Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගඩාෆිගේ වැටීමෙන් උග්‍ර අතට හැරුණ මාලි රටේ අර්බුදය​

මාලි රට ලංකාවෙ අපට එච්චර හුරු පුරුදු රටක් නොවේ. නමුත් ශ්‍රී ලාංකික සාම සාධක භටයන් දෙදෙනකු මිය යාමත් සමග මාලි රටේ අර්බුදය පිළිබඳ ලංකාවෙත් යම් කතාබහක් ඇති වුණා. මේ අතරෙ සමහරු මාලි රට සහ මාලදිවයින පටලාගෙනත් තිබුණා. මේ නිසා මාලි රටේ අර්බුදය ගැන ටිකක් විස්තර කරන්න සුදුසුයි කියලා අපි හිතුවා.

මාලි රටේ අර්බුදයට මූලික වුණේ සහරා කාන්තාරයේ ජීවත්වන ටුවාරෙග් ජනතාව තම නිදහස උදෙසා සටන් කිරීම යි. ටුවාරෙග් ජනයා සාමාන්‍යයෙන් එඬේර ජීවිකාවක් ගෙනයන, ඉස්ලාම් ආගම අදහන බර්බර්වරුන් වනවා. මේ අය සහරා කාන්තාරයෙහි රටවල් කිහිපයක පැතිර සිටිනවා. මොවුන් මිලියන තුනක් පමණ ජීවත්වන බව විශ්වාස කෙරෙන අතර ඉන් මිලියන දෙකක් පමණ ජීවත් වන්නේ නයිජර් රාජ්‍යයේ යි. ඊට අමතරව මිලියන භාගයක පමණ ජනතාවක් මාලි රටේ උතුරුදිග ප්‍රදේශයන්හි වාසය කරනවා. ඇල්ජීරියාව​, ටියුනීසියාව​, බුර්කිනා ෆාසෝ වැනි රටවලත් ඔවුන් වාසය කරනවා.

ටුවාරෙග් ජනයා වඩා ප්‍රසිද්ධ වන්නේ ඔවුනගේ කාන්තාවන් නොව පිරිමින් මුහුණු ආවරණ පැළඳීම නිස යි. එමඟින් භූතාත්මවලින් තමන් ආරක්ෂා වන්නේ යයි එම ජනයා විශ්වාස කරනවා.

යටත් විජිත සමයේත්, ඉන් පසුවත් අවස්ථා කිහිපයකම ටුවාරෙග් ජනයා තමන්ගේ කටයුතුවලට ඇඟිලි ගැසීමට ආ විවිධ පාලකයන්ට එරෙහිව කැරලි ගැසුවා. මාලි රටේ එවන් කැරලි කිහිපයක්ම ඇතිවී තිබුණා. මේ නිසා, කලාපයේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වීම තුළින් නැවතත් එවන් කැරැල්ලක් හටගැනීමේ අවදානමක් තිබුණා. 2011 දී ලිබියාවේ මුවම්මර් ගඩාෆි බලයෙන් පහ කිරීමත් සමග කලාපය නැවතත් අස්ථාවර වීම නව කැරැල්ලකට මඟ විවර කළා.

මාලිහි ටුවාරෙග් කැරැල්ල

ලිබියාවේ මුවම්මර් ගඩාෆිගේ හමුදා සමග එක්ව ටුවාරෙග්වරුන් ද පිරිසක් සටන් වැදුණා. ගඩාෆිගේ වැටීමෙන් පසු මේ ඇතැමුන් මාලි වෙත පැමිණියා. ඒ වගේම ලිබියාවේ දේශපාලන තත්ත්වය අස්ථාවර වීමත් සමග​, ප්‍රදේශයේ අවි ආයුධ ලබාගැනීම පහසු වුණා. මේ අනුව මාලි වෙත ආයුධ ද පහසුවෙන් ළඟා වුණා.

