Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජපානයේ සැඟවුණු කිතුනුවන්

ජපානයේ නාගසාකි නගරයේ සැඟවී පැවති ක්‍රිස්තියානි ආගමට අයත් ඉපැරණි ස්ථාන 12ක් ලෝක උරුම ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය විසින් පියවර ගෙන තිබෙනවා. නාගසාකිහි කියුෂු දූපතේ හා ඒ අවට ගම්මාන 10ක් පුරාවට මෙම ආගමික ස්ථාන 12 පැතිරී තිබෙනවා. මෙම ස්ථාන 10 නිර්මාණය වීම සම්බන්ධව අපූරු කතා පුවතක් නිර්මාණය වී තිබෙනවා.  අද ලිපියෙන් දිග හැරෙන්නේ ඒ පිළිබඳව විස්තර යි.

17 වන සියවසේ දී ජපානය තුළ ක්‍රිස්තියානි දහම තහනම් වන අතර එම තහනම 19 වන සියවස දක්වා ක්‍රියාත්මක වෙනවා. එම කාලය තුළ ජාපනයේ වාසය කළ බොහෝ කිතුනුවන් මරා දැමෙනවා.

ක්‍රිස්තියානි ආගමෙන් ඉවත් වීමට අකමැති වූ බොහෝ පිරිස් හොර රහසේ ඇදහීම් කටයුතු කරනවා. ඔවුන් “සැඟවී සිටි ක්‍රිස්තියානුවන්” ලෙස පසු කාලයේ දී හඳුන්වනවා. සැඟවුණු ක්‍රිස්තියානුවන් වාසය කළේ නාගසාකි ප්‍රදේශය තුළ යි.

ජපානයේ ක්‍රිස්තියානි දහම විකාශනය

ෆ්‍රැන්සිස් එක්ස්වියර් (indiafacts.org)

1543 දී ප්‍රථම යුරෝපීය කණ්ඩායම ජපානයට පැමිණෙනවා. ඒ කියුෂුහි ටනෙගෂිමා දූපත වෙතයි. මේ සිදුවීමෙන් පසුව ෆ්‍රැන්සිස් එක්ස්වියර් නම් ක්‍රිස්තියානි මිෂනාරිවරයා ජපානයට පැමිණෙනවා. ඔහුට පැවරී තිබුනේ ඉන්දියාවේ හා මලක්කාවල ක්‍රිස්තියානි දහම පැතිරවීම යි.

මලක්කාවේ දී ඔහුට හමු වූ ජපන් ජාතික තරුණයෙක් සමග 1549 වසරේ අගෝස්තු මාසයේ දී ජපානයේ  කාගොෂිමා බලා පැමිණෙනවා. ඔහු ද ඇතුළු ව පැමිණි කණ්ඩායම කාගොෂිමා පාලනය කළ ෂිමාසු පවුල විසින් ගෞරවයෙන් පිළිගන්නවා. ඔවුන්ට තම දහම ප්‍රචාරණය කිරීමට අයිතිය ලබා දෙනවා. එලෙස අවසර දෙන්නේ වෙළදාම් කටයුතු පහසු කරගැනීමට හැකියාව මේ හරහා ලැබෙන නිසා යි. මෙලෙස ඉඩ දීමෙන් ඊළඟ ශත වර්ෂය වන විට ජපන් ජාතිකයන් මිලියන භාගයක් පමණ ක්‍රිස්තියානිකරණය කිරීමට හැකියාව ලැබෙනවා.

ඉන්පසු ඕදා නෝබුනාගාගේ පාලනය යටතේ ක්‍රිස්තියානි දහමට වඩා ප්‍රමුඛ ස්ථානයක් හිමි වූ අතර ඔහු විසින් බොහෝ බෞද්ධ ස්ථාන කඩා දමා බෞද්ධයන් 25,000කට අධික ප්‍රමාණයක් ඝාතනය කරනවා.

ක්‍රිස්තියානුවන් ඝාතනය කිරීම

ක්‍රිස්තියානු භක්තිකයන් මරා දැමීම (Wikipedia)

1587 දී හිදියෝෂි පාලකයාගේ සමයේ දී නැගී ආ ක්‍රිස්තියානු විරෝධයත් සමග ක්‍රිස්තියානි ආගමිකයන් මරා දැමීම ආරම්භ වෙනවා. මෙහි දී සියලුම මිෂනාරිවරුන්ට ජපානයෙන් ඉවත් වීමට අණ කරන අතර බොහෝ ප්‍රමාණයක් මරා දමන්නේ කුරුසයේ ඇණ ගැසීමෙන්.

1614 වන විට ක්‍රිස්තියානි දහම දැඩි ලෙස තහනම් වන අතර සියලුම මිෂනාරිවරුන්ට රටින් පිටවන ලෙස එවකට පාලකයා අණ කරනවා. අල්ලාගත් බොහෝ ප්‍රමාණයක් මරා දමනවා. 1623 දී බලයට පත්වෙන ටෝකුගාවා ශෝගුන්ගේ ක්‍රිස්තියානි විරෝධී ආකල්පය ඉතා ප්‍රබල වූ අතර 1612 වසරේ ලක්ෂ තුනක්ව සිටි කිතුනුවන් ප්‍රමාණය 1625 වන විට හරි අඩකින් පමණ අඩු කිරීමට ඔහු සමත් වෙනවා. බොහෝ ප්‍රමාණයක් මරා දමන්නේ ලී වලින් සෑදු කුරුසයක් මත තබා ඇණ ගැසීමෙන්.

