින් ඒ හරහා යන කෙනකු විය හැකි යි.

මහා මාර්ගය අසල සිට දකුණට ඇති බෑවුමේ පහළට මීටර 200 ක්පමණ ගමන් කිරීමෙන් විහාරය වෙතට ළඟා වීමට පුළුවන. මහා මාර්ගයේ විහාරයට මඟ පෙන්වන නාම පුවරුවක් සවි කර තිබෙනවා. ඉතා සුන්දර වටපිටාවක පිහිටි මෙම විහාරය පුරාණ ලෙන් විහාරයක අත්දැකීමක් ලබා ගත හැකි අපූරු තැනක්.

ලෙන් අවට පුවක් අරඹ- facebook

පිහිටීම

පහළ කඩුගන්නාව මාවෙල ගම්මානයේ පිහිටා ඇති මෙම විහාරය හතර කෝරළේ ගල්බඩ කෝරලයේ ගන්නෑ (ගංනවය) පත්තුවට අයත් වෙනවා. මෙම විහාරය මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාකඩවර ග්‍රාම නිලධාරි වසමට අයත්. මෙ’ගම පිහිටා තිබෙන්නේ කෑගලු සහ මහනුවර දිස්ත්‍රික් මායිමේයි. මේ නිසා  එච්. සී. පි. බෙල් 1892 කෑගලු දිස්ත්‍රික් වාර්තාවේ මේ විහාරය ගැන සඳහන් කරනවා.

විහාරය හැඳින්වෙන්නේ ද ගමේ නමින් මාවෙල වලගම්බා ලෙන් විහාරය වශයෙන්. ඉංග්‍රීසින් 1800 මුල් භාගයේ දී කඩුගන්නාව ගල විදිමින් කොළඹ – මහනුවර මහා මාර්ගය ඉදි කළා. මාවෙල විහාරයට යන මඟ ඊට පෙර පෙර වැටී තිබුණේ හිඟුල – හීනටිපොනේ මාර්ගයේ පැමිණ කඳු බෑවුම තරණය කිරීමෙනු යි. කොළඹ – නුවර පාර කඩුගන්නාව හරහා ඉදිකිරීමෙන් පසු පැරණි මාර්ගය අත්හැර දමා තිබෙනවා.

පහළ කඩුගන්නාවේ මහාමාර්ගය අයිනේ සිට විහාරය වෙත ඇති අඩි පාර මෑතක දී  කොන්ක්‍රීට් දමා තනා තිබෙනවා. මේ නිසා බැතිමතුන්ට ඉතා පහසුවෙන් විහාරයට ළඟා වීමට පුළුවන්. වර්තමානයේ උඩුනුවර ලංකාතිලක විහාරයට අයත් විහාරයක් ලෙස මෙම විහාරයේ පාලන කටයුතු සිදු වෙනවා.

කඳුකර වටපිටාව-Indika Karunadasa – serendives.blogspot.com

කටාරම් කෙටූ ගල්ලෙන් පහකින් යුත් විහාර බිමේ දාගබ් ගෙය, පිළිම ගෙය හා ආවාස ගෙය දැක ගත හැකි වෙනවා. විහාර භුමියේ පැතිර තිබෙන්නේ ඉතා නිස්කලංක පරිසරයක්. දායකයන් එතරම් මෙහි එන බවක් පේන්නේ නැහැ. ඈතින් සබරගමු කඳුසහ කෙත්වතු පිස එන සුළඟ අප ගත වදිනවා. සමනලුන්, පක්ෂීන් අවට සරන අන්දම අපට පේනවා. හතර කෝරළේ බතලෙගල, රාස්සව කන්ද ඇතුළු කඳුවැටි මෙහි සිට අලංකාර ව දිස්වෙනවා. පහළ නිම්නයේ  මාවෙල ප්‍රදේශයේ කෙත්යාය හරිත වර්ණයෙන් දැකගත හැකි යි.

