ඉරාන ඉස්ලාමීය විප්ලවය මැදපෙරදිග දේශපාලනය උඩුයටිකුරු කළ සිදුවීමක් වුණා. ඉතා කෙටි කලක් තුළ ඉරානයේ දේශපාලන ස්ථාවරය එක් අන්තයක සිට අනෙක් අන්තයට මාරු වූ අතර, එරටෙහි විශාලත්වය සහ දේශපාලන පිහිටීමත් සමග එය කලාපීයව මෙන්ම එයින් ද ඔබ්බට බලපාන සිදුවීමක් බවට පත් වුණා.

ඉරාන ඉස්ලාමීය විප්ලවයට මූලිකවම බලපෑවේ ඉරානයේ අධිරාජයා හෙවත් ෂා තනතුර දැරූ මොහොමඩ් රෙසා පහ්ලවි විසින් ගන්නා ලද වැරදි තීරණයි. එක්තරා කාලයක ඉතා හොඳ ආර්ථික තත්ත්වයක් හිමිකර ගත් ඉරානය 1970 දශකයේ දෙවන භාගයේ දී කඩා වැටෙන්නට පටන් ගත් අතර, ජනතා සහාය ෂාගෙන් ඈත් වීමට එය සහ තවත් කරුණු බලපෑවා. රට පාලනය කරගත නොහැකිව ෂා මොහොමඩ් රෙසා පහ්ලවි රටින් පලා ගියා. ඔහුට විරුද්ධ ප්‍රධානම හඬ වූ අයතුල්ලා රුහොල්ලා කොමෙයිනි බලයට පැමිණීම සහ පූජක රාජ්‍යයක් නිර්මාණය වීම මෙම විප්ලවයේ ප්‍රතිඵල වුණා. එමෙන්ම, අධිරාජයා දැඩි බටහිර ගැති පාලකයකු වූ අතර කොමෙයිනි ඊට සපුරා විරුද්ධ මතයක් දැරුවා.

මොසඩෙක්

ඉරාන ජනතාව බටහිර රටවල් හා අප්‍රසාදයට පත් වීමට මූලික හේතුවක් වූයේ 1953 දී එවකට අගමැතිවරයා වූ මොහොමඩ් මොසඩෙක් බලයෙන් නෙරපීම හේතුවෙන්.

ඉරානයේ නිරිතදිග ප්‍රදේශයේ විසිවන සියවස මුල් කාලයේ තෙල් නිධි සොයාගැනුණ අතර එහි ආයෝජනය කළේ බ්‍රිතාන්‍යයන්. ඔවුන් එහි ඇන්ග්ලෝ ඉරාන තෙල් සමාගම (Anglo Iranian Oil Company - AIOC) ස්ථාපිත කළා. වර්තමානයේ බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගම වන්නේ එය යි. ඉරාන තෙල් නිධිවල ධනය ඇදී ගියේ බ්‍රිතාන්‍යයන් වෙත යි. ඉරාන ජාතික සේවකයන් ජීවත් වූයේ ඉතාම කටුක තත්ත්වයන් යටතේ යි. ඔවුන් ලැබුවේ ද සොච්චම් වැටුපක්. මේ හේතු නිසා ඉරාන ජනයා මෙම තෙල් සමාගම කෙරෙහි අප්‍රසාදයෙන් පසු වුණා.

මෙකල ඉරානය ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් වුණා. 1951 දී ඉරානයේ අගමැති ලෙස ජාතිකවාදී නායකයකු වූ මොහොමඩ් මොසඩෙක්ව පාර්ලිමේන්තුව විසින් තෝරාගනු ලැබුණා. ඔහු 1952 දී AIOC සමාගම ජනසතු කළා. මෙය බ්‍රිතාන්‍යයේ අප්‍රසාදයට හේතු වුණා.

මොහොමඩ් මොසඩෙක් (iranreview.org)

බ්‍රිතාන්‍යය මොසඩෙක්ව බලයෙන් නෙරපීමට අවශ්‍ය බව තීරණය කළා. එයට ඔවුන් ඇමරිකාවෙන් සහාය ඉල්ලා සිටියා. මේ අනුව ඇමරිකාවේ CIA ආයතනය සහ බ්‍රිතාන්‍ය MI6 ආයතනය මොසඩෙක් බලයෙන් නෙරපීමේ රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. එය 1953 දී සාර්ථක වූ අතර මොසඩෙක් 1953 අගෝස්තුවේ බලයෙන් ඉවත් කෙරුණා. මොහොමඩ් රෙසා පහ්ලවි තම බලය වර්ධනය කරගත්තා. මීළඟ වසර කිහිපය තුළ අධිරාජයාගේ බලය කෙමෙන් වැඩි වෙමින් පාර්ලිමේන්තුවට වූ බලය අඩු කෙරුණා.

