සමාජය ප්‍රශ්න කළ​ කාමෝද්දීපන ප්‍රකාශන​

කාමෝද්දීපන ප්‍රකාශන යනුවෙන් යමක් යුරෝපීය, විශේෂයෙන්ම ඉංග්‍රීසි ජන සමාජය තුළ අර්ථ දැක්වීම සිදු වුණ ආකාරය අප මින් පෙර ලිපියක් මඟින් සාකච්ඡා කළා. නමුත් කාමෝද්දීපන ප්‍රකාශනයන්ට ඊට වඩා ඉතා දිගු ඉතිහාසයක් තිබෙනවා. මේවා පොදු මහජනතාව අතරට පැතිරීම නොවන තාක් කල් යුරෝපීය පාලකයන්ට එය ගැටළුවක් වූයේ නැහැ.

සාමාන්‍ය යුරෝපා වංශාධිපති පවුල්වල පුද්ගලයන් ගේ අදහස වූයේ මෙවැනි ප්‍රකාශන​, උගත් ජන සමාජයට අයත් තමන් කෙරේ බලපෑමක් ඇති නොකරන නමුත් නූගත් මහජනයා එවැන්නක් දැකීමෙන් නොමඟ යා හැකි බවයි. මේ සඳහා ඉතා කදිම උදාහරණයක් වූයේ මාර්ක් අන්තෝනියෝ රායිමොන්දිගේ “ඉ මෝදි” (ක්‍රම​) හෙවත් “සතුට දනවන සොළොස් විධි” නම් වූ ග්‍රන්ථය යි.

යුරෝපීයයන් මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමට පෙර, යුරෝපයේ වූයේ අතින් පිළියෙල කරන ලද ග්‍රන්ථ යි. මේ බොහොමයක් ආගමික ග්‍රන්ථ වුණා. මෙවැනි ග්‍රන්ථවල පවා ඇතැම් ස්ථානවල ලිංගික ක්‍රියාකාරකම් සංකේතවත් කෙරෙන චිත්‍ර කුඩාවට ඇඳ ඇති අවස්ථා දක්නට ලැබෙනවා. නමුත්, සාමාන්‍ය පතපොත මෙන්ම මෙවැනි පතපොත ද සාමාන්‍ය ජනයා අතර පැතිර යාමේ අවදානම වැඩි වුණේ ගුටන්බර්ග් විසින් 1430 ගණන්වල දී මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කිරීමෙන් පසුව යි.

වර්ෂ 1524 දී පුනරුද චිත්‍ර ශිල්පියකු වූ ජුලියෝ රොමානෝ උතුරු ඉතාලියේ මන්තුවා නගරයට පැමිණියේ ගොන්සාගා හි දෙවන ෆෙඩරික් ආදිපාදවරයාගේ නව මන්දිරය​, පැලට්සා ටේ, නිර්මාණය කිරීමට යි. මෙම මන්දිරයේ ඇතුලත බිත්ති චිත්‍රවලින් අලංකරණය කිරීමේ කාර්යය ද රොමානෝට පවරනු ලැබුණා. මේ බොහොමයක් චිත්‍ර ශෘංගාරාත්මක තේමාවලින් යුතු වුණා. රොමානෝ මේ සඳහා සැලසුම් කරන ලද චිත්‍ර දහසයක් පිටපත් කරගත් රායිමොන්දි රෝමයට ගොස් ඒවා කැටයම් චිත්‍ර ලෙස නිර්මාණය කර, ග්‍රන්ථයක් ලෙස පිළියෙල කොට, එහි පිටපත් මුද්‍රණය කළා.

“ඉ මෝදි” වෙනුවෙන් 18 වන සියවසේදී අඳින ලද සිතුවමක්. මෙහි ස්ත්‍රී රූපය පැන්ඩෝරා යයි සැලකෙනවා (Public Domain)

මේ අවස්ථාවේ පාප්වහන්සේගේ පාලන තන්ත්‍රය විසින් ඔහු අත්අඩංගුවට ගෙන සිරගත කළ අතර, ඔහු විසින් නිර්මාණය කළ පිටපත් විනාශයට පත් කළා. මෙම මුල්ම ග්‍රන්ථයෙහි කිසිදු පිටපතක් අද වන විට ඉතිරිව නැති බවයි විශ්වාස කෙරෙන්නේ. මේ අතර රොමානෝ, මන්තුවා හි දී සිය කාර්යයෙහි නිරත වූයේ බලධාරීන්ගේ කිසිදු උපද්‍රවයක් නොමැතිව යි.