2012 ජනවාරියේ දි මාලිහි උතුරුදිග ප්‍රදේශයේ ටුවාරෙග් කැරලිකරුවන් රජයට එරෙහිව කැරැල්ලක් ඇරඹුවා. මෙහිදී ප්‍රධානතම කැරලිකාරී සංවිධානය ලෙස මතු වූයේ අසවාඩ්හි විමුක්තිය සඳහා වන ජාතික ව්‍යාපාරය (MNLA) යි. අසවාඩ් යනු මාලි රාජ්‍යයේ උතුරුදිග ප්‍රදේශයේ ටුවාරෙග්වරුන් ඉල්ලා සිටින ස්වාධීන රාජ්‍යය යි.

මාලි හි ටුවාරෙග් කැරලිකරුවන් පිරිසක් (IRIN)

MNLA සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරවලට මුහුණ දීම මාලිහි යුධ හමුදාවට පහසු වූයේ නැහැ. භූමි ප්‍රමාණය අතින් විශාල රාජ්‍යයක් වුණත් මාලිහි ජනගහනය මිලියන 19ක් පමණ වන අතර යුධ හමුදාව ද 7,000ක් පමණ වුණා. එම හමුදාවත් එතරම් හොඳ පුහුණුවක් නොලද​, එතරම් හොඳ වැටුප් නොලද දුර්වල හමුදාවක්. අසවාඩ්හි කැරලිකරුවන් ඇතැමෙක් ලිබියාවේ දී සටන් වැදී පළපුරුද්ද තිබුණු අය යි. එමෙන්ම අනෙක් පිරිස ද කටුක කාන්තාර ජීවිතවලට හුරු, එහෙයින්ම ආයුධ භාවිතය ද හුරු, එමෙන්ම හොඳින් සන්නද්ධ වූවන් වුණා. ඔවුන් එල්ල කළ ප්‍රහාර හමුවේ මාලිහි සන්නද්ධ හමුදා වේගයෙන් පසුබස්වනු ලැබුණා.

හමුදා කුමන්ත්‍රණය

රජය විසින් උතුරුදිග මාලිහි කැරැල්ල මර්ධනය සඳහා නිසි පියවර නොගන්නා බවට චෝදනා කරමින් 2012 මාර්තු 21 වන දා හමුදා නිලධාරීන් පිරිසක් ජනාධිපති අමඩු ටුමානි ටූරේ බලයෙන් පහ කර මාලිහි බලය අල්ලා ගත්තා. මෙම හමුදා නිලධාරීන්ට නායකත්වය දුන්නේ කපිතාන් අමඩු සනෝගෝ විසින්. කුමන්ත්‍රණය සිදු වූයේ මාලිහි ජනාධිපතිවරණයට මාසයක් තිබිය දී වීම විශේෂත්වයක් වුණා.

නමුත් මෙම අවස්ථාවේ ජාත්‍යන්තර ප්‍රජාව මෙම හමුදා කුමන්ත්‍රණය පිළිගත්තේ නැහැ. බටහිර අප්‍රිකානු රටවල් පවා මාලිහි නව හමුදා පාලනයට දන්වා සිටියේ තමන් එම පාලනය පිළිගැනීමට සූදානම් නොවන බව යි. මේ අනුව මාලිහි අනාගතය පිළිබඳ සාකච්ඡා සඳහා එළඹීමට එම හමුදා පාලකයින්ට බල කෙරුණා.

මේ අතර කැරලිකරුවන් විසින් දිගටම සිය ක්‍රියාන්විතය ගෙන ගියා. මාර්තු 30 වන දා ඔවුන් කිඩාල් නගරය අල්ලාගත් අතර ඊළඟ දිනයේ දී ගාඕ නගරය ද ඔවුන් අතට පත් වුණා.

අප්‍රේල් 6 වන දා කැරලිකරුවන් නිවේදනය කළේ තමන්, තම ඉලක්ක සියල්ල සපුරාගත් වග යි. ඒ අනුව අසවාඩ්හි ස්වාධීනත්වය ඔවුන් ප්‍රකාශ කළා. මෙය ද ජාත්‍යන්තර ප්‍රජාවගේ සහ කලාපයේ අන් රටවල පිළිගැනීමට භාජනය වූයේ නැහැ.

