පුරාණ රෝහණයේ හැංගුණු ඉසුරුමත් සඳගනා නුවර

පුරාණ රෝහණ රාජධානියට අයත් ක්‍රිස්තු පූර්ව යුගය තරම් ඉපැරණි කාලයක ඇරඹුණු සේ සැලකෙන නගරයක් වන චන්දන ගාමය හෙවත් සඳගනා නුවර  නටබුන් පිහිටා තිබෙන්නේ බලංගොඩ කල්තොටට නුදුරින්. මේ, පුරාණයේ ඉසුරුමත් නගරයක් ව පැවති බව සැලකෙන වැඩි දෙනකු නොදන්නා  හුදෙකලා පුරාවිද්‍යා නටබුන් බිම ගැන කළ සොයාබැලීමක්.

සඳගනා නුවර අවට කෙත්යාය- Kusumsiri Wijayawardhana

පිහිටීම

කල්තොටට නුදුරු ව පිහිටි පුරාණ නගරයක් බවට ඉතිහාසඥයන් සොයා ගත් සඳගනා නුවර  සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යි පිහිටා ඇත්තේ. එහි නටබුන් අවශේෂ සඳගිරිය ග්‍රාම සේවා වසමට අයත්  ගිරමාදොල හා කටුපත්ඔය නිම්නයේ දැකගත හැකි යි.

මේ බිම පුරාණ බෙදීම් අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ මහපල්ල පළාතේ කඩවත මැදදෙකෝරළයේ පිහිටා තිබෙනවා. බලංගොඩ සිට වැලිගපොල හරහා කල්තොට පාරේ මෙතැනට දුර කිලෝ මීටර් 20යි. මහා මාර්ගයේ වම්පස හඳගිරිය යැයි සඳහන් පුරාවිද්‍යා නාම පුවරුවක් සවිකර තිබෙන අතර කෙත් යායක් මැදින් බොරළු පාරක් ඒ වෙත දිව යනවා. කඳු අතර නිම්නයක සුන්දර පෙදෙසක තමයි මේ ස්ථානය පිහිටා තිබෙන්නේ.

සඳගනා නුවරට නුදුරින් පිහිටි කිරිමකුලුගොල්ල කඳු- Kusumsiri Wijayawardhana

නැවත හඳුනා ගැනීම

මධ්‍ය කඳුකරයේ ගිනිකොන දිග තැන්නේ පර්වත වේදිකාවත්, වලවේ ගඟත්, පනාන හටන්ගල, කොට්ටඉඹුල්වල වැනි කඳු පන්තීන් වට කර ගත් තැනිබිමක හඳගිරිය හෙවත් පුරාණ චන්දන ග්‍රාමය පුරාවිද්‍යා භූමිය පැතිර තිබෙනවා. මේ තැනිතලාවට මායිම් වශයෙන් දියවිනි ඔය, මහවලතැන්න සානුව හා කටුපත් ඔය පිහිටා තිබෙනවා.

ඉතිහාසයේ විවිධ කාලවකවානුවලදී ගිරිනුවරසඳගිරිනුවරසඳමහනුවරසඳගම්නුවරසඳගනානුවරචන්දනග්‍රාමයහඳගිරිය  යනුවෙන් හඳුන්වා ඇත්තේ කල්තොටට නුදුරු නටබුන් බිම බවට මෑත අතීතයේ මතයක් පළ වුණා. මේ මතය ඓතිහාසික සහ ශිලාලේඛන සාධක මත ඉදිරිපත් කිරීමට මුල්වුණේ එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝයි.ඉන්පසුව දයානන්ද බිනරගම ඇතුළු තවත් ඉතිහාසඥයන් ද මේ ගැන උනන්දු වුණා.

ඒ අනුව වර්තමාන හඳගිරිය අතීත දක්ඛිණගිරි මණ්ඩලයේ ඛත්තිය ජනපදයට අයත් චන්දන ග්‍රාමය (සඳුන්ගම) ලෙස හඳුනා ගෙන තිබෙනවා. මෙම ස්ථානය පුරාවිද්‍යා ආරක්ෂිත ස්ථානයක් ලෙස ප්‍රකාශිත යි.

