වසර දහස් ගණනක් පැරණි ඓතිහාසික ගොඩනැඟිලි

ලොව පළමු ශිෂ්ටාචාරය යැයි සැලකෙන මෙසපොතේමියානු ශිෂ්ටාචාරය ක්‍රිස්තු පූර්ව 3200 හෝ ඒ ආසන්න කාලයේ දී ආරම්භ වීමට පෙර පටන් සමහර රටවල ජීවත් වූ ජන කොටස් යම්තාක් දුරකට ශිෂ්ටාචාරගත ව සිටි බව මේ වන විට අනාවරණය වී තිබේ. ජනතාව යම් යම් ප්‍රදේශවල ස්ථිර වශයෙන් පදිංචි වීමට පටන් ගැනීමත් සමඟ ඔවුහු ස්ථිර වාසස්ථාන, ආගමික ස්ථාන සහ බළකොටු වැනි ඉදිකිරීම් ආරම්භ කළහ.

ඉතා ශක්තිමත් අමුද්‍රව්‍ය යොදාගෙන සිදු කළ එවැනි සමහර ඉදිකිරීම්වල නටබුන් වර්තමානයේ පවා ශේෂ වී තිබේ. ඒ සියල්ල ම පාහේ මේ වන විට පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන වන අතර වඩාත් ප්‍රසිද්ධ සංචාරක ගමනාන්ත ද වේ.

මෙම ලිපිය ලොව විවිධ රටවල පිහිටි වසර දහස් ගණනක් පැරැණි එවැනි ඉදිකිරීම් කිහිපයක් පිළිබඳ යි.

හොවාර් නැප් – www.wikimedia.commons.org

1. ‘හොවාර් නැප්’- ස්කොට්ලන්තය

ක්‍රිස්තු පූර්ව 3600 ගණන්වල ඉදි කර ඇතැයි සැලකෙන ස්කොට්ලන්තයේ ‘ඕර්ක්නි’ හි ‘පැපා වෙස්ට්රේ’ දූපතේ පිහිටි ‘හොවාර් නැප්’ ලොව පැරැණිත ම ගොඩනැගිල්ල ලෙස සැලැකේ. 1930 දී සිදු වූ නාය යාමකින් පසු මෙහි බිත්ති දෙකක් මතු විය. ඉන් අනතුරුව එම ස්ථානයේ සිදු කළ කැණීම්වලින් කොටස් දෙකකින් යුතු ගොඩනැඟිල්ල සොයා ගත් අතර අතීතයේ එම කොටස්  එකිනෙකට සම්බන්ධ කර තිබූ බව ද පෙනෙන්නට තිබේ. මෙම ගොඩනැඟිල්ල ඉදි කර ඇත්තේ ඊට පෙර එම ස්ථානයේ පැවති ගොඩනැගිල්ලක නටබුන් මත බව ද කියැවේ.

පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ ‘හොවාර් නැප්’හි විශාලත්වයෙන් වැඩි කොටස ප්‍රධාන නිවස ලෙස සහ තරමක් කුඩා කොටස ධාන්‍ය ගබඩාවක් හෝ වෙනත් වැඩපළක් ලෙස භාවිත කරන්නට ඇති බව යි. එම කුඩා කොටස තවත් කොටස් තුනකට බෙදා තිබූ බවට ද සාක්ෂි තිබේ. පසුකාලීන ව ප්‍රධාන නිවසේ සිට ධාන්‍ය ගබඩාවට ඇතුළු වීමට තිබූ පිවිසුම වසා දමා ඇති බව පුරාවිද්‍යාඥයන් සිදු කළ පර්යේෂණවල දී අනාවරණය වී තිබේ.

‘Ggantija’ දේවස්ථාන සංකීර්ණය – www.wikipedia.org

2. ‘Ġgantija’ දේවස්ථාන සංකීර්ණය- මෝල්ටාව

ක්‍රිස්තු පූර්ව 3600-3200 අතර කාලයේ දී ඉදි කර ඇති මෙම දේවස්ථාන සංකීර්ණය මෝල්ටාවේ පිහිටි ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථානයකි. මෙම සංකීර්ණයේ පිහිටි සියලු ඉදිකිරීම් යුනෙස්කෝ සංවිධානය නම් කර ඇති ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් වේ. අද්භූත යෝධයන් පිරිසක් හා සම්බන්ධ පුරාවෘත්තයක් ද මෙම දේවස්ථාන සංකීර්ණය සමඟ බැඳී පවතී.