අලංකාර වටපිටාව

වැසි සමයට ගල්පව්වකින් පහළට ඇද හැලෙන දිය ඇල්ලක් ද විහාරය අසල දී දැක ගත හැකි යි.   අවට ගල් පර්වතවල සිසිලස ප්‍රිය කරන පර්ණාංග වැවී ඇත්තේ මේ දර්ශනය තවත් අලංකාර කරමින්. රිළවුන් සහ වඳුරන් ද ගස්වල ඒ මේ අත දුව පනින ආකාරය කාටත් දැක ගත හැකි දසුනක්. 

පිළිම ලෙන -facebook.com

දියඇල්ලට ඔබ්බෙන් විහාරය භූමිය පිහිටා තිබෙනවා. කඳු බෑවුමේ පිහිටි විහාරයට පහළින්, වන වදුලක් පැතිර තිබෙනවා. ලෙන් විහාරය පිහිටා ඇති වටපිටාව ගල් පර්වතවලින් බහුල යි. මෙම විහාරය තනා තිබෙන්නේ කඳු බෑවුම ඔස්සේ පැතිර තිබෙන  දික් පර්වත තලාවක් ඇසුරු කරගෙන යි.

කටාරම් කෙටූ ලෙන්

 පළමු ලෙනෙහි දාගබ  දැකගත හැකි අතර දෙවැනි ලෙනෙහි ඇත්තේ විහාර මන්දිරය යි. තරමක් එපිටින් පිහිටි තෙවැනි ලෙනෙහි සංඝාවාසය පිහිටා තිබෙනවා.

මෙම පර්වතයට ඉහළින් පැතිර තිබෙන වන වදුලු සහිත වටපිටාව හාවුන්, මීමින්නන්, කලවැද්දන් වැනි සතුන්ට කදිම රක්ෂා ස්ථානයක් බවට පත් ව ඇති බව පේනවා.

පැරණි කොරවක් ගල – Indika Karunadasa -serendives.blogspot.com

 

විහාර ලෙනේ සිට සංඝාවාසය ඇත්තේ තරමක් දුරින් නිසා මෙහි ප්‍රතිමාවලට නිතර නිදන් හොරුන්ගෙන් අතවර සිදුවෙනවා. පිරිනිවන් මංචකය දැක්වෙන සැතපෙන ප්‍රතිමාවේ හිස පිහිටි කොට්ටය නිදන් හොරුන් විනාශ කර ඇත්තේ කලකට පෙර යි. එය ප්‍රතිසංස්කරණය කළත් යළිත් නිදන් හොරුන් විනාශ කළ බව දැනගැනීමට ලැබුණා.   

 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රතිසංස්කරණයට එය ලක්ව තිබෙනවා. මාවෙල පමණක් නොව හතර කෝරලේ පිහිටි දනකිරිගල, දෙවනගල, අලවතුර, ගනේගොඩ වැනි පුරාණ විහාර රැසක් පසුගිය කාලවල දී නිදන් හොරුන්ගේ විනාශයට ලක්ව ඇති බව වාර්තා වුණා.

ඉතිහාස කතා

 ජනප්‍රවාදයේ සඳහන් අයුරින් බොහෝ ලෙන් විහාර මෙන් ම මෙය ද කරවා ඇත්තේ ක්‍රිස්තු පූර්ව 1 වැනි සියවසේ අනුරාධපුරයේ සිට රට පාලනය කළ වලගම්බා රජු යි. එයට ඓතිහාසික සාධක නම් නැහැ. මෙම පූජනීය ස්ථානයේ  ඇතැම් අංග ගම්පොළ රාජධානි සමයේ හෙණකඳ බිසෝබණ්ඩාර දේවිය සැකසූ බවට ද විශ්වාසයක් පවතිනවා.

