Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොවක් වසඟ කළ සැඟවුණු ධන නිධාන

පුරාණ අබිරහස් සඟවාගෙන සිටින නිහඬ තෝතැන්නක් ලෙස අප වෙසෙන මිහිතලය හඳුන්වාදීමට පුළුවන්. නිශ්චිත වටිනාකමකට උරුමකම් කියන පෞරාණික භාණ්ඩ අවේතනික ව බලා කියා ගන්නා ආරක්ෂකයා වන්නේත් මේ මිහිතලය යි. කාලයාගේ ඇවෑමෙන් මහපොළව අභ්‍යන්තරයේ මිහිදන් ව ඇති මෙවැනි කෞතුක භාණ්ඩ ලෝහ අනාවරක (Metal Dectors) උපයෝගී කරගනිමින් හඳුනාගැනෙනවා. පෞරාණික ලෝහ වස්තූන්ගේ ආරක්ෂාකාරී නිවහන ලෙස සැලකෙන පොළොව අභ්‍යන්තරය මෙවැනි කෞතුකයන්ගෙන් සමන්විත බව හඳුනා ගැනීමට බහුතරයක් වූ ලෝහ අනාවරක විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර භාවිතයට ගන්නවා.

අඩු වටිනාකමක් සහිත ලෝහ අනාවරක (Metal Detectors) උපයෝගී කොටගෙන පෞරාණික භාණ්ඩ රැස් කිරීමට ඇබ්බැහි වූ පිරිස් සොයාගත් අහඹු කෞතුක සහ නිදන් වස්තු කිහිපයක තොරතුරු මේ ලිපියෙන් දැක්වෙනවා.

01). Boot of Cortez රන් කුට්ටිය

1989 වසරේ එක් දවසක මෙක්සිකානු වැසියෙක් ගුවන්විදුලි උපකරණ අලවි කරන වෙළෙඳසලකට ගොඩවැදී ලෝහ අනාවරකයක් (Metal Detectors) මිල දී ගැනීමට කටයුතු කළා. මෙක්සිකෝ දේශසීමාවට අයත් සොනෝරන් නමැති තහනම් කාන්තාරයට හෙතෙම පියමැන්නේ මෙයින් අනතුරුව යි.

ආධුනික පෞරාණික වස්තු ගවේෂකයකු වීමට පෙරුම් පුරමින් සිටි හෙතෙම කුමක් හෝ ලෝහමය වස්තුවක් සොයාගැනීමේ අරමුණින් සොනෝරන් කාන්තාරයට හොර රහසේ ම ඇතුළු වූවා. රන් සහ රිදී බහුලව අඩංගු පතල් උතුරු මෙක්සිකෝව පුරා විසිරී පවතින බව පිළිගැනෙනමුත් කාන්තාර මධ්‍යයක රන් කුට්ටියක් හෝ වෙනත් ලෝහමය කැබැල්ලක් සොයා ගැනීමේ සම්භාවිතාව පවතින්නේ අවම අගයක යි.

බටහිර අර්ධගෝලයට අයත් මෙක්සිකානු භූමිය Boot of Cortez රන් කැබැල්ලට නිසියාකාර හව්හරණක් සැපයූවා – a-z-animals.com

සිය ගෙමිදුල ආශ්‍රිත පොළවේ මිහිදන්ව පැවති පුරාණ කාසි කිහිපයක් හඳුනා ගැනීමට හෙතෙම සමත් වූයේ ඉන් කලකට ඉහතදි යි. රන් කුට්ටි අඩංගු බවට කටකතා පැතිර ගිය සොනෝරන් කාන්තාරය අසබඩ පිහිටි Gran Desierto de Altar නමැති උප පාරිසරික ප්‍රදේශය මෙයින් අනතුරුව ඔහු පරික්ෂා කළා. රාස්සිගේ අව්ව සමඟ හරි හරියට ඔට්ටු වෙමින් සිදු කළ භූමි පරික්ෂාව අතරතුර හෙතම රැගෙන ආ ලෝහ අනාවරකය බලාපොරොත්තු සහගත “බීප්” හඬක් නිකුත් කළා.