පල්ලිය විසින් රායිමොන්දි සිරගත කිරීමටත්, රොමානෝට කිසිදු හිරිහැරයක් නොකිරීමටත් හේතුව සිතා ගැනීම එතරම් අපහසු නැහැ. රායිමොන්දි විසින් පළ කරන ලද ග්‍රන්ථය මහජනයා අතරට යාම උපද්‍රවයක් බව පල්ලිය අදහස් කළා. එහි වූ ලිංගික ඉරියව් පල්ලිය විසින් අනුමත කෙරුණ ආකාරයේ “සදාචාරාත්මක” ඒවා වුණේ නැහැ. නමුත් රොමානෝ විසින් අඳින ලද චිත්‍ර උසස් පැළැන්තියේ වංශාධිපතියකුගේ මැදුරෙහි නිර්මාණය වූ හෙයින් එයින් සාමාන්‍ය ජනයා දූෂිත වීමේ අවදානමක් තිබුණේ නැහැ. උගත් වංශාධිපතීන් මෙවන් චිත්‍රවලින් දූෂිත නොවන බව ඔවුනගේ මූලික විශ්වාසයක් වුණා.

මේ අනුව​, පවත්නා පිළිගත් සමාජ සම්ප්‍රදායයන් වෙනස් කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් රායිමොන්දිට එරෙහිව කටයුතු කළේ යයි කිව හැකියි.

කාන්තාවගේ ලිංගික තෘප්තිය​​

යුරෝපා සමාජය තුළ 18 වන සියවස වන විටත්, ලිංගිකත්වය පිළිබඳ විවෘතව සාකච්ඡා වුණේ නැහැ. එවන් පසුබිමකදී 1748 වසරේ පළ කෙරුණ ජෝන් ක්ලේලන්ඩ් විසින් රචිත “ෆැනී හිල්ගේ මතක සටහන්” නම් ග්‍රන්ථය විශාල ආන්දෝලනයක් ඇති කළා. මෙතෙක් කල් ලිංගිකත්වය පිළිබඳ සාකච්ඡා බොහොමයක් වූයේ පුරුෂ පාර්ශවය පිළිබඳ එම පාර්ශවය විසින් යයි කිව හැකියි. එමෙන්ම තනි පුද්ගලයකුගේ හැඟීම් පිළිබඳ එතරම් සාකච්ඡා වූයේ නැතැයි කිව හැකියි. මිනිස් සිරුරේ ලිංගික ක්‍රියාකාරීත්වය පිළිබඳ පොදු සමාජය තුළ කතිකාවතක් ජනිත වී තිබුණේ නැති තරම්.

පුරුෂයකු විසින් ලියන ලද්දක් වුවද​, “ෆැනී හිල්ගේ මතක සටහන්” හි ප්‍රධාන චරිතය කාන්තාවක වීම හේතුවෙන්, එය කාන්තාවගේ ලිංගික තෘප්තිය පිළිබඳ සාකච්ඡා කරන ග්‍රන්ථයක් වුණා. එකල එම පොත තහනම් කෙරුණ අතර රහසිගතව මුද්‍රණය කරන ලද පිටපත් විවිධ අවස්ථාවල මතු වුණා.

බීබීසී ය 2007 දී විකාශය කළ “ෆැනී හිල්” නාට්‍යයේ අවස්ථාවක් (BBC)

1960 දශකය මුල දී, චැටර්ලි ආර්යාවගේ පෙම්වතා කෘතිය සම්බන්ධයෙන් අශ්ලීල ප්‍රකාශන නීති යටතේ පවරන ලද නඩුකරය පරාජය වීමෙන් පසු, 1963 දී නැවත “ෆැනී හිල්ගේ මතක සටහන්” පළ කරනු ලැබුණා. එවර ද ඊට එරෙහිව නඩු පවරනු ලදුව එම නඩුවෙන් ප්‍රකාශක ආයතනය පරාජය වුණා. නමුත් මෙම නඩුකර දෙක බ්‍රිතාන්‍යයේ අශ්ලීල ප්‍රකාශන පිළිබඳ නීති වෙනස් වීමට බලපෑ අතර ඉන් වසර කිහිපයකට පසු “ෆැනී හිල්ගේ මතක සටහන්” බාධාවකින් තොරව පළ කෙරුණා.

විප්ලවවාදී කැලෑ පත්තර

18 වන සියවස අවසාන භාගය වන විට ප්‍රංශයේ දාර්ශනික සහ විප්ලවකාරී අදහස් ව්‍යාප්ත වෙමින් තිබුණා. මේ අතර ලිංගිකත්වය පිළිබඳව වන සීමා ප්‍රශ්න කිරීම ද සිදු වුණා. නමුත් 1789 දී ප්‍රංශ විප්ලවය ඇරඹීමත් සමග වෙනත් ආකාරයේ නිර්මාණයන් ද බිහි වුණා.

