Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මුදල් අාරක්ෂිතව තබා ගන්න අවස්ථාව ලබා දුන් බැංකු ක්‍රමයේ ඉතිහාසය

අද කාලේ ලොකු කුඩා සියලු දෙනාටම පාහේ බැංකු ගිණුමක් තිබේ. එසේම දැන් බොහෝ දෙනෙක් බැංකු ගිණුම් කිහිපයක්ම භාවිත කරති. මේ වන විට ලෝකය පුරා බැංකු දහස් ගණනක් විසිරී පවතින අතර බැංකු ක්‍රමයේ ඉතිහාසයද අපූරු කතාන්දර ගණනාවකින් යුතුය. මේ අද අපි කාටත් මුදල් සුරක්ෂිතව තබා ගැනීමට ඉඩ සලසන බැංකු ක්‍රමය ආරම්භ වූ අාකාරය පිළිබඳව කියවෙන ලිපියකි.

බැබිලෝනියානු හා ඇසිරියානු ශිෂ්ටාචාර තුල බැංකු ක්‍රමය

බැංකු ක්‍රමයේ අරම්භය බැබිලෝනියානු හා ඇසිරියානු ශිෂ්ටාචාර දක්වා දිව යයි. එම යුගයේදී ධාන්‍ය වගාව ඉතාමත් සරුවට සිදු කෙරුණු අතර මෙම ධාන්‍ය මිලදී ගත් වෙළඳුන්ගෙන් බැංකු ක්‍රමයට පදනම වැටිණි. මෙම බැංකු ක්‍රමය දක්නට ලැබුණේ ක්‍රි.පූ දෙදාහ තරම් අෑත කාලයේදීය.

ඉන් පසු කාලයේදී ග්‍රීසියේ මුදල් පොලියට දීමේ කටයුතු සිදු කෙරුණු බව දැක්වේ. පසුකාලීනව මෙවන් කටයුතු පිළිබඳව රෝම අධිරාජ්‍ය තුලින්ද වාර්තා වී ඇත. ආගමික ස්ථාන හරහා මෙම කටයුතු සිදු කෙරුණු අතර මින් පසු කාලයේදී එය ඉන්දියාව හා චීනය යන රටවලද ක්‍රියාත්මකව ඇත.

අතීතයේ මුදල් භාවිතයක් තිබුණේද?

භාණ්ඩ හුවමාරු ක්‍රමය (Maa.org)

එකම කාසියක දෙපැත්තක් ලෙස බැංකු ක්‍රමය හා මුදල් හැඳින්විය හැකිය. සියල්ල මුදල් මත පදනම් වන වර්තමානයක මෙම මුදල් ක්‍රමයට පැමිණීමට පෙරාතුව ක්‍රියාත්මක වුයේ භාණ්ඩ හුවමාරු ක්‍රමයකි.එක් භාණ්ඩයකට තවත් භාණ්ඩයක් හුවමාරු කර ගැනීමක් සිදු විය. මෙය ඉංග්‍රීසි භාෂාවෙන් “barter system” ලෙස හඳුන්වනු ලැබේ.

කෙසේ නමුත් ක්‍රිස්තු පූර්ව 2500 දී පමණ ඔබ්සිඩියන් නම් වීදුරු පාෂාණ වර්ගය හුවමාරු මාධ්‍යයක් ලෙස භාවිතයෙන් වෙළඳ කටයුතු සිදු කර තිබේ. ගිනිකඳු ක්‍රියාකාරීත්වය නිසා අැති වන වීදුරු පාෂාණයක් වූ ඔබ්සිඩියන් ඉතා දුර්ලභ නිසා වෙළඳ කටයුතු සඳහා පසුව තඹ හා රිදී ලෝහයන්ද භාවිත කෙරිණි. දොළොස්වන සියවසේදී පමණ දඩයම් යුගය අවසාන වීමත් සමග ගංගා නිම්න ආශ්‍රිතව ගොවිතැන් කටයුතු ආරම්භ වූ අතර එ් සමග සත්ත්ව පාලනයේ යෙදෙමින් වෙළඳාම විධිමත් වීමක් සිදු විය.

