ලංකාවේ අපට නම් චීනය කීව පමණින් මතක්වෙන්නේ ලංකාවේ ගොඩනගපු නොරච්චෝල ගල්අගුරු බලාගාරය, අධිවේගී මාර්ගය එහෙම නැතිනම් මේ වෙනකොට ගාලු මුවදොර ඉදිකරන වරාය නගරයයි. මොකද ලංකාවේ බොහෝ සංවර්ධන කටයුතු වලට චීනයෙන් ලැබෙන සහයෝගය මෙතෙකැයි කියන්න බැහැ.

එත් මේ ලිපිය හරහා ඔබව දැනුවත් කරන්නේ චීනයත් ලංකාවත් අතර ඇති මිත්‍රත්වය පිළිබඳව​ නම් නෙමෙයි. අද මේ ලිපිය වෙන්වන්නේ චීනයේ ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් දියුණුව පැවති චීන ශිෂ්ඨාචාරය පිලිබදව ඔබව දැනුවත් කරන්නයි. මායා ශිෂ්ඨාචාරය, ඊජිප්තු ශිෂ්ඨාචාරය වැනි ලෝකයේ පැවති දියුණු මානව ශිෂ්ඨාචාරයන් අතරින් විශේෂ වටිනාකමක් ඇති ශිෂ්ඨාචාරයක් විදියටත් චීන ශිෂ්ඨාචාරය ලෝකයේ හදුන්වනවා.

චීන ශිෂ්ඨාචාරයේ ආරම්භය

රටක ඓතිහාසික තොරතුරු අනාවරණයේදී මුලිකවම ලිඛිත, ජීවවිද්‍යාත්මක හා පුරාවිද්‍යාත්මක සාක්ෂි පාදක කරගැනීම සාමාන්‍යයෙන් සිදුවන්නක්. එලෙස චීනයේ ලිකිත ඉතිහාසය දෙස බලන විට චීන ශිෂ්ඨාචාරය පිළිබද සාක්ෂි මගින් අදින් වසර 4000ක් පමණ පෙර කාලයේ චීනයේ දියුණු ශිෂ්ඨාචාරයක් පැවති බවට හෙළිකරනවා. එලෙසම හමුවී ඇති ජීවවිද්‍යාත්මක සාක්ෂි ලෙස සලකන පොසිල මගින් ෂූ ඒප් (Shu Ape) – වසර මිලියන 45, හෝමෝ ඉරෙක්ටස් මානවයින් – වසර මිලියන 1.7 ක කාලයකට පෙර චීනයේ ජීවත්වූ බවට තහවුරු කරගෙන තිබෙනවා. සාමාන්‍යයෙන් ලෝකයේ මිනිසාගේ මුල් ආරම්භය අප්‍රිකාව ආශ්‍රිතව ඇතිවූ බවත් ඉන් පසුව කණ්ඩායම් වශයෙන් ලෝකය පුරා මානවයින් බෙදී ගිය බවත් ලෝකයේ පවතින පිළිගැනීමයි. නමුත් ඉහත දැක්වූ ජීවවිද්‍යාත්මක සාක්ෂි මගින් ඒ පිළිගැනීමත් ප්‍රශ්න කිරීමකට ලක්වෙනවා.

චීනයෙන් හමුවූ ෂූ ඒප් පොසිලය (apxeo.info)

එලෙස කෙසේ හෝ ගොඩනැගුනු චීන ශිෂ්ඨාචාරය තුල විශාල සංවර්ධනයක් ඇතිවූ යුගය ලෙස අදින් වසර 8000කට පමණ පෙර යුගය හදුන්වනවා. එලෙස හැදින්වීමට හේතුව වන්නේ මේ කාලයේ විවිධ කටයුතු වල යෙදෙමින් සිටි මානවයින් කණ්ඩායම් වශයෙන් එකතුවීමත් ගම්මාන ලෙස ජීවත්වීම ඇරඹීමත්ය. එලෙසම චීන ශිෂ්ඨාචාරයේ මේ කාලයෙන් පසු එළඹි යුගය ප්‍රධාන වශයෙන් අවදි කීපයකට පහත පරිදි බෙදා දක්වන්න පුළුවන්.