මොසඩෙක් 1967 දී මියයන තෙක්ම නිවාස අඩස්සියේ පසු වුණා. මේ අතර මොහොමඩ් රෙසා පහ්ලවි දැඩි බටහිර ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කළා. මොසඩෙක්ගේ නම පවා සඳහන් කිරීම තහනම් වුණා. එහෙත්, අධිරාජයාගේ බටහිර ගැති පාලනය ප්‍රතික්ෂේප කළ ජාතිකවාදීන් අතර මොසඩෙක් දිගටම ජනප්‍රිය ව සිටියා.

ධවල විප්ලවය සහ කොමෙයිනි

1963 දී ඉරානයේ ෂා මොහොමඩ් රෙසා පහ්ලවි පුළුල් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැගුවා. "ධවල විප්ලවය" ලෙස හඳුන්වා දෙනු ලැබූ මෙන ව්‍යාපෘතියේ දී ඉඩම් ප්‍රතිසංස්කර හා සමාජීය ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැගුණා. කාන්තාවන්ට ඡන්ද බලය දෙනු ලැබුණා. බටහිර සංස්කෘතික සහ දේශපාලනික හර පද්ධතීන් ඉරානයට හඳුන්වා දීමට උත්සාහ කරන ලද බවක් පෙනෙන්නට තිබුණා.

කෙසේ වෙතත්, මෙම ප්‍රතිසංස්කරණ පිළිබඳ ඉඩම් හිමියන් මෙන්ම පූජ්‍ය පක්ෂය ද විරෝධය පළ කළා. පූජ්‍ය පක්ෂයේ විරෝධයට හේතු වූයේ ඉරානයේ ෂියා ඉස්ලාමීය සංස්කෘතියට හානි පැමිණවීමට එයින් උත්සාහ කරන බවට වූ චෝදනාව යි. මේ අතර ප්‍රබලම විවේචකයකු ලෙස කැපී පෙනුණේ අයතුල්ලා රුහොල්ලා කොමෙයිනි යි. ඔහු ධවල විප්ලවය බටහිර ගැති වැඩපිළිවෙලක් යයි දැඩි ලෙස විවේචනය කළා. (අයතුල්ලා යනු ප්‍රධාන පෙළේ ෂියා ආගමික නායකයකු හඳුන්වන අයුරු යි). අයතුල්ලා කොමෙයිනි අත්අඩංගුවට ගනු ලැබුණ අතර ඊට එරෙහිව විරෝධතා පැතිර ගියා.

මොහොමඩ් රෙසා පහ්ලවි (AP)

ඉරාන රජය විසින් අයතුල්ලා කොමෙයිනි පිටුවහල් කළා. කොමෙයිනි එහි සිට සිය විවේචන දිගටම කරගෙන ගියා. කෙසේ වෙතත්, ධවල විප්ලවය මුල් කාලයේ ඉරාන ආර්ථිකය යහපත් තත්ත්වයක තිබුණ හෙයින් ෂාගේ පාලනය ස්ථාවරව තිබුණා.

1973න් පසු තෙල් මිල ඉහළ යාමත් සමග ඉරානය තවත් ධනවත් වුණා. එහෙත් මෙම ධනය වැඩි වැඩියෙන් ආර්ථිකයට යෙදවීමෙන් මුදලේ අගය අවප්‍රමාණ වීමත් සමග ආර්ථික අපහසුතා හටගත්තා.

මර්ධනය සහ විප්ලවය

අධිරාජයා සිය බලය රඳවා ගැනීමට යොදාගත් එක් ආයතනයක් වූයේ සවාක් (SAVAK) රහස් පොලිසිය යි. 1970 දශකයේ දී, විශේෂයෙන්ම ඔහුට එරෙහිව විරෝධය ගොඩනැගෙද්දී, ඔහු එහි සම්පූර්ණ බලය දේශපාලන විරුද්ධවාදීන් වෙත යොමු කළා. SAVAK ආයතනය සිය කටයුතු මගින් ජනතාව බියවද්දවා සිටියා. මේ අවස්ථාවේ විශේෂ අවධානයක් යොමු වූයේ වාමාංශිකයන් මර්ධනය කෙරෙහි යි. ඒ සඳහා අධිරාජයා පූජක පන්තියේ සහාය ලබාගත්තා. එහෙත් පූජක පක්ෂය අධිරාජයාට පක්ෂ වූයේ නැහැ.

