මාතලේ කැරැල්ලේ හැංගුණු නායකයා: හඟුරන්කෙත ඩිංගිරාළ

ඉංග්‍රීසින්ගේ අසාධාරණ බදු ප්‍රතිපත්තයට සහ ජනතාව නොකඩවා පීඩාවට පත් කිරීමට එරෙහි ව ආරම්භ වුණු මාතලේ කැරැල්ල ටික දිනකින් ම අසාර්ථක වුණත් එහි නායකයන් දේශප්‍රේමීන් ලෙස අදත් සැලකිල්ලට ලක්වෙනවා. ජනතාව කෙරෙහි අසංවේදී ව මුදල පමණක් ගැන සිතන ඉංග්‍රීසින් මෙරටින් එළවා දමා දේශීය සහනශීලී පාලනයක් ඇති කිරීම මාතලේ කැරැල්ලේ අරමුණ වුණා.

මෙහි කැරලි නායකයන් අතර සිටි අප්‍රකට චරිතයක් ලෙස හඟුරන්කෙත ඩිංගිරාළ සැලකිය හැකි යි. මේ ඔහුගේ දේශප්‍රේමීත්වය ගැන විමසා බැලීමක්.

ඩිංගිරාළ සිප්සතර හැදෑරූ හඟුරන්කෙත මාදන්වල විහාරය – pulinaekanayake.blogspot.com

 ජීවන තතු

හඟුරන්කෙත වලලවෙල ගමේ උපන් “වළලවෙල ගෙදර කුඹුරේ, අභයකෝන් ජයසේකර මුදියන්සේලාගේ ‘ඩිංගිරාල’ සොයුරන් දෙදෙනකුට බාලයා යි. වැඩිමහල් සොයුරා මැණික්‌ රාළ යි. දෙවැන්නා පුංචි අප්පු වූ අතර පවුලේ බාලයා ඩිංගිරාළ යි. ඩිංගිරාලගේ පියා වුණේ හඟුරන්කෙත දේවාලයේ පාලන නිලයක්‌ හෙබ වූ හඟුරන්කෙත මෙහොට්‌ටාල යි.

බ්‍රිතාන්‍ය හමුදා නිලධාරි මේජර් බේලි ගේ හමුදාව 1803 දී මහනුවර ආක්‍රමණය කර පසුව  හඟුරන්කෙත  මාලිගය වටලා කළ  ප්‍රහාරයට එරෙහි ව විසිංගෙදර උනන්තැන්නේ කුඩාරාළ හා එක්‌ වූ ඩිංගිරාළගේ වැඩිමල් සොයුරු මැණික්‌ රාළ බ්‍රිතාන්‍යයන්ට පහර දෙමින් සිටිය දී  වෙඩි පහරකින් මරු මුවට පත් වුණා.

ඩිංගිරාළ මූලික අධ්‍යාපනය මාදන්වල රාජමහා විහාරයේ හිමිවරුන් වෙතින් ලද බව පැවසෙනවා. ඩිංගිරාළ පවුලේ නිවස තිබුණෙත් එම විහාරය අසල යි. ඉන් පසු ඔහු අරත්තන රජ මහා විහාරයට ගොස් වැඩිදුර ඉගෙන ගෙන තිබෙනවා. ඩිංගිරාළ විවාහ වුණේ මුදලිහාමි නිලමේගේ සහෝදරියක වූ විංගිරි එතනා සමඟ බව පැවසෙනවා. 1818 උඩරට කැරැල්ල සිදුවන විට ඔහු යෞවනයෙක් ලෙසයි සිටියේ. වෛද්‍ය, ජ්‍යොතිශය, යන්ත්‍ර මන්ත්‍ර ගැනත් ඔහුට දැනුමක් තිබුණා.