“බීප්” හඬ නිකුත් වූ ප්‍රදේශය අසබඩ නිශ්චිත කැණීමක් සිදු කිරීමට මොහු එහිදී පියවර ගෙන තිබුණා. සූර්යයාලෝකයට නිරාවරණය වූ යම්කිසි වස්තුවක් දීප්තිමත්ව බබළන අයුරු සිය කැණීම සිදු කළ අවස්ථාවේ හෙතෙම දුටුවා. දීප්තිමත් වස්තුව නිරුපද්‍රිතව ගොඩ ගැනීමට අවැසි නම් ප්‍රවේසම් සහගත කැණීමක් සිදු කළ යුතු බව එකී ගවේෂකයා ක්ෂණිකව තීරණයකට එළඹ සිටියා. මිලක් නියම කිරීමට අපහසු රන් කැබැල්ලක් තමාට හසු වූ බව ඔහුට පසුව වැටහුණා.

බූට් සපත්තුවක හැඩැය ගත් එම රත්‍රන් කැබැල්ල රාත්තල් 26 කට මඳක් වැඩි බරකින් සමන්විත වූවා – s27107.pcdn.co

ආධුනික ගවේෂකයා උපකල්පනය කළ ප්‍රමාණයට සාපේක්ෂ විශාල වර්ගඵලයකට එකී රන් කැබැල්ල හිමිකම් කීවා. කැණීම අවසානයේ සිදුකළ පරීක්ෂාවෙන් අඟල් 10¾ ක උසකුත් අඟල් 7¼ ක පළලකුත් එකී රන් කැබැල්ලට හිමි ව තිබූ බව හෙළි කළා. බූට් සපත්තුවක හැඩැය ගත් එම රත්‍රන් කැබැල්ල රාත්තල් 26 කට මඳක් වැඩි බරකින් සමන්විත වූ බව එකී ආධුනික ගවේෂකයාට නිරීක්ෂණය වී තිබුණා.

“Boot of Cortez” යන අනුවර්ථ නාමය මෙම රන් කුට්ටියට ලබා දී තිබුණා. බටහිර අර්ධගෝලයට අයත් මෙක්සිකානු භූමිය මෙම විශාල රන් කැබැල්ලට නිසියාකාර හව්හරණක් සපයා දී තිබුණා. Boot of Cortez සොයාගත් ආධුනික ගවේෂකයා ඩොලර් 30,000 ක මුදලකට එය අලෙවි කොට තිබුණා. 2008 වසරේ පැවති වෙන්දේසියකදී ඩොලර් මිලියන 1,553,500 ක ලංසුවකට Boot of Cortez රන් කුට්ටිය අලෙවි වූවා.

2008 වසරේ පැවති වෙන්දේසියකදී ඩොලර් මිලියන 1,553,500 ක ලංසුවකට Boot of Cortez රන් කුට්ටිය අලෙවි වූවා -www.goldnuggetsales.com

02). ඇන්ග්ලෝ – සැක්සන් වැසියන්ගේ Staffordshire Hoard

මධ්‍යකාලීන එංගලන්තයේ ආධිපත්‍යය හිමිකර ගැනීමට ඇන්ග්ලෝ – සැක්සන් රාජධානි ( ක්‍රි.ව. 410 රෝම අධිරාජ්‍යය බිඳ වැටීමෙන් පසු බ්‍රිතාන්‍යයට ගමන් කළ උතුරු යුරෝපා සංක්‍රමණිකයන්ගෙන් සැදුම්ලත් පිරිස් )සටන් වැද තිබුණා. ඒ මෙයට වසර 1,500 කට පෙරාතුව යි. මෙලෙස සටන් වැදි බලසම්පන්න ඇන්ග්ලෝ – සැක්සන් රාජධානි මර්සියා යනුවෙන් හැඳින්වූවා. වර්තමාන මිඩ්ලන්ඩ්ස් ප්‍රදේශය පුරා සිය බලය ව්‍යාප්ත කිරීමට මෙම මර්සියා රාජධානි කටයුතු යොදා තිබුණා.