බටහිර අප්‍රිකානු රාජ්‍යයන්හි ආර්ථික ප්‍රජාව සංවිධානයේ මැදිහත් වීමෙන් මාලි දේශපාලන අර්බුදය පිළිබඳ සාකච්ඡා දිගටම පැවැත්වුණා. මෙහිදී අමඩු ටුමානි ටූරේ මෙන්ම හමුදා පාලකයා ද නිල වශයෙන් ඉල්ලා අස්වී මාලිහි වැඩ බලන ජනාධිපති ලෙස එරට පාර්ලිමේන්තුවේ කතානායකවරයා පත් කිරීමට එකඟත්වයක් ඇති වුණා. 2012 අප්‍රේල් 8 වනදා ටූරේ සහ සනෝගෝ නිල වශයෙන් සිය ඉල්ලා අස්වීම් ඉදිරිපත් කළා.

ඉස්ලාමීය අන්තවාදීන් හිස ඔසවයි

උතුරුදිග මාලි රාජ්‍යයේ කැරලිකරුවන් අතර ජාතිකවාදී ටුවාරෙග්වරුන්ට අමතරව වෙනත් කණ්ඩායම් ද වුණා. ඒ ඉස්ලාමීය අන්තවාදී සංවිධාන යි. සංවිධානයේ කැරැල්ල ඇරඹි මුල් දිනවලම අන්සාර් ඩිනේ නම් වූ ඉස්ලාමීය අන්තවාදී සංවිධානය ක්‍රියාත්මක වීම ඇරඹූ අතර කැරලිකරුවන් විසින් අල්ලාගත් ඇතැම් නගරයන්හි ඉස්ලාමීය ධජ ද ලෙළදුන් බව වාර්තා වුණා.

අන්සාර් ඩිනේ සෙබළ පිරිසක් (AP)

2012 මැයි සහ ජූනි මාස වන විට මාලි රාජ්‍යයේ MNLA සංවිධානයේ පාලනයට යටත් වූ උතුරුදිග ප්‍රදේශයේ එම සංවිධානය සහ අන්සාර් ඩිනේ සංවිධානය අතර ගැටුම් ඇති වීමට පටන් ගත්තා. එමෙන්ම ප්‍රදේශයේ අර්බුදකාරී වාතාවරණය හමුවේ විවිධ ආවස්ථාවන්හි විවිධ ඉස්ලාමීය සංවිධාන එහි ක්‍රියාත්මක වුණා. ඉස්ලාමීය මහ්රෙබ්හි අල් කයිඩා සංවිධානය (AQIM)​, බටහිර අප්‍රිකාවේ ඒකීයත්වය සහ ජිහාඩය පිළිබඳ ව්‍යාපාරය (MOJWA) වැනි සංවිධාන මේ අතර වුණා. බොකෝ හරාම් සහ ඉස්ලාමීය රාජ්‍යය සංවිධානය ද මාලිහි ඇතැම් කාලයන් හි ක්‍රියාත්මක වූයේ යයි විශ්වාස කෙරෙනවා.

ඉස්ලාමීය සංවිධානයන්හි වඩා සටන්කාමී සාමාජිකයන් සිටි අතර වෙනත් ප්‍රදේශවලින් ද සටන්කාමීන් පැමිණෙන්නට ඇතැ යි සිතිය හැකියි. 2012 ජූනි මස අග දී ඉස්ලාමීය සටන්කාමීන් විසින් ගාඕ නගරය අල්ලාගත් අතර කෙටි කලකින්ම කිඩාල් සහ ටිම්බක්ටු නගර ද ඔවුන් අතට පත් වුණා. මීළඟ මාසවල දී ඉස්ලාමික සටන්කාමීන් දිගටම ප්‍රදේශයේ බලය තහවුරු කරගත්තා.

මෙම තත්ත්වය හමුවේ බලය ගිලිහී ගිය MNLA සංවිධානය 2012 අවසන දී රජය සමග එකඟත්වයක් වෙත පැමිණියා. එහිදී ඔවුන් අසවාඩ් සඳහා ස්වාධීනතාව වෙනුවට ස්වයං පාලන අයිතිය භාර ගැනීමට එකඟ වුණා.