සැඟවුණු ක්‍රිස්තියානුවන්

ක්‍රිස්තියානුවන් සැඟවී සිටි ප්‍රදේශය (kirishitan.jp)

ශෝගුන්ගේ පාලන කාලය කිතුනුවන්ට අයහපත් කාලයක් බවට පත් වෙනවා. අසුවෙන සියලුම කිතුනුවන් මරා දමන බැවින් බොහෝ දෙන‍ෙක් තම ආගම අත හරිනවා. නමුත් තවත් 200ක පමණ පිරිසක් නාගසාකිහි කුඩා අප්‍රසිද්ධ ගම්මාන 10ක වෙසෙන අතර ඔවුන් හොර රහසේ තම ආගම ඇදහීමේ කටයුතු කරගෙන යනවා.

ඔවුන් තම නිවාස තුළ රහස්‍ය කුටි ඉදිකරන අතර ඒවායේ දී තම ආගම ඇදහීමේ කටයුතු සිදු කරනවා. ඔවුන් නිතරම තමන් බෞද්ධ දහම අදහන ආකාරය පෙන්වීම සිදු කරනවා. බොහෝ යාඤා මැදුරුවල මතු පිටින් බුදු පිළිම තබා තිබුණු අතර අභ්‍යන්තරයේ තිබුනේ ක්‍රිස්තියානි දහමේ සංකේත යි. ටික කාලයක් ගත වන විට බුදු පිළිමවලට සමාන ආකාරයට මරිය තුමියගේ හා නොයෙකුත් සාන්තුවරුන්ගේ ප්‍රතිමා නිර්මාණය කිරීම ආරම්භ කරනවා. ඒවා සාම්ප්‍රදායික බුදු පිළිම වලට බොහෝ සෙයින් සමාන වෙනවා.

තව ද ඔවුන්ගේ යාඤා, බෞද්ධ ගාථාමය ස්වරූපයෙන් ප්‍රතිනිර්මාණය වෙනවා. ලියකියවිලි සටහන් කිරීමේ සියලු ද්‍රව්‍ය රජය විසින් තහනම් කර තිබූ බැවින් ධර්මය ඉදිරියට රැගෙන යන්නේ මුඛ පරම්පරාගතව යි. ඒවා ලතින් හෝ පෘතුග්‍රීසි භාෂාවෙන්, ජපන් භාෂාවට පරිවර්තනය වන්නේ අදහන වැසියන්ගේ ආරක්ෂාව පිණිස යි. තව ද සැඟවුණු ක්‍රිස්තියානුවන්ගේ බෞතීස්ම කිරීමේ අවස්ථා සඳහා පූජකයකුගේ සහභාගී වීම අනිවාර්යය වුයේ නෑ. ඒ ක්‍රිස්තියානි පූජකයන් ප්‍රමාණය ඉතා අඩු වීම හේතුවෙන්.

ක්‍රිස්තියානි ආගම නැවත නීතිගත වීම

බුදු පිළිමවලට සමාන වූ පිළිම (Japan Guide)

ජපාන පාලකයන් විසින් සියවස් දෙකක පමණ කාලය මෙලෙස ක්‍රිස්තියානි දහම තහනම් කර තබන අතර එම කාලය තුළ නාගසාකිහි සැඟවුණු ගම්මානවල මෙවැනි ක්‍රිස්තියානි ආගමිකයන් සිටීයැ යි ඔවුන් කිසිසේත් විශ්වාස කරන්නේ නෑ.

1850 වසරෙන් පසුව ජපානයේ මෙම දැඩි ප්‍රතිපත්ති ලිහිල් කරන ලෙස බටහිර රටවලින් බලපෑම් එල්ල වෙනවා.  ඒ යටතේ 1867 දී එතෙක් පැවති දැඩි පාලනය බිඳ වැටී මෙයිජි පාලනය ස්ථාපිත වෙනවා. මෙම පාලනය යටතේ 1871 දී ක්‍රිස්තියානි දහමට තිබු තහනම ඉවත් වෙනවා.

ඒ සමගම මෙතක් කාලයක් හොර රහසේ ජීවත් වූ ජපාන ක්‍රිස්තියානුවන් සමාජයට නිරාවරණය වෙනවා. මෙම සිදු වීමත් සමග ජපානය මෙන්ම අනෙක් විදේශීය රටවල් ද විස්මයට පත් වෙනවා. මෙවැනි කෘෘර පාලනයක් හමුවේ කිතුනුවන් පිරිසක් ඉතිරිව සිටීම ඇත්තෙන්ම පුදුම සහගත ආකාරයේ සිදුවීමක් විය.

විශේෂ පිළිම (Wikipedia)

ඔවුන් පිළිබඳව හෙළි කරනු ලබන්නේ විදේශ කිතුනුවන් පිරිසක් විසින්. ඒ ආගමික නිදහස මත පැමිණි විදේශීය කිතුනු භක්තිකයන්ගේ පල්ලියකට එක් සැඟවුණු ක්‍රිස්තියානි භක්තිකයෙක් පැමිණීමත් සමග යි.

ආගමික නිදහස ලැබීමත් සමග තමන් සිටි ගම්මාන 10 පුරා දැව හා ගඩොල් යොදා ගනිමින් අලංකාර පල්ලි නිර්මාණය කිරීමට ඔවුන් සමත් වූ අතර අද වන විට එම ස්ථාන ලෝක උරුම බවට යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

කවරයේ ජායාරූපය – පසුව ඉදි වූ දේවස්ථානයක නිර්මාණය කර ඇති ප්‍රතිමා (christian-nagasaki.jp)

මූලාශ්‍රයයන්:  

https://www.tofugu.com/japan/history-of-christianity/

https://www.japan-guide.com/e/e2298.html

https://www.japan-guide.com/e/e2253.html

http://kirishitan.jp/en/guide

 

Related Articles