2009 වසරේ එක් දවසක බ්‍රිතාන්‍ය ජාතිකයකු සිය ලෝහ අනාවරකයත් රැගෙන මර්සියා රාජධානියේ හදවත බඳුව පැවති ස්ටැෆර්ඩ්ෂයර් නගරය දෙසට පිය නැඟුවා.

“ Staffordshire Hoard ’’ යන අනුවර්ථ නාමයෙන් හඳුන්වන ලොව විශාලත ම ඇන්ග්ලෝ – සැක්සන් ලෝහ භාණ්ඩ එකතුව ස්ටැෆර්ඩ්ෂයර් නගරය අසල සිදුකළ ගවේෂණ ක්‍රියාවලිය අතරතුර සොයා ගැනුණා – blogs.bl.uk

මෙකී නගරය කේන්ද්‍රීය ගවේෂණ කර්තව්‍යයක් සිදුකිරීම හෙතෙම බලාපොරොත්තුව සිටි දෙය වූවා. “ Staffordshire Hoard ’’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ලොව විශාලත ම ඇන්ග්ලෝ – සැක්සන් ලෝහ භාණ්ඩ එකතුව හෙතෙම සිදුකළ ගවේෂණ ක්‍රියාවලිය අතරතුර සොයා ගැනුණා.

රනින් සහ රිදියෙන් නිමකළ වස්තූන් 4,000 කට අධික ප්‍රමාණයක් එකී භාණ්ඩ කුලකයට අයත් වූවා.

පෙර රාජධානි සමයේ භාවිත කළ කඩු සහ හිස්වැසුම් ඇතුළු යුදමය ආයිත්තම් කිහිපයක් මෙකී ගවේෂණයෙන් සොයා ගත් ලෝහ භාණ්ඩ කාණ්ඩයට අන්තර්ගත වූවා – upload.wikimedia.org

මනරම් ලෝහ භාණ්ඩ සියුම් ලෙස නිපදවීමට ඇන්ග්ලෝ – සැක්සන් වැසියන් දැක්වූ සහජ හැකියාව ඒවායින් සනාථ වූවා. පෙර රාජධානි සමයේ භාවිත කළ කඩු සහ හිස්වැසුම් ඇතුළු යුදමය ආයිත්තම් කිහිපයක් මෙකී ගවේෂණයෙන් සොයා ගත් ලෝහ භාණ්ඩ කාණ්ඩයට අන්තර්ගත වූවා.

රන් – රිදී සුසංයෝගයෙන් සැදුම්ලත් රජතමය හිස්වැස්ම මේ අතරින් වඩා කැපී පෙනුණු කෞතුකයක් වූවා. ක්‍රිස්තු වර්ෂ 7 වැනි සියවසේදී මෙම ලෝහ භාණ්ඩ නිධිය මිහිදන් වන්නට ඇතැයි අනුමාන කෙරෙනවා. දෙවිවරුන්ට පුද දුන් පූජනීය භාණ්ඩ කිහිපයක් මේ අතර පැවති බව පුරාවිද්‍යා ගවේෂකයන් පෙන්වා දුන්නා.