මෙම ස්ථානයේ සිදු වූයේ කුමක් ද යන්න නිශ්චිත ව සොයා ගැනීමට මේ වන තෙක් හැකි වී නැතත් පුරාවිද්‍යාඥයන්ගේ මතය වන්නේ ඒ අවට සත්ත්ව බිලි පූජා පවත්වා ඇති බව ය. ඒ බව තහවුරු කරමින් සතුන් රැසකගේ අස්ථි කොටස් ‘Ġgantija’ දේවස්ථාන සංකීර්ණය අවට තිබී සොයා ගෙන තිබේ.

ටාක්සියන් සංකීර්ණය – www.hisour.com

3. ටාක්සියන් දේවස්ථාන සංකීර්ණය- මෝල්ටාව

ක්‍රිස්තු පූර්ව 3600-2500 අතර කාලයේ ඉදි කර ඇති මෙම දේවස්ථාන සංකීර්ණය ප්‍රධාන කොටස් හතරකින් සමන්විත වේ. ඒවා ද ඉහත සඳහන් කළ  ‘Ġgantija’ දේවස්ථාන සමඟ යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් වේ. පුරාවිද්‍යාඥයකු වූ ශ්‍රීමත් Themistocles Zammit 1920 දශකයේ දී මෙම සංකීර්ණය සොයා ගත්තේ ය.

ඊට ඇතුළත් නැගෙනහිර, දකුණු සහ මධ්‍යම කොටස් සංරක්ෂණය කිරීමේ ගෞරවය ද ඔහුට හිමි වේ. අලංකාර කැටයම් සහිත ගල් කණු රැසක් මෙම පරිශ්‍රයේ දැකිය හැකි අතර ඒවායේ සත්ත්ව රූප වැනි දේ නිරූපණය කර තිබේ. 2012 දී, මෙම පරිශ්‍රය දැක බලා ගැනීමට පැමිණෙන සංචාරකයන්ගේ පහසුව සඳහා කණු මතින් දිව යන මාර්ගයක් ඉදි විය.

ෂුනෙට් එල් සෙබිබි – www.madainproject.com

4. ‘ෂුනෙට් එල්-සෙබිබ්’- ඊජිප්තුව

ඊජිප්තුවේ පිහිටි පැරැණිත ම ගොඩනැඟිලිවලින් එකක් වන මෙය ක්‍රිස්තු පූර්ව 2750 දී ඉදි කර තිබේ. එය ලොව ඉතිරි වී ඇති, මැටි ගඩොලින් කළ පැරැණිත ම ගොඩනැඟිලිවලින් එකකි. පුරාණ ඊජිප්තුව පාලනය කළ ‘Khasekhemwy’ රජුගේ ස්මාරකයක් ලෙස ඉදි කර ඇති මෙය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. එහි එක් කොටසක රජුගේ සොහොන් ගැබ පිහිටා ඇති අතර අනෙක් කොටස රජුට ගෞරව කිරීම සඳහා පැමිණෙන අනුගාමිකයන් සඳහා වෙන් කර තිබේ.

ඊජිප්තුවේ සුප්‍රසිද්ධ පිරමීඩ ඉදිකිරිම සඳහා මෙම ගොඩනැඟිල්ල පූර්වාදර්ශයක් වූ බව බොහෝ දෙනෙක් විශ්වාස  කරයි. විශේෂයෙන්ම, ‘Khasekhemwy’ ගේ අනුප්‍රාප්තිකයා වූ ‘Djoser, Shunet el-Zebib’ මෙම ගොඩනැඟිල්ලේ සැලසුම දැක විස්මයට පත් වී ඒ හා සමාන ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට තීරණය කළේ ය. එහි ප්‍රතිපලයක් ලෙස ඊජිප්තුවේ ප්‍රථම පිරමීඩවලින් එකක් වන ‘Saqqara Step Pyramid’ (Djoser හි පිරමිඩය) ඉදි විය. 2007 දී පුරාවිද්‍යාඥයන් පිරිසක් එක්ව ෂුනෙට් එල්-සෙබිබ් ගොඩනැඟිල්ල සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළහ.

