සෙල්ලිපිවලින් කියවෙන කැලණි විහාරයේ පුරාවත

දුරුතු පෝයට කැලණිය රජමහා විහාරය වඳින්නට යාම අතීතයේ සිට අද දක්වා ම පුරුද්දක් වශයෙන් පවතිනවා. කැලණිය විහාරයේ දුරුතු මහා පෙරහර ආරම්භ වූයේ 1925 වසරේ දුරුතු පෝය දින යි.   බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමන සිහිපත් කරනු වස් පැවැත්වෙන කැලණිය දුරුතු පෙරහර ආරම්භ වූයේ විහාරයේ දායිකා හෙලේනා විජයවර්ධන ළමාතැනීගේ ප්‍රධානත්වයෙන්. මාපිටිගම ධම්මරක්ඛිත නාහිමිපාණන්ගේ අනුශාසනා එයට හිමි වුණා. 

කැලණි විහාරය ගැන මහාවංශයේ මෙන් ම සංදේශ කාව්‍ය රාශියක ද සඳහන්. මෙහි ඓතිහාසිකත්වය තහවුරු කර ගැනීමට සෙල්ලිපිවලින් ද ලැබෙන්නේ නොමඳ පිටුවහලක්. මේ කැලණිය රජමහා විහාරයේ සහ එගොඩ කැලණිය හෙවත් කිත්සිරිමෙවන් කැලණිය විහාරයේ තිබෙන සෙල්ලිපි ගැන කළ සොයා බැලීමක්.

බුදු හිමියන් වැඩම කිරීම දැක්වෙන නූතන කැලණි සිතුවමක්- lanka -excursions –holidays.com

කැලණියට බුදු හිමියන් වැඩම කිරීම

දුරුතු මස පුර පසළොස්වක පොහෝ දින ලංකාවාසී බෞද්ධයන් සිහිපත් කරන්නේ බුදුන්  වහන්සේගේ ප්‍රථම ලංකාගමනය යි. බුදු හිමියන් මහියංගනයට වැඩම කර යක්ෂයන් දමනය කළ බව මහාවංශය සඳහන් කරනවා. සුමන සමන් දෙවියන් බුදුරදුන්ගේ කේශ ධාතු තැන්පත් කර මහියංගණ චෛත්‍යය බැඳවූයේ ද ඒ අවස්ථාවේ දී ම යි.  

බුදුන් වහන්සේ  දෙවන වර  ලංකාවට වැඩම කර ඇත්තේ චූලෝදර මහෝදර නාරජවරුන් අතර ඇති වූ අරගලය සමථයකට පත්කිරීම සඳහා බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේ දී නාගදීපයට යි.  එම ගමනේ දී කැලණියේ මණිඅක්ඛිත නා රජු සිය රාජධානිය වන කැලණියට වැඩම කරවන ලෙස උන්වහන්සේට ආරාධනා කර සිටියා.  එහි ප්‍රතිඵලයක් ලෙස බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ වෙසක් පෝදිනක පන්සියයක් රහතන් වහන්සේලා සමඟ කැලණියට බුදුන් වහන්සේ වැඩම කළා.  

කැලණි දාගබේ පැරණි සේයාරුවක් – AEGLE CREATIONS facebook page

බුදුන්වහන්සේ මෙම ගමනේ දී කැලණි නදියෙන් ජලස්නානය කොට ගඟ අසබඩ ශ්‍රී පාද ලාංඡනය පිහිට වූ බව  පූජාවලියේ ද සඳහන් වෙන කරුණක්. වර්තමාන සෑය පිහිටි තැන වැඩ හිඳ මහ රහතුන් සමඟ දන් වළඳා, මණිඅක්ඛිත නාරජුන් ඇතුළු පිරිසට දහම් දෙසා තිබෙනවා. දම් දෙසීමට වැඩ සිටි රත්න මණ්ඩපයෙහි මණිපල්ලංකය තැන්පත් කර පළමු ස්ථුපයත්, ජලස්නානය සඳහා පොරවූ ජලසාටකය තැන්පත් කර දෙවන ස්තූපයක්ද කරවූ බවත් සෙල්ලිපිවල සඳහන් වෙන කරුණක්.   

