සාක්කුවේ සැඟවුණු දේශපාලනය

අප අවට ඇති බොහෝ දේ රහස් සඟවා සිටියි. අද දවසේ අප කිසි ලෙසකත් නොසිතන දේ ඒ තුළ සැඟ ව තිබිය හැක. ඇඳුමක කොටසක් වන සාක්කුවට දේශපාලනමය ඉතිහාසයක් ඇති බව කිසිවිටෙක සිතා තිබේ ද? අද ඇඳුමකට සාක්කුවක් තිබීම ඕනෑම අයෙකුට සාමාන්‍ය දෙයක් වුවත්, සාක්කුවක් හිමිවීමේ දී ද වෙනස් කොට සලකනු ලැබුණු ඉතිහාසයක් පසුකර පැමිණ ඔබට දැන් හිමි වන සාක්කුව ලැබී තිබේ තිබේ. එම වෙනස් කොට සලකනු ලැබීමට පාත්‍ර වූයේ කාන්තාවන් ය. මේ ඒ ගැන කරුණු පිරික්සීමකි.

අද මෙය අතිශය සාමාන්‍ය විලාසිතාවකි (crisiswear)

මෙයට පූර්විකාව ලෙස හිලරි ක්ලින්ටන්ගේ සිදුවීමක් සිහිපත් කිරීම වටියි. 2016 වසරේ දී එක්සත් ජනපද ජනාධිපතිවරණයේ දී ඩිමොක්‍රටික් අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන්ගේ පැමිණීම කාන්තා ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් ලෙස මාධ්‍යය විසින් විශාල ප්‍රචාරණයක් ලබාදුනි. කාන්තාවක් ජනාධිපති වීම කාන්තා ගැටලු විසඳීමට අවස්ථාවක් වනු ඇතැ යි ද සාකච්ඡාවට පාත්‍ර විය. සියවසකට වඩා ඉතිහාසයක් ඇති කාන්තා ව්‍යාපරයේ තවත් ඉදිරි පියවරක් ලෙස මෙය සාකච්ඡාවට බඳුන් විය. (නමුත් කළු ජාතිකයකු වූ බැරක් ඔබාමා ජනාධිපති වීමේ දී අපේක්ෂාවක් වූ කළු ජාතිකයන්ට එරෙහි අසාධාරණය අවසන් වීම ද සිදු නොවුණි) ඇය ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව ලෙස නම් කළ පක්ෂ සමුළුවේ දී ඇගේ ඇඳුම වූයේ සම්පූර්ණ සුදු පැහැති ඇඳුමකි. එය කාන්තා ව්‍යාපාරය අතීතයේ පටන් භාවිතා කළ වර්ණය වූ සුදු වර්ණයේ අර්ථයෙන් ම භාවිත කළ අවස්ථාවකි. නමුත් එහි විශාල ගැටලුවක් විය. එනම් එම ඇඳුමේ සාක්කු නොමැති වීම යි. එහි ඇති උභතෝකෝටිකත්වය තේරුම් ගැනීමට නම් සාක්කුවේ දේශපාලන ඉතිහාසය ගැන අවබෝධයක් අවශ්‍ය ම යි.

සමුළුව අමතන හිලරි ක්ලින්ටන් (blogs.wsj)