මුල් යුගයේ බැංකු ක්‍රමය

පැරණි බැංකු අාරක්ෂකාගාරයක් (ilovetraveling.org)

මුල් කාලයේදී ධනය තැන්පත් කරන ලද්දේ රටේ පුජනිය ස්ථානවලය. එනම් රටේ පවතින ආරක්ෂිතම හා ප්‍රධානම දේවාලයේ මුදල් තැන්පත් කිරීමට කටයුතු කෙරිණි. මහජනතාවට ගනු දෙනු කිරිමට නොහැකි වූ මෙම මුදල් රජු විසින් අත්‍යවශ්‍ය ගොඩනැගීම් හා පුජනීය උත්සවවලට පමණක් භාවිත කළ බවක් පොත් පත්වල සඳහන් වේ. ඉන්දියාව හා චීනය සොයා ගන්නා ලද ඇබකසය ගණිත කර්ම පහසු කළ බවත්, අනතුරුව මෙසපොතේමියානු හා ඉන්දු නිම්න ශිෂ්ටාචාරවලදී මෙය භාවිත වූ බවත් සඳහන් වේ. එමෙන්ම මෙසපොතේමියානු ශිෂ්ටාචාරවල මැටි ලේඛන තුල මේවා සටහන් කෙරිණි.

මේ ආකාරයට ධාන්‍ය බැංකු විශාල ප්‍රමාණයක් ගොවි ජනපද ආශ්‍රයෙන් බිහි විය. එමෙන්ම වේද යුගයේ හා බුද්ධ යුගයේදී “ ආදේශ” නම් ක්‍රමයක් තිබු අතර එමගින් සිදු වූයේ මුදල් ණයට ගත් පුද්ගලයා විසින් විනිමය බිලක් ලෙස ක්‍රියා කරන ලිපියක් ලබා දිය යුතු වීමයි. චීනයේ කින් අධිරාජයාගේ සමයේදී සම්මත මුදල් ඒකකයක් බිහි විය. එමගින් චීනය පුරා ගනුදෙනු කිරීම ඉතාමත් පහසු විය.

වර්තමාන බැංකු ක්‍රමයට පදනම

මධ්‍යතන යුගයේ ඉතාලිය වර්තමාන බැංකු ක්‍රමයට මුලික වේ. එමෙන්ම සේද මාවත මෙයට විශාලම හේතුවකි. ධාන්‍ය ආරක්ෂාවට, මංකොල්ල කරුවන් හා ආක්‍රමණිකයන්ගෙන් ධනය ආරක්ෂා කරගැනීම යන කරුණුවලදී බැංකුවලින් විශාල සහයක් ලැබුණි. පීසා වැනි නගරවල සිට මෙම ව්‍යාපාරවල නිරත වූ යුදෙවුවන් ඉතාමත් සහනදායී ලෙස ණය සපයන්නන් බවට පත් විය. ඉතාමත් ඉක්මනින් දියුණුවට පත් මෙය අධික ලාභ ලබන්නන් බිහි කරන්නට විය. මේ හේතුවෙන් එවන් අායතන“බෙන්ච්” යන නමින් හැඳින්වූ අතර පසු කාලීනව “බෑන්ක්” ලෙස වෙනස් විය.

ලොව මුල්ම බැංකුව ස්ථාපිත කිරීම

ප්‍රථම බැංකුවලින් එකක් වූ බාසිලෝනාහි Taula de Canvi (playgkquiz.com)

වැනීසි වැසියන් සතු වූ අතිරික්ත මුදල් ආරක්ෂිතව ඉතුරු කිරීම සඳහා දෙවෙනි අර්බන් පාප් වහන්සේගේ නියෝගයකට අනුව මෙම ප්‍රථම බැංකුව 1157 වර්ෂයේදී ස්ථාපිත කළ බව සඳහන් වේ. ආරම්භක ප්‍රාග්ධනය ඩුකාට්ස් ලක්ෂ පනහක් වූ අතර මෙය ප්‍රංශ ආක්‍රමණ දක්වාම ක්‍රියාත්මක විය. සියෝලී සහ මොසී මෙන්ම බාර්ඩී සහ පෙරුසි වැනි විශේෂ පවුල් පදනම් කර ගනිමින් ෆ්ලෝරන්සය මූලික කොට ගෙන යුරෝපය ධනවත්ම හා බලගතුම පවුල් බැංකු ආරම්භ විය. මුළු යුරෝපය පුරාම තම ශාඛා ස්ථාපිත කිරීමට මොවුන්ට හැකි විය. 1401 පමණ ස්පාඤ්ඤයේ බාසිලෝනාහි ප්‍රථමවරට වැනිසියානු ක්‍රමය යටතේ බැංකුවක් පිහිටුවන ලදී. එය Taula de Canvi නම් වේ.