 කැරලිකරුවන් සහ ඉංග්‍රීසි සෙබළු අතර සටනක් – exploresrilanka.lk

ජනතාව නැඟී සිටී

රේන්ද පනත, මුඩුබිම පනත ඇතුළු පනත් නිසා රටේ ජනතාව ඉංග්‍රීසින් කෙරෙහි කෝපයෙන් තමයි සිටියේ. නමුත් ඉංග්‍රීසි ආණ්ඩුව ජනතා අප්‍රසාදය මායිම් නොකර, 1848 ජුලි 1 දින සිට ‘තුවක්කු බද්ද’, ‘බලු බද්ද’, ‘කරත්ත බද්ද’ සහ ‘සාප්පු බද්ද’ යනුවෙන් තවත් අලුත් බදු පැනවූවා. වතු පාරවල් සකස් කිරීම සඳහා අනිවාර්යයෙන් ම මහජනතාව ශ්‍රමය යෙදවිය යුතු යැයි ද, නැතහොත් ඒ වෙනුවට ‘ඇඟ බද්ද’ ගෙවිය යුතු යැයි ද නියෝග කෙරුණා.

ඉංග්‍රීසින් ඒ වන විටත් රටේ සාරය එංගලන්තයට පැටවීම අරඹා තිබුණා. ජනතාව තුළ කැකෑරෙමින් පැවතියේ සිංහල රජෙක් යටතේ නිදහස් ජීවිතයක් ගත කිරීමේ අරමුණ යි. මේ නිසා මාතලේ මුල්කර ගෙන රටේ විවිධ පෙදෙස්වල ඉංග්‍රීසින්ට එරෙහි කැරලි කෝලාහාල හට ගත්තා. මාතලේට පැමිණි ගොංගාලේගොඩ බණ්ඩා සහ පුරන් අප්පුත් මේ කැරැල්ලට එකතු වුණා. 

හඟුරන්කෙත  ඩිංගිරාළ හැට විය පසුකර තිබුණත් ඒ වනවිටත් ගිනි දළු දමමින් සිටි මාතලේ කැරැල්ලට එකතු වී රට ගලවා ගැනීමට පෙරමුණ ගැනීමට අදිටන් කර ගත්තා.  ඔහු කැරැල්ලට එක්වීමට පෙර තම දේපල මැණික්‌ රාළ, පුංචිරාල, අප්පුහාමි යන පුතුන් තිදෙනා හා එක ම දියණිය වූ රන්මැණිකේ අතර බෙදා වෙන්කර දී තිබෙනවා. ඒ ක්‍රිස්තු වර්ෂ 1848.05.09 දින යි. 

 මාතලේ කැරැල්ලේ රජු ලෙස කිරුළු පලන් ගොංගාලේගොඩ බණ්ඩා-  pixels.com

1848 මාතලේ කැරැල්ල

1848 ජුලි 26 දින කැරැලි  නායකයෝ සහ විශාල පිරිසක් ඓතිහාසික දඹුල්ල රාජමහා විහාරයට රැස්වුණා. එහි නායක හිමියන් වූ ගිරණාගම තෙරුන් වහන්සේ එහි දී මහනුවර රජු වශයෙන් පෑලියගොඩ ඩේවිඩ් හෙවත් ගොන්ගාලේගොඩ බණ්ඩා අභිෂේක කළා.  ඔහු හඳුන්වන ලද්දේ ‘ශ්‍රී වික්‍රම සර්ව සිද්ධි’ යන නමින්.

මෙදින ම ඔහුගේ සහෝදරයා වූ දිනිස් උප රජු ලෙස ද, හඟුරන්කෙත ඩිංගිරාල සත්කෝරළේ නිල නොලත් රජු ලෙස ද ප්‍රකාශයට පත් කළා. පුරන් අප්පු, අග්‍රමාත්‍යවරයා නොහොත්, ගොන්ගාලේගොඩ බණ්ඩාගේ කඩු දරන්නා ලෙස ‘වලිසිංහ’ යන නමින් අභිෂේක කිරීම සිදු වුණා.