පේකඩ සහිත කුලුනක්-facebook

කෙසේ වුවත් මෙහි ආරම්භය අනුරාධපුර යුගයේ මුල්භාගයට ඇතුළත් කළ හැකි ලක්ෂණ දෙවැනි ලෙන් විහාරය ඉදිරිපිට ඇති කොරවක්ගල සහ පුන්කලස සහිත මුරගල් යුවළෙන් පෙනෙනවා. එහි කොරවක්ගලක පූර්ව අනුරාධපුර යුගයට අයත් බ්‍රාහ්මී අක්ෂරවලින් බොතිමශ (බොතිමගේ) යන්න කොටා තිබෙනවා. එම කොරවක්ගල නිර්මාණය කරවා ඇත්තේ හෝ කර ඇත්තේ බොතිම නම් පුද්ගලයා වන්නට ඇති බව පැහැදිලි වෙනවා.

එච්. සී. පී. බෙල්ගේ 1892 කෑගලු වාර්තාවේ සඳහන් වන්නේ මෙම විහාරය කරවා ඇත්තේ  කෝට්ටේ 6 වැනි පරාක්‍රමබාහු රජු බව යි. එය බෙල්ට අසන්නට ලැබුණු තොරතුරක් විය හැකි යි.

සෙල්ලිපි

චන්දිම අඹන්වල සහ මහින්ද කරුණාරත්න සිදු කළ ගවේෂණයක දී මින් සෙල්ලිපි හතරක් හඳුනා ගෙන තිබෙනවා. ක්‍රිස්තු පූර්ව යුගයට අයත් කළ හැකි බ්‍රාහ්මී අක්ෂරවලින් යුත් එම ලිපිවලින් කියවිය හැකි ව ඇත්තේ එකක් පමණ යි. ඉන් කියවෙන්නේ ප්‍රමුඛ කුයන ද ගෘහපති ශම පවුලේ ද ලෙන යන්නයි. අනෙක් ලිපිවලින් එකක  පරුමක යන්නත් තවෙකක කච යන අකුරුත් පමණයි හඳුනා ගෙන තිබෙන්නේ. 

 දාගබ වටා පිහිටි බුදු පිළිමයක් – Amazing lanka.com

දාගබ සහිත ලෙන

විහාර භූමියේ මුලින් ම පිහිටිලෙන තුළ තමයි දාගබ පිහිටා තිබෙන්නේ. මෙම ලෙන දිගින් අඩි 30 ක් ද පළලින් අඩි 20 ක් ද වෙනවා. ලෙනෙහි උස අඩි 22 ක්. ලෙනට ඇතුළු වීමට ඇති දොරටුව  දෙපස කොරවක්ගල් දෙකක් සහ චාම් පුන්කලස් මුරගල් දෙකක් දැකගත හැකි යි. පුන්කලස්වල කැටයම් කර ඇත්තේ නෙලුම් පොහොට්ටු යි. ඒවා යන්තම් මතු කර පෙන්වා තිබෙනවා. කොරවල්ගල් චාම් බොරදම් කැටයමින් යුක්ත යි. ශිල්ප කලා ලක්ෂණ අනුව මෙවැනි චාම් කැටයම් නිර්මාණය සිදුවුණේ අනුරාධපුර යුගයේ මුල් භාගයේ දී යි.

මෙහි ඇතුළු ගැබෙහි පිහිටි දාගබ ගඩොල් සහ මැටියෙන් තනා හුණු පිරියම් කර තිබෙනවා. දාගබේ විෂ්කම්භය අඩි 8 අඟල් 6 ක් වන අතර උස අඩි 19 ක්. සම චතුරස්‍රාකාර වේදිකාවක් මත දාගබ ඉදි කර තිබෙනවා. එම වේදිකාව දිගින් හා පළලින් අඩි 11 අඟල් 6 ක්. දාගබ නිසා ලෙන සම්පූර්ණයෙන් පිරී ගොසින් බව පේනවා. දාගබ වටා සිව්ප සින් මල් අසුන් වෙනුවට මකර තොරණ යට වැඩ සිටින හිඳි බුද්ධ ප්‍රතිමා හතරක් නිර්මාණය කර තිබෙනවා. එම ප්‍රතිමා අඩි 4 ක් උසින් යුක්ත යි.  පසුකාලීන කෘත්‍රිම සායම්  ආලේපය නිසා මහනුවර යුගයේ ඉදිකළ  මේවායේ පුරාණ ස්වරූපයට හානි පැමිණ ඇති බව යි අපට පෙනුණේ.