කෙත්යායේ පිහිටි නටබුන් – Kusumsiri Wijayawardhana

 

හඳගිරියේ නටබුන් පිළිබඳව මුලින්ම සටහන් කරන්නේ 1930 දශකයේ රත්නපුරආණ්ඩුවේ ඒජන්ත ලෙස  කටයුතු කළ සී, එච්. කොලින්ස්.  1932 දී රාජකීය  ආසියාතික සංගමයේ  ලංකා ශාඛාවේ සඟරාවට  “සබරගමුව බින්තැන්නේ පුරාවස්තු” නමින් ලිපියක් ලියමින් මේ අවට නටබුන් ගැන සඳහන් කරනවා. ඔහුගේ ගවේෂණවලට අනුව  වර්ග සැතපුම් ගණනාවක් පුරා විසිරී ඇති නටබුන් අතර ඇති ගල් කණු, උස් භූමියක වෘත්තාකාර විශාල මළුව, ගරා වැටී ඇති  දාගබක අවශේෂ, විනාශයට පත් ගඩොල් ප්‍රාකාර බැම්මකින් වට වූ බෝධි වෘක්ෂය, අක්කර 20-40 විශාල, විනාශයට පත් වැව් පහක නටබුන් ගැන ඔහු කරුණු දක්වනවා.

එදා සිට අද වනවිට මේ පුරාවස්තු තවදුරටත් විනාශ වි ගොස් ඇති බවයි පේන්නේ.හඳගිරිය ඇතුළු වලවේ නිම්නය හා බින්තැන්නේ කොටසක්ද ගවේෂණය කළ කොලින්ස් එච්.සී.පී. බෙල් හා මහාචාර්ය සෙනරත් පරණවිතානගේ අදහස්ද සැලකිල්ලට ගෙන ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ දී මේ අවට ප්‍රාදේශීය අගනුවරක් ලෙස පැවති බව සඳහන් කළා. තවත් විද්වතුන් පිරිසක් චන්දනගාමය කතරගමට නුදුරු රුහුණේ පැවති බවට ද අදහස් පළ කරනවා.

මෙම ස්ථානය ගැන  ගවේෂණය කළ  එල්ලාවල මේධානන්ද හිමි –  sinhala.newsslbc.lk 

ගවේෂණ

වර්ෂ 1942 දී “සපරගමුවේ පැරණි ලියවිලි” ග්‍රන්ථයේ රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥානවිමල හිමියන් 1940 දී කළ ගවේෂණයක් පදනම් කරගෙන හඳගිරිය නම් ඓතිහාසික නගරය පිළිබඳ ව සුළු විස්තරයක් සටහන් කොට තිබෙනවා. හඳගිරියේ කුඹුරුවල තැනින් තැන විසිරුණු කැටයම් කළ ගල් කණු කිහිපයක් ගැනත්  කුඹුර මැද උස් බිමක ගරාවැටුණු ස්තූපයක් ගැනත්, ජරාවාස වූ වැව් කිහිපයක නටබුන් ගැනත් එම  විස්තරයේ  දක්වා තිබෙනවා.

පුරාවිද්‍යා කොමසාරිස්ගේ 1960-61 පාලන වාර්තාවේ හඳගිරිය පිළිබඳ ගවේෂණයක තොරතුරු කිහිපයක් සටහන් වෙනවා. එහි නටබුන් අතර  අඩි 25ක් උස දාගබක නටබුන් ද, අඩි 25ක හතරැස් කුළුණු සහිත ගොඩනැගිල්ලක් ද, ගල් කුළුණු සහිත අඩි 37×17 ප්‍රමාණයේ ගොඩනැගිල්ලක්, විසිරී ඇති වෙනත් ගල් කැටයම් කිහිපයක් හා පුරාණ ගඩොල් බැම්මකින් වට වූ බෝධි වෘක්ෂයක් ද තිබෙන බව සඳහන් කර තිබෙනවා.

2003 දී මෙම ස්ථානයේ ගවේෂණයක් කරන අතර  1960 වසරේ අඩි 25ක් උස්ව  පැවති ස්තූපය අඩි 11 ක් දක්වා අඩු වී තිබුණු බව සඳහන්. ස්තූපය මැදින් අඩි 15ක් පමණ ගැඹුරු වළක්  නිදන් කොල්ලකරුවන් හාරා තිබුණු බවද පැවසෙනවා. 1992 දී විකිළියේ නාරද හිමියන්  ගල්කණු 119ක් සටහන් කළත් එය අද කණු 52කට අඩු වී තිබෙනවා. 

 හඳගිරියේ ඉපැරණි බෝධිය-Dinush Witharama – Amazing lanka.com

ඉතිහාස කතා

දේවානම්පියතිස්ස රජු කල (ක්‍රිස්තු පූර්ව 3 සියවස) අනුරාධපුරයේ පැවති ශ්‍රී මහා බෝධි රෝපණ උත්සවයට රෝහණයේ චන්දනගාමයේ ක්ෂත්‍රියයන් ද පැමිණි බව මහාවංශය පවසනවා. පසුව ඔවුන්ට වැඳුම් පිදුම් කිරීමට බෝධියෙන් හටගත් අෂ්ටඵලරුහ බෝධියක් ද රජු ලබා දී තිබෙනවා. මෑතක් වන තෙක් චන්දනගාමය වශයෙන් සැලකුණේ තිස්සමහාරාමයට නුදුරු පෙදෙසක්. එහි හඳගිරි සෑය නමින් දාගබක් ද තිබෙනවා.