වංශාධිපතීන් ප්‍රශ්න කිරීම සහ විශේෂයෙන්ම ඔවුන් අපකීර්තියට පත් කිරීම ප්‍රංශ විප්ලවකාරීන්ගේ යුගයේ අවශ්‍යතාව වුණා. තනි පුද්ගලයන්ටත්, පොදුවේ වංශාධිපති සමාජයටත්, පහර ගැසීමේ පහසු ක්‍රමයක් වූයේ ඔවුනගේ ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව හෙළි කිරීම යි. මේ අනුව විවිධාකාරයේ මඩ ප්‍රහාර පත්‍රිකා එකල ඉතා සුලබ වුණා.

මෙම ප්‍රහාරයන්හි ප්‍රධාන ඉලක්කයන් වූයේ දහසය වන ලුවී රජු සහ මාරි ඇන්ටොයිනට් රැජිණ යි. එකල ප්‍රංශයේ බෙදා හරින ලද පත්‍රිකාවලට අනුව රජු ලිංගික බෙලහීනයකු ලෙසත්, සමලිංගිකයකු ලෙසත් විවිධාකාරයෙන් ප්‍රචාරය කෙරුණා. මාරි ඇන්ටොයිනට් රැජිණ, රජුගේ සහෝදරයා සමග මෙන්ම සිය සේවිකාව සමග ද අනියම් සබඳතා පවත්වන්නියක ලෙස චෝදනා එල්ල කෙරුණා. මෙම කරුණුවල සත්‍යතාව කෙලෙස වුව ද, රජු හා රැජිණ පිළිබඳ වූ කෝපය සහ අප්‍රසාදය දෙගුණ, තෙගුණ වීමට මෙම ප්‍රකාශන බලපෑ බව සිතිය හැකියි.

මාරි ඇන්ටොයිනෙට් සහ ලෆායට් සෙනවියා දැක්වෙන උපහාසාත්මක චිත්‍රයක් (Public Domain)

විප්ලවකාරී පාලනය යටතේ ලුවී රජු, මාරි ඇන්ටොයිනට් රැජිණ, සහ වංශවත් පවුල්වල අනෙකුත් සාමාජිකයන් ද ඝාතනය කිරීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමේ දී එක් උපකාරයක් වූයේ මෙම පත්‍රිකා යි.

එක් අතකින්, මීට පෙර යුරෝපා පාලක පැලැන්තිය “කාමෝද්දීපන ප්‍රකාශන​” පොදු ජනතාව අතරට පැතිරීම පාලනය කිරීමට එක් හේතුවක් මේ අනුව පැහැදිලි වනවා. ජනතාව “දූෂිත​” කිරීමට අමතරව ඒවා මඟින් පවතින සමාජ ක්‍රමය සහ ඊටත් වඩා එහි පාලකයන් ප්‍රශ්න කිරීමේ අවදානමක් තිබුණා. සදාචාරය යනු පාලක සහ පූජක පැලැන්තියේ එක් අවියක් වුණා.

මෙතෙක් කල් වංශවතුන් විසින් වංශවතුන් උදෙසා නිර්මාණය වූ කාමෝද්දීපන ප්‍රකාශන ප්‍රංශ විප්ලව සමයේ දී ප්‍රජාතන්ත්‍රීකරණය වුණා. එනම් සාමාන්‍ය මහජනයා විසින් ඒවා නිර්මාණය කිරීමට පටන් ගැනුණා. නමුත් මෙම තත්ත්වය ඉතා භයානක බව විප්ලවකාරී ප්‍රංශයට ද අවබෝධ වූ බව නිසැක යි. එහෙයින් ප්‍රංශ විප්ලවයේ අවුල් සහගත කාලය නිම වූ පසු ප්‍රංශ රජයයන් නැවතත් මෙවැනි ප්‍රකාශන පාලනය කළා.

වෙනකක් තබා නැපෝලියන් අධිරාජයා පවා මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළා. ඔහුගේ කෝපයට හේතු වූ එක් සුවිශේෂී පුද්ගලයකු කාමෝද්දීපන ප්‍රකාශන කෙරෙහි මෙන්ම ලිංගිකත්වය කෙරෙහි ද විශාල බලපෑමක් කළ අයකු බවට පත් වුණා.

ආන්දෝලනාත්මක චරිතයක් වූ ඔහු මකී ද සාඩ් නම් වූ වංශාධිපතියා යි.

