ගරා වැටෙන බිබිලේ වලව්වේ යටගිය කතා පුවත

අපේ රටේ ඖෂධ ගිනි ගණනට දිනෙන් දින ඉහළ යන මේ කාලේ මහාචාර්ය සේනක බිබිලේගේ වටිනාකම වඩාත් වැඩියෙන් දැනෙනවා. අඩු මිලට ඖෂධ ලබා දීමට ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ ඔහු රාජ්‍ය ඖෂධ සංස්ථාව බිහිකිරීමටත් පුරෝගාමී වුණා.

බිබිලේ පරම්පරාවට අයත් බිබිල වලව්වටත් ඔහුගේ ඖෂධ ප්‍රතිපත්තයට වුණු දේ ම අත්වෙලා. එම වටිනා ගොඩනැඟිල්ල අද ගරාවැටෙමින් පවතිනවා.

බිබිලේ කුඹුරු – සුන්දර ඌව වෙල්ලස්සේ අසිරිය facebook page

 බිබිල වලව්ව

බිබිල නගරයේ සිට මොනරාගල දක්වා යන පාර ඇරඹෙන මොනරාගල හන්දියේ පිහිටි වලව්පිටිය පාරේ ටික දුරක් ගමන් කළ විට බිබිල වලව්වට ළඟා වීමට පුළුවන්. මෙම වලව්ව මුලින් ම ඉදි කර තිබෙන්නේ සේනක බිබිලේගේ සීයා වුණූ විලියම් රෙජිනෝල්ඩ් බිබිලේ රටේ මහත්තයා යි. රෙජිනෝල්ඩ් ගේ පියා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සළුවඩන නිලමේ බවත්, ඔහු 1818 වෙල්ලස්ස අරගලයේ දී සුද්දන්ට එරෙහි ව සටන් කළ නිසා සුද්දන් බිබිලේ පරපුරට හිමි දේපල රාජසන්තක කළ බවත් පැවසෙනවා.

වලව්ව 1860 දී තැනූ බවයි පැවසෙන්නේ. රෙජිනෝල්ඩ් බිබිලේ ද සුද්දන් යටතේ සේවය කළත් අසාධාරණයට හිස නොනැමූ බව සඳහන්. මෙය ඉදි කරන විට එහි කාමර තිස් ගණනක් තිබූ බව පැවසෙනවා. එවකට වලව්වත්ත අක්කර 50ක් පුරා පැතිර තිබුණා. ගොඩනැඟිල්ල ඉදිරිපසින් පිහිටි ෂඩස්‍රාකාර පෝටිකෝව සහ ඒ හැඩයේ ම කාමරය නිසා ලැබී ඇත්තේ අලංකාර පෙනුමක්.

වලව්වට සෙවිළි කර ඇත්තේ සිංහල උළු යි. වලව්වට යාබද ව තවත් දිගැටි ගොඩනැඟිල්ලක් අතීතයේ පැවතුණත් පසු ව එය කඩා දමා ඇති බව පෙනෙනවා. බිබිලේ පරපුරේ පරම්පරා තුනකට සෙවණ දුන් වලව්ව මෑතක දී බිබිලේ පරම්පරාවෙන් ගිලිහී ගියා. අද වනවිට වලව්ව පිහිටි ඉඩම පර්චස් 70කට සීමා වී තිබෙනවා. ඒ එම ඉඩම විකුණා දැමීම නිසා යි. 2009 ජනවාරි 23 වැකි දා මෙම ඓතිහාසික ගොඩනැඟිල්ල පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් ප්‍රකාශ කෙරුණත් එයට නිසි ආරක්ෂාවක් ලැබී ඇති බවක් තව ම පේන්නෙ නම් නැහැ.

 සේනක බිබිලේ කුඩා කල ඔහුගේ මව්පියන් සහ සහෝදරියන් සමඟ (1926 දී) -Wellassa Foundaton facebook page 

 

බිබිලේ වලව්ව රට පුරා ප්‍රකට වුණේ මහාචාර්ය සේනක බිබිලේ නිසා යි. සේනක බිබිලේගේ පියා චාර්ල්ස් විලියම් බිබිලේ රටේ මහත්තයා වු අතර මව සිල්වියා ජයවර්ධන යි. සිල්වියා දකුණේ කතළුව වලව්වේ දියණියක් වුණා. බිබිලේට කැන්දා ගෙන විත් තිබූ සිල්වියා තම කුළුදුල් දරු උපත සඳහා ගාල්ලේ කතළුව මහගෙදරට ගියා.

සේනක බිබිලේ උපන්නේ 1920 පෙබරවාරි 13 වැනදා යි. ඒ අහංගම, කතළුව, අටදාගෙවත්තේ වලව්වේ යි. බිබිල වලව්වට ටික දිනකින්මවත් සමඟ  යළිත් පැමිණි සේනක අවුරුදු පහකට පසු බදුල්ලේ ළදරු පාසලකට ඇතුළත් කර තිබෙනවා. මාස කිහිපයකට පසු සේනක බිබිලේගේ මවට මව් කිරි අහිමි වුණු බවත්, වලව්ව අවට ගෙවල්වල මව්වරුන් පැමිණ ළදරුවාට කිරි ලබා දුන් බවත් පැවසෙනවා.