පුරාවිද්‍යාත්මක සාධක සලකා බැලූ එල්ලාවල මේධානන්ද හිමියන් තර්ක කළේ පුරාණ චන්දනගාමය පිහිටියේ තිස්සමහාරාමයේ නොව රෝහණ රාජධානියට අයත් කල්තොට හඳගිරියේ බව යි. කැණීම්වලින් ලත් දත්ත පදනම් කරගෙන මහාචාර්ය රාජ් සෝමදේව ද එම අදහස සනාථ කර තිබෙනවා.

එදා ප්‍රාදේශීය රාජධානියක් වශයෙන් ප්‍රකටව පැවති හඳගිරිය අද පොළොවට යටවුණු නටබුන් පෙදෙසක් පමණ යි. නටබුන්වලින් වැඩි ප්‍රමාණයක් මේ වනවිටත් කාලයා මෙන් ම මිනිසුන් ද වනසා දමා ඇති බව එහි යන කාට වුණත් පෙනෙනවා.

 බෝධි වෘක්ෂය ඈතට පෙනෙන අන්දම-  facebook

වර්තමාන හඳගිරිය

1960 දශකයේ මහා වනගහනයක් ව පැවති මේ පෙදෙස අද වනවිට මාර්ග පහසුකම් සහිත කුඹුරු හා එළවළු වගාව ජීවනෝපාය කර ගත් ගොවි ජනතාවකගේ වාසභූමියකට නතු ව තිබෙනවා. නටබුන් බිම පැතිර තිබෙන්නේ විශාල වෙල්යායක යි. පුරාණ නටබුන් පැවති ස්ථානවලත් ගොවීන් පසුකාලීන ව කුඹුරු අස්වද්දා තිබෙන බව තමයි පේන්නේ.

පුරාවිද්‍යා ස්ථානයට අක්කර හතරක භුමි භාගයක් අයත්. ස්ථූපයක නටබුන් පස්ගොඩැල්ලක්, බෝධිඝරයක නටබුන්, ගල් ටැම්, ගල්වැටි, පුරාණ බෝධියක් වර්තමානයේ මෙහි දකින්නට පුළුවන්. ඒවාට අමතර ව තම කුඹුරුවලින් ගොඩනැගිලි පාදම්, මැටි මෙවලම් ,කැටයම් ගල්, ගඩොල්, උළු, කැබලි හමුවන බව අවට ගොවි ජනතාව පවසනවා. වෙල් යාය පුරා පිහිටි පුරාණ ගොඩනැගිලිවලට අයත් ගල් ටැම් සංඛ්‍යාව 52 ක්. බිම වැටුණු ගල් ටැම් 15 ක් විතර තියෙනවා. ගඩොල් අතුරන ලද මාර්ගයක ශේෂ සහ පියගැට පෙළ වල නටබුන් ද මෙහි දැකගත හැකි යි.

නටබුන් ගොඩනැගිලි- facebook

 

නටබුන් තිබෙන ස්ථානය පුරාවිද්‍යාවට පවරාගෙන තිබුණත් ඒ ස්ථානවල ගොවියන් සුපුරුදු පරිදි කුඹුරු ගොවිතැන් කරනවා.  ඒ නිසා පුරාවස්තුවලට හානිවෙන්නට ඉඩ තිබෙනවා.  ගොවියන්ගේ ඉඩම්වලට වන්දියක්  දී එම ඉඩම් නිශ්චිතව වෙන්කර ආරක්‍ෂා කළ හැකි නම් එය වඩාත් සුදුසු බව අපගේ හැඟීම යි.

නටබුන් ප්‍රදේශයේ කොටසක් මෑතකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටුකම්බි ගසා වෙන්කර තිබෙනවා. ඒ නටබුන්වල ආරක්ෂාව සඳහා යි. ආරක්ෂාවට පුරාවිද්‍යා මුරකරුවකු ද පත්කර සිටිනවා. මෙහි විහාරයක් නැතත් අදටත් මෙහි තිබෙන බෝධියට පැමිණෙන ගැමියන් එයට වැඳුම් පිදුම් කරන බව පෙනෙනවා. 