03). වයිකිංවරුන්ගේ Galloway Hoard

ස්කැන්ඩිනේවියාව නිජබිම කොටගත් වයිකිං මුහුදු කොල්ලකරුවන් උතුරු මුහුද හරහා බ්‍රිතාන්‍ය දූපත් වෙත ළඟා වී එම දූපත් මංකොල්ලකෑම සිදු කළා. 8 වන සියවස එම සිදුවීමට තුඩු දුන් කාලවකවානුව යි. මෙයින් ශතවර්ෂයක් ගෙවී ගිය කල ස්කොට්ලන්තය, එංගලන්තය සහ අයර්ලන්තය තුළ ස්ථිර ජනාවාස පිහිටුවා ගැනීමට වයිකිංවරුන් කටයුතු යොදා තිබුණා. වයිකිං පෙළපතට අයත් රජවරුන් එංගලන්තය පාලනය කිරීම 11 වන සියවසේ දී සිදු කළ බවට සාධක හමු ව තිබෙනවා.

එක්සත් රාජධානි ඉතිහාසයට අයත් විශාලත ම වයිකිං භාණ්ඩ එකතුව ගවේෂණයකින් සොයා ගැනීමට ඩෙරෙක් මැක්ලෙනන් නමැති ව්‍යාපාරිකයා සමත් වූවා – www.edinburghfilmcompany.com

එක්සත් රාජධානි ඉතිහාසයට අයත් විශාලතම වයිකින් භාණ්ඩ එකතුව ගවේෂණයකින් සොයා ගැනීමට ඩෙරෙක් මැක්ලෙනන් නමැති ව්‍යාපාරිකයා සමත් වූවා. ක්‍රිස්තු වර්ෂ 900 දී මිහිදන් වන්නට ඇතැයි අනුමාන කරන මෙකී වයිකිං කෞතුක සමූහය 2014 වසරේ සැප්තැම්බර් මසකදී සොයා ගැනුණා.

ගැලෝවේ හෝර්ඩ් ( Galloway Hoard ) යන විරුදාවලිය ලත් මෙම අනගි නිධානය වයිකිං කාලවකවානුවට අයත් භාණ්ඩ 100 කින් සමන්විත වූවා. ඩෙරෙක් මැක්ලෙනන් නමැත්තා ස්කොට්ලන්ත භූමි අභ්‍යන්තරයේ සිදු කළ ගවේෂණයක දී මධ්‍යකාලීන යුගයට අයත් කාසි 300 ක් මීට ප්‍රථම අවධියක සොයා ගෙන තිබුණා.

මධ්‍යම ආසියාව කේන්ද්‍රීය ව නිර්මාණය වූ ලිනන් ගෙත්තමින් යුත් භාජනය ගැලෝවේ හෝර්ඩ්ට අයත්ව තිබූ විශාලත ම කෞතුකය බව පිළිගැනෙනවා – www.nms.ac.uk

මධ්‍යම ආසියාව කේන්ද්‍රීය ව නිර්මාණය වූ ලිනන් ගෙත්තමින් යුත් භාජනය ගැලෝවේ හෝර්ඩ්ට අයත් ව තිබූ විශාලත ම කෞතුකය බව පිළිගැනෙනවා. රිදියෙන් නිම කළ කුරුසියක සහ රන් පත්‍ර මෙන් ම පළිඟු ද අළලමින් සකස් කළ භාජනය ඩෙරෙක් මැක්ලෙනන් සිදුකළ ගවේෂණයේදී සොයා ගැනුණා.

04). මිලියන ගණනක් වටින රන්මය කුසලානය

ක්‍රිස්තු වර්ෂ1622 දී සැන්ටා මාගරිටා නමැති ස්පාඤ්ඤ වෙළෙඳ නෞකාව කී වෙස්ට් මුහුදු වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශය අසල ප්‍රචණ්ඩ සුළි කුණාටුවකට හසු වී මුහුදුබත් වූවා. මෙම අවාසනාවන්ත ඉරණමට නෞකාව ගොදුරු වන විට එය තුළ සිටි 140 ක මඟී පිරිස ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් නෞකා අනතුරින් දිවි ගලවා ගැනීමට සමත් වූවා. රන් – රිදී ස්වර්ණාභරණ ඇතුළු වටිනා භාණ්ඩ බොහෝමයක් සැන්ටා මාගරිටා නෞකාව සමඟ මුහුදු පතුල ගැඹුරට කිඳා බැස තිබුණා.

