Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අතීතයේ සිට පැවත එන ලංකාවේ පෝට් සිටිය- ගාල්ල වරාය නගරය

වර්ග සැතපුම් 6.5ක් පුරා පැතිර පවතින ගාල්ල, දකුණු පළාතේ අග නගරය යි. යුනෙස්කෝ සංවිධානය විසින් ගාල්ල නගරය ලෝක උරුමයක් ලෙස ද නම් කර තිබෙනවා.

අරාබි හා චීන ජාතිකයන් වෙළෙඳාම සඳහා මලක්කා රතු මුහුද හරහා පැමිණෙන විට, ඔවුන්ගේ ඉලක්කය වී තිබුණේ ගාල්ල නගරය යි. ඒ ගාල්ල නගරය, වසරේ සෑම දිනෙක ම මැද පෙරදිග මුහුදු මාර්ගයේ හරි මැද නිශ්චල මුහුදක් ලෙස තිබුණු නිසා බව යි පැවසෙන්නේ.

ඇත්තෙන් ම ගාල්ල සජීවි ලෝක උරුමයක්. මෙවන් සජීවී උරුමයන් ඇත්තේ ලොව රටවල් දෙක තුනක පමණයි.

තර්ෂිෂ් වරාය ලෙසින්

පැරණි බයිබලයේ “තර්ෂිෂ්” නම් වූ දකුණු ආසියාවේ ඇති මහා වෙළෙඳ නගරයක් ගැන සඳහන් වෙයි. ඈත අතීතයේ සිට ම වෙළෙඳ නගරයක් ලෙසින් ප්‍රසිද්ධ ගාල්ල නගරය මේ “තර්ෂිෂ්” ද යන්න ගැන අද වන විට සැකයක් මතුවෙමින් පවතිනවා.

ගාල්ල වරාය නගරයේ දසුනක්- dailynews.lk

සලමොන් රජුගේ නැව් ගාල්ලට පැමිණ ඇත්තේ රන්, රිදී, මුතු, මැණික් ආදිය රැගෙන යාම සඳහා යි. සලමොන් රජු ඇත් දළ, මොණරුන් වැනි වටිනා භාණ්ඩ ගෙන්වාගත් ඓතිහාසික තර්ෂිෂ් වරාය, ගාලු වරාය ම බව යි, ජේමිස් එමර්සන් ටෙන්නෙන්ට් පවසන්නේ.

බටහිර ජාතිකයන් පැමිණීමට පෙර

ඉතිහාසයේ සිට ම ජාත්‍යන්තර ව කීර්තිමත් නගරයක් ලෙසින්, ගාල්ල වරාය නගරය ප්‍රසිද්ධ ව තිබුණු බව නොරහසක්. බටහිර ජාතිකයන් ලංකාව යටත් කරගැනීමටත් පෙර සිට ම ගාල්ල වරාය යි, ලංකාවේ ප්‍රධාන ම වරාය ලෙසින් භාවිතා කර ඇත්තේ. ක්‍රි. පූ. 1400ටත් පෙර සිට ම ශ්‍රී ලංකාවේ සිට විදේශයන් වෙත කුරුඳු අපනයනය කර ඇති ගාල්ල වරාය, අපනයන සඳහා ප්‍රධාන වෙළෙඳ අපනයන මධ්‍යස්ථානය ලෙස භාවිතා කර තිබෙනවා.

කොස්මස් ඉන්දිගෝප් නැමැත්තෙක් ද ක්‍රි. ව. 540 දී ගාල්ල නගරය ගැන සඳහන් කර තිබෙනවා. 1000 වර්ෂයේ දී අල මසුදී නමැති ග්‍රීක ජාතිකයෙකු ද, පසුව ඉබන් බතුතා ද ගාලු වරායට ගොඩබැස තිබෙන බව යි පැවසෙන්නේ.

ගාල්ල වරාය නගරයේ ආරම්භය

අරාබි, ග්‍රීක, රෝම, පර්සියානු, මැලේ, ඉන්දීය මෙන්ම චීන ජාතිකයන් ද ගාල්ල වරාය හරහා ව්‍යාපාරික කටයුතු සිදුකර තිබෙනවා. ක්‍රි. ව. 1411 දී චීන ජාතික අද්මිරාල්වරයෙකු වන ෂැන් හේගේ ශ්‍රී ලංකා සංචාරයක් නිමිත්තෙන් චීන, දමිළ, හා පර්සියානු යන භාෂා තුනෙන් ම වන ගාල්ල ත්‍රෛභාෂික ලේඛනය සකසනු ලැබුණා. එය සකසා ඇත්තේ ගල් පුවරුවක යි.