බටහිර ලෝකයේ මුලින්ම ඇඳුමකට සාක්කුව පැමිණෙන්නේ 17 වන සියවසේ ය. නමුත් එය ඇඳුමට සම්බන්ධ ව ම මැසූ සාක්කුවක් වූයේ පිරිමි ඇඳුම් සඳහා පමණි. කාන්තාවන් සඳහා සාක්කුවක් වෙනුවට ඇඳුම්වලට යටින් වෙන ම මල්ලක් ලෙස සම්බන්ධ කර සාක්කුවක් ලෙස භාවිතයට ගැණිනි. මෙය නීතිමය ක්‍රියාවක් නොවුණ නමුත් සම්ප්‍රදාය විසින් ඇති කළ තත්ත්වයක් විය. නමුත් ඒ ඇයි? කාන්තාවට පිරිමියාගේ තත්ත්වයට සමාන ලෙස කටයුතු කිරීමට එදා සමාජය තුළ ඉඩක් නොවීය. එහි මට්ටම කෙතරම්දැ යි මෙම සාක්කුවේ ගැටලුවෙන් ම තේරුම් ගත හැක. කාන්තාවන් එකල පැළඳි ඇඳුම් බොහොමයක් වූ නිසා මෙම සාක්කුවට පිවිසීම අතිශය දුෂ්කර කටයුත්තක් විය. ඇඳුම් බොහොමයක් උනා දැමීමකින් තොරව එයට සමීප වීම ද අසීරු කටයුත්තක් වන තරමට එය දුෂ්කර විය. සාක්කුව පිරිමි ඇඳුමට කටයුතු පහසු කිරීමක් ලෙස පැමිණියත් කාන්තාවට එය වඩාත් දුෂ්කර කටයුත්තක් විය. නමුත් එය මුදල් වැනි දේ ආරක්ෂා කර ගැනිමට ක්‍රමයක් නම් වන්නට ඇත. එම නිසා එම දුෂ්කරතාව මැද වුවත් එය භාවිතා විය.

ඇතුළතින් ගැට ගසන ලද සාක්කුවක් (mic)
සාක්කුවට පිවිසීමේ ක්‍රමය (mic)

18 වන සියවසට පැමිණෙන විට එම දුෂ්කරතාව තරමක් දුරට අවම වී ළඟා වීමට පහසු නමුත් ඇඳුමට කුඩා මල්ලක් ලෙස ම සාක්කුව භාවිතා කරන ලදී. භාවිතය විසින් ම ක්‍රමයෙන් පරිවර්තනය වීමක් වූ අතර, එයට විරුද්ධ ව බලපෑමක් එල්ල කර සිදුකළ වෙනස්කමක් නොවීය. 19 වන සියවසට පැමිණෙන විට මෙම ඇඳුමට සම්බන්ධ කිරීම වෙනුවට අත් බෑගයක් ලෙස සාක්කුව ඇඳුමෙන් පිටතට පැමිණියේ ය. මේ සියල්ල අතරේ පිරිමි ඇඳුමේ සාක්කුව පුරුදු ලෙස ම ඇඳුමට සම්බන්ධ ව සාක්කුවක් ලෙස ම පැවතුණි.

සාක්කුව ඇඳුමෙන් අතට (mic)

නිව්යෝක්හි විලාසිතා අධ්‍යයන ආයතනයේ මහාචාර්ය එළිසබෙත් මොරානෝ පවසන්නේ මේ ඉතිහාසය අධ්‍යයනය කිරීමේ දී පෙනී යන කරුණ නම් කාන්තා ඇඳුමේ සාක්කු නොතිබූ බව යි. එසේ ම මේ ගැන අදහස් දක්වන විලාසිතා පිළිබඳ ඉතිහාසඥ බාබරා බර්මන් පවසන්නේ මෙම සාක්කු අහිමි කිරීමෙන් නිරූපණය වූයේ කාන්තාවට එරෙහිව තිබූ ආර්ථික බාධකය බව යි. එකල කාන්තාවන්ට මුදල් පරිශීලනය කිරීමට තිබූ සීමාකම් සහ දේපළ හිමිකම් සඳහා තිබූ බාධාව පිළිබඳ කැඩපතක් ලෙස මෙම සාක්කුවල ඉතිහාසය හඳුනාගත හැකි බව ඇගේ අදහස යි. සාක්කු අවශ්‍ය වන්නේ මුදල් වියදම් කරන පුද්ගලයන්ට යි. කාන්තාවට අවශ්‍ය දේ සඳහා වියදම් කරනු ලබන්නේ ඇගේ සමීපතම පුරුෂයා විසිනි. සාක්කුව අහිමිවීමේ ආර්ථිකමය පදනම එය යි. ඇය මේ පිළිබඳ සඳහන් කර ඇත්තේ The Pocket: A Hidden History of Women’s Lives, 1690-1900 නම් සාක්කුවල ඉතිහාසය පිළිබඳ ව අධ්‍යයනය කරමින් රචනා කළ පර්යේෂණාත්මක කෘතියෙහි ය.