20 හැවිරිදි ව සිටි මයික් ඩිමාර් නමැති නිදන් කිමිදුම්කරුවා සැන්ටා මාගරිටා නෞකාව මුහුදු බත් වූ සාගර ප්‍රදේශය පරිලෝකනය කළ අවස්ථාවක පුරාණ බීර බඳුනක හැඩය ගත් යමක් සොයා ගැනුණා – www.melfisher.com

ෆ්ලොරිඩා සමුද්‍ර සන්ධියේ සාගර පතුළක මාගරිටා නෞකාව සමාදානයේ සැතපුණා. පුරා වසර 400 ක් සැඟව හුන් මෙකී නෞකාවේ කොටසක් 1980 වසරේ ෆ්ලොරිඩා වෙරළ තීරයට සැතපුම් 40 ක් ආසන්න මුහුදේ පාවෙමින් සිටියදී පර්යේෂණ සහ ගැලවීමේ කණ්ඩායමක් සොයාගෙන තිබුණා. ඩොලර් මිලියන 25 ක වටිනාකමකින් යුත් පෞරාණික වෙළෙඳ භාණ්ඩ තොගයක් එම අවස්ථාවේ සොයා ගැනුණා.

පන්දුවක වට ප්‍රමාණයකින් යුත් රන්මය කුසලානයට ඩොලර් මිලියනයකට මඳක් වැඩි වටිනාකමක් උරුම වූවා – i.dawn.com

මෙයින් විසිඅට වසරකට පසු එනම් 2008 වසරේ එවකට 20 හැවිරිදි ව සිටි මයික් ඩිමාර් නමැති නිදන් කිමිදුම්කරුවා සැන්ටා මාගරිටා නෞකාව මුහුදු බත් වූ සාගර ප්‍රදේශය පරිලෝකනය කළ අවස්ථාවක පුරාණ බීර බඳුනක හැඩය ගත් යමක් සොයා ගත්තා.

බීර කෑනයක යැයි සිතූ වස්තුව පිරිසුදු කළ අවසානයේ පන්දුවක වට ප්‍රමාණයකින් යුත් රන්මය කුසලානක් ඔහුගේ නෙත ගැටුණා. ඩොලර් මිලියනයකට මඳක් වැඩි වටිනාකමක් එකී කුසලානයට උරුම වූවා.

05). වසර 3,600 ක් පැරණි රන්මය කුසලානය

ක්ලිෆ් බ්‍රැඩ්ෂෝ නම් විදුලි කාර්මික ශිල්පියා මහා බ්‍රිතාන්‍යයේ නැගෙනහිර කෙන්ට් හි තම තිරිඟු කෙතක භූමි පරික්ෂාව සිදු කිරීමට උත්සුක වූවා. පෞරාණික නිදන් වස්තු ගවේෂණය හෙතෙම ප්‍රියකළ විනෝදාංශයක් වූවා. බ්‍රැඩ්ෂෝ රැගෙන ආ ලෝහ අනාවරකය (Metal Detector) තිරිඟු කෙතට අයත් එක්තරා භූමි භාගයකදී “බීප්” හඬ නිකුත් කළා.

ක්‍රිස්තු පූර්ව 3300 සිට ක්‍රිස්තු පූර්ව 1200 සියවස දක්වා පැවති ඓතිහාසික ලෝකඩ අවධිය තුළ නිපදවූ රිලැටන් කුසලානය – live.staticflickr.com