1502 වර්ෂයේ දී ලොරෙන්සෝ ද අල්මේදා ඇතුළු පෘතුගීසි නාවික කණ්ඩායමක් ගාල්ල වරායට ගොඩබැස ඇති අතර, ගාල්ල වරාය ‍නගරයේ ආරම්භය වන්නේ මෙය යි. “හිරු”, “සඳු”, සහ “තරු” ලෙසින් නම් කරන ලද කළු ගලෙන් නිමවන ලද ප්‍රාකාර තුනක්  ලන්දේසින් විසින් 1663 වර්ෂයේ දී ඉදිකොට ඇති අතර, වර්තමාන ගාලු කොටු පවුර වන්නේ මෙය යි.

මේ වන විටත් ගාලු කොටුවේ ඇති ජාතික කෞතුකාගාරයේ වෙනම ම කොටසක් චෙන් හෝ සෙනෙවියා නමින් වෙන් කර කටු ගෙයක් ලෙසින් පවත්වාගෙන යයි.

1754 වර්ෂයේ ගාල්ල ‍වරාය -gallemart.com

බ්‍රිතාන්‍යයන් විසින් 1796 වර්ෂයේ දී ගාලු වරාය යටත් කරගැනීමෙන් පසු ව, ඔවුන් විසින් ද මේ ගාලු කොටුව වෙනස් නොකරමින් දිස්ත්‍රික් පරිපාලන මධ්‍යස්ථානයක් ලෙසින් භාවිතා කර තිබෙනවා.

ගාල්ල නගරයේ සිදුකරන ලද කැණීම්වල දී ගාල්ල වරායේ තිබී ගල් නැන්ගුරමක් ද හමුව තිබුණා. ක්‍රි. ව. 1000 යුගය පමණ කාලය දක්වා මෙය දිව යනවා. මෙවැනි ම නැන්ගුරමක් මීට පෙර ඕමාන් රටේ වරායේ තිබී ද හමු වී ඇත. එයින් පැහැදිලි වන්නේ ගාල්ල වරාය නගරයට ඕමානය සමග ද වෙළෙඳ සම්බන්ධතා තිබී ඇති බව යි.

ඕලන්ද සොහොන් භූමිය

පළමු ඕලන්ද සොහොන් බිම, ගාලු වරාය නගරය තුළ ඇති වැදගත් ස්ථානයක්. ඉංග්‍රීසි ජාතිකයන් විසින් සාදා ඇති පළමු නාගරික වෙළෙඳ සැල හා එක් ව පිහිටි මේ සොහොන් බිමෙහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම ඉතාමත් ඉහළ යි. ලන්දේසීන්ගේ පළමු පල්ලිය මෙන්ම පළමු සොහොන් බිම වන්නේ මෙය වන බව යි අතීත තොරතුරු පවසන්නේ.

1930-1940 කාලයේ ගාල්ල වරාය නගරය-lankapura.com

මේ සොහොන් බිමෙහි ඇති සොහොන් කොත් අතර එකල සිටි ලන්දේසි ඉහළ නිලධාරීන්ගේ සොහොන් ද ඇති බව යි විශ්වාස කරන්නේ.

මෑත කාලයේ මේ ස්ථානයේ කරන ලද පුරාවිද්‍යා කැණීම්වල දී මේ භුමිය තුළින් විශ්වීය උරුමයක නටඹුන් හමුව තිබෙනවා. මළ සිරුරු කිහිපයක් මෙන්ම ඇට මිදුළු කිහිපයක් ද හමු ව ඇති අතර, එහි දී හමු ව ඇති සමරු ඵලකවලින් පෙනෙන්නට තිබී ඇත්තේ ඒවා මෙහි සිට ඇති ලන්දේසි ප්‍රභූ නායකයන්ගේ මළ සිරුරු වන බව යි.

සංදේශ කාව්‍යයටත් ගිය ගාල්ලේ සැණකෙළි

පරෙවි සංදේශය, ගාල්ල වරාය නගරයේ අසිරි දැක ඇත්තේ මෙසේ යි.

සරා සොඳින් මහ සරුරත මුළුල්ලේ

පෙරා රැගෙන රන් මිණිමුතු සියල්ලේ

සරා තිබු මෙන් සල්පිල් උඳුල්ලේ

පුරා මෙසිරි දැක යාගන් ගාල්ලේ

මයුර සංදේශකරුවා ගාල්ල වරාය නගරය මෙසේ දකී.

බාල්ලේ පුරුදු කව් නළු සියල්ලේ

ඊල්ලේ වදන් දෙන ලදුනු   දුල්ලේ

නෑල්ලේ කොතනකත් ලොව මුළුල්ලේ

ගාල්ලේ සිරි ද දකු නොම පැකිල්ලේ

මෙසේ වෙළෙඳ සැණකෙළිවලින් පිරුණු මහා වෙළෙඳ පුරවරයක් ලෙස යි එකල සංදේශ කාව්‍යකරුවන් ගාල්ල වරාය නගරය දැක ඇත්තේ. ගාල්ලේ එදා අසිරි එනයින් ම පෙනී යයි.

ගාලු කොටු පවුර- අහස් දර්ශනයක්-nklankaholidaytours.com

 

Related Articles