‘ක්නෝසොස්’ සංකීර්ණය – www.livescience.com

5. ‘ක්නෝසොස්’ සංකීර්ණය- ග්‍රීසිය

ක්නොසොස් මාළිගය සහ තවත් ඉදිකිරීම් ගණනාවක් ඇතුළත් ගොඩනැඟිලි සංකීර්ණය ග්‍රීසියේ ‘මිනෝආන් ක්‍රීට්’ හි අගනුවර ලෙස ක්‍රියාත්මක වූ ප්‍රදේශයට අයත් එක් කොටසකි. එහි තිබූ පළමු මාලිගය ක්‍රිස්තු පූර්ව 20 වැනි සියවසේ දී ඉදි කර ඇත. අනතුරු ව ක්‍රිස්තු පූර්ව 1700 දී තවත් මාලිගයක් ඉදි කර තිබේ. ඉතිහාසඥයන් සඳහන් කරන්නේ මුල් මාලිගය සම්පුර්ණයෙන් විනාශ නොකර, එය ප්‍රතිසංස්කරණය කරමින් දෙවැනි මාලිගය ඉදි කරන්නට ඇති බව ය.

කෙසේ වෙතත් මෙම මාලිගය සහ එය පිහිටා තිබූ භූමියස්වාභාවික ආපදාවලට සහ සතුරු ආක්‍රමණවලට නිරන්තරයෙන්  ලක් විය. එවැනි හේතු නිසා විනාශ වී ගිය මාලිගය සියවස් ගණනාවක් තිස්සේ, අවස්ථා කිහිපයක දී ප්‍රතිසංස්කරණය කර තිබේ. ක්‍රිස්තු පූර්ව 1300 වන විට එය බොහෝ සෙයින් විනාශ වී ගිය බවත් ඊට සියවසකට පසු එය සම්පූර්ණයෙන් ම අත්හැර දැමුණු බවත් මූලාශ්‍රයන්හි සඳහන් වේ.

1900 දී මෙම මාලිගයේ නටබුන් සොයා සිදු කළ කැණීම්වලින් පසු එය ප්‍රතිනිර්මාණය කිරීමට බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥ ආතර් එවන්ස් කටයුතු කළේ ය. කෙසේ වෙතත් ඔහුගේ එම ප්‍රතිනිර්මාණ කටයුතු විවිධ පාර්ශවයන්ගේ විවේචනයට ලක්ව තිබේ. ඔවුන් චෝදනා කරන්නේ එවන්ස් මෙම පරිශ්‍රය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා යොදා ගත් සමහර අමුද්‍රව්‍යවලින් එහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම අනතුරේ හෙළා ඇති බව ය.

සාන්ත ඇන්ටින් – www.pinterest.com

6. ‘සාන්ත ඇන්ටින්’ සංකීර්ණය- ඉතාලිය

ඉතාලියේ සාඩීනියාවේ පිහිටා ඇති ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක ස්ථානවලින් එකක් වන මෙම ගොඩනැඟිලි සංකීර්ණය ක්‍රිස්තු පූර්ව 1600 දී ඉදි කළ එකකි. එය පිහිටා ඇති ‘නුරාග්’ නම් නිම්නය නිසා එය ‘Nuraghe Santu Antine’ යනුවෙන් ද හැඳින්වේ. එය ශාන්ත කොන්ස්ටන්ටයින් නම් පූජකවරයකු වෙනුවෙන් නම් කර තිබෙන බව සමහරුන්ගේ මතය යි.

තවත් සමහරු මෙය ‘Sa Domu de su Re’, එනම් ‘රජුගේ නිවස’ ලෙස හඳුන්වයි. වර්තමානය වන විට එහි දැකිය හැකි ප්‍රධානත ම කොටස වන්නේ ගොඩනැඟිලි සංකීර්ණය මධ්‍යයේ පිහිටි කුළුණක හැඩය ගත් ඉදිකිරීම යි. ඒ වටා තවත් කුඩා ප්‍රමාණයේ කුළුණු තුනක් පිහිටා තිබෙන අතර ඒවා සියල්ල බිත්ති මගින් එකිනෙකට සම්බන්ධ වී ඇත. මෙම ගොඩනැඟිලි සංකීර්ණය අවට ගම්මානයක් පිහිටා තිබූ බව පැවැසේ.