 සේනක බිබිලේ වලව්ව ඉදිරිපස සිය ඥාතින් සමඟ- silumina.lk

 

ඉන් පසුව ඔහු පාසල් අධ්‍යාපනය සඳහා ඇතුළත් වුණේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට යි. එම විදුහලෙන් ප්‍රාථමික සහ ද්විතියික අධ්‍යාපනය ලැබු සේනක බිබිලේ සෑම නිවාඩු කාලයකට ම බිබිල වලව්වට පැමිණීම සිරිතක් කර ගෙන සිටියා.
බිබිලේ වලව්ව අවට ගම්වැසි අහිංසක මිනිසුන් සහ සේනක එකිනෙකාට පුදුමාකාර ලෙස ආදරය කළ බව පැවසෙනවා. බිබිලේ දුප්පත් හේන් ගොවීන්ට වලව්ව තහනම් තැනක් වුණේ නැහැ. ඔවුන් එතුළ නිදහසේ හැසිරුණා. සේනකගේ පියා වුණු චාල්ස් විලියම් රටේ මහත්තයා ගැමියන්ගේ මිතුරෙක් ලෙස සැලකුණා. 1936 දී සේනක බිබිලේගේ පියා වන චාල්ස් විලියම් මිය යනවා. පියාගේ මරණයෙන් පසු වලව්වේ ඉඩම්වල ආදායම් නිසි ලෙස නොලැබෙන අතර ඇතිවූ ආර්ථික අපහසුතා නිසා සේනක අධ්‍යාපනයට තව තවත්  මුල් තැන දෙනවා.

 සේනක බිබිලේ පවුලේ පිරිස සමඟ – wikipedia.org

වලව් පරපුරේ වාමාංශිකයා

වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නට කොළඹ වෛද්‍ය පීඨයට  1945 දී ඇතුළත් වුණු කාලයේ කාල් මාක්ස්ගේ “ප්‍රාග්ධනය” පොත, සේනකට කියවන්න ලැබුණා. ඉන් අනතුරු ව තවත් වාමාංශික පත පොත කියවන්නටත් ඒ දේශපාලනයටත් ඔහු නැඹුරු වී තිබෙනවා. මේ නිසා වෛද්‍ය විද්‍යාලයේ හැම වසරක ම හොඳම ප්‍රතිඵල ලබා ගන්නට ඔහුට හැකි වෙනවා.

1949 වර්ෂයේ දී එංගලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ සේනක බිබිලේ එහි දී ආචාර්ය උපාධිය ලබා මව්බිමට යළි  පැමිණෙන්නේ 1952 දී යි.  සේනක බිබිලේ කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ පළමු මහාචාර්යවරයා බවට පසුව පත් වෙනවා. බිබිල යන නාමය ලෝකයේ ම ප්‍රචලිත වන්නේ සේනක බිබිලේ නිසා යි.

බිබිලේ වලව්ව ගොඩනැඟිල්ලේ අද තත්ත්වය – ලක්මව සුරකින පොදුජන මිතුරෝ facebook page

වලව්වේ කැටයම්

ගයනාවේ දී 1977 වර්ෂයේ සැප්තැම්බර් මස අග භාගයේ දිනෙක සිදු වූ මහාචාර්ය සේනක බිබිලේගේ අකල් අබිරහස් මරණය නිසා ඔහුට වලව්ව ගැන සොයා බැලීමට ලැබුණේ නැහැ. එය හිමි ව තිබුණේ ඔහුගේ සොයුරියකට යි. මෙහි ජනෙල් හා දොරවල්වල උළුවහුවල පුරාණ දැව කැටයම් දැක ගත හැකි යි. ලියවැල් මෝස්තර ඒ සඳහා බහුල ව භාවිත කර තිබෙනවා. විශාල වලව් ගොඩනැඟිල්ල නඩත්තු කිරීම අසීරු නිසා මෑත අතීතයේ දී එහි මුළුතැන්ගෙය හා මැද මිදුල සමඟ කාමර අටක් කඩා ඉවත් කර තිබෙනවා.

නිදන කාමර, කෑම කාමර, කියවීමේ කාමර, කාර්යාල කාමරය, වී කොටන ස්ථානය සහ නාන කාමර ද අදත් මෙහි දැකගත හැකි යි. දශක හතරකට පමණ පෙර බිබිලේ පරපුරෙන් වලව්ව මිලදී ගෙන ඇත්තේ ජී. කේ. සෝමාවතී මහත්මිය යි. සෝමාවතීට වලව්ව විකුණා ඇත්තේ එහි හිමිකාරිත්වය පැවති සේනක බිබිලේගේ සොයුරිය යි. වලව්ව මිලදී ගත් සෝමාවතී සඳහන් කර ඇති අයුරින් ඒ වනවිට එහි පැරණි ගෘහ භාණ්ඩ කිසිවක් තිබී නැහැ. ඇයට පෙර එය බදු ගෙන සිටි පුද්ගලයෙක් පැරණි භාණ්ඩ ඉවත්කර ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

 බිබිල රෝහල සේනක බිබිලේ රෝහල ලෙස නම්කරමින්- divaina.lk

විජයාන්ද දහනායක බිබිල ආසනයෙන් මැතිවරණ සටන මෙහෙයවන කාලයේ නැවතී සිට ඇත්තේ මේ වලව්වෙ යි. අද මේ දැවැන්ත ගොඩනැඟිල්ල ගරාවැටෙමින් පවතිනවා. පියස්ස දිරා ගොස් බොහෝ තැන්වලින් තෙමෙනවා. කෙසේ වුවත් පුරාවිද්‍යා උරුමයක් නිසා හිමිකරුවන්ට එය අලුත්වැඩියා කිරීමට නොහැකි යි. මේ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත් වී බිබිල වලව්ව සංරක්ෂණයට කඩිනම් පියවර ගත යුතු වෙනවා.

කවරයේ ඡායාරූපය - බිබිල වලව්ව 1926දී - Wellassa Foundation facebook page

මූලාශ්‍ර :
ada.lk
silumina.lk
asidisimaanaya.blogspot.com

Related Articles