සෙල්ලිපිවල සඳහන් කැලණිය

අනුරාධපුර යුගයේ මුල් කාලයේ පටන් කැලණිය වාණිජ නගරයක් ව පැවති බවට සාධක පවතිනවා. කැලණි විභිෂණ දේවාලය අසල සවි කර ඇති 10 වැනි සියවසට අයත් පුවරු ලිපියෙහි සෙනෙවිරත්දීපය යනුවන් එම වෙළෙඳපොළ හඳුන්වා තිබෙනවා.  එම පුවරු ලිපියේ බුදුන් වහන්සේගේ කැලණි ගමනත්, සිවුරු දාගබ  ගැනත් සඳහන් වෙනවා. එම සෙල්ලිපියේ ‘‘උදකස්දා’’ යනුවෙන් තිබූ වැකිය කිය වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන ඉන් අදහස් වන්නේ දිය නෑම සඳහා භාවිත කළ ‘‘චීවර ධාතුව’’ බවට අර්ථ දක්වා තිබෙනවා. සෙල්ලිපියේ මෙසේ ද සඳහන් වෙනවා: 

‘‘වදාළ හෙයින් කැලණි රජමහා වෙහෙ උදකස්දා නින්දා මඟුල් දා ගැබිහි බද මුල් ගුණ සමමෙ වෙහෙර් සෙනෙවිරද් පදිය වසමට දෙනුකොට ඉසා’’

එහි අරුත නම් රජතුමා නියම කළ බැවින් කැලණි රජමහා විහාරයෙහි ජල සාටිකා ධාතුව (දියනෑමට භාවිත කළ සිවුර) නිදන් කළ මංගල මහා ස්තූපයෙහි පහන් පූජාව පැවැත්වීම පිණිස රුවන්වැලි සෑයට අයත් ව මුල සිට පැවැති ප්‍රදේශය මෙම විහාරයෙහි සෙනෙවිරත් පදවියේ ප්‍රදේශ පාලනයට දෙනු පිණිස’’ යන්න යි.

විභීෂණ දේවාල පුවරු ලිපිය – ඓතිහාසික කැලණි රජමහා විහාරය- පියසිරි පී මීගොඩ කෘතියෙනි

ක්‍රිස්තු වර්ෂ 10 වැනි සියවසට අයත් විනාශ වී ගිය පුවරු ලිපියක කියවා ගත හැකි කොටසේ මෙසේ සඳහන්.

(එක්තැන් සමියෙන් වදා)ළෙන් ගොරා කැලණි වෙහෙර උදකස් දා  කොට් මෙ සම්වතා පහණ් අරක්කැමි දෙවාල හින්ද්වනු ලදි…..

12 වැනි සියවසේ පොළොන්නරු යුගයේ කීර්ති නිශ්ශංකමල්ල රජු වැඳ පුදා ගත් විහාර අතර කැලණිය ද වන බව ඔහු වෙනත් ස්ථානවල පිහිට වූ සෙල්ලිපිවල මෙන් ම මහාවංශයේ ද සඳහන් වෙනවා. අනුරාධපුර යුගයට අයත් සෙල්ලිපි කිහිපයක් ම කැලණියෙන් හමු ව තිබෙනවා.  

  එගොඩ කැලණිය විල්ගම්මුල මාහිමි සෙල්ලිපිය

කැලණිය රජමහා විහාරය පිහිටි කැලණි ගං ඉවුරේ සිට එගොඩ ඉවුරේ පිහිටියේ එගොඩ කැලණිය යි. කලකට පෙර මේ විහාර දෙක ම පැවතියේ එක ම විහාරයක් ලෙස යි. එගොඩ කැලණිය විහාරයේ ප්‍රාකාරය අසල මෙම පුවරුලිපියක් දැකගත හැකි යි.  එය පිහිටුවා තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1333දි යි. එහි අකුරු දැන් නම් බොහෝදුරට ගෙවි ගොස් තිබෙන්නේ. මේ ලිපිය ආගමික මෙන්ම දේශපාලනික අතිනුත් වැදගත් වන ලිපියක් බවයි විද්වතුන්ගේ මතය වෙන්නේ.    

එගොඩ කැලණිය- Elearning.lk

මේ විහාරයේ ජරාවාස ව පැවති දාගබ, පිළිම ගෙය සහ බෝධි ප්‍රකාරය අලගක්කෝණාර නම් අමාත්‍යවරයා විල්ගම්මුල නම් හිමියන්ගේ අනුශාසනා පරිදි පිළිසකර කරවා තිබෙන බව තමයි සෙල්ලිපියේ කියවෙන්නේ. මේ විහාරයට කිත්සිරිමෙවන් යන නම පුරාණයේ පටන් භාවිත කළ බවත් සෙල්ලිපි සාධකවලින් හෙළි වෙනවා.  