තිරිඟු කෙත අවට සිදුකළ කැණීමෙන් පුරාණ යුගයකට අයත් රන්මය කෝප්පයක් එකී විදුලි කාර්මිකයා සොයාගෙන තිබුණා. ගොවි නඟුලකට හසුව තැලී ගිය ස්වරූපයකට සමාන රන් කෝප්පයක හෙතෙම සිය නිවහනට රැගෙන ආවා. නිවසට පැමිණ පුරාවිද්‍යා පොත් කිහිපයක් පිරිස්සූ ක්ලිෆ් බ්‍රැඩ්ෂෝ තමා සොයාගත් දෙයින් අතිශය විමතියට පත් වූවා. ක්‍රිස්තු පූර්ව 3300 සිට ක්‍රිස්තු පූර්ව 1200 දක්වා පැවති ඓතිහාසික ලෝකඩ අවධිය තුළ නිපදවූ රිලැටන් කුසලානය හෙතෙම සිය කැණීමෙන් සොයාගෙන තිබුණා.

කෙන්ට්හි ප්‍රදේශයේ තිරිඟු කෙතක තිබී සොයා ගත් රන් කුසලානය ලෝකඩ යුගයේ නිමකළ රන් භාණ්ඩ කිහිපය අතරින් එකක් වූ බව බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයන් සිදු කළ පරීක්ෂාවකින් තහවුරු වුණා – www.scandinavianarchaeology.com

කෙන්ට්හි ප්‍රදේශයේ තිරිඟු කෙතක තිබී සොයා ගත් රන් කුසලානය ලෝකඩ යුගයේ නිම කළ රන් භාණ්ඩ කිහිපය අතරින් එකක් වූ බව බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයන් සිදුකළ පරීක්ෂාවකින් තහවුරු වුණා. Ringlemere යන අනුවර්ත නාමයෙන් මෙකී කුසලානය හඳුන්වනවා. Ringlemere සොයා ගැණුන භූමිය අයත් ඉඩම් හිමියාට ඩොලර් 520,000 ක ත්‍යාගය මුදලක් හිමිවූ බවත් සඳහන් වනවා.

ගොවි නඟුලකට හසුව තැලී ගිය ස්වරූපයකට සමාන රිලැටන් කුසලානය – live.staticflickr.com

06). රජ කිරුළකට අයත් වූ රූපය

ලෝහ අනාවරක භාවිතයෙන් ඉපැරණි කෞතුක භාණ්ඩ සොයා ගැනීමට කෙවින් ඩකට් නැමති පුද්ගලයා සැබෑ උද්යෝගයක් දක්වා තිබුණා. මහා බ්‍රිතාන්‍යයේ නෝත්හැම්ප්ටන්ෂයර්හි පොකුණක් අසල දී අද්විතීය ගණයේ සොයාගැනීමක් සිදු කිරීමට 2017 වසරේ එක් ගිම්හාන සෘතුවකදී මොහුට හැකි වූවා.

අපිරිසුදු මඩ අතරේ සැඟව තිබූ ඇලුමිනියම් තීරු කැබැල්ලක් වැනි දෙයක් ඔහුට නිරීක්ෂණය වූයේ සිය ලෝහ අනාවරකය නැංවූ “බීප්” හඬත් සමඟ යි. විචක්ෂණශීලී මනසකින් නිරීක්ෂණය කළ විගස යෂ්ටියක් සහ කුරුසයක් අතැති කිසියම් රජකුගේ රන්මය රූපකායක් එකී ලෝහ කැබැල්ල තුළ වූවා. මෙකී රජතමය රූපකාය අඟල් 2.5 ට නොඅඩු උසකින් යුක්ත වූවා.

16 වැනි සියවසේ වාසය කළ මහා බ්‍රිතාන්‍යය රජකු වූ VIII හෙන්රි පැළඳ සිටි ඔටුන්නක කොටස – thumbnailer.cdn-si-edu.com

කුතුහලයට පත් ඩකට් සිය නිවසට පැමිණි විගස මෙම රන්මය ප්‍රතිමාව කුමක්දැයි සොයාගැනීමට විමසිලිමත් වූවා. 16 වැනි සියවසේ වාසය කළ මහා බ්‍රිතාන්‍යයේ රජකු වූ VIII හෙන්රි පැළඳ සිටි ඔටුන්නක කොටසක් සිය ගවේෂණයේ දී සොයා ගත් බව ඔහුට පසක් වූවා.