සැතපෙන බුදු පිළිමය- Amazing lanka.com

මෙහි ලෙන් වියනෙහි සුදට හුරු බදාම තට්ටුවක් දක්නට ලැබුණ ද පැරැණි සිතුවම් දක්නට ලැබෙන්නේ නැහැ. වටේ බිත්තිවල ද සිතුවම් කිසිවක් දැකගත නොහැකියි. පැරණි සිතුවම් හුණු ආලේපයට වැසී ගොස් ඇතැයි අපට සිතුණා. මෙම දාගැබද නිදන් හොරු කිහිප වරක්ම හාරා තිබෙනවා.

 ලෙන් තුළ කුඩා දාගැබ් ඉදිකිරීම මහනුවර යුගයේ දී සුලබව දැකගත හැකි යි. මහනුවර අවට විහාර රැසකින් එයට උදාහරණ ලැබෙනවා. හිඳගල, වාරණ, පිළිකුත්තුව එවන් දාගැබ් දැකගත හැකි විහාරකිහිපයක්.

පිළිම ගෙය

මෙම ලෙනට අඩි 75 ක් පමණ දුරින් දෙවැනි ලෙන පිහිටා තිබෙනවා. ප්‍රතිමා මන්දිරය දැකගත හැක්කේ එම ලෙන තුළ යි. එහි පිහිටි සැතපෙන බුද්ධ ප්‍රතිමාව පෞරාණික ලක්ෂණ තවමත් රැකී තිබෙන පිළිමයක්.

මහනුවර රාජධානි සමයට අයත් කළ හැකි   ප්‍රතිමා සහ සිත්තම්වල පුරාණ ස්වරූපය ආරක්ෂා වීපවතිනවා. සැතපෙන පිළිමයේ සිවුර මහනුවර යුගයේ ජනප්‍රිය ලක්ෂණයක් වූ දිය රැලි ආකාරයෙන් යුක්ත යි.

මහනුවර යුගයේ කැටයම් සහිත ගල්කණුවක් – facebook.com

 

එහි සිවුරට ආලේප කර ඇත්තේ  රන්වන් පැහැය යි. මෙහි හිස හා කොට්ටය අසල නිදන්හොරුka විනාශ කළ ලක්ෂණ දැකගත හැකි යි.  බෙල් අවුරුදු 1892 දී විස්තර කරන සිතුවම් අදවන විට බොහෝ දුරට විනාශ වී ගොස් තිබෙනවා. වියන් සිත්තම් මැකී ගොස් ඇති නිසා  දැකගත හැක්කේ යාන්තමින්. රහත් රූප ද ඉතිරි ව පවතින්නේ කිහිපයක් පමණ යි.

මෙම විහාරය ඉදිරිපිට කළුගල් මළුවක් මත පැරැණි බෝධි වෘක්ෂය පිහිටා තිබෙනවා. එහි සිට තවත් අඩි 150 ක් පමණ දුරින් ඇත්තේ සංඝාවාසය සහිත ලෙන යි. ඒ අවට සරුවට වැඩුණු පුවක් ගසින් පිරි වදුලක් අපට දැකගත හැකි වුණා.

කවරයේ ඡායාරූපය - ලෙන් විහාරය ඈතින් - instargram.com

මූලාශ්‍ර:

කෑගලු පුරාවිද්‍යා වාර්තාව 1892- එච්. සී. පී. බෙල් පරි. කොත්මලේ කේ. බී. ඒ. එඩ්මන්ඩ්

සොඳුරු සිරිලක චාරිකා සටහන්- කුසුම්සිරි විජයවර්ධන

Archaeology. lk

 

Related Articles