පලමු රාජවංශය

2070-1600 BCE අතර කාලය පළමු චීන රාජවංශ සමය වශයෙන් සැලකෙනවා. මේ කාලයේ ජනයා කුඩා ගම්මාන වශයෙන් ලෝකයේ ප්‍රසිද්ධ කහ ඟග හා යැංසි ඟග ආශ්‍රිතව මුල්ම ජනාවාස නිර්මාණය සිදුකරගෙන තිබෙනවා. ඔවුන් කෘෂිකර්මාන්තයට නැබුරුවීමත් මේ කාලයේදී සිදුවූ විශේෂ සිදුවීමක්. ලේඛන කලාව වගේම ගෘහනිර්මාණ ක්ෂේත්‍රය තුලත් මේ කාලයේ විශේෂිත වර්ධනයක් සිදුවී තිබෙනවා.

කහ ඟග අශ්‍රිතව හමුවූ ජනාවාසයක නටබුන් (www.astrolabio.com.mx)

චෞ (ZHOU) රාජවංශය

දේශපාලනික ගැටුම් මැද කාලයක් ගෙවුණු අතරම ඉන් පසු ක්‍රි.පූ. 1046-256 දී පමණ එළඹි චෞ රාජවංශය චීන ශිෂ්ඨාචාරයේ වැදගත් කාලසීමාවක් වනවා. මේ රාජවංශ සමයේ චීනයේ කොන්ෆියුසියස්, මෙන්සියස්, මෝටී වැනි දාර්ශනිකයින් හා කවියන් බිහිවීම සිදුවීම විශේෂිතයි.

කොන්ෆියුසියස්තුමා (www.halsokallan.eu)

චින් (QIN) රාජවංශය

ක්‍රි.පූ. 221-206 අතර කාලයේ පැවති මේ රාජ වංශය චීනයේ සිටි බලවත්ම රාජවංශය ලෙසද හැදින්වෙනවා. රාජ වංශයේ මුල් අවස්ථාවේ රජකම වෙනුවෙන් ඇතිවූ ගැටුම් නිසාවෙන් සොල්දාදුවන් 450,000ක් පමණ මියගොස් තිබෙනවා. කිලෝමීටර් 5000ක් පමණ දිගු ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස සැලකෙන චීන මහාප්‍රාකාරය ඉදිකිරීමත් මේ රාජවංශය සමයේ සිදුකරන ලද්දක්.

චීන මහාප්‍රාකාරයේ ජායාරුපයක් (1.bp.blogspot.com)

හන් (HAN) රාජවංශය

ක්‍රි.පූ. 202 – ක්‍රි.ව​. 220 අතර කාලයේ පැවති මේ රාජ වංශය තුල බටහිර සමග වෙළද කටයුතු වර්ධනය, තාක්ෂණික හා කලා ක්ෂේත්‍රයේ දියුණුවීමක් ඇතිවීම සිදුවී තිබෙනවා. චීනයේ මුලින්ම කඩදාසි නිපදවීමත් එමගින් වෛද්‍ය ග්‍රන්ථ රචනා කිරීමත් සිදුකල අතර වෙඩිබෙහෙත් නිපදවීමත් මේ කාලයේ සිදුකර තිබෙනවා.

චීනයේ නිපදවූ කඩදාසි (img.haikudeck.com)

ටැංග් (TANG) රාජවංශය

චීන ශිෂ්ඨාචාරයේ ස්වර්ණමය යුගය වශයෙන් මේ කාලය හදුන්වනවා. ක්‍රි.ව​. 618 – 907 අතර කාලයේ පැවති මේ රාජවංශ සමයේ චීනය හා ලෝකය අතර සේද මාවත ඔස්සේ සේද වෙළදාම හා චීන රිදී වෙළදාම ආරම්භවීම සිදුවී තිබෙනවා.

චීනයේ නිපදවූ රිදී (media.liveauctiongroup.net)

චීන ශිෂ්ඨාචාරය හරහා බිහිකල තාක්ෂනයන්

ලෝකයේ අද වෙනකොට ජනගහනය අතින් වැඩිම ජනගහනයක් ජීවත්වන රට වන්නේ චීනයයි. අද චීනය මේ සිටින සංවර්ධන මට්ටම් කරා ඒමේදී චීන ශිෂ්ඨාචාරය මගින් දායාද කරන ලද තාක්ෂණික සොයාගැනීම් ඉවහල් වූ බව නොරහසක්. චීන ශිෂ්ඨාචාරයෙහි යොදාගත් තාක්ෂණික මෙවලම් වගේම තාක්ෂණික ක්‍රම බොහොමයක් අදත් පවතිනවා. ලෝකයේ ප්‍රසිද්ධියක් උසුලන පටපනුවන්ගෙන් ලබාගත් නුල් මගින් නිපදවූ සේද වගේම අදත් යොදාගන්නා වෙඩිබෙහෙත් නිපදවීමත් මුලින්ම සිදුකර තිබෙන්නේ චීන ශිෂ්ඨාචාරයයි.

