කාමෝද්දීපන දර්ශන සජීවීකරණය : චිත්‍රපට සහ වීඩියෝ

චිත්‍රපට කලාව බිහිවීමත් සමග මිනිසාට සිය විනෝදාස්වාදය නව මානයක් කරා ගෙන යාමට හැකි වුණා. එතෙක් කල් පියවි ඇසින් දකින සජීවී දර්ශනයක් තිරයක් මත ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව මිනිසාට තිබුණේ නැහැ. නමුත් චිත්‍රපට කලාව පැමිණීමත් සමග යාන්ත්‍රික ඇසක් මගින් මෙම දර්ශන පටිගත කරගෙන නැවත නැවත නැරඹීමේ අවස්ථාව උදා වුණා.

මුල් කාලීනව නිහඬ චිත්‍රපට ලෙසත්, පසුව හඬකවන ලද චිත්‍රපට ලෙසත් තිරගත වූ මෙම කලාව මුලින් කලු-සුදු මාධ්‍යයට පමණක් සීමා වූ අතර පසුව වර්ණ මාධ්‍යය කරා ද එළඹුණා.

චිත්‍රපට කලාවේ ආගමනයත් සමගම කාමෝද්දීපන චිත්‍රපට ද නිර්මාණය වන්නට පටන් ගත්තා. මුල් කාලීනව මේවායේ රඟපාන හෝ කැමරාකරණය ආදිය සිදු කරන්නන් සිය සත්‍ය නම් භාවිතා කළේ නැහැ. ඒ වෙනුවට ආරූඪ නාමයන් භාවිතා කරමින් චිත්‍රපට නිර්මාණය වුණා.

මුල්කාලීනව චිත්‍රපටවල දර්ශන කෙරෙහි බලධාරීන් විශාල අවධානයකින් සිටියා. ඇමරිකාවේ පවා ප්‍රධාන පෙළේ චිත්‍රපටවල ලිංගික දර්ශනයන් ඇතුළත් කිරීම බලධාරීන් විසින් අනුමත කෙරුණේ නැහැ. නමුත්, වෙනත් පුද්ගලයන් දෙදෙනකු ලිංගිකව හැසිරෙන ආකාරය දැකීමේ කුතුහලය මත කාමෝද්දීපන චිත්‍රපට සඳහා ඉල්ලුමක් හට ගත්තා.

පෞද්ගලික දර්ශනයන්

මෙම චිත්‍රපටවල විශේෂ කතා පුවතක් වූයේ නැහැ. එය දෙදෙනකු අතර ලිංගික දර්ශනයන් ප්‍රදර්ශනය කිරීමේ මාධ්‍යයක් පමණක් වුණා. මේ අතර අවශ්‍ය විද්‍යාගාර පහසුකම් නොමැතිව ඒවායේ පිටපත් සැකසීම කළ නොහැකි වූ නිසාත්, එය නීති විරෝධී වූ නිසාත්, එකල මේවායේ පිටපත් නිර්මාණය වුණේ නැහැ. මෙම නිර්මාණ තනි පුද්ගලයින් විසින් හෝ විශේෂයෙන්ම පිරිමින් පමණක් සහභාගී වන සාද හෝ වෙනත් සම්භාෂණයන්හි දී ප්‍රදර්ශනය කෙරුණා. යම් හෙයකින් මෙවන් සාදයක කාන්තාවක වී නම් සාමාන්‍යයෙන් ඇය ගණිකාවක වීමේ ඉඩක් තිබුණා.

පැරණි කාමෝද්දීපන​ චිත්‍රපටයක දර්ශනයක් (Light Industry)

මෙවන් දර්ශන නැරඹීමෙහි මූලික අරමුණ වූයේ ලිංගිකව උද්‍යෝගයට පත්වීම යි. එමෙන්ම සංසර්ගයේ දී තමන් නොදන්නා යමක් වේ නම්, එවැනි දේ ඉගෙනීමට ද අමතර පෙළඹවීමක් ඇතැමුන් තුළ නිර්මාණය කළා. නමුත් මෙවන් චිත්‍රපට දැකගත හැකි වූයේ කලින් සඳහන් කළ පරිදි කුඩා පිරිසකගේ එකතුවක දී යි. තමන් වාසනාවන්ත වී නම් තනිව එවැන්නක් නැරඹීමේ අවස්ථාව ද උදා වුණා.