මකී ද සාඩ්

ඩොනේෂන් අල්ෆොන්ස් ෆ්‍රංශුවා හෙවත් මකී ද සාඩ් (සාඩ් හි මකීවරයා) පිළිබඳ විවිධාකාර නිර්වචන තිබෙනවා. ඇතමෙකුට අනුව ඔහු අශ්ලීල නිර්මාණ රචකයකු විනා වෙනත් කිසිදු වැදගත්කමක් දිය යුතු අයකු වූයේ නැහැ. නමුත් තවත් අයගේ අදහස අනුව ඔහු නියම මිනිස් ස්වභාවය පිළිබඳ අදහස් දැක්වූ අයෙක්. සදාචාරය​, හර පද්ධතීන් යනාදී සියල්ලක්ම ප්‍රෝඩාවක් බවත්, ඒවා සැබෑ මිනිස් ස්වභාවය සඟවන උපක්‍රම බවත් පෙන්වීමට ඔහුට අවශ්‍ය වූ බවට මෙම මතය දරන්නන් පෙන්වා දීමට උත්සාහ කරනවා. තම අත්දැකීම්ම උපයෝගී කරගනිමින්, ද සාඩ් පූජක පැළැන්තියට බරපතල ලෙස පහර දෙන්නේ ඔවුන් සතුව ලෝකයට පෙන්වා දෙන අන්දමේ චරිතවත්භාවයක් නොමැති බව පෙන්වමින්.

මකී ද සාඩ් තරුණයකු ලෙස​. මෙය දැනට සොයාගෙන ඇති ඔහුගේ රුව දැක්වෙන එකම චිත්‍රය වනවා (Public Domain)

ද සාඩ් විවිධ ආන්දෝලනාත්මක ක්‍රියා පිළිබඳව චෝදනා ලබන අතර 1768 දී රෝස් කෙලර් නම් කාන්තාවකට අතවර කිරීම​, සේවිකාවන් සහ සේවකයන් සමග​ ලිංගික සබඳතා පැවැත්වීම යනාදී සිදුවීම් මේ අතර වනවා. ඔහුව සිරගත කෙරෙන අතර ප්‍රංශ විප්ලවයට ඔන්න මෙන්න කියා සිටිය දී ඔහු සිටින්නේ බැස්ටීලයේ යි. මෙහි දී ඔහු විසින් “120 Days of Sodom” ලියනු ලැබූ අතර එය ඔහු සිය කුටියේ බිත්තියෙහි වූ සිදුරක සඟවා තබනවා. එය සොයාගන්නේ ඔහුගේ මරණින් ද බොහෝ කලකට පසුව යි.

ජස්ටීන් හි පළමු මුද්‍රණය​ (Public Domain)

පසු කලෙක ද සාඩ් විසින් ලියන ලද “ජස්ටීන්” සහ “ජුලියට්” නම් ග්‍රන්ථ දෙක තුළින් ද ඔහු පෙන්නුම් කරන්නේ සමාජය තුළ සදාචාරය නම් දෙයක් නොපවතින බවයි. විශේෂයෙන්ම ජස්ටීන් නම් චරිතය තමන්ට මුහුණ දීමට සිදුවන අතිශය කෲර වූ ලිංගික අපයෝජනයන් ද විඳ දරාගනිමින් සුබවාදී බලාපොරොත්තු නැති නොකරගන්නා චරිතයක් ලෙස පෙන්නුම් කෙරෙනවා. ද සාඩ් කියා සිටින්නේ මිනිස් සමාජය ස්වභාවයෙන්ම කෲරතර වන බව යි.

නැපෝලියන් විසින් “ජුලියට්” සහ “ජස්ටීන්” කෘතීන් හි රචකයා අත් අඩංගුවට ගැනීමට අණ කෙරෙන අතර 1801 සිට 1814 දී ඔහුගේ මරණය වනතෙක්ම ද සාඩ් ෂරන්ටන් උන්මත්තකාගාරයෙහි රඳවනු ලැබුණා.

පරපීඩක කාමුකත්වය හැඳින්වීමට යොදන sadism යන වචනය ඉංග්‍රීසි භාෂාවට එක් වූයේ ද සාඩ්ගේ නමින්.

මකී ද සාඩ් මියගොස් දශක දෙකක් ගත වීමට ද පෙර ප්‍රංශ ජාතිකයකු විසින්ම හඳුන්වා දුන් තවත් ක්‍රමවේදයක් කාමෝද්දීපන ප්‍රකාශනයන් සාමාන්‍ය ජනයා අතර ප්‍රචාරය වීමට විශාල වශයෙන් දායක වුණා. ඒ ගැන අපි වෙනත් ලිපියකින් සලකා බලමු.

Cover Image: මන්තුවා හි පැලැට්සෝ ටේ හි සිතුවමක් (Pinterest)

මූලාශ්‍රයයෝ

  1. Pornography: The Secret History of Civilization – Part 2 (Documentary)
  1. Marquis de Sade: Pornographer or Prophet? (Documentary)

Related Articles