කොටස් දෙකකින් යුක්ත වන විල්ගම්මුල නාහිමිගේ සෙල්ලිපියේ පළමු කොටසේ විහාරයේ කළ ප්‍රතිසංස්කරණ කටයුතු  ගැන පේළි 51 කින් විස්තර කෙරෙනවා.

පින්කමට බාධා පමුණුවන්නන් අපායගාමී වන බව

දෙවෙනි කොටසේ ලියා ඇත්තේ මේ පින්කමට බාධා පමුණුවන්නන් අපායගාමී වන බව යි. ඒ සඳහා තවත්   අකුරු පේළි 15 ක් භාවිත කර තිබෙනවා.  මේ පූජාව ඉර හඳ පවතින තුරු සාංඝික දේපළ වන බවත් ඒවා පුද්ගලික පරිහරණයට යොදා ගන්නවුන් බල්ලන් හා කපුටන් වන බවත් බලු කපුටු  සංකේතවලින් ඉඟිකර තිබෙනවා.

සංඝරාජ පදවිය හෙබ වූ ශ්‍රීමත් ගඟතලා කරඹවලානේ ශ්‍රීවන්ත විල්ගම්මුල මහා ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත කිත්සිරිමෙවන් රජ දවස සිට ශාසනික හා ඥාති පරම්පරා දහයක් පුරා කිත්සිරිමෙවන් විහාරයේ උරුමය හිමි වී පැවති බව සෙල්ලිපිවල සඳහන් වෙනවා. විල්ගම්මුල නායක හිමියන් කුරුණෑගල රජ කළ සිව් වැනි පරාක්‍රමබාහු ( 1302—1326) රජ කාලයේ කැලණියේ පැවති ගතාරා පිරිවෙන්පති ලෙස කටයුතු කර තිබෙනවා.

විල්ගම්මුල නාහිමිගේ සෙල්ලිපිය- ඓතිහාසික කැලණි රජමහා විහාරය- පියසිරි පී මීගොඩ කෘතියෙනි

කොත් දහතුනක් පළඳවන ලද බෝධි ප්‍රාකාරය

උන්වහස්සේ බෝධිවංශය, සඳකිඳුරුදා කව ඇතුළු ග්‍රන්ථ කිහියපක් ම ලියා තිබෙනවා.  කිත්සිරිමෙවන් විහාරයේ පිළිමගේ අසල උළුවාසල් තුන, දාගබ, බෝධි කොටු දෙක, පවුරු පදනම්, පසු දොරටුවේ තණගෙවල් පහ ඇතුළු ජරාවාස වී පැවති ඉදිකිරීම් තත්කාලීන ප්‍රභූ පෙළපතක් වූ නිශ්ශංක අලගක්කෝනාර අමාත්‍යවරයාගේ පරපුරේ දසවැන්නා වූ අලගක්කෝනාර අමාත්‍යවරයා ලවා පිළිසකර කරවා තිබෙන බව මෙහි විස්තර වෙනවා.

 මහා බෝධිය වටා කොත් දහතුනක් පළඳවන ලද බෝධි ප්‍රාකාරය පිළිසකර කරවා එහි මතු පැවැත්ම පිණිස රජ අණින් පාණබුන්නෙහි පොළොන්නරුවෙන් (කොලොන්නාව විය හැකි බව මතයයි) කුඹුරු සහ ගෙවතු, වන ලැහැබ, තුරු ලතා සහිත ව දෙයාල පස් අමුණක් ඉඩකඩම් කිත්සිරිමෙවන් වෙහෙරට පූජා කර තිබෙන අතර සේවකයන් තිස් දෙනකු විහාරස්ථානයේ කටයුතු සඳහා පත් කොට තිබෙනවා.  එකල භික්ෂූන් වහන්සේලාට බණ කීම වෙනුවෙන් ප්‍රසාදයක් ලෙස සේවක සේවිකාවන් පූජා කළ බවත් මේ ලිපියෙන් කියවෙනවා.  

එගොඩ කැලණිය පැරණි නටබුන්- E atuwawa.blogspot.com

අට වැනි වීර පරාක්‍රමබාහු සෙල්ලිපිය – කෝට්ටේ යුගය

කෝට්ටේ යුගය වන විට කැලණි විහාරය සහිත කැලණි පුරවරය ඉතා දියුණු සිත්ගන්නා උසස් තත්ත්වයක පැවති බව   සන්දේශ කාව්‍යවලින් පැහැදිලි වෙනවා.  කෝට්ටේ කාලය වන විට මහා විහාර පරම්පරාවේ ථෙරවාදී භික්ෂූන් වහන්සේලාගේ මූලස්ථානය වශයෙන් පුද පූජා ලද්දේ ද කැලණිය විහාරස්ථානය යි.