 ඩිංගිරාළගේ නිවස පිහිටි තැන-   lankadeepa.lk -සිසිර කුමාර බණ්ඩාර

සත්කෝරළේ රජු

ඌව පළාත, හඟුරන්කෙත, දුම්බර, හාරිස්‌පත්තුව මෙන් ම කුරුණෑගල, පුත්තලම ප්‍රමුඛ සත්කෝරළයේ රජු ලෙස කිරුළ පැළඳි හඟුරන්කෙත ඩිංගිරාල වීදිපැල්ලේ බණ්‌ඩාර නාමයෙන් තමයි කැරැල්ලේ දී හැඳින්වුණේ. 1848 ජූලි 30 දා පෙරවරු 11.37ට කුරුණෑගල “ලුණුකඩවැල්ල රාජමහා විහාරයේ” අධිපති පිළිමතලව්වේ ධම්මදස්‌සි නාහිමියන් අතින් විහාර බිමේ දී වීදිපැල්ලේ බණ්‌ඩාර රජුට ඔටුනු පැළඳ වූ බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා.

ඉංග්‍රීසි ආණ්ඩුව මායිම් නොකර පැවැත්වූ මෙම රාජ අභිෂේක උත්සව ගැන  ලැව්ගින්නක්‌ සේ රට පුරා පතළ වුණා. සත්කෝරළයේ රජු වූ ඩිංගිරාල රාජ සභා පැවැත්වීම, මහාදිකාරම්, අදිකාරම් දිසාව, රටේ මහත්මයා ආදී උඩරට රජ වාසල තනතුරු ද කැරලිකරුවන්ට ප්‍රදානය කළා. මේ ගැන දැන ගත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව බියෙන් සලිත වී කැරැල්ල මර්දනය කිරීමට කෙටුම්පත් සකස් කළා.

 ලුණුකඩවැල්ල විහාරය- mihithuru.lk

 

උද්‍යෝගයෙන් සිටි කැරලිකරුවන් ඩිංගිරාළගේ මෙහෙයවීමෙන් 1848 ජුලි මස 30 වැනි දා කුරුණෑගල නගරයට පහර දීමට සැලසුම් කළා.  කුරුණැගලට නුදුරු  බඩගමුව මහ වනයේ  කඳවුරු බැඳ සිටිමින් අවි ආයුධවලින් සන්නද්ධ 1500 පමණ සිංහල රණකාමීන් පිරිසක්‌ මෙහෙය වූ ඩිංගිරාල,  කුරුණෑගලට පහර දුන්නා. නගරයේ සිටි සුද්දන් පලා ගියා. තවත් ඉංග්‍රිසි සෙබළුන් පිරිසක් මරණයට පත් වුණා.

 අගෝස්‌තු පළමුවැනිදා මාතලේ නගරයත්, බ්‍රිතාන්‍ය පාලනයෙන්  මුදා ගැනීමට කැරලිකරුවන් සමත් වුණා. මාතලේ වාරියපොල කෝපි වතු යායට ගිනි තබා විනාශ කළ ගොංගාලේගොඩ බණ්ඩා ප්‍රමුඛ කැරලිකරුවන් මහනුවර නගරය අත්පත් කර ගැනීමට පිටත් වුණා. බියෙන් තැතිගත් ටොරින්ටන් ආණ්ඩුකාරවරයා 1848 ජූලි 29 මහනුවරට ද, ජූලි 31 දින කුරුණැගලට ද යුද නීතිය ප්‍රකාශයට පත්කළා.