සේද ඇඟලුම් (images4.shopmadeinchina.com)

ඊට අමතරව ගණක රාමුව, සහල් වැනි ධාන්‍ය වලින් සෑදු මධ්‍යසාර, පාලම්, යාන්ත්‍රික ඔරලෝසුව, මාලිමා යන්ත්‍රය, යුධ දුනු, මල්වෙඩි, යකඩ හා තබ ලෝහ නිස්සාරණය, සරුංගලය, බටනලාව වැනි සංගීත භාණ්ඩ, උණබට යොදා සැකසු කඩදාසි හා මුද්‍රණ ශිල්පය, කඩදාසි යොදා සැකසු මුදල්, පෝසිලේන් භාණ්ඩ, රෙදි වියන යන්ත්‍රය, කුඩය, අශ්ව කෙදිවලින් සැකසු දත් බුරුසුව, තේ ශාකය සොයාගැනීම, වායු බැලුන් වැනි තාක්ෂණික මෙවලම් හා තාක්ෂණික ක්‍රම ලෝකයට හදුන්වාදීමට චීන ශිෂ්ඨාචාරයට හැකියාව ලැබුනා.

චීන ශිෂ්ඨාචාරය පිලිබදව අදත් බොහෝ නටබුන් මගින් ශිෂ්ඨාචාරයේ පැවති දියුණුව දැකබලාගන්න පුළුවන්. ඒ වගේ ස්ථාන බොහොමයක් චීනය පුරා විසිරි පවතින අතරම ඊට උදාහරණ විදියට චීන මහා ප්‍රාකාරය, ටෙරාකොටා හමුදාව ප්‍රධාන වශයෙන්ම දක්වන්න පුළුවන්.

චීනයේ ටෙරාකොටා නටබුන් (static01.nyt.com)

චීන ශිෂ්ඨාචාරය හරහා ලෝකයට සිදුවූ බලපෑම

තාක්ෂණික වශයෙන් ලෝකයට සිදුකල බලපෑම සේම සමාජයීය වශයනුත් චීන ශිෂ්ඨාචාරය ලෝකයට සිදුකල බලපෑම අතිමහත්.  සේදමාවත හරහා ලෝකයම එකක් ලෙස එකතු කිරීමට චීනයට හැකිවූවා. ඒ වගේම  Confucianism, Daoism, Legalism වැනි දර්ශනයන් හරහාත් සමාජයීය සංවර්ධනයක් චීන සංස්කෘතිය සිදුකලා.

පැරණි සේදමාවතෙහි සිතියමක් (s-i.huffpost.com)

චීන ශිෂ්ඨාචාරයේ අවසානය

ටැංග් රාජවංශය චීන ශිෂ්ඨාචාරයේ උච්චතම අවස්ථාව ලෙස සැළකෙනවා. කෘෂිකර්මාන්තය හරහා ශක්තිමත්ව සිටි චීනය මේ සමයේ අවසන් කාලයේ හටගත් නියඟය සමග කඩාවැටීමකට ලක්වන්නට ඇති බවට සැලකෙනවා. ඉන් පසුව කාලයත් විවිධ රාජ වංශ යටතේ චීනය පාලනය වූ අතරම මේ කාලය මුලුල්ලේත් සේද වෙළදාම චීනයට විශාල ආර්ථික වටිනාකමක් ගෙනෙනු ලැබුවා. නමුත් පසුව බ්‍රිතාන්‍ය හරහා එල්ලවූ දේශපාලනික බලපෑම් මත අවසාන රාජවංශය වන කින්ග් (QING) රාජවංශය සමයෙන් පසු චීනය ජනරජයක් බවට පත් වුණා.

මුලාශ්‍ර:

Formation of the Chinese Civilization

Ancient China

Ancient Chinese Inventions and Discoveries that Shaped the World

The Fall of the Chinese Empire

How Did Geography Affect Early China Before the Silk Road?

කවරයේ පින්තුරය : i.ytimg.com