රාජාණ්ඩු විරෝධී විප්ලවවාදියකු ලෙස කටයුතු කළ ඔලිවර් ක්‍රොම්වෙල්ගේ නියෝගය මත ක්‍රිස්තු වර්ෂ 1649 දී එකී ඔටුන්න විනාශයට පත් වූවා. මෙකී ඔටුන්න විනාශ වීමට ප්‍රථම එම රජතමය රූපකාය කොතැනක හෝ අතුරුදන් වූ බවට යම් විශ්වාසයක් පැවතියා.

හැම්ප්ටන් මාලිගයේ දිවිගෙවූ VIII හෙන්රි රජුගේ ඔටුනු කොටස ඓතිහාසික වැදගත්කමක් උසුලන වස්තුවක් බවත් පවුම් මිලියන 2 කට වඩා වැඩි වටිනාකමකට එය මිල කළ හැකි බවත් පුරාවිද්‍යාඥයන් පවසා සිටියා.

VIII හෙන්රි රජුගේ ඔටුනු කොටස ඓතිහාසික වැදගත්කමක් උසුලන පවුම් මිලියන 2 කට වඩා වැඩි වටිනාකමකට මිලකළ හැකි වස්තුවක බව පුරාවිද්‍යාඥයන් පවසා සිටියා – www.goodnewsnetwork.org

07). නව යොවුන් දැරියක් සිදු කළ සොයාගැනීම

මිලී හාඩ්වික් නමැති දහතුන් හැවිරිදි දැරියක් 2021 වසරේ අවසන් කාර්තුවකට අයත් එක දවසක අපූර්ව සොයාගැනීමක් ගවේෂණමය කටයුත්තක දී සිදුකොට තිබුණා. මහා බ්‍රිතාන්‍යය රොයිස්ටන් අසල පිට්ටනි ප්‍රදේශයක ඇය එම සොයාගැනීම සිදු කළා. සිය පියාගේ ගවේෂණ කටයුත්තකට උපකාර කිරීමට පැමිණි මැය තමා රැගෙන ආ ලෝහ අනාවරකය එම ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළා. බිම් පරීක්ෂාව සිදු කර ගෙන යන අතරවාරයේ ඇගේ ලෝහ අනාවරකය එයට ම ආවේණික “බීප්” හඬ නංවා තිබුණා.

මිලී හාඩ්වික් නමැති දහතුන් හැවිරිදි දැරිය 2021 වසරේ අවසන් කාර්තුවකට අයත් එක දවසක ත්‍රාසජනක සොයාගැනීමක් ගවේෂණමය කටයුත්තකදී සිදුකොට තිබුණා – i2-prod.essexlive.news

පැරණි එංගලන්තය නිපදවූ ලෝහ අසිපතක කොටස් මිලී හාඩ්වික් දැරිය සොයාගෙන තිබුණා. මෙකී අසිපත ක්‍රිස්තු පූර්ව 2300 දී පමණ නිපදවන්නට ඇතැයි බ්‍රිතාන්‍යය පුරාවිද්‍යාඥයන් අනුමාන කළා. මිලී සහ ඇගේ පියා එක් ව සිදුකළ ගවේෂණය තවත් පෞරාණික වස්තු 65 ක් සොයා ගැනීමට ඔවුනට උපකාරී වූවා.

කවරයේ ඡායාරූපය: පුරාණ අභිරහස් සඟවාගෙන සිටින නිහඬ තෝතැන්නක ලෙස අප වෙසෙන මිහිතලය හඳුන්වාදීමට පුළුවන් - wallpaperaccess.com

මූලාශ්‍ර :
www.history.com

Related Articles