කැරැල්ල මනා සංවිධානයකින් ක්‍රියාත්මක නොවුණු නිසා අසාර්ථක වීමේ ලකුණු පහළ වුණා. පුරන් අප්පු  ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට ගැනුණු අතර, ගොංගාලේගොඩ බණ්ඩා සහ ඔහුගේ සොහොයුරු දිනිස් සැඟව පලා ගියත් පසු ව අත්අඩංගුවට පත් වුණා.  1848 අගෝස්තු මස 08 වෙනි දින, පුරන්අප්පු මාතලේ දී වෙඩි තබා මරණයට පත් කළා. ගොන්ගාලේගොඩ බණ්ඩා පසුව ආණ්ඩුකාරයා වෙත ඉදිරිපත් කළ සමාව අයැදීමක් නිසා, කස පහර 100 ක් ලබා දී ජීවිතාන්තය දක්වා මලක්කාවට පිටුවහල් කළ අතර, ඔහු 1849 දෙසැම්බර් මස 01 දා එහිදී මරණයට පත්වුණා.

 ඩිංගිරාළ දේපල දරුවන්ට පැවරූ ඔප්පුවේ ඔහුගේ අත්අකුරු – සිසිර කුමාර බණ්ඩාර – lankadeepa.lk

ඩිංගිරාළ අත්අඩංගුවට

සත් කෝරළේ රජු ලෙස සිටි ඩිංගිරාළ අල්ලා ගැනීමටත් ඉංග්‍රීසින් උත්සාහ කරමින් සිටියා. ඔහු අල්ලා ගැනීමට කපිතාන් මැක්‌ඩොනල්ඩ් පිටත් කොට යැවූ සිංහල සෙබළ කණ්ඩායමේ නායකයා වූයේ දොරටියාවේ නිලමේ යි.

1848 අගෝස්‌තු මස 04 වැනිදා, රැයෙහි ම දොරටියාවේ නිලමේ, බම්බා විහාර භූමියේ දී සැඟ ව සිටියදී උපායෙන් අත්අඩංගුවට  ගත් හඟුරන්කෙත ඩිංගිරාළ  කුරුණෑගල දී රැස්වූ බ්‍රිතාන්‍ය හමුදාවේ කපිතාන් ඡේ. එම්. මැක්ඩොනල්ඩ්ගේ යුද්ධාධිකරණයට පසුදින ම ඉදිරිපත් කළා.

 මාතලේ නගරයේ පිහිටි කැරැල්ලේ සිහිවටනය – wikipedia.org

 

බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඩිංගිරාළට  එරෙහිව ලද චෝදනා පහක්‌   ඉදිරිපත් කළා. මහ රැජනගේ නීත්‍යනුකූල ආණ්‌ඩුව බිඳ දැමීමේ අදහසින් රාජ්‍ය ද්‍රෝහියකු ලෙස, අගෝස්‌තු මස 02 වැනිදා සහ 04 වැනිදා අතර කාලය තුළ දී කුමන්ත්‍රණය කිරීම, රාජ්‍යෙද්‍රාහී  කණ්ඩායම්  සමඟ එක්‌ වී මහ රැජනගේ ආණ්‌ඩුවේ සාධාරණ පාලනය කඩා දමා, ආණ්‌ඩු බලය අල්ලා ගැනීමට තැත් කිරීම ඇතුළු චෝදනා ඒ අතර තිබුණා.

‘‘යුෂ්මතාට දඬුවම් නොකිරීමේ හේතුවක්‌ වෙතොත් කීමට කාලය දැන් එළඹ තිබේ යයි අධිකරණයෙන් අසා සිටියා.

වෙඩි තබා මරයි

මේ චෝදනා ගැන කිසිදු සැලකිල්ලක් නොදැක්වූ ඩිංගිරාළ වෙනසකින්, තොරව චෝදනාව අසා සිට “චෝදනා පිළිබඳ කීමට දෙයක්‌ මට නැහැ” යි අධීකණයට පවසා සිටියා. ඉන්පසු ඔහුට වෙඩි තබා මරණයට පත් කිරීමේ තීන්දුව ප්‍රකාශ කළා.