නුරාක්සි – www.pinterest.com

7. ‘නුරාක්සි’ ගොඩනැගිලි සංකීර්ණය- ඉතාලිය

ඉහත කී නුරාග් නිම්නය ආශ්‍රිත ව පිහිටා ඇති තවත් ඉපැරැණි ගොඩනැඟිලි සංකීර්ණයක් වන මෙය වඩාත් හොඳින් සංරක්ෂණය වී ඇති ස්ථානයක් බව බොහෝ දෙනකුගේ මතය යි. එය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ද ඇතුළත් වේ. නුරාග් නිම්නය ආශ්‍රිත ව බිහි වූ ශිෂ්ටාචාරයක් පිළිබඳ තතු හෙළි කරන එකම ස්ථානය ලෙස ද මෙය සැලැකේ.

එහි මධ්‍යයේ විශාල ප්‍රමාණයේ කුළුණක් සහ ඒ වටා තවත් කුළුණු හතරක් පිහිටා තිබේ. ඒ වටා නිවාස යැයි සිතිය හැකි ඉදිකිරීම් සහ ළිං වැනි දෑ දැකිය හැකි ය. ‘නුරාක්සි’ ගොඩනැගිලි සංකීර්ණය ක්‍රිස්තු පූර්ව 1600 ගණන්වල ඉදි කර ඇත.

‘Dun Aonghasa’ – www.heritageireland.ie

8. ‘Dún Aonghasa’- අයර්ලන්තය

අයර්ලන්තයේ පිහිටි මෙය ලොව වඩාත් හොඳින් සංරක්ෂිත බළකොටුවලින් එකක් ලෙස විශ්වාස කෙරේ. ක්‍රිස්තු පූර්ව 1500 සිට මෙම බළකොටුව පිහිටා ඇති ස්ථානය අවට ජනාවාසකරණය වී තිබූ නමුත් මුල්වරට එහි ස්ථිර වාසස්ථාන ඉදි වූයේ ඊට සියවස් කිහිපයකට පසු, ආසන්න වශයෙන් ක්‍රිස්තු පූර්ව 1100 දී බව ඉතිහාසඥයන්ගේ මතය වේ.

මෙම බළකොටුව වටා දැකිය හැකි තරමක් උස ගල් කණු බොහෝ දෙනාගේ අවධානයට ලක් වේ. වර්තමානය වන විට මෙය අයර්ලන්තයේ පිහිටි වඩාත් ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයන්ගෙන් එකකි.

වෑන් බළකොටුව – www.agefotostock.com

9. වෑන් බළකොටුව- තුර්කිය

වර්තමාන තුර්කියේ පැරැණි උරාටු රාජධානි සමයේ ඉදි කළ බළකොටුවක් වන වෑන් බළකොටුව තුර්කියේ පිහිටි සුවිශාල බළකොටුවලින් එකකි. උරාටු රාජධානි සමයේ මෙවැනි බළකොටු කිහිපයක් ම ඉදි කර තිබේ. මෙහි ඇති පැරැණිත ම කොටස, එනම් සර්දුර් කුළුණ ඉදි කර ඇත්තේ ක්‍රිස්තු පූර්ව අටවැනි සියවසේ දී බව කියැවේ. පසුකාලීන ව මෙම බළකොටුව රෝමය, ආර්මේනියාව, පර්සියාව, බයිසන්තියන් අධිරාජ්‍යය සහ අරාබිය වැනි රටවලින් පැමිණි ආක්‍රමණිකයන් යටතට පත් වී තිබේ.  වෑන් බළකොටුවෙන් සොයාගත් කෞතුක වස්තුවලින් එකක් වන පර්සියානු අධිරාජ්‍යයට අයත් ත්‍රෛභාෂා සෙල්ලිපියක් ක්‍රිස්තු පූර්ව පස්වැනි සියවසට අයත් වේ.

කවරයේ ඡායාරූපය- තුර්කියේ පිහිටි වෑන් බළකොටුව - www.funkystock.photoshelter.com

මූලාශ්‍ර:

www.oldest.org

www.turkisharchaeonews.net

www.hisour.com

www.tripadvisor.com.hk

Related Articles