1975 දී අධිරාජයා ඉරානය තනි පක්ෂ රාජ්‍යයක් බවට පත් කළා. එයින් පසු මර්දනය ද ඉහළ ගියා. එයට සමගාමීව අයතුල්ලා කොමෙයිනිගේ විවේචන ද දැඩි වුණා. ඉරානයේ ෂා, එවකට ඉරාක උප ජනාධිපති වූ සදාම් හුසේන් සමග සාකච්ඡා කර කොමෙයිනි ඉරාකයෙන් පිටුවහල් කරවූවා. ඔහු ප්‍රංශයේ පැරිසිය අසල කුඩා නගරයකට පදිංචියට ගියා.

කෙසේ නමුත්, 1978 වසර අවසන් වෙද්දී ෂාගේ පාලනය කඩා වැටෙමින් තිබුණා. එම වසරේ සැප්තැම්බරයේ දී වූ විරෝධතාවකට පොලිසිය පහර දීමෙන් පසු තවත් විරෝධතා උත්සන්න වුණා. දෙසැම්බරය වෙද්දී රජයේ පාලනය ගිලිහෙමින් පැවතුණා. රටේ සෑම පැළැන්තියකම පාහේ පිරිස් විරෝධතා සමග එක් වුණා. ෂා මොහොමඩ් රෙසා පහ්ලවි විසින් දෙසැම්බර් 28 වන දා, විපක්ෂයේ දේශපාලකයකු වූ ෂාහ්පූර් බක්ටියාර් අගමැති ලෙස පත් කෙරුණා.

කොමෙයිනි ආපසු පැමිණෙයි (Getty Images)

1979 ජනවාරි 16 වන දා ෂා මොහොමඩ් රෙසා පහ්ලවි ඉරානයෙන් පලා ගියා. බක්ටියාර් කොමෙයිනිට ඉරානයට පැමිණෙන ලෙස ආරාධනා කළා. පෙබරවාරි 1 වන දා කොමෙයිනි නැවත ඉරානයට පැමිණියා. ඔහු බක්ටියාර් රජය ප්‍රතික්ෂේප කළ අතර පෙබරවාරි 5 වන දා මෙහ්දි බසර්ගන් අන්තර්වාර අගමැති ලෙස පත් කළා. දින කිහිපයක් මෙම ආණ්ඩු දෙක අතර බල අරගලයක් වූ අතර පෙබරවාරි 11 වන දා බක්ටියාර් රජය පෙරළනු ලැබුණා. පලා ගිය බක්ටියාර් 1991 දී ඉරාන ඒජන්තයකු විසින් පැරිසියේ දී ඝාතනය කෙරුණා.

විප්ලවයට බොහෝ කණ්ඩායම් දායක වූ නමුත්, බලය අල්ලාගත්තේ අයතුල්ලා කොමෙයිනිගේ පූජක කණ්ඩායම යි. ඔවුන් වහ වහා පැරණි රජයේ හමුදා, පොලිස් හා අන් නිලධාරීන්ගෙන් පළිගැනීමට පටන් ගත්තා. බොහෝ දෙනා ව්‍යාජ නඩු විභාගවලින් පසු මරා දැමුණා.

1979 අප්‍රේල් 1 වන දා ඉරානය ඉස්ලාමීය ජනරජයක් ලෙස ප්‍රකාශ කරන ලද අතර, බටහිර ශිෂ්ටාචාරයෙහි වූ ලක්ෂණ සියල්ල ඉරානයෙන් අතු ගා දැමීමට රජය කටයුතු කළා. එම වසරේම අවසන් භාගයේ නව ව්‍යවස්ථාවක් සම්මත කර, පූජක පක්ෂය සිවිල් රාජ්‍යයට ඉහළ ස්ථානයක ස්ථාපිත කිරීමට කටයුතු කෙරුණා. අයතුල්ලා රුහොල්ලා කොමෙයිනි ඉරාන ඉස්ලාමීය ජනරජයේ ආධ්‍යාත්මික නායකයා ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

කවරයේ පින්තූරය: ඉරානයේ ෂා මොහොමඩ් රෙසා පහ්ලවිට එරෙහි කාන්තාවන්ගේ උද්ඝෝෂණයක් (Getty Images)

මූලාශ්‍රයයන්: