කෝවිඩ්-19 සමග කරළියට පැමිණි නිරෝධායනයේ ඉතිහාසය

මේ දිනවල ලොව පුරා පැතිරී යන කොරෝනාවෛරසය රටවල් රැසකට බලපෑම් ඇති කර තිබෙනවා. පසුගිය මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවට ද එහි බලපෑම දැනෙන්නට පටන් ගත් නිසා ජනතාවගේ දෛනික ජන ජීවිතය අඩාල වුණා. එලෙස කොරෝනාවෛරසය ලංකාව තුළ පැතිරී යාමත් සමගම නිරෝධායනය, නිරෝධානය මධ්‍යස්ථාන වැනි වචන නිතර අසන්නට ලැබුණා. මීට පෙර ලාංකීය ජනතාවට සමීප නොවුණු නිරෝධායනය නම් එම ක්‍රියාවලියේ උපත සිදුවුණේ 14 වැනි සියවසේ මැද භාගයේ දී යි. එදා ලෝකය පුරාම පැතිරී ගිය කළු මරණය නම් වසංගත තත්ත්වයත් සමගම කරළියට පැමිණි නිරෝධායනය නම් ක්‍රියාවලිය, විවිධ වසංගත අවස්ථාවන්වල දී යොදාගනු ලැබුණා. මෙම ලිපිය මඟින් අපි නිරෝධායනයේ උපත සහ එහි ඉතිහාසය පිළිබඳව සාකච්ඡා කරමු.

නිරෝධායනයේ උපත සිදුවුණු ආකාරය 

ක්‍රි.ව. 1347-1351 කාල සමය තුළ යුරෝපයේ පැතිරී ගිය මහාමාරිය වසංගතය හැඳින්වුණේ, කළු මරණය ලෙසින්. එම වසංගතය එදා ඉතාමත් දරුණු ලෙසින් යුරෝපය පුරා පැතිරී ගිය නිසා යුරෝපයේ ජනගහනයෙන් 1/3ක් පමණ මරණයට පත් වුණු බව බොහෝ වාර්තාවල සඳහන් වනවා. එලෙස මහාමාරිය වසංගතය යුරෝපය පුරා පැතිරී ගිය අවස්ථාවේ එහි බලපෑම තදින්ම දැනුණේ ඉතාලියට යි. එම නිසාම රෝගය පැතිරී තිබුණු ප්‍රදේශවල සිට පැමිණෙන නැව් ඉතාලියේ වැනීසියට ඇතුළු කරගැනීමට පෙර දින 40ක් නැංගුරම් දමා තබනු ලැබුවා. එලෙස දින 40ක් හුදෙකලාව තැබීමේ සංකල්පය හඳුන්වනු ලැබුවේ නිරෝධායනය ලෙස යි. දින 40 යන වචනය ඉතාලි බසින් ලියනු ලබන්නේ Quaranta giorni ලෙස යි. අද බොහෝ දෙනෙකු භාවිතා කරන Quarantine හෙවත් නිරෝධායනය නම් වචනය බිඳී ආවේ ඉහත ඉතාලි වචනයෙනුයි. 

කළු මරණයට ගොදුරු වුණු රෝගියෙක් (CBS News)

කළු මරණය අවස්ථාවේ නිරෝධායනය භාවිත කළ අයුරු 

එදා යුරෝපය පුරා ව්‍යාප්ත වුණු කළු මරණයෙන් මධ්‍යධරණී රටවල් විශාල බැටකෑමකට ලක් වුණා. එහි දී මධ්‍යධරණි මුහුදේ තිබුණු රගුසා නම් වරාය අවට ප්‍රදේශයටත් එහි බලපෑම තදින්ම දැනුණා. එම නිසාම එම ප්‍රදේශය භාරව සිටි ජාකොබ් නම් වෛද්‍යවරයා ආසාදනයට ලක් වුණු රෝගීන් වෙන් කර තබා ප්‍රතිකාර කිරීමට නගරයෙන් පිටත වෙනම ස්ථානයක් පිහිටවනු ලැබූ බව සඳහන් වනවා. එසේම, කළු මරණය නම් වසංගතය අවසන් වීමෙන් පසුව ද යුරෝපයේ ඇතැම් නගර සිය ප්‍රදේශය ආරක්ෂා කරගැනීම සඳහා නිරෝධායනය නම් සංකල්පය ක්‍රියාවට නංවා තිබෙනවා. 

1377 වසරේ දී රගුසා නගරයේ ක්‍රියාත්මක වුණු නිරෝධායන ක්‍රියාවලිය 

ක්‍රි.ව. 1377 වන විට කළු මරණය නම් මහාමාරිය වසංගතය අවසන් වී තිබුණත්, වරින් වර විවිධ ප්‍රදේශවලින් මහාමාරිය රෝගීන් වාර්තා වුණා. එම නිසාම යළි මහාමාරිය පැතිරී යනු ඇතියැ යි බියට පත් වුණු රගුසා නගරයේ පාලකයා සිය නගරය ආරක්ෂා කරගැනීමට දින 30ක හුදෙකලා කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරනු ලැබුවා. එහි දී පහත සඳහන් මූලික නීති රීති අනුගමනය කළා.

1) එම කාල සමය වන විට මහාමාරිය රෝගීන් වාර්තා වුණු ප්‍රදේශවල සිට පැමිණෙන පුද්ගලයන් දින 30ක් හුදෙකලා වී සිට රගුසා නගරයට ඇතුල් විය යුතු යි. 