මින් අනතුරුව කාලයේදී බැංකු ආරම්භ වූ නමුත් ලන්දේසින් වටිනා රන් රිදී ලෝහ ඔවුන්ගේ ඈම්ස්ටර්ඩෑම් අගනුවර පිහිටි ඈම්ස්ට්‍රඩෑම් බැංකුව තුල තැන්පත් කිරීමත් සමගම එංගලන්තය හා යුරෝපය පුරා බැංකු සම්බන්ධයෙන් ආධිපත්‍යක් ඇති කිරීමට ඔවුන්ට හැකි විය.

යටත් විජිත යුගයේදී ඉතා දුර්ලභ වස්තු හා ඛණිජ සම්පත් ලැබීම හේතුවෙන් පෞද්ගලික බැංකුවලට අමතරව ඉතා ආරක්ෂිතව තම රටේ රන් සංචිත ප්‍රමාණය තැන්පත් කිරීමට මධ්‍ය බැංකු ක්‍රමයේ අවශ්‍යතාව ඈම්ස්ට්‍රඩෑමයට හා ලන්ඩනයට දැනෙන්නට විය.

දහ අට හා දහ නව වන සියවස්වලදී වඩාත් විධිමත් බැංකු ක්‍රමයක අවශ්‍යතාව දැනිණි. රොත්ස්චයිල්ඩ් පවුල (Rothschild Family) යුරෝපා බැංකු ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් ඉටු කළහ. Allaiance Assurance (1824) දැන් Royal and Sun Alliance, Chemin de Fer du Nord (1845), Rio Tinto Group (1873), Societe Le Nickel (1880) දැන් Eramet, Imetal (1962) දැන් Imerys, De Beers, Cecil Rhodes සමාගම් හා රොඩේශියා කොලනියද ඔවුන් විසින් ස්ථාපිත කරන ලද ඒවා වේ.

විසි වන සියවසයේදී බැංකු ක්‍රමයේ යම් කඩා වැටීමක් දක්නට ලැබුණද, 1929 න් පසු නැවතත් යහපත් අතට හැරිණි.

ලෝක බැංකුවේ සංස්ථාපනය

Topcount.com(ලෝක බැංකුව)

බ්‍රිටොන් වුඩ්ස් ක්‍රමයට අනුව ලෝක බැංකුව හා ලෝක මූල්‍ය අරමුදල දෙවන ලෝක යුද්ධය අවසානයේදී පිහිටුවන ලදී. ඉන් අනතුරුව තුන්වන ලෝකයේ රටවල්වලත් බ්‍රිතාන්‍ය යටත් විජිත රටවලත් වාණිජ බැංකු පිහිටුවීම ආරම්භ විය.

ලෝකයේ දහස් ගණනක් බැංකු පවතින වර්තමානය

2009 නොවැම්බර මස වන විට චීනයේ හොඳම බැංකු 4 සතුව ශාඛා 67,000කට වැඩි ප්‍රමාණයකුත් (ICBC:18000+, BOC:12000+, CCB:13000+, ABC:24000+) අතිරේක කුඩා බැංකු 140 කුත් විය. ජපානයේ බැංකු 129ක් සහ ශාඛා 12,000 ක් විය. 2004 වන විට ජර්මනිය , ප්‍රංශය සහ ඉතාලිය යන එක් එක් රටවල බැංකු ශාඛා 30,000 පමණ ඇත.

නමුත් ලෝකයේ වැඩිම බැංකු ප්‍රමාණයක් හිමි රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. 2015 වන විට බැංකු ආයතන 5330 කුත්, ශාඛා 81,607 කුත් ලෙස එය වාර්තා වේ.

වර්තමානයේ ලෝකය පුරා ක්‍රියාත්මක වන බැංකු ක්‍රමය ඉතා දීර්ඝ කාලීන ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙස මේ අයුරින් දැක්විය හැකිය.

කවරයේ පින්තුරය:Teamsupport.com

Related Articles