ලිංගිකත්වය “ලිබරල් වීම​​”

ඇමරිකාවේ 1960 දශකයේ සිදු වූ වෙනස්කම් සමග ලිංගිකත්වය පිළිබඳ වඩා නිදහස් මනසකින් බලන තරුණ පරම්පරාවක් බිහි වුණා. සැන් ෆ්‍රැන්සිස්කෝව කේන්ද්‍ර කරගත් හිපි සංස්කෘතිය මෙන්ම වියට්නාම් යුද්ධයට එරෙහි තරුණ ව්‍යාපාර මතින් ගොඩ නැගුණ විවිධ වාමාංශික තරුණ කණ්ඩායම් ලිංගිකත්වය දෙස බැලූයේ ඉතාම වෙනස් ඇසකින්. මේ සමගම ලිංගික දර්ශන අඩංගු චිත්‍රපට සාමාන්‍යකරණය වීම දකින්න ලැබුණා.

මෙකලම යුරෝපය ද වෙනස් මානයන් කරා ගමන් කරමින් තිබුණා. එක් අතකින් ඇමරිකාවේ මෙන්ම තරුණ ව්‍යාපාර පිබිදීමක් දකින්නට ලැබුණා. අනෙක් අතින් ඇමරිකාවේ මෙන්ම නීතිවිරෝධීව කාමෝද්දීපන චිත්‍රපට නිර්මාණය වීම සහ බෙදා හැරීම සිදු වුණා. මෙහි ප්‍රධාන චරිතයක් වූයේ ලැසී බ්‍රෝන්. ලිංගිකත්වය පිළිබඳ නිර්මාණ සඳහා විශාල අවකාශයක් ඇති බවත් ඒ අවශ්‍යතාව ඉටු කිරීම සඳහා අයිතිය දිනාගත යුතු බවත් ඔහුගේ අදහස වුණා.

1969 දී යුරෝපා රටක් කාමෝද්දීපන ප්‍රකාශන සඳහා වූ නීතිමය බාධක ඉවත් කළා. ඒ ඩෙන්මාර්කය යි. එයින් පසු විවිධ රටවල් එම සීමාවන් ඉවත් කළා.

කාමෝද්දීපන සිනමාවේ ස්වර්ණමය යුගය​

මේ සමයෙහිම ඇමරිකාවේ සහ ඇතැම් යුරෝපා රටවල ප්‍රධාන හොලිවුඩ් යනාදී ප්‍රධාන චිත්‍රපට ධාරාවට සමගාමීව කාමෝද්දීපන චිත්‍රපට කලාව ද දියුණු වුණා. 1971 දී යුරෝපයේ පළමු වරට කාමෝද්දීපන සිනමා නිර්මාණ සඳහාම වෙන්වූ චිත්‍රපට උළෙලක් පවත්වනු ලැබුණා. ඒ නෙදර්ලන්තයේ දී යි.

ඩීප් ත්‍රෝට් චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටරය (Wikimedia Commons)

1972 දී නිකුත් වූ “ඩීප් ත්‍රෝට්” චිත්‍රපටය කාමෝද්දීපන චිත්‍රපට, ප්‍රධාන ධාරාවට ගෙන ඒමට විශාල හේතුවක් වුණා. මෙම චිත්‍රපටය පිළිබඳ විවිධ මතභේදයන් පවතින අතර එය අශ්ලීල ද නැති ද යන විවාදය ද ඒ අතර ප්‍රධාන යි. එමෙන්ම එහි රඟපෑ ලින්ඩා ලව්ලේස් එකල එම චරිතය තම ලිංගික විමුක්තියේ සංකේතයකැ යි සඳහන් කළ නමුත් පසු කලෙක ඇය කියා සිටියේ ඒ සඳහා ඇයට එවකට ඇගේ සැමියා බල කර සිටි බව යි. කෙසේ නමුත් මෙම චිත්‍රපටය කෙතරම් සමාජය තුළ කාවැදුණි ද යත්, ඊට දෙවසරකට පසු වෝටර්ගේට් සිද්ධිය පිළිබඳ වොෂිංටන් පෝස්ට්හි වාර්තාකරුවන් දෙදෙනකු වූ බොබ් වුඩ්වර්ඩ් සහ කාර්ල් බර්න්ස්ටයින් වෙත රහස් තොරතුරු ලබාදුන් නිලධාරියකුගේ රහස්‍ය සංකේත නාමය ලෙස එම වාර්තාකරුවන් විසින් යොදා ගත්තේ ද ඩීප් ත්‍රෝට් යන්න යි.