නමුත් ඉතිහාසය වෙනස් කරමින් 19 වන සියවස අවසානයේ කාන්තාවන් තමන්ට එරෙහි අසාධාරණත්වයට පෙරළා පහර දීම අරඹන ලදී. බටහිර ලෝකය පුරා ම පැතිර ගිය කාන්තා ව්‍යාපාර විසින් ආර්ථික සමානත්වයත් දේශපාලන ස්වාධීනත්වයත් උදෙසා අරගල කරන ලද අතර, නෛතික බාධක මෙන්ම සම්ප්‍රදායික ව පවත්වාගෙන ආ පුරුෂාධිපති දෑ ඔවුන් විසින් වෙනස් කිරීමට කටයුතු කරන ලදී. සාක්කුව ඇඳුමට සම්බන්ධ කර මැසීමට කාන්තා ව්‍යාපාරවල කාන්තාවන් කටයුතු කරන ලදී. ඔවුන්ගේ නිල ඇඳුම වූයේ එසේ සකස් කළ සුදු ඇඳුම යි.

නිව්යෝක්හි කාන්තා ක්‍රියාකාරීන්ගේ පාගමනක් (history)

මෙය තව තවත් සාමාන්‍යකරණයට භාජනය වූයේ 20 වන සියවසේ දී කාන්තාවන් කලිසම ඇඳීම ආරම්භ කිරීමත් සමගඟ යි. කාන්තා ව්‍යාපාරවල නියැළුණු කාන්තාවන් ද කලිසම ඇඳීම සිදුකළ නමුත්, එය 1930 දශකය වනතෙක් ජනප්‍රිය කටයුත්තක් නොවීය. 1930 දී ප්‍රංශ රංගන ශිල්පිනයක් වූ Marlene Dietrich විසින් සාක්කු සහිත කලිසම විලාසිතාමය ලෙස භාවිතයට ගත් අතර ඇමරිකන්-ස්වීඩන් රංගන ශිල්පිනියක් වූ Greta Garbo විසින් ද 1931 වසරේ මෙසේ සාක්කු සහිත කලිසමක් ඇඳීම සිදුකිරීම කාන්තා ඇඳුමේ විප්ලවීය වෙනසක් කිරීමට මුල පිරී ය.

Marlene Dietrich (evelynwood)
Greta Garbo (pinterest)

නමුත් එය සාමාන්‍යකරණය වීමට තවත් කලක් ගත විය. විශේෂයෙන් ම 70 දශකය තුළ කාන්තාවන් කලිසම වැනි එතෙක් පුරුෂ ඇඳුමක් ලෙස නම් කළ ඇඳුම් ඇඳීම විලාසිතාවක් බවට පත් විය. 90 දශකයට පැමිණෙන විට එය සම්පූර්ණයෙන් ම කාන්තාවන්ගේ සාමාන්‍ය ඇඳුමක් පමණක් නොව විවිධ විලාසිතා සමගින් විචිත්‍ර ඇඳුමක් බවට පත් විය. සාක්කුවේ ගමන් මඟ පැමිණියේ එලෙස ය.

70 දශකයෙන් පසු කලිසම කාන්තාවන්ගේ සාමාන්‍ය ඇඳුමක් විය (pinterest)

කාන්තා ව්‍යාපාරයේ ආභාසය ගත් හිලරි ක්ලින්ටන්ගේ ඇඳුමේ සාක්කු නොතිබීමේ ගැටලුව කුමක්දැ යි දැන් ඔබට පැහැදිලි ඇත.

හිලරි ක්ලින්ටන් පක්ෂ සමුළුවේ දී (vox)

 

Related Articles