මෙම නටබුන් බිමට ඈතින් තැනිතලාව විදගෙන ඉහළ නගින දියවින්න කිරිම කුළුගොල්ල පර්වත වේදිකාව ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටම මානවයන්ට වාසභූමි වූ පෙදෙසක් බව මහාචාර්ය රාජ් සෝමදේවගේ කැණීම්වලින් හෙළි වුණා. මධ්‍ය ශිලා යුග මානවයන් ගල් ආයුධ පරිහරණය කරමින් ජීවත් වූ ලෙන් ඓතිහාසික යුගයේ දී භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලාට වාසභූමි බවට පත් වුණා. ඒ අතර පහත මිටියාවත කෘෂිකර්මාන්තයට යෙදවුණු අතර ප්‍රාදේශීය පාලකයන් පිරිසක් ද බිහිවුණු බව මේ නටබුන් හා ඉතිහාස පුවත්වලින් පෙනෙන කරුණක්.

කැඩිබිඳී ගිය බෝධිඝරය- facebook.com

ටැම්වත්ත නටබුන්

හඳගිරියේ නෂ්ටාවශේෂ පිහිටි ප්‍රධාන ස්ථානය ටැම්වත්ත යි. ගල්ටැම් බහුල ව පිහිටි නිසා කලක පටන් ගැමියන් ඒ නම ලබාදී තිබෙනවා. වෙල්යායේ තමයි ටැම්වත්ත නටබුන් විසිරී පවතින්නේ. මාලිගාගොඩැල්ල, වෙහෙරගොඩැල්ල සහ අෂ්ටඵලරුහ බෝධිය යනුවෙන් මෙහි නටබුන් වෙන්කළ හැකි යි. වෙල්යායට එපිටින් වලවේ ගඟ දක්වා ම තවත් නටබුන් රාශියක් ද පැතිර තිබෙනවා. මෙම ස්ථානවල කැණීම් සිදුකර නැහැ.

මාලිගාගොඩැල්ල  කියා හඳුන්වන නටබුන් පිහිටා ඇත්තේ වෙල්යාය මධ්‍යයේ යි. එහි කොටසක් කමත වශයෙන් යොදාගෙන ඇති අතර, සෙසු කොටස් කුඹුරට ම යටවී තිබෙනවා. පැරණි ගල්කණු තිබෙන නිසා ගැමියන් එයට මාලිගා ගොඩැල්ල යන නම ලබා දී තිබෙනවා.

චතුරස්‍රාකාර ගොඩනැඟිල්ලකට අයත් ගල්ටැම් 31ක් මෙහි පැතිර තිබෙනවා. ඉන් හතරක් හැර සෙස්ස කැඩී ගොසින්. කැණීම් කර නොමැති නිසා මෙය කුමන ගොඩනැඟිල්ලක් දැයි පැවසීම අපහසු යි. මෙම ගොඩනැඟිල්ල වටා තවත් කුඩා චතුරස්‍රාකාර ගොඩනැඟිලි හතරක ශේෂ පවතිනවා.

වෙහෙරගොඩැල්ල

 වෙහෙරගොඩැල්ල නමින් ගැමියන් හඳුන්වන්නේ මේ නටුබන් බිමේ පුරාණ දාග බ පිහිටි ස්ථානයයි. අද ඒ මත විශාල ගස් වැවී පස් කන්දක් බවට පත්වෙලා. නිදන් හොරුන්ගේ ද අතවරයට ලක්ව ඇති දාගබේ ගඩොල්, අවට විසිරී පවතිනවා. දිගු කලක් තිස්සේ නිදන් හොරුන්ගේ විනාශය බරපතළ ලෙස දාගබට සිදු ව තිබෙනවා. මෙය ක්‍රිස්තු පූර්ව යුගයට අයත් මුල් කාලීන දාගබක් විය හැකි බව යි පෙනෙන්නේ. මෙහි සිට තවත් කිලෝ මීටර් 10ක් දුරින් වනගත ව හඳගිරිය වසමට අයත් කොටසේ ම මෙතැනට සමාන තවත් නටබුන් බිමක් ද පිහිටා තිබෙනවා. එය හඳුන්වන්නේ වීදියේ යාය කියල යි.

බලංගොඩ කල්තොට ප්‍රදේශයට එන විට සඳගනා නුවර නටබුන් බිම ඔබත් අමතක කරන්න එපා.

කවරයේ ඡායාරූපය: දියවින්න කඳුවැටිය පසුබිමේ සඳගනා නුවර- Kusumsiri Wijayawardhana/Facebook 

මූලාශ්‍ර:

සබරගමුව වංශ කතාව - 1 කොටස, එල්ලාවල මේධානන්ද හිමියන්ගේ ලිපිය,  සබරගමුව පළාත් සභාව

සපරගමුවේ පැරණි ලියවිලි- රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඥාණවිමල

Amazing lanka.com 

Related Articles