මේ කාලයෙන් ඇරඹි කාමෝද්දීපන සිනමාවේ ස්වර්ණමය යුගය 1980 දශකය මැදභාගය පමණ වන තෙක් පැවතුණා. මෙකල විවිධ ආකාරයේ චිත්‍රපට නිර්මාණය වූ අතර ඇතැම් විට ඒවාට කතා පුවතක් ද පාදක වුණා. ලැසී බ්‍රෝන් ද යුරෝපයේ මෙවන් නිර්මාණයන්හි පෙරමුණ ගෙන කටයුතු කළ අයෙකු වුණා. 1974 දී ඔහු තමන් නිර්මාණය කළ “පෙනට්‍රේෂන්” නම් චිත්‍රපටය කාන් චිත්‍රපට උළෙලට ද ඉදිරිපත් කළා. කාමෝද්දීපන චිත්‍රපටයක් නිපදවෙන අවස්ථාව එහි තේමාව වුණා.

1971 ඇමරිකාවට හඳුන්වා දුන් “පීප් ෂෝ” තනි පුද්ගලයන්ට කාමෝද්දීපන දර්ශන පෞද්ගලිකව නැරඹීමට අවස්ථාව ලබා දුන්නා. එක් කුඩා කොටසකට සත 25 ක් අය කෙරුණා. (Getty Images)

මෙසමයෙහි ඇමරිකාවේ කාමෝද්දීපන සිනමාව දියුණු වීමට බලපෑ තවත් කරුණක් වූයේ 1973 දී එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් “අශ්ලීල​” වන්නේ කුමක් ද යන්න තීරණය කිරීමේ අයිතිය ප්‍රාන්ත වෙත පවරනු ලැබීමත් සමග යි. මේ අනුව ඇතැම් ප්‍රාන්තවල කාමෝද්දීපන දර්ශන සහිත චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට ඉඩ සැලසුනා.

මේ අතර නිරුවත් දර්ශන සහිත චිත්‍රපට වැඩි වැඩියෙන් නිර්මාණය වීම සිදු වූ අතර එවන් දර්ශන සහිත චිත්‍රපට සාමාන්‍ය හොලිවුඩ් සිනමා ආයතන තුළින් ද බිහි වේ යයි බලාපොරොත්තුව ද මතු වුණා.

1980 දශකය ඇරඹෙද්දී විශාල ආයෝජනයක් දරමින් කෙරෙන කාමෝද්දීපන චිත්‍රපට පිළිබඳ යම් බලාපොරොත්තුවක් වූ නමුත් කාරණා කිහිපයක් හේතුවෙන් එය යටපත් වුණා. එක් අතකින්, ඇමරිකාවේ සහ යුරෝපයේ නොසන්සුන්කාරී දේශපාලන වාතාවරණය නිම වී විශේෂයෙන්ම ඇමරිකාව දක්ෂිනාංශය වෙත ගමන් කළා. මේ අතර තාක්ෂණය ද වෙනස් වීමට පටන් ගැනුණා. වීඩියෝ තාක්ෂණය විසින් සිනමාව පරාජය කිරීම ඇරඹුණා.