කැලණිය රජමහා විහාරයේ සංඝාවාසය ඉදිරිපිට බිත්තියකට සවිකර තිබෙන මේ පුවරු ලිපිය කරවා ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1509 දී කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රජ කළ අටවන විර පරාක්‍රමබාහු රජු යි. මේ සෙල්ලිපිය ගැන මුලින් ම අවධානය යොමු කළේ 1871 දී එල්. ද සොයිසා නම් විද්වතා යි. ඔහු රාජකීය ආසියාතික සංගමයේ සඟරාවට ඒ ගැන ලිපියක් ලියා තිබෙනවා. පසුව එච්. සී. පී. බෙල්, මහාචාර්ය සෙනරත් පරණවිතාන වැනි පුරාවිද්‍යාඥයන් ද මේ ගැන අදහස් පළ කර තිබෙනවා. වීර පරාක්‍රමබාහු රජු කැලණි විහාරය අලුත්වැඩියා කරවීම ගැනයි මෙහි විස්තර වන්නේ.

මහනුවර යුගයට අයත් විහාර මන්දිරය- Photodharma.net

සෙල්ලිපියේ අරුත මෙසේ යි:

කැලණි රජ මහා විහාරයේ වැඩ හිඳ ධර්ම දේශනා කළා වූ උත්තම ස්ථානයක එහි මෙදවසට ජරාවාසව තිබෙන පින්කම් කවරේදැයි දැනගෙන චෛත්‍යය ආදී ජරාවාස වූ තැන් පිළිසකර කරවීමට නායක හිමියන්ට සහ පරාක්‍රමබාහු විජයකෝණාර ඇමැතිට නියෝග කර තිබෙනවා. චෛත්‍යයේ හුණු පිරියම් කර උතුරුදිග නවරියන් කළුගල් පවුරක් කරවා නැගෙනහිරට සඳකඩ පහණකින් යුක්ත ගල්පඩියකුත් බඳවා සමාධි පිළිම ගෙය. සාංඝික වැසිකිළිය, බස්නාහිර වාසල‍ ආදී තැන් අලුත්වැඩියා කරවා ඇති බවත් සඳහන්. මේ රජු කිත්සිරිමෙවන් කැලණියේ සල පිළිමගෙයත් අලුත්වැඩියාවට ලක් කළ බව සෙල්ලිපියේ දැක්වෙනවා.

 කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයට අයත් සෙල්ලිපිය

වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍ය දෙහිගස්පේ අත්ථදස්සී හිමියන් ද උන්වහන්සේගේ ශීෂ්‍ය මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් ද ලන්දේසී පාලන කාලයේ දී කැලණිය විහාරය පිළිසකර කරවා තිබෙනවා. ඒ කිර්ති ශ්‍රී රජසිංහ රජුගේ අනුගහය යටතේ යි. එම පිළිසකර කිරීම්වලට ලන්දේසීන් ද විරුද්ධත්වයක් දක්වා නැහැ. මෙම සෙල්ලිපියෙන් කියවෙන්නේ එම ප්‍රතිසංස්කරණය ගැන යි.

කැලණියේ පුරාණ බෝධිය- Photodharma.net

මෙය පිහිටුවා තිබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1767දි යි. එකල යොදා ගත් නූතන සිංහල භාෂාව එහි දැකගත හැකි යි. සෙල්ලිපියේ අරුත මෙසේය:

‘‘ ශ්‍රී බුද්ධ වර්ෂයෙන් දෙදහස් තුන්සිය එකොලොස් වැන්නේ වෙසඟපුර පසලොස්වක ලත් ගුරු දින අතථදස්සී තෙර සාමීන් ප්‍රධාන කොට එම ශිෂ්‍ය වූ මාපිටිගම සාමණේර නම විසින් නටබුන්ව තිබු වෙහෙර වහන්සේ සහ විහාර මළුව වැඩ කරවා ගල් පිළිම නමක් නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය කළහ.

කවරයේ ඡායාරූපය - කැලණි විහාරයේ පැරණි සේයාරුවක්- lankapura.com
මූලාශ්‍ර:
ඓතිහාසික කැලණි රජමහා විහාරය- පියසිරි පී මීගොඩ
සාහිත්‍ය  - සාහිත්‍ය උත්සව විශේෂ කලාපය - 1976
Dinamina.lk
Budusarana.lk‍

Related Articles