විදේශ මැදිහත්වීම

සංවිධානය මෙන් නොව ඉස්ලාමීය සටන්කාමීන් උතුරුදිග මාලි ප්‍රදේශයන් අල්ලාගන සටන් නතර කිරීමට සූදානම් වූයේ නැහැ. ඔවුන්ගේ අභිලාශය මාලි රටෙන් නවතින්නේ ද නැහැ. නමුත් මාලි රටේ දුර්වල යුධ හමුදාවත්, අස්ථාවර දේශපාලන තත්ත්වයත් ඔවුන්ට එහි බලය වර්ධනය කරගැනීමට උපකාර වුණා.

තත්ත්වය පාලනය කරගැනීම සඳහා මාලි රජය මෙන්ම බටහිර අප්‍රිකාවේ ආර්ථික ප්‍රජාව ද විදෙස් ආධාර ඉල්ලා සිටියා. මේ පිළිබඳව කරුණු සොයා බැලීම සඳහා එක්සත් ජාතීන් ගේ සංවිධානය 2012 ඔක්තෝබරයේ දී තීරණය කළා. එම වසර අවසන් වන විට තීරණය කෙරුණේ අප්‍රිකානු රටවල නායකත්වයෙන් හමුදා මෙහෙයුමක් ක්‍රියාවට නැංවීමට යි.

2013 ජනවාරියේ විදේශ මැදිහත්වීමට පෙර කැරලිකරුවන් අල්ලාගෙන තිබුණ ප්‍රදේශ (Wikimedia Commons)

2013 ජනවාරියේ දී විදෙස් මැදිහත්වීම වේගවත් වුණේ ඉස්ලාමීය හමුදා කොන්නා නගරය අල්ලා ගැනීමත් සමග යි. වහා ක්‍රියාත්මක වූ ප්‍රංශය මාලිහි තම හමුදා මැදිහත්වීම හෙවත් “සර්වාල් මෙහෙයුම​” වහ ක්‍රියාත්මක කළා. මෙහිදී ප්‍රංශ ගුවන් හමුදාව සහ විශේෂ බලකා වැදගත් කාර්යයභාරයක් ඉටු කළා.

ඒ සමගම අප්‍රිකානු නායකත්වයෙන් යුත් මාලි රාජ්‍යය සඳහා අන්තර්ජාතික සහයෝගිතා මෙහෙයුම ද වේගවත් කෙරුණා. මීට වැඩිම හමුදා එවන ලද්දේ චැඩ් රාජ්‍යය විසින්.

අන්තර්ජාතික මැදිහත්වීම විසින් ඉස්ලාමීය සටන්කාමීන් කෙමෙන් කෙමෙන් පළවා හරිනු ලැබුණා. මේ අතර 2013 අප්‍රේල් මාසයේ දී මාලි රාජ්‍යය වෙත එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා යැවීම සඳහාත් අනුමැතිය ලැබුණා.

වර්තමානයේ දී මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන් විසින් කෙරෙන සාම සාධක කටයුතු දිගටම ක්‍රියාත්මක යි. මේ අතර ප්‍රංශය විසින් මාලි රාජ්‍යයේ අරඹන ලද මෙහෙයුම වෙනුවට සමස්ථ කලාපයම ආවරණය වන පරිදි විශාල හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. ප්‍රංශයත් කලාපීය රටවල් වන මොරිටානියා, මලි, නයිගර්, බුර්කිනා ෆාසෝ සහ චැඩ් යන රටවලුත් ඒ සඳහා සම්බන්ධ යි. G5 සහේල් නම් එක්සත් සංවිධානයක් ලෙස මෙම රටවල් කලාපීය ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදිමින් සිටිනවා.

Cover Image: මාලි හි එක්සත් ජාතීන්ගේ සාමසාධක භටයින් දෙදෙනෙක් (UN)

Related Articles