වීඩියෝ තාක්ෂණය හඳුන්වා දීම​

වීඩියෝ තාක්ෂණය හඳුන්වා දීමට සමාගම් කිහිපයක් උත්සාහ කළ ද පළමු වරට සාර්ථක වූයේ JVC සමාගම විසින් හඳුනා දෙන ලද VHS හෙවත් Video Home System ය​. එය 1976 දී හඳුන්වා දෙනු ලැබුණා. මුල් කාලීනව නිර්මාණය වූ වීඩියෝපට වැඩි ප්‍රමාණයක් කාමෝද්දීපන චිත්‍රපට වුණා​. මේ අනුව සිය නිවසේ සිටම ඒවා නැරඹීමේ හැකියාව හේතුවෙන්ම මිල දී ගත් පුද්ගලයන් සිටියා.

1980 වන විටත් කාමෝද්දීපන චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙන චිත්‍රපට ශාලා ඇමරිකාවේ ජනප්‍රිය වුණා (Getty Images)

නමුත් බොහෝ දෙනෙක් වීඩියෝ මාධ්‍යයට මාරු වන්නට කැමති වූයේ නැහැ. මේ අනුව 1980 දශකය මැද වන විට අලුත් නීති රෙගුලාසි සහ වීඩියෝ තාක්ෂණයට කාමෝද්දීපන චිත්‍රපටකරුවන් සංක්‍රමණය නොවීම යන කරුණු මත කාමෝද්දීපන නිර්මාණ සංඛ්‍යාත්මකව පහළ වැටුණා. මේ තත්ත්වය යළි වෙනස් වූයේ කැම්කෝඩර් හඳුන්වා දීමත් සමග යි.

“කාමෝද්දීපන නිම්නය​”

කෙටි කලක් තුළ කාමෝද්දීපන චිත්‍රපට කර්මාන්තය අති විශාල කර්මාන්තයක් බවට පත් වුණා. 1998 වන විට මෙය ඇමරිකානු ඩොලර් බිලියන 400ක් තරම් දැවැන්ත කර්මාන්තයක් බවට පත්ව තිබුණා. ඒ වනවිට වසරකට වීඩියෝ 8000 ක් ඉක්මවා නිකුත් කෙරෙන තරමට මෙය විශාල කර්මාන්තයක් වුණා. 2010 වන විට ඇමරිකාවේ මෙම කර්මාන්තය ඩොලර් බිලියන 13ක් තරම් විශාල වුණා.

මෙම වීඩියෝවලින් අති බහුතරය නිර්මාණය වූයේ ලොස් ඇන්ජලිස් නගරයට උතුරින් වූ සැන් ෆර්නැන්ඩෝ නිම්නයේ යි. එහෙයින්ම එයට “කාමෝද්දීපන නිම්නය​” යයි ද නමක් පටබැඳුණා. කැලිෆෝර්නියාව 1980 දශකයේ මැද දී කාමෝද්දීපන චිත්‍රපට රූගත කිරීම සඳහා නීතියෙන් අවසර ලබා දුන් හෙයින් මෙම විශාල වර්ධනය සිදු වුණා. අද වනවිට ඇමරිකාවේ ප්‍රකට කාමෝද්දීපන ප්‍රකාශන සමාගම් බොහොමයක මූලස්ථානයන් පිහිටියේ මෙම ප්‍රදේශයේ යි.

මීට සමගාමීව යුරෝපයේ ද කාමෝද්දීපන වීඩියෝ නිපදවන සමාගම් බිහි වූ අතර ඒවා එක් එක් නගරයන්හි සිට සිය කටයුතු සිදු කළා. ප්‍රංශය​, ඉතාලිය, ජර්මනිය, නෙදර්ලන්තය,​ සහ ස්කැන්ඩිනේවියානු රටවල් මේ අතර වැදගත් වුණා.

අන්තර්ජාලය පැමිණීමත් සමග මෙම සමාගම් එම අංශය කෙරෙහි ද අවධානය යොමු කළා. අද වන විට වීඩියෝපට වෙනුවට බොහෝ කාමෝද්දීපන ප්‍රකාශන අන්තර්ජාලය හරහා දකින්නට පිළිවන්.

මූලාශ්‍රයයන්:

  1. Pornography: The Secret History of Civilization – Part 4 (Channel 4)
  2. Pornography: The Secret History of Civilization – Part 5 (Channel 4)
  3. Porn in the USA – Part 1 (RT)

Cover Image: gorgeousproductions.blogspot.com

Related Articles