2) දින 30ක් හුදෙකලා වෙමින් සිටින පුද්ගලයන් හමුවීමට යාම සඳහා නගරයේ සිටින කිසිදු පුද්ගලයෙකුට අවසර නැහැ.

3) දින 30ක්  හුදෙකලා වී සිටින පුද්ගලයන්ට ආහාර පාන ලබා දීමට පත් කර සිටි නිලධාරීන්ට හැර, නගරයේ සිටි කිසිදු පුද්ගලයෙකුට ඔවුන් වෙනුවෙන් ආහාර පාන රැගෙන යාම තහනම් වුණා. යම් ආකාරයකින් නගරයේ පුද්ගලයෙකු නීතිවිරෝධීව හුදෙකලාව සිටින කෙනෙකුට ආහාර පාන ලබා දී අසුවුණොත්, නීතිය කඩ කළ පුද්ගලයා දින 30ක් හුදෙකලාව සිටින මිනිසුන් සමග තබනු ලැබුවා. 

4) ඉහත නීති රීති කඩ කළ පුද්ගලයන්ට දඩ මුදල් සහ මාසයක හුදෙකලා කාලයක් නියම කරනු ලැබුවා. 

නැව්වල සිටි බෝවන රෝගීන් පිළිබඳව දැන්වූ අයුරු 

අතීතයේ දී වරායකට පිවිසෙන නැවක බෝවන රෝගයක් වැළඳී ඇති කෙනෙකු සිටිනවා නම් නැවේ කහ කොඩියක් ඔසවා එය වරායට දැනුම් දෙනු ලැබුවා. එසේම, ඉන්පසුව නැවේ කහ සහ කළු කොඩියක් ඔසවනු ලැබුවොත් රෝගය භයානක නිසා එම නැවට පිටතින් කිසිම කෙනෙකුට ඇතුළුවීමට අවසර ලැබුණේ නැහැ. එහි දී බලාපොරොත්තු වුණේ එම නැව හුදෙකලා කර රෝගය පැතිරීම වැළැක්වීම යි. පසුගිය දශකයේ ලෝකය පුරාම ජනප්‍රිය වුණු ටින් ටින්ගේ වීර ක්‍රියා නම් කාටූන් මාලාවේ සූර්ය සිරකරුවෝ නම් කතාවේ පළමු කොටසේ දී මෙවැනි සිදුවීමක් දක්නට ලැබෙනවා. 

නැවක වසංගත රෝගීන් සිටින බව පෙන්වන අවස්ථාවක් (portandterminal.com)

කොළරාවෙන් බේරීමට නිරෝධායනය භාවිතා කළ ආකාරය 

19 වැනි සියවසේ අවස්ථා කිහිපයක දී කොළරා වසංගතය ලොව පුරා පැතිරී ගියා. එහි දී කොළරාවෙන් වැඩිම බලපෑමක් ඇති වුණේ යුරෝපයට යි. එදා යුරෝපය පුරා කොළරාව පැතිරීම වැළැක්වීම සඳහා ආසාදිත පුද්ගලයන් හුදෙකලා කරනු ලැබුවා. එසේම, යුරෝපයේ එක් රටකින් තවත් රටකට ඇතුල් වුණු සංචාරකයන් පරීක්ෂා කර රෝගය වැළඳුණු පුද්ගලයන් හුදෙකලා කරනු ලැබුවා. එදා යුරෝපයේ සිට ලොව පුරා තිබුණු රටවල් කරා නාවික ගමනාගමනය සිදුවුණා. එහි දී යුරෝපයේ සිට පැමිණි නැව් දින කිහිපයක් හුදෙකලා කර, ඉන්පසුව වරාය තුළට ඇතුල් කරගනු ලැබුවා. 

1890 වසරේ දී ඉතාලියට පැමිණි ස්විට්සර්ලන්ත සංචාරකයන් පිරිසක් පරීක්ෂා කරන අයුරු (getty)

නිරෝධායනය ලාංකිකයන්ට ආගන්තුක වුණේ ඇයි? 

අතීතයේ සිටම ලෝකය පුරා වසංගත පැතිරී ගිය අවස්ථාවල ඒවා පාලනය කිරීමට නිරෝධායනය නම් ක්‍රියාවලිය භාවිතයට ගනු ලැබුවා. පසුගිය වසර 50 පමණ ඇතුළත ශ්‍රී ලංකාව පුරා දරුණු වසංගත පැතිරී ගියේ නැහැ. එම නිසාම කොරෝනාවෛරසය ලංකාවේ පැතිර යාමත් සමගම කරළියට පැමිණි නිරෝධායනය යන ක්‍රියාවලිය ලංකාවේ සාමාන්‍ය ජනතාවට අරුම එකක් වුණා. ඒ අනුව සමහර පුද්ගලයන් නිරෝධානය මඟහැර සිටීමට පවා කටයුතු කළා. නමුත්, වර්තමානය වන නිරෝධායනය නම් ක්‍රියාවලිය පිළිබඳව ලාංකිකයන්ට යම් අවබෝධයක් තිබෙනවා. එම නිසාම අනාගතයේ දී ලංකාව තුළ වසංගත තත්ත්වයක් පැතිරී ගියොත් නිරෝධායනය නම් සංකල්පය උපයෝගී කරගෙන රෝගය පැතිරීම පාලනය කළ හැකියි.

කවරයේ ඡායාරූපය- නිරෝධායන මධ්‍යස්ථානයකට පහරදෙන ඇමරිකානුවන් පිරිසක් (gettyimages)

මූලාශ්‍රයයන්- 

Quarantine and Isolation- CDC, 

The Origin Of Quarantine

Related Articles

Exit mobile version