ඩිංගිරාළ අල්ලා දෙන කෙනෙකුට පවුම් 150ක් දෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළත් සත්කෝරළේ  රජු බ්‍රිතාන්‍යයන්ට පාවාදුන් පසු  හිරියාල හත්පත්තුවේ රටේ මහතා වූ දොරටියාවේ නිලමේට තාන්න මාන්න හෝ රන් පවුම් සුද්දන්ගෙන් ලැබුණේ නැහැ.  ඒ වෙනුවට ඔහුට ලැබුණේ ගෞරව පදක්‌කමක්‌ පමණ යි.

 ඩිංගිරාළගේ සිරුර ආදාහනය කළ තැන තිබුණු ගල් කැබැල්ල-දැනුම facebook page

 

යුද්ධාධිකරණයේ නියමය මත ඩිංගිරාළ මරා දමන ලද්දේ, කුරුණෑගලට නුදුරු මුත්තෙට්‌ටුගල නුග ගසක බැඳ වෙඩි තැබීමෙන් යයි පැවසෙනවා. එසේ ඔහු මරා දැමුවේ 1848 අගෝස්තු 05 වැනි දින යි.  වෙඩි තබා මරා දැමූ  ඩිංගිරාළගේ  මළ සිරුර කැබලිවලට ඉරා මහජන ප්‍රදර්ශනය පිණිස එල්ලා තැබීමට සුද්දන් කටයුතු කළා. එසේ   එල්ලා ඇත්තේ  මුත්තෙට්‌ටුගල නම් ස්‌ථානයේ වැඩුණු වට අඩි 30 ක්‌ පමණ වූ දැවැන්ත නුග ගසක යි. එසේ දින හතරක් සිරුර එල්ලා තබා තිබෙනවා. එම නුග ගස 1987- 88 දක්වා පැවතුණා.  වර්තමාන ගැට්‌ටුවාන මහා විද්‍යාලය අසලයි එය තිබුණේ. මාර්ගය පළල් කිරීම නිසා කිසිවකුගේ සෙවිල්ලකින් තොරව එම නුග ගස කපා දමා තිබෙනවා.

හඟුරන්කෙත  ඩිංගිරාළ – හඟුරන්කෙත facebook page 

 

ඩිංගිරාළගේ සිරුර පසුව ගසෙන් බිමට ගෙන නුග ගසට මීටර් 600ක් දුරින් පිහිටි මීගසක් යට වළ දමා තිබෙනවා. එම ස්ථානයේ ඔහු සිහිවීමට සිංහල පිරිසක් ගල් කණු කැබැල්ලක් සිටුවා තිබුණා. ‘මුත්තෙට්‌ටුගල’ දුම්රිය ස්‌ථානයට මීටර් 500 ක්‌ තරම් නැඟෙනහිරින් ප්‍රධාන මාර්ගයේ දකුණු පසින් තමයි එතැන පිහිටියේ. 1980 දශකය අගදී කුරුණෑගල ත්‍රිකුණාමලය මාර්ගය සැකසීමේ දී  එම සොහොන් වළ මතින් ප්‍රධාන මාර්ගය ගමන් කළ අතර ගල්කණු කැබැල්ල ගලවා දමා තතිබෙනවා. පසුව එම ගල්කණු කොටස වයඹ ප්‍රධාන ඇමැති කාර්යාලය අසලට රැගෙන ගොස් තිබෙන බව පැවසෙනවා. මෑතක දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,  ඩිංගිරාළ සැමරීම සඳහා නව ගම්මිරිස් ප්‍රභේදයක් ඩිංගිරාළ නමින් නම් කළා.

මාතලේ මුල්කර ගෙන රටේ විවිධ පෙදෙස්වල ඉංග්‍රීසින්ට එරෙහි කැරලි කෝලාහාල හට ගත්තා -  onlinethaksalawa.com 

මූලාශ්‍ර :

හඟුරන්කෙත ඩිංගිරාළ- ආර්. බී. ඒ. ජයසේකර

ඓතිහාසික මාතලේ- මාතලේ සංස්‌කෘතික මණ්‌ඩල ප්‍රකාශනය